ලෝක යුද්ධයක් යනු ලෝකයේ ප්‍රධාන බලවතුන් බොහොමයක් හෝ සියලු දෙනා හෝ සම්බන්ධ වන ජාත්‍යන්තර යුද ගැටුමකි. සාම්ප්‍රදායිකව මෙම පදය 20 වැනි සියවසේ මුල් භාගයේදී සිදුවූ ප්‍රධාන ජාත්‍යන්තර ගැටුම් දෙකක් සඳහා අනුගත කර ඇත. එනම් පළමු ලෝක යුද්ධය සහ දෙවැනි ලෝක යුද්ධය වශයෙන් එම ගැටුම් ඉතිහාසඥන් විසින් අර්ථකථනය කර ඇත ඒ අනුව පළමු ලෝක සංග්‍රාමය 1914 සිට 1918 දක්වාද, දෙවැනි ලෝක සංග්‍රාමය 1939 සිට 1945 දක්වාද පැවැති බව ලෝක ඉතිහාසය කරුණු කියාපායි. මෙම ලෝක යුද්ධයන් දෙකම අතිශය බියකරු ආකාරයෙන් වසර ගණනාවක් පුරා පැවැති අතර, මේවායින් මුළුමහත් ලෝකයටම සිදුවූ හානිය අතිවිශාලය. එහිදී ජීවිත හානි මෙන්ම දේපළ හානිද මහත් සේ සිදුවිය. මෙලෙස මහා බලවතුන් යුද්ධ කරන විටදී ලෝකයේ කුඩා රටවල් පවා දැඩි පීඩාවකට පත්විය. අපගේ ලංකාවද එයට අයත්ය.
එම ලෝක යුද්ධයන් දෙකෙහි දීර්ඝ තොරතුරු කතා කරන්නට මෙම ලිපියෙන් උත්සාහ නොකරන්නේ එම පුරාවෘත්තයන් බොහෝ පිරිස් දන්නා නිසාය. එහෙත් මෙම ලෝක සංග්‍රාමයන් කෙතරම් බලගතු වීද යත් පළමු ලෝක සංග්‍රාමයේදී ලොව පළමු වතාවට රසායනික අවි භාවිත කළ අතර, දෙවැනි ලෝක යුද්ධයේදී න්‍යෂ්ටික සහ පරමාණුක අවිද භාවිතයට ගැනිණි. මෙම තත්ත්වය නිසා පසු කාලයකදී ලෝකයේ න්‍යෂ්ටික සහ පරමාණුක අවි සන්නද්ධ බලවතුන් බිහිවන්නටද විය. එම තත්ත්වය දිගින් දිගටම තව තවත් බලගතු වන්නටද විය. එනම් අද වන විට අප පසුකරන්නේ එවැනි න්‍යෂ්ටික බලවතුන් රාශියක් සිටින පසුබිමක්ය. බලය සහ අසීමිත ධනය තිබෙන ලා්ක බලවතුන් බොහෝ දෙනකු අද මේ තත්ත්වයට පත්ව ඇත. එහිදී හෙළිවන සුවිශේෂ කරුණ වන්නේ බටහිර ධනවාදී රටවල් පමණක් නොව මැදපෙරදිග සහ ආසියාතික රටවල බලවතුන් පවා මෙම ශක්තිය පෙන්වීමට කටයුතු කිරීමය. මේ අනුව ඔවුන් එකිනෙකා පරයමින් යුද ශක්තිය පෙන්වීමට කටයුතු කරමින් සිටී. වර්තමානයේදී තවත් තෙවැනි මහා ලෝක යුද්ධයක කතාව දිගහැරෙන්නේ මෙවැනි සමාජීය වටපිටවකදීය.එනම් බොහෝ පිරිස් තෙවැනි ලෝක මහා යුද්ධයක් උද්ගතවීමට ඇති පරිසරය ගැන කතිකාවක යෙදී සිටිති. එසේම තෙවැනි මහා ලෝක යුද්ධයක් ඇතිවීම පිළිබඳ පුළුල්ව පැතිරුණු සහ දිගුකාලීන බියක්ද ඇත. යම් හෙයකින් එවැනි ලෝක සංග්‍රාමයක් ඇතිවුවහොත් එය මුල් ලෝක යුද්ධයන් දෙකට වඩා අතිශය විනාශකාරී සහ ප්‍රචණ්ඩකාරී වනු ඇති බවත්, එම පාර්ශ්ව ප්‍රකාශ කරති. අද මෙවැනි භයානක තත්ත්වයකට ලෝකය පියමං කරමින් සිටින බව පැහැදිලිවම පෙනෙයි. එය අසත්‍යයක් නොවේ.
