මෙම සුවිශේෂ දුර්ලභ කතාන්දරයේ කූටප්රාප්තියට පැමිණෙන්නේ මෙතැනදීය. එනම් ඉන්දියානු රුපියල් කෝටි (ශ්‍රී ලංකා රුපියල් සඳහා 3.60 ගුණයකින් වැඩිකළ යුතුය) සිය දහස් ගණනින් වත්කම් තිබෙන මහා ධනකුවේර අපේක්ෂකයන් සිටින ඉන්දියාවේ වත්මන් මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මියගේ ශුද්ධ ධනවත්කම ප්‍රකාශ කර තිබුණේ ඉන්දියානු රුපියල් කෝටි 2.5ක් (ශ්‍රී ලංකා රුපියල් කොටි 07ක් පමණ) ලෙසය. ඇය 2016 ඉන්දීය රාජ්‍ය සභා මැතිවරණයට ඉදිරිපත්වන විටදී ඇයගේ දිවුරුම් ප්‍රකාශයේ මේ බව සඳහන් කර තිබිණි. එවිට මෙය සම්පූර්ණ සත්‍යයක් ලෙස ප්‍රකාශ වී තිබිණි. මෙහිදී හෙළිවන අනෙක් කරුණ නම් ඇය මෙතෙක් කිසිදු ලෝක් සභා (පාර්ලිමේන්තු) මහ මැතිවරණයකට ඉදිරිපත්ව නැති අතර, ඇය ඉදිරිපත්ව තිබුණේ රාජ්‍ය සභා මැතිවරණයන්ට පමණි. මේ හෙයින් ඇය ප්‍රකාශ කර සිටියේ තමන්ට ලෝක් සභා මැතිවරණ මෙහෙයුම් කටයුතු සඳහා නිසි ධනයක් නොමැති බවය. එම නිසා ඇයට තරග කිරීමට ලැබුණු අපේක්ෂකත්වය ඇය විසින් ප්‍රතික්ෂේප කිරීමට ලැබුවාය. මෙම සුවිශේෂ සිද්ධිය මෙතෙක් ලොවෙන් අසන්නට ලැබුණු ඉතා දුර්ලභ සිදුවීමක් ලෙස දෙස් විදෙස් දේශපාලන විශ්ලේෂකයන් කරුණු ප්‍රකාශ කරයි. එසේම මෙවැනි සුවිශේෂ කාන්තාවන් ලෝකයේ සිටින්නේ කීයෙන් කීදෙනෙක්ද? මෙම වගතුග සැබැවින්ම වාර්තාවකි. (Sri Lanka Latest News)
‘මහ මැතිවරණය පැවැත්වීමට තව දින ගණනාවයි තියෙන්නේ. එහෙත් මම 2024 ලෝක් සභා මැතිවරණයට මෙවර ඉදිරිපත් වන්නේ නැහැ. මේ ගැන මම වරක් ප්‍රකාශ කර තිබුණා. එහෙත් මම මේ මැතිවරණයට ඉදිරිපත් නොවූයේ ඇයිදැයි නිශ්චිත හේතුව මම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ නැහැ. මම ඒ හේතුව අද ඔබට ප්‍රකාශ කරන්නම්. සත්‍ය සිද්ධිය නම මෙවර 2024 මහ මැතිවරණයේදී ප්‍රධාන ආසනයක් තරග කිරීමට තරම් විශාල මුදලක් මා ළඟ නැහැ. ප්‍රධාන ආසනයක් තරග කිරීමේදී තමන්ට එම ඡන්ද ව්‍යාපාරය මෙහෙයවීම සඳහා විශාල මුදලක් අවශ්‍ය වෙනවා. එය රුපියල් කෝටි ගණනක දැවැන්ත මුදලක්. මේ අවස්ථාවේ මම ළඟ එවැනි ධනයක් නැහැ. සාර්ථකව මැතිවරණ ව්‍යාපාරය සිදුකරන්න නම් විශාල මුදලක් අත්‍යාවශ්‍යයි. භාරතීය ජනතා පක්ෂය ඉදිරි මතිවරණයට තරග කිරීම සඳහා පසුගියදා මා වෙත ඉදිරිපත් කළ යෝජනාව මම ප්‍රතික්ෂේප කළේ ඒ නිසයි. එනම් භාරතීය ජනතා පක්ෂය විසින් එසේ මා වෙත ලබාදීමට තීරණය කළ නාමයෝජනා පත්‍රය මම ප්‍රතික්ෂේප කළා…’
