නරපතිතුමා දවසක් දෝලාවෙ නැඟල නගරය පුරා වීදි සංචාරයක ගියා. රාජ සේවකයො දොළොස් දෙනෙක් දෝලාව කර තියාගෙන යද්දි පරිවාර සේනාව, ආරක්ෂක භටයො, ගිලන් රථය, ආපදා රථය, රාජකීය වෛද්‍යවරු පෝලිමට ඉස්සරහින් ගියා.
දෝලාවෙ තිරය අතරින් මුහුණ පෙන්නලා නරපතිතුමා ජනතාවට අත වනන්න ගත්තා. ඒත් මිනිස්සු නොදැක්ක වගේ පාර දෙපැත්තෙ තම තමන්ගෙ වැඩ කරමින් ඉන්න හැටි නරපතිතුමාට පෙනුණා.
“මොකද ඒ වැසියො මාව ගණන් නොගන්නෙ යකෝ?” නරපතිතුමා කේන්තියෙන් කිව්වා.
“ගැත්තාට අනුකම්පා කරන්න නරපතිතුමෝ, මුන්ට ඔබතුමාව දැන් මතක නැහැ. උන් ඔක්කොම අර හිටපු නරපතිතුමා පස්සෙ යන්ට පටන් අරන් නොවැ” දෝලාවෙ යමින් හිටපු පුරෝහිත බමුණා උත්තර දුන්නා.
“ඇයි බොලව්, මාව නිතර උන්ට මතක් කරන්නනෙ අර රජයේ රූප පෙට්ටිය තියෙන්නෙ. මංවත් ඔය උලව්ව බලන්නෙ නැහැ දැන්. ඒ වුණාට මං යන එන තැන්, කතා කරන දේ ඔය මගුලෙන් පෙන්නන්න එපායැ. ඒකටනෙ බොලව් භාණ්ඩාගාරෙන් ඕකට මුදල් වෙන් කරල තියෙන්නෙ” නරපතිතුමාට මල පැන්නා.
“පස්වාන් දහසකට බුදුවෙන්ට නරපතිතුමෝ, භාණ්ඩාගාරෙන් ඕක නඩත්තු කළත් ඕකෙ සභාපතියා පෙන්නන්නෙම යුවරජතුමාවයි, නිවාසපතිතුමාවයිනෙ. ඒ අතරෙ ඔබතුමාව විනාඩියකට දෙකකට පෙන්නනවා”
“මොනවා, මං දවසකට රැස්වීමකට ගියාම පැය ගණන් කොච්චර වටිනා දේවල් කතා කරනවද? මුං ඒකවත් පෙන්නන්නෙ නැද්ද?”
“තරහ අවසර නරපතිතුමෝ, ඒවත් උන් එඞ්ට් කරල බයිට් වෙන විදියට විනාඩි දෙකක් පෙන්නනවනෙ නිකන් එපා වාහෙට හොදි බෙදනව වගේ” පුරෝහිත බමුණාගෙ ඒ කතාවට නරපතිතුමාට හොඳටම කේන්ති ගියා.
“වහාම සභාපතියව මාරු කරල ඕක මගෙ අණසක යටතට පත්කොරව්” නරපතිතුමා නියෝග කළා.
“අද ඉඳන් මාව මිසක් වෙන එකෙක් පෙන්නන්නෙ නෑ ඕකෙ. දැන් යමල්ලා රාජ සභාවට. එන්න කියපල්ලා රූප පෙට්ටියෙ කැමරාකාරයන්ට” දෝලාකාරයෝ නරපතිතුමාව උස්සාගෙන ආයෙත් රාජ සභාවට එක්කගෙන ගියා.
නරපතිතුමා සිංහාසනයේ වාඩිවුණා.
“අර රූප පෙට්ටියෙ හිටපු සභාපතියව වහාම කැඳවව්” නපතිතුමා අණ කළා.
ගැහැනු කෙනකුයි, පිරිමි කෙනකුයි දෙන්නෙක්ම රාජ සභාවට ආවා.
“මේ මොකද දෙන්නෙක්?”
“අයින් කරලත් නොගිය කෙනෙක් හිටියනෙ නරපතිතුමෝ” රාජ පුරුෂයෙක් උත්තර දුන්නා.
“එහෙනම් කියපියව් මොකද තොපි පසුගිය කාලෙ මාව නිවුස්වල නොදැම්මෙ?”
“ඒකෙ දැම්මට වැඩක් නෑ නරපතිතුමෝ. අපේ නිවුස් දැන් කවුරුත් බලන්නෙත් නැහැනෙ” හිටපු සභාපතිතුමා කිව්වා.
“තරහ අවසර නරපතිතුමෝ, මිනිස්සු වැඩියෙන් ඉල්ලන ප්‍රෝග්‍රෑම් එකක අපි ඔබතුමාගෙ කතාව සම්පූර්ණයෙන් දානවා. මිනිස්සු උඩ පැන පැන හිනාවෙවී ඒක බලනවා. රේටින්වලින් ඒ වෙලාවෙ ඒක නම්බර් වන්”
“මොනවා, මොකක්ද යකෝ ඒ ප්‍රෝග්‍රම් එක?” නරපතිතුමා පුදුමෙන් ඇහුවා.