පසුගිය දශක ගණනක්පුරා ලොව තුළ විශාල යුද ගැටුම් දක්නට නොවීය. යම් ත්‍රස්තවාදී ප්‍රහාර ගැටුම් රැසක් හැරෙන්නට ලෝක බලවතුන් මැදිහත් වන යුද ගැටුම් දක්නට නොවීය. එහෙත් එසේ නම් අද සිදුව ඇත්තේ කුමක්ද? දැනට වසර 2-3ක කාලයක සිට ලොව පුරා දක්නට ලැබෙන ලෝක බලවතුන් මැදිවී සිටින යුද්ධයන් සිදුවන ආකාරය දක්නට හැකිය. එම යුද ගැටුම් මෙසේ ගෙනහැර දැක්විය හැකිය.
★ රුසියානු – යුක්රේන යුද්ධය. මෙම යුද ගැටුම දැනට තෙවැනි වර්ෂයටද පාතබා ඇත.
★ ඊශ්‍රායල-පලස්තීන යුද්ධය. මෙම යුද ගැටුම දැනට මාස 06ක කාලය ඉක්මවා ඇත.
★ ඉරාන-ඊශ්‍රායල යුද ගැටුම. අද ලොව ආරම්භ වී ඇති අලුත්ම යුද සංග්‍රාමය මෙය වෙයි. මෙම ගැටුම තවමත් එතරම් පුළුල් පරාසයකට විහිදී නැතත් එය බියකරු මුහුණුවරකින් දියත් වී ඇත.
පළමු සහ දෙවැනි ලෝක යුද්ධයන්ගෙන් ආරම්භ කර ඔබට ලියා තබන මෙම කතාවේ හැරවුම් ලක්ෂ්‍යය පැමිණ ඇත්තේ මෙතැනදීය. එනම් මෙයට දින කිහිපයකට පෙරදී ඇරැඹි ඉරාන-ඊශ්‍රායල යුද ගැටුම ගැන කියැවෙන සන්ධිස්ථානයේදීය. ලෝකයේ අතිශය ප්‍රබල යුද බලයක් ඇති මෙම රටවල් දෙක ආරම්භ කර ඇති මෙම සංග්‍රාමය කුමක්ද? ඉරානය සහ ඊශ්‍රායලය යන රටවල් දෙකම දකුණු ආසියාවට අයත් එමෙන්ම මැදපෙරදිග කලාපයටද අයත් වන රටවල් දෙකකි. ඉරානයේ බහුතර ජනතාව පර්සියානු ජාතිකයන් වන අතර, ඊශ්‍රායලයේ බහුතර ජනතාව යුදෙව් ජාතිකයන් වෙයි. මෙම ගැටුව් ඉතිහාසය කුමක්ද?
එම ඉතිහාසය කෙටියෙන් සොයා බලමු. මෙම අර්බුදය හටගන්නේ මෙයට වසර 40කට පමණ පෙරදීය. එනම් 1984 වැනි කාලවකවානුවකදීය. මෙය සැබැවින්ම යුද්ධයක ස්වරූපයක් නොපෙන්වූ එහෙත් රටවල් දෙක අතර ඇතිවූ යුදමය මත ගැටුමකි. එනම් මෙහිදී මෙම රටවල් දෙකම දශක 4කට ආසන්න කාලයක්ම සිදුකර ඇත්තේ තවත් යුද්ධයන් පවතින වෙනත් රටවලට යුදමය උදව් උපකාර ලබාදීමය. එසේ වෙන වෙනම උදව් උපකාර සිදුකිරීමේදී දෙරට (ඉරානය සහ ඊශ්‍රායලය) රාජ්‍යතාන්ත්‍රික ලෙස යුදමය අර්බුදයක පැටලෙයි. මෙය සැබැවින්ම ඉතා සංකීර්ණ තත්ත්වයකි. නිදර්ශනයක් ලෙස ඉරානය විසින් සිරියාව සහ හිස්බුල්ලා සංවිධානය යුදමය වශයෙන් ශක්තිමත් කරයි. එම වටපිටාවේදී ඊශ්‍රායලය විසින් සිරියාවට යුදමය පහරදීම් සිදුකරයි. මේ අනුව ඊශ්‍රායලය ඉරානය සමග වෛරයක් ඇතිකර ගනියි. මෙහිදී ඉදිරිපත් කළ හැකි නවතම නිදර්ශනය වන්නේ දැනට උද්ගතව තිබෙන ඊශ්‍රායල-පලස්තීන යුද්ධයයි. මෙහිදී ඊශ්‍රායලය විසින් පලස්තීන ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට පහර දෙයි. එහිදී හමාස් සංවිධානයට යුදමය වශයෙන් සහාය දක්වන්නේ ඉරානයයි. එනම් ඉරානය විසින් යුද ආධාර ඉතා විශාල වශයෙන් ලබාදෙයි. මේ ආකාරයට දෙරට අතර ප්‍රබල වෛරයක් උද්ගත වන තත්ත්වයක් එයි. මෙලෙස පසුගිය දශක කිහිපයක් පුරා මෙම දෙරට අතර පවතින ‘ප්‍රතියුක්ත යුද්ධය’ නොහොත් ‘ශීතල යුද්ධය’ පසුගියදා වෙනස්ම මගකට හැරෙන්නට විය. එනම් මුහුණට මුහුණ සටන් කරන තත්ත්වයක් බවට පත්විය. එසේ වූයේ 2024 අප්‍රේල් මුල් සතියේදී උද්ගත වූ සිද්ධියකි. එනම් එවිට ඊශ්‍රායලය විසින් සිරියාවේ පිහිටුවා ඇති ඉරාන තානාපති කාර්යාලයට පහරදීමක් සිදුකළේය.
දිනය හරියටම 2024 අප්‍රේල් 01 වැනිදාය. ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් සිරියාවේ අගනුවර වන ඩමස්කස්හි පිහිටි ඉරාන තානාපති කාර්යාලයට යාබදව පිහිටි ඉරාන කොන්සුයුලේට් ගොඩනැගිල්ල විනාශ කරන ලදී. මෙහිදී ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකායේ ජෙනරාල්වරයකු ඇතුළු එම ඉරාන හමුදාවේ ජ්‍යෙෂ්ඨතම නිලධාරීන් 16 දෙනකු ජීවිතක්ෂයට පත්විය. ප්‍රහාරය සිදුවන විටදී මෙම ජ්‍යෙෂ්ඨතම ඉරාන හමුදා නිලධාරීන් සිරියාව තුළ සිදුකෙරෙන තම යුද මෙහෙයුම් පිළිබඳ ඉහළ පෙළේ සාකච්ඡාවක නිරතවී සිටියේය. ඊශ්‍රායලය මෙම ප්‍රහාරය සිදුකරනු ලැබුවේ ඉතා සැලසුම්සහගතවය. මෙම ප්‍රහාරයත් සමග එතෙක් සීතල යුද්ධයක්ව පැවැති ඉරාන-ඊශ්‍රායල යුද අර්බුදය ක්‍රියාකාරී එකක් බවට පත්වන්නට විය. එම ප්‍රහාරයත් සමගම ඊශ්‍රායලය විසින් නිදාගෙන සිටි යෝධයකු නැගිට්ටවා ගත්තා හා සමාන ක්‍රියාවකට මුහුණ දෙන්නට විය. මෙම ප්‍රහාරය නිසා ඉරානය අතිශය දැඩි ලෙස කෝපයට පත්වන්නට විය. දශක හතරක් පුරා පැවැති සීතල යුද්ධය සැබෑ ප්‍රාණවත් යුද්ධයක් බවට පත්වන්නට විය. මේ ප්‍රහාරයෙන් පසුව එයට එරෙහිව ඊශ්‍රායලයට ප්‍රතිවාදී ප්‍රහාරයක් එල්ල කරන බව ඉරානය ප්‍රකාශ කළද එය එක්වරම සිදුවූයේ නැත. ප්‍රහාරය සිදුවී සති දෙකකට ආසන්න කාලයක් ගතව ගියේය. එනම් හරියටම දිනය 2024 අප්‍රේල් 13 වැනිදා රාත්‍රී යාමය විය. ඉරානය විසින් ඊශ්‍රායලය වෙත සිතාගත නොහැකි ආකාරයේ විශාල ප්‍රහාරයක් එල්ල කළේය. එය මිසයිල ප්‍රහාර සහ ඩ්‍රෝන ප්‍රහාර 300කින් පමණ සමන්විත සුවිශාල යුද මෙහෙයුමක් විය. පැය ගණනාවක් පුරා ඉරානයේ සිට අහස් කුස හරහා මෙම ප්‍රහාරයන් ඊශ්‍රායලයේ හඳුනාගත් හමුදා ඉලක්ක වෙත එල්ල කරනු ලැබුවේය. සිවිල් ජනතා ප්‍රදේශ මඟහරිනු ලැබුවේය.
රාත්‍රියේදී අහස් කුස ඒකාලෝක කරමින් මෙම ප්‍රහාරයන් සිදුවන අයුරු දක්නට හැකිවිය. මෙම ප්‍රහාරයෙන් පසුව ඊශ්‍රායලය ප්‍රකාශ කර සිටියේ ඉරානය විසින් එල්ල කරන ලද ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර 300ක පමණ ප්‍රමාණයෙන් හරි අඩක්ම ප්‍රති ගුවන් ප්‍රහාර මගින් අහසේදී විනාශ කර දැමූ බවය. ඒ සඳහා ඊශ්‍රායලය සතුව තිබෙන ඉතා බලගතු ‘අයන් ඩෝම්’ ප්‍රතිප්‍රහාර ක්‍රමය භාවිත කළ බවද ඊශ්‍රායලය ප්‍රකාශ කළේය. එහෙත් එම ප්‍රකාශය යම් පමණින් ප්‍රතික්ෂේප කරමින් ඉරානය පවසා සිටියේ තමන්ගේ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරය බොහෝ සාර්ථකව සිදුකෙරුණු බවය. එසේම මෙම ප්‍රහාරය නිසා ඊශ්‍රායලයේ හඳුනාගත් හමුදා ඉලක්ක වෙත විශාල හානියක් සිදුවූ බවද ප්‍රකාශ කර සිටියේය. ඊශ්‍රායලය විසින් සිරියාවේ ඉරාන තානාපති කාර්යාලය වෙත එල්ල කරන ලද දරුණු ප්‍රහාරය මුළුමහත් ජාත්‍යන්තර නීතිරීති සහ රාජ්‍යතාන්ත්‍රිකත්වයද දැඩි සේ උල්ලංඝනය කිරීමක් ලෙස ලෝකයේ රටවල් 50කට අධික ප්‍රමාණයක් නිල නිවේදන නිකුත් කර ඇත. එසේම එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාද මෙම ප්‍රහාරය හෙළාදැක ඇත. මෙම ප්‍රහාරයෙන් ජීවිත හානි 17ක් සිදුවූ අතර මුළුමහත් කොන්සුයුලේට් ගොඩනැගිල්ලම විනාශයට පත්විය. මෙම යුදමය තත්ත්වය දැන් දිනෙන් දින උත්සන්න වීමේ තත්ත්වයකට පත්ව ඇත. ඉරාන ප්‍රහාරයෙන් පසුව ඊශ්‍රායලය තවත් ප්‍රතිප්‍රහාරයක් එල්ල කරන බවට කරුණු ප්‍රකාශ කර ඇත. එය කුමන හෝ මොහෙතක සිදුවීමටද ඉඩ ඇත. සැබෑ ලෙසම මෙම කතාව නිදාගෙන සිටි යෝධයකු අවදි කරගත්තා හා සමාන සිදුවීමකි. එසේ වන්නේ ඉරානයද අද යුද ශක්තිය අතින් ඉතා බලවත් වීම නිසාය.
මෙම නවතම තත්ත්වය ලෝකය තුළ අලුතින් තෙවැනි ලෝක මහා යුද්ධයක් ඇරැඹීමේ තත්ත්වයක් ලෙසට බොහෝ පාර්ශ්ව විසින් හඳුන්වා දී ඇත. එසේ වන්නේ ඉරානයට සහ ඊශ්‍රායලයට වෙන වෙනම පිටුපසින් සිට සහාය දක්වන ලෝක බලවතුන් රැසක්ම සිටින හෙයිනි. ඒ කෙසේ වෙතත් මෙම රටවල් දෙකම යුද ශක්තිය අතින්ද ඉතා ප්‍රබල ස්ථානයක සිටියි. එහිදී සමහර යුද විශ්ලේෂකයන් ප්‍රකාශ කරන්නේ ඊශ්‍රායලයට වඩා ප්‍රබල යුද ශක්තියක් ඉරානයට තිබෙන බවය. ලෝකයේ බොර තෙල් නිෂ්පාදනයේ ප්‍රධානතම රටවල් වන ඉරානය සතු ධනය අසීමිත වන අතර, එම ශක්තිය නිසාම ඔවුන් තම හමුදා බලයද බොහෝ උසස් අයුරින් ගොඩනගාගෙන ඇතැයි කරුණු ප්‍රකාශ වෙයි. කුඩා යුද අවි ආයුධවල සිට න්‍යෂ්ටික අවි ආයුධ දක්වා ඔවුන්ගේ හමුදා බලය ශක්තිමත් බව නිල රාජ්‍ය වාර්තා පෙන්වා දෙයි. එම වගතුග ඉතා දීර්ඝ එකක් බව පෙනීයයි. එම තොරතුරු යමක් සොයා බලමු.
ඉරානයේ සියලු හමුදාවන්ගේ පිරිස් බලය හමුදා සාමාජිකයන් 960,000 (නවලක්ෂ හැටදහසක්) කින් සමන්විතය. මෙයින් සාමාජිකයන් 610,000ක් ස්ථිර සේවයේ සහ තවත් 350,000ක පිරිසක් නිත්‍ය නොවන සේවයේද නිරතව සිටිති. මෙම හමුදාවන්ගේ කටයුතු සඳහා ඉරාන රජය වියදම් කරනු ලබන ධනය සිතාගත නොහැකි තරම් විශාලය. එනම් 2024 වසර සඳහා පමණක් එම හමුදාමය කටයුතු සඳහා එරට අයවැයෙන් වෙන්කර ඇති මුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 10.2ක අති විශාල මුදලකි. මෙලෙස දැනට මුළුමහත් මැදපෙරදිගම තිබෙන විශාලතම යුද බලය වන්නේ ඉරානය බව යුද විශ්ලේෂකයන් පවසයි. සාමාන්‍ය ස්වයංක්‍රීය මැෂින් තුවක්කුවේ සිට විශාල මිසයිල දක්වා ඔවුන් සතු අවි ආයුධ වර්ග සඳහන් කිරීමට මෙම ලිපිය ප්‍රමාණවත් මදිය. එය පිටු ගණනාවක් පුරා සඳහන්ව ඇති තොරතුරකි. මිසයිල හා ඩ්‍රෝන ප්‍රතිප්‍රහාර පද්ධති රැසකින් සහ න්‍යෂ්ටික අවි ආයුධ රැසකින්ද මෙම හමුදා බලය ශක්තිමත්ය. න්‍යෂ්ටික පර්යේෂණ සහ ක්‍රියාකාරකම් සිදුකෙරෙන න්‍යෂ්ටික මධ්‍යස්ථාන කිහිපයක්ම ඉරානය සතුය. මේවායේ කටයුතු බොහෝ රහසිගතව සිදුකෙරෙමින් තිබෙන බවද පැවැසෙයි. මෙම ක්‍රියාකාරකම් ගැන ලෝකයේ බොහෝ බලවත් රටවල් පවා මේ වන විට විමතියට පත්ව ඇත. ලෝකයේ අතිශය බියකරු සහ අමානුෂික ආකාරයේ යුද අවි ලෙස සැලකෙන න්‍යෂ්ටික සහ පරමාණුක බෝම්බ පවා මේ වනවිට ඉරානය තුළ රහසිගතව නිෂ්පාදනය කර ඇතැයි සමහර බටහිර රටවල් චෝදනා කර ඇත. එම චෝදනා ඉරාන රජය කිහිප වරක්ම ප්‍රතික්ෂේප කරනු ලැබීය. තත්ත්වය එසේ වුවද ඊශ්‍රායලයට වඩා වැඩි යුද බලයක් ඉරානය සතු බව යුද විශ්ලේෂකයන් ප්‍රකාශ කරයි.
ප්‍රියන්ත හෙට්ටිගේ