වර්තමානයේ අප සමාජය තුළ ඇතැම් පැරණි සිරිත් විරිත් වෙනුවට විපරීත වූ සිරිත් විරිත් බහුල වශයෙන් ක්‍රියාත්මක වන යුගයකි. විශේෂයෙන්ම විවාහ මංගල කටයුතුවලදී පැවති පැරණි සිරිත්විරිත් අද සමාජය තුළ භාවිත වන්නේ ඉතාමත් විරල වශයෙනි. විවාහ මංගල උත්සවයකදී පෝරුවට හිමි වන්නේ ඉතාමත් සුවිශේෂ වූ ස්ථානයක් වන නමුත් එම කටයුතු නිසි ආකාරව සිදු වන්නේ දැයි ගැටලු සහගතය. මනාල යුවලක් පෝරුවේ චාරිත්‍ර නොකොට විවාහ උත්සවයක් පැවැත්වුවහොත් එතැන ඇති අඩුව කාටත් පෙනෙන කරුණකි. නමුත් පෝරුවේ චාරිත්‍ර සිදු කරන මංගල උත්සවවල ඇති අඩුපාඩු නොදකින්නේ අප සමාජය තුළ සිටින ජනතාව නවීකරණය වී පැරණි සිංහල සිරිත් විරිත් නොදන්නා නිසාවෙනි.
නව යුගදිවියකට අලුතින් පා තබන මනාල දෙපළක් කලින් විවාහ වූ මනාල යුවලක් පරිහරණය කළ පෝරුවක් භාවිත කරන්නේ නම් එහි ඇති පිරිසුදුභාවයක් කොහේද? නමුත් අද සමාජය තුළ අලුතින් පෝරුවක් පිළියෙල කිරීමට විශාල මුදලක් වැයවේ. ඊට හේතුව ගොක්කොළ පෝරු නිර්මාණය කිරීම ව්‍යාපාරයක් බවට පත්වී ඇති නිසාවෙනි. පැරණි කාලයේ නම් ගමේ කිහිප දෙනෙක් එක්වී පෝරුවක් පිළියෙල කරන අතර, ආහාරපානවලින් සංග්‍රහ කිරීම පමණක් එම අයට හොඳටම සෑහෙනු ඇත. නමුත් අද සමාජය තුළ එය ප්‍රායෝගික කරුණක් නොවේ. මුදල් මත සියල්ල තීරණය වෙන කාලයක් බැවින් රුපියල් තිස් හතළිස් දාහක් නොමැතිව අලුත් පෝරුවක් පිළියෙල කිරීමට අපහසුය. එබැවින් බොහෝ දෙනා අඩු ගානට කුලියට පෝරුවක් මිලදීගනු ඇත. නමුත් වෙනත් කටයුතුවලට එනම් මනාලිය හැඩගැන්වීමට ඇඳුම්වලට, මත්පැන්වලට, සාජ්ජවලට, ඇල්බම් පින්තූර, වීඩියෝවලට වියදම් කරන මුදල් ප්‍රමාණය අතිවිශාලය.
කෙනකු පාවිච්චි කළ මඟුල් පෝරුවක් තවත් අයෙකු පාවිච්චි කිරීම වස් දොස් ඇතිවන කරුණකි. රාමාචාර්ය, ශ්‍රී කේශව, නාරද වැනි පැරණි ජ්‍යොතිෂ පඬිවරයන් මඟුල් පෝරුව සම්බන්ධයෙන් නොයෙකුත් කරුණු විස්තර ඉදිරිපත් කර ඇති බව පැරණි මූල ග්‍රන්ථ ආශ්‍රයෙන් දක්නට පුළුවන. ජ්‍යොතිෂයට අනුව මඟුල් පෝරුව වස් දොස් පහවීම සඳහා පිළියෙල කරන්නක් වන අතර, මඟුල් පෝරුව ගෙයි වම් පස පිළියෙල කළයුතු බවත්, එය උසින් එක් රියනක්ද, වටප්‍රමාණය සිවු රියනක් විය යුතුය. මඟුල් පෝරුවේ පඩි ගණන ඔත්තේ සංඛ්‍යාවක් විය යුතු බව අප සමාජය තුළ මතයක් ඇති නමුත් ඒ පිළිබඳ විස්තර මූලාශ්‍ර ග්‍රන්ථවල දක්නට නැත. මඟුල් පෝරුව පුන්කලස් හා හංස, ගිරා වැනි පක්‍ෂීන්ගේ රූපවලින්ද අලංකාර විය යුතු බව රාමාචාර්යයන් ප්‍රකාශ කොට ඇත. විවාහයට කලින් යෙදෙන තුන් වැනි, හයවැනි, නවවැනි දිනවලදී මඟුල් පෝරුව නොසෑදිය යුතු බවත්, මඟුල් දිනයට පසු යෙදෙන පස්වැනි දිනයේ හෝ හත්වැනි දිනයේ මඟුල් පෝරුව කඩාදැමිය යුතුවෙයි. මෙම කටුයුතු කිරීමට සුබ මුහුර්ත තිබිය යුතු අතර, නැකැත් පත්‍රය පිළියෙල කරන ජ්‍යොතිෂවේදී මහතා එම නැකැත් මංගල නැකැත් පත්‍රයේ සටහන් කළ යුතුවෙයි. එසේ සටහන් කර නොමැති නම් ඔබ ඔබගේ පවුලේ ජ්‍යොතිෂවේදී මහතාට එය මතක් කළ යුතුවෙයි. මන්ද බොහෝ දෙනා මෙම චාරිත්‍ර නොකරන භාවිත නොකරන බැවින් ඔහු මෙම නැකැත් භාවිත නොකරන්නේ යැයි සිතා පිළියෙල නොකර සිටීමට පුළුවන.
වස් – දොස් පහවීම සඳහා පොල් බඳීම, පුන්කලස් බිඳීම තරමටම පෝරුව කඩාබිඳ දැමීමද ඉතා වැදගත් වූ කරුණකි. වෙන කෙනෙක් පාවිච්චි කළ පෝරුවක් භාවිත කිරීමෙන් පමණක් නොව පෝරුව ඉදිකරන පැත්ත, දිශාව, උස-පළල-දිග, හැඩය නිසාද වස්දොස් ඇති වෙයි. පයට නෙලුම් මල්, නෙලුම් පෙති යෙදීමද අසුබය.
පෝරුවට නැඟීමට පෙර මඟුල් ජෝඩු ආරක්‍ෂාවක් පැලඳ සිටීම පැරණි කාලයේ සිදු කරන නමුත් අද සමාජය තුළ අනුන්ට විනකැටීම තරමක් දුරට අඩු වී ඇති බැවින් නගරබද සමාජය තුළ මෙම මඟුල් ජෝඩු ආරක්‍ෂා නොකරන නමුත් තවම ගැමි සමාජය තුළ මෙම සිරිත් – විරිත් සුලභ අයුරින් සිදුවෙයි. නගරබද සමාජයට වඩා ගැමි සමාජය තුළ විවාහ, දික්කසාදවීම අඩුවී ඇත්තේද ඔවුන් තුළ තවමත් අපේකමට සලකන නිසා-වෙනි. පවුලක් විදියට එකතු වී චාරිත්‍ර සිදු කිරීමෙන් අප සිංහල සිරිත් – විරිත් ආරක්‍ෂා වෙනවා පමණක් නොව සහජීවනයෙන් කටයුතු කිරීමේ හැකියාව ඇතිවනු ඇත. සියල්ල මිථ්‍යා, හණමිටි අදහස් ලෙස ඉවත නොදමා අපේකමට ගරු කරමින් අපේකම ආරක්‍ෂා කිරීම මතු පරපුරට සිදුකරන ඉමහත් සේවාවකි. සියල්ල විද්‍යාත්මක පදනමක් මත විග්‍රහ කිරීමට නොහැකි නමුත් මෙම චාරිත්‍රවල ඇතුළාන්තයේ පවුල් ජීවිතය සාර්ථක කරගැනීමට අවශ්‍ය ඉතාමත් වැදගත් විද්‍යාත්මක පදනමක් අන්තර්ගත වී ඇත.
ජ්‍යොතිර් විද්‍යාපති ජී.ඩී. අසංක විද්‍යාපති