“ඒ කාලෙ තිබුණෙ නන්දන වින්දන කියල. අපි දැන් ඒක වෙනස් කරල තියෙන්නෙ ‘විනෝද සමය’ කියල”
ඒක අහලා නරපතිතුමාට මල පැන්නා.
“වහාම මුන් දෙන්නා දඟගෙයි දමනු”
ඒක අහපු අන්දරේ උඩ පැන පැන හිනා වුණා.
“හොඳ වැඬේ මුන්ට. ඉස්සර මං කර කර හිටපු ප්‍රෝග්‍රෑම් එක නවත්තලයි උන් ඕක පටන් ගත්තේ” අන්දරේ උඩ පැන පැන කියන්න ගත්තා.
“කට පියාගනු” නරපතිතුමා අන්දරේට අණ කළා.
“පස්වාන් දහසකට බුදුවෙන්න නරපතිතුමෝ. ඔබතුමන් බැහැදකින්න අල්ලපු ජම්බුදීපයෙන් අභ්‍යවකාශ කටයුතු ඇමැතිතුමා ඇවිත් ඉන්නවා.” රාජ පුරුෂයෙක් ඇවිත් නරපතිතුමාට සැලකළා.
“එන්න කියව”
ජම්බුදීපෙ ඇමැතිතුමා ඇවිත් නරපතිතුමාට ආචාර කරල රාජ සභාවෙ පුටුවක වාඩිවුණා.
“මේ අර බස්නාහිර පළාතෙ මහ ඇමැතිතුමා අපේ රටෙන් ඕඩර් කරපු පුටුද?” ජම්බුදීපෙ ඇමැතිතුමා පුටුවෙ ඉඳගන්න ගමන් ඇහුවා.
“ආ, ඒ ඕඩරේ මං කෑන්සල් කළානෙ. ඉතින් ඉතින් කියමුකො බලන්න ආපු කාරණාව?” නරපතිතුමා ඇහුවා.
“බලන්න නරපතිතුමා අපේ ජම්බුදීපෙ නරපතිතුමාගෙ හීනයක් වෙලා තිබුණනෙ රොකට් එකක් යවන්න හඳට. බලන්නකො ගොඩබස්සන්න ඔන්න මෙන්න තියෙද්දි ඒක කඩන් වැටුණනෙ”
“ඔව් ඔව් මටත් ආරංචි වුණා. ඉතින් අර යැංකි දේශෙන් උපදෙස් ගන්න තිබුණනෙ” නරපතිතුමා කිව්වා.
“උන්ගෙන් උපදෙස් ගන්න ගිහින් තමා ඔය වැඬේ වුණේ නරපතිතුමෝ. අපි ආවෙ ඊළඟට යවන එකට ඔබතුමාගෙන් උදව් ගන්න”
“ආ… සිම්පල් වැඩක්නෙ. අපේ අර හිටපු නරපතිතුමාගෙ පුත්තරයා එවන්නම්. එයාගෙන් උපදෙස් ගන්න. මිනිහා වැඩකාරයා. මීට අවුරුදු ගාණකට කලින් එයා යවපු රොකට් එක තාම අභ්‍යවකාශයේ”
“අනේ කොච්චර දෙයක්ද? ලොකුම උදව්වක්”
ජම්බුදීපෙ ඇමැතිතුමා ආෂික්ලන්තෙ නරපතිතුමාට පින් දෙන්න ගත්තා.
එතකොටම රාජ මාලිගේ පිටතින් මහා ලොකු සද්දයක් ඇහුණා.
“නරපතිතුමෝ පිට ලෝකෙකින් අපිව ආක්‍රමණය කරනවද කොහෙදෝ?”
නරපතිතුමාගෙ උපදේශකයො ටික පුටු යට හැංගුනා.
“වහාම ගිහින් එළියෙ සද්දෙ මොකක්ද කියලා බලල මට වාර්තා කරපල්ලා” නරපතිතුමා රාජ පුරුෂයන්ට අණ කළා.
එළියට ගිහින් සද්දෙ ගැන හොයල බලපු රාජපුරුෂයෝ ටිකකින් ආපහු ආවා.
“බයක් වෙන්න දෙයක් නෑ නරපතිතුමෝ. අහසින් යකඩ කෑල්ලක් කඩන් වැටිලා”
“යකඩ කෑල්ලක්”
“එහෙමයි නරපතිතුමෝ. මීට කළින් අපේ දේශයෙන් යවපු රොකට් එකේ කෑල්ලක්”
“මොනවා? හොඳ වෙලාවට ජම්බුදීපෙ ඇමැතියා පිටත් කළේ” නරපතිතුමාට කියවුණා.
අන්දරේ උඩ පැන පැන හිනාවෙන්න පටන් ගත්තා.