කුමක්ද මෙලෙස ඇසෙන කතන්දරය සහ එය කියා සිටින්නේ කවුරුන් විසින්ද? මෙම වගතුග අපට ඇසෙන්නේ යාබද දේශයවන ඉන්දියාවෙනි. මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශය පසුගියදා ප්‍රසිද්ධියේ කියා සිටියේ ලොව සිටින බලවත්ම කාන්තාවක විසිනි. ඇය නම් ඉන්දීය රජයේ වත්මන් කැබිනට් මුදල් අමාත්‍ය ධුරය දරන නිර්මලා සීතාරාමන් මහත්මිය වෙයි. ඇය ඉන්දියානු පාලක භාරතීය ජනතා පක්ෂ රජයේ සිටින ප්‍රබලම කැබිනට් අමාත්‍යවරියක මෙන්ම ප්‍රබල ඉන්දීය දේශපාලනඥයකුද වෙයි. වත්මන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ රජය යටතේ නිර්මලා සීතාරාන් දැනට වසර 05ක් පුරා නොකඩවා මුදල් අමාත්‍ය ධුරය දරයි. ඇය ඉන් පෙර නරේන්ද්‍ර මෝදි රජය යටතේම 2017 සිට 2019 දක්වා ඉන්දියාවේ ආරක්ෂක අමාත්‍ය ධුරයද දැරුවාය. ඇය මෙලෙස ප්‍රධාන අමාත්‍ය ධුර දෙකක් දැරීමෙන් වාර්තාවක්ද තබා ඇත. ලොව සුප්‍රකට දේශපාලනික කාන්තාවක වූ ඉන්දියාවේ හිටපු අගමැතිනි ඉන්දිරා ගාන්ධි මහත්මිය පමණක් මින් පෙර මුදල් සහ ආරක්ෂක කැබිනට් අමාත්‍ය ධුරයන් දෙක වෙන වෙනම දරනු ලැබුවාය. ඒ අවස්ථාවෙන් පසුව එම බලවත්ම අමාත්‍ය ධුර දෙකම දැරූ එකම කාන්තාව වන්නේ නිර්මලා සීතාරාමන්ය. මේ අනුව බලන කල ඇය ඉන්දියාවේ පමණක් නොව මුළුමහත් ගෝලීය දේශපාලනයටද සුවිශේෂ චරිතයක් වෙයි. ඇය ලෝක ප්‍රකට ‘ෆෝබ්ස්’ සඟරාව විසින් 2019දී ලොව බලවත්ම කාන්තාවන් 100 දෙනා අතරින් 32 වැනි ස්ථානයට නම් කරන ලදී. එසේම එම සඟරා විසින් 2022 වසරේදී නම් කරන ලද ලෝකයේ බලවත් කාන්තාවන් 100 දෙනා අතරින් 37 වැනි ස්ථානයටද නම් කරන ලදී. මේ ආකාරයට දැනට ඉන්දියාවේ මුදල් අමාත්‍ය ධුරය දරන මෙම සුවිශේෂ කාන්තාව ඉහත කළ ප්‍රකාශය පුදුමසහගතය. එය තවදුරටත් අපි අසා සිටිමු.
‘මම මෙහෙම කිව්වම බොහෝ දෙනෙක් පුදුමයට පත්වෙන්න පුළුවන්. ඒත් මේක තමයි සත්‍ය තත්ත්වය. භාරතීය ජනතා පක්ෂයේ සභාපති ජේ.පී. නඩඩා මහතා මට ආන්ද්‍රා ප්‍රදේශ් හෝ තමිල්නාඩුවෙන් තරග කිරීමට අවස්ථාව ලබාදුන්නා. එහෙත් මම ඔහුට ප්‍රකාශ කර සිටියා අවස්ථාව ලබාදීම ගැන මම ස්තුතිවන්ත වෙනවා. එහෙත් මට එය තරග කිරීම සඳහා වියදම් කිරීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන නැහැ කියලා. මේ ඉල්ලීම මුලින් මට කළාම මම දින 7-10ක් විතර කල්පනා කළා. කුමක්ද දෙන උත්තරය කියලා. නැහැ මට මේ ප්‍රශ්නයට විකල්පයක් නැහැ. ඒ නිසා අවසානයේදී මගේ තීරණය පක්ෂයේ සභාපතිතුමාට කියා සිටියා. ඔවුන් මගේ ඉල්ලීම ඉතා සාවධානයෙන් භාරගත්තා. එසේම ඔවුන් මගේ තර්කය පිළිගත්ත එක ගැන මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මේ සිද්ධියෙන් පසුව සමහරු මගෙන් අසා සිටියා මම ඉන්දියාවේ මධ්‍යම රජයේ කැබිනට් මුදල් අමාත්‍යවරිය විදියට මට ආසනයක් තරග කිරීමට මුදල් නැත්තේ ඇයි කියලා. මම ඒ අයට කියා සිටියා මුදල් ඇමැති විදියට මගේ ළඟ මුදල් තියෙනවා. ඒත් ඒ සියල්ල අයිති ඉන්දියානු රජයට කියලා. ඒවා මේ රටේ ජනතාවගේ මුදල්. ඒවා මගේ පරිහරණයට ගන්න මම කටයුතු කරන්නේ නැහැ කියලා. තවත් මම කියා සිටියා මගේ වැටුප මගේ ඉපයීම් මගේ ඉතුරුම් යනු මගේ ධනය මිස එය ඉන්දියානු රජයේ අරමුදල් නොවන බවත්. මේ නිසා සෑම අවස්ථාවකම මගේ පරිහරණයට ගන්නේ මගේ ධනය පමණක් බවත් මම තවදුරටත් අවධාරