වාණිජ බැංකුවලින් රන් භාණ්ඩ උකස් කර ලබාගන්නා ණය ප්‍රමාණය රුපියල් කෝටි 35,145කින් පමණ වැඩිවී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු වාර්‌තා පෙන්වා දෙන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්‌ය වසන්ත අතුකෝරළ මහතා ප්‍රකාශ කළේය. Sri Lanka Latest News
එය ප්‍රතිශතයක් ලෙස සියයට 54ක පමණ වැඩිවීමක් බව ඒ මහතා පෙන්වා දුන්නේය. මහාචාර්‌යවරයා සඳහන් කළේ වාණිජ බැංකුවලට ස්වර්‌ණාභරණ උකසට තබා 2024 වර්‌ෂයේදී ලබාගෙන තිබූ රුපියල් කෝටි 66,000ක ණය ප්‍රමාණය, මේ වර්‌ෂයේ මාර්‌තු වන විට රුපියල් කෝටි 101,100ක් දක්වා වැඩි වී තිබූ බව මහ බැංකු වාර්‌තා පෙන්වා දෙන බවයි.
රටේ පවතින ආර්ථික උද්ධමනය සහ එදිනෙදා මුදල් සොයා ගැනීමේ අවශ්‍යතාවන් ස්වර්‌ණාභරණ උකසට තැබීම් වැඩිවීමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බව මහාචාර්‌ය වසන්ත අතුකෝරළ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. මේ අතර, ස්වර්‌ණාභරණ උකසට තැබීම හෝ විකිණීම හේතුවෙන් රටේ නිවාසවලින් සියයට 60කට වඩා වැඩි ප්‍රමාණයක් ස්වර්‌ණාභරණවලින් තොර නිවාස බවට පත්ව ඇතැයි මූල්‍ය ආයතන වාර්‌තා පෙන්වා දෙයි. ආර්ථික උද්ධමනය සහ අධික ජීවන වියදම හේතුවෙන් ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් තම රන් ආභරණ අලෙවි කිරීමට සහ උකස් කිරීමට යොමුව ඇති අතර, ආර්ථික අර්‌බුදකාරී සමයේදී රන් උකස් කිරීම් රුපියල් කෝටි 35,600ක් දක්වා ඉහළ ගිය බව ද එම වාර්‌තාවල සඳහන් වේ.
මෙරට නිශ්චිත වශයෙන් අලෙවි කළ රන්තරන් ප්‍රමාණය පිළිබඳව මහ බැංකුව හෝ රජයේ නිල සංඛ්‍යාලේඛන ලේඛන ප්‍රකාශයට පත් වී නොමැති වුවද, ගෝලීය වෙළෙඳපොළ සහ රුපියලේ අගය වෙනස් වීම් හමුවේ මෙරට රන් මිල වාර්‌තාගත ඉහළ මට්ටමකට පැමිණීම ද ජනතාව තම රන්තරන් අලෙවි කිරීමට පෙළඹුණු තවත් හේතුවක් බව එම වාර්‌තා පෙන්වා දෙයි. මේ අතර, ආර්ථික උද්ධමනය හමුවේ විවිධ වර්ගයේ වාහන ලක්ෂ දහයකට ආසන්න ප්‍රමාණයක් විවිධ පාර්‌ශ්වයන් වෙත විකුණා ඇති බව ද සමීක්ෂණයකින් තොරතුරු හෙළි වී තිබේ. පවත්නා ආර්ථික තත්ත්වයන් හමුවේ ගෘහස්ථ මට්ටමින් සිදුවන මෙම මූල්‍ය චර්‌යාවන් රටේ සාර්‌ව ආර්ථික ප්‍රතිපත්ති කෙරෙහි සෘජුවම බලපාන බව ආර්ථික විශ්ලේෂකයෝ වැඩිදුරටත් නිරීක්ෂණය කරති.










