ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ වේගවත්ම සංවර්ධනය වන රට බවට ලෝක බැංකුව ඇතුළු ජාත්‍යන්තර ආයතන විසින් සහතික කර ඇති බවට නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් විසින් සිදු කරන ලද ප්‍රකාශය සම්පූර්ණයෙන්ම සාවද්‍ය සහ නොමග යවන සුළු බව ස්වාධීන, අපක්ෂපාතී කරුණු පරීක්ෂා කිරීමේ වෙබ් අඩවියක් වන ෆැක්ට් ක්‍රෙසෙන්ඩෝ විසින් අනාවරණය කර තිබෙනවා.Sri Lanka Latest News
අමාත්‍යවරයා සිය ප්‍රකාශය මගින් ඉන්දියාව සහ පාකිස්ථානය වැනි රටවල් අභිබවා ශ්‍රී ලංකාව පෙරමුණට පැමිණ ඇති බව පවසා තිබුණද, ලෝක බැංකුවේ සැබෑ දත්ත සහ ආර්ථික දර්ශක මඟින් ඊට හාත්පසින්ම වෙනස් තත්ත්වයක් පෙන්නුම් කරනවා.
කරුණු පරීක්ෂා කිරීමේ වෙබ් අඩවියේ කරුණු විමර්ශනයට අනුව, ලෝක බැංකුව විසින් නිකුත් කරන ලද නවතම වර්ගීකරණයට අනුව ශ්‍රී ලංකාව සිදු කර ඇත්තේ ආර්ථික අර්බුදයෙන් පසු 2024 සහ 2025 වසරවල ලැබූ ප්‍රගතිය හේතුවෙන්, නැවත වරක් “ඉහළ-මධ්‍යම ආදායම් ලබන” (Upper-Middle-Income) රටක් ලෙස නම් කිරීම පමණයි.
ඒ සඳහා මෙරට ඒක පුද්ගල දළ ජාතික ආදායම (GNI per capita) 2024 වසරේ පැවති අමෙරිකානු ඩොලර් 3,870 සිට 2025 වසර වන විට ඩොලර් 4,670 දක්වා සියයට 20.67ක ප්‍රතිශතාත්මක වර්ධනයක් සනිටුහන් කරමින් ඉහළ යාම හේතු වී තිබෙනවා.
මෙම ඒක පුද්ගල ආදායම් වර්ධන වේගය දකුණු ආසියාවේ අනෙකුත් රටවලට වඩා ඉහළ අගයක් ගත්තද, එයින් රටක සමස්ත ආර්ථික සංවර්ධනය හෝ පොදු ජීවන තත්ත්වය පිළිබඳ විස්තීර්ණ තක්සේරුවක් නිරූපණය නොවන බව ලෝක බැංකුව පැහැදිලිවම ප්‍රකාශ කර තිබෙනවා.
ආර්ථික විද්‍යාඥයන් පෙන්වා දෙන පරිදි, රටක ආර්ථිකය වර්ධනය වන වේගය මැන බලනු ලබන්නේ දළ දේශීය නිෂ්පාදිතයේ මූර්ත වර්ධන වේගය (Real GDP Growth Rate) පදනම් කරගෙන මිස ඒක පුද්ගල ආදායම් මට්ටම මත නොවේ.
ඒ අනුව, වත්මන් දත්තවලට අනුව දකුණු ආසියාවේ මෙන්ම සමස්ත ලෝකයේම ප්‍රධාන ආර්ථිකයන් අතර වේගයෙන්ම වර්ධනය වන රට වන්නේ ඉන්දියාව වන අතර, එහි වර්ධන වේගය සියයට 7.2කට වඩා ඉහළ අගයක පවතිනවා.
එසේම කුඩා ආර්ථිකයක් සහිත භූතානය ද සියයට 8ක ඉහළ වර්ධන වේගයක් සනිටුහන් කර ඇති අතර, ශ්‍රී ලංකාව වාර්තා කර ඇති සියයට 5ක වර්ධනය ලෝක බැංකුව හඳුන්වන්නේ “වේගවත්ම සංවර්ධනයක්” ලෙස නොව, බිඳවැටුණු ආර්ථිකය නැවත ප්‍රකෘතිමත් වීමක් (Economic Recovery) ලෙස පමණයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය වසන්ත අතුකෝරාල ප්‍රකාශ කර ඇත්තේ, ඇට්ලස් ක්‍රමවේදයට අනුව ගණනය කරන ලද ඒක පුද්ගල දළ ජාතික ආදායමේ වර්ධනය අතින් ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ ඉහළින්ම සිටින බව පැවසීම නිවැරදි වුවද, ලංකාව කලාපයේ වේගයෙන්ම වර්ධනය වන ආර්ථිකය හෝ වේගයෙන්ම සංවර්ධනය වන රට ලෙස හැඳින්වීම සම්පූර්ණයෙන්ම වැරදි බවයි.
ඉන්දියාව වැනි රටවල පවතින අතිවිශාල ජනගහනය හේතුවෙන් ඔවුන්ගේ ඒක පුද්ගල ආදායම් මට්ටම පහළ අගයක් ගත්තද, ඔවුන් සතු ආර්ථික බලය සහ වර්ධන වේගය ශ්‍රී ලංකාවට වඩා බෙහෙවින් ඉදිරියෙන් පවතින බව ද ඔහු වැඩිදුරටත් අවධාරණය කර තිබෙනවා.
සරත් කියපු කතාව!
දකුණු ආසියාවේ වේගයෙන්ම දියුණුවන රට ශ්‍රී ලංකාව බවට ලෝක බංකුවෙන් සහතිකයක් ලැබුණු බව නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් පවසනවා.
රටේ භාණ්ඩාගාරය හිස් වී රට බංකොළොත්ව, තැන තැන පෝලිම් තිබුණු යුගයක වත්මන් රජය රට භාරගත් බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.
එසේ භාරගත් රට මේවන විට ආසියාවේ වේගයෙන්ම දියුණුවෙන රට බවට පත්ව ඇති බවට ලෝක බැංකුව ඇතුළු ජාත්‍යන්තරයෙන් පසුගිය සතියේ සහතිකයක් දුන් බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියා.
ඉන්දියාව, පාකිස්ථානය අභිබවා යමින් දකුණු ආසියාවේ වේගයෙන්ම සංවර්ධනයවන රට ශ්‍රී ලංකාව බව ලෝක බැංකුව පැවසූ බවයි නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් වැඩිදුරටත් සඳහන් කළේ.










