විශ්වයේ සෙන්පති ලෙස විරුදාවලිය ලත් අඟහරු හෙවත් කුජ ග්‍රහයා තම නිවහන වන මේෂ රාශිය වෙත සම්ප්‍රාප්ත වීමට සියල්ල සූදානම්ය. 2026 වසරේ මැයි මස 11 වන සඳුදා දින අපරභාග 12.38 ට සිදුවන මෙම මාරුව, හුදු ග්‍රහ මාරුවකට එහා ගිය සුවිශේෂී බලපෑමක් මෙරට දේශපාලන, ආර්ථික සහ සමාජයීය ක්ෂේත්‍ර කෙරෙහි එල්ල කිරීමට නියමිතව ඇත. එතැන් පටන් දින 40 ක කාලයක් පුරා තමාටම ආවේණික වූ රජ ගමනක යෙදෙන කුජ, භූමියට අධිපතියා ලෙස පෘථිවි තලයේ සඟවා ඇති වටිනා සම්පත් මතු කර දීමට සැදී පැහැදී සිටියි.
මෙම ග්‍රහ මාරුව සිදුවන මොහොතේ උදාව පවතින තත්කාල කේන්ද්‍රය දෙස විමසිලිමත්ව බලන විට පෙනී යන්නේ, සිංහ ලග්නය සහ මේෂ නවාංශකය උදාව පවතින බවයි. එහි පළමු භාවයේ කේතු ද, හත්වැන්නේ සඳු සහ රාහු ද, අටවැන්නේ ශනි ද තැන්පත් වී ඇත. වඩාත්ම කැපී පෙනෙන සංසිද්ධිය වන්නේ නවවැන්න තුළ රවි, කුජ සහ බුධ යන ග්‍රහ ත්‍රිත්වය සංයෝග වී සිටීමයි. දසවැන්නේ සිකුරුත්, එකොළොස්වැන්නේ ගුරුත් ගමන් ගනිමින් සිටිති. මෙම ග්‍රහ පිහිටීම අනුව ඉදිරි කාලසීමාව ‘අහස මෙන්ම පොළොව ද උණුසුම් වන’ කාලයක් ලෙස හැඳින්විය හැකිය.
කුජ ග්‍රහයා බලවත්ව ස්වක්ෂේත්‍රව ගමන් කරන මෙම කාලය තුළ භූමියෙන් අනපේක්ෂිත ලෙස වටිනා සම්පත්, මැණික් හෝ පුරාවස්තු හමුවීමේ වැඩි ඉඩකඩක් පවතින මුත්, අඟහරුගේ සැඩ පරුෂ බව ද ලෝකයාට අත්විඳීමට සිදුවනු ඇත. විශේෂයෙන්ම ජූනි මස 21 වන දිනට පෙර ප්‍රබල මාරක අනතුරක සේයාවක් ග්‍රහ සටහන තුළ ලියැවී තිබීම ඔබගේ අවධානයට ලක්විය යුතු කරුණකි.
තත්කාල කේන්ද්‍රයේ 22 වන දෙර්කාණාධිපති ලෙස ගුරු ග්‍රහයා පත්වීම සුබදායක ලකුණක් නොවේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස මෙරට ආගමික නායකයන්ට මෙන්ම නීති ක්ෂේත්‍රයේ ප්‍රභූවරුන්ට යම් යම් පීඩාවන් එල්ල විය හැකිය. බැංකු සහ මූල්‍ය ආයතනවල ස්ථාවරත්වයට තර්ජන එල්ල වෙමින් ඒවායේ කඩාවැටීම් වාර්තා වීමටත්, එමඟින් රටේ ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල වීමටත් ඉඩකඩ පවතී.
කුම්භ ලග්න ලංකා කේන්ද්‍රයට අනුව සලකා බලන විට, කුජ ගමන් කරන්නේ තෙවන භාවය හරහාය. මෙහිදී තැපැල්, විදුලි සංදේශ සහ පොදු ප්‍රවාහන යන ක්ෂේත්‍රවල වරින් වර දැඩි අවහිරතා සහ ප්‍රශ්න මතු වන බව පෙනේ. එපමණක් නොව, සඳු ග්‍රහයා රාහුගෙන් පීඩාවට පත්ව ගමන් කිරීම නිසා ඉදිරි දින කිහිපය තුළ ජලයට සම්බන්ධ අනතුරු හේතුවෙන් ජීවිත හානි සිදුවීමේ දැඩි අවදානමක් පවතී.
කෙසේ වෙතත්, කුම්භ ලග්න ලංකා කේන්ද්‍රයේ 10 අධිපති කුජ බලවත්ව ගමන් කිරීමේ වාසිය රජය සතු වේ. ඒ අනුව රටේ පාලන තන්ත්‍රය ඇතැම් තීරණාත්මක අවස්ථාවලදී ඉතා දැඩි, නොසැලෙන තීන්දු තීරණ ගනිමින් රට පාලනය කිරීමට උත්සුක වනු ඇත. දින 40 ක මෙම කුජගේ රජ ගමන ලාංකීය ජන සමාජයට අභියෝග මෙන්ම අවස්ථාවන් ද එකවර රැගෙන එන කාල පරිච්ඡේදයක් වනු නිසැකය.
ජ්‍යොතිෂවේදී ඔස්මන් පෙරේරා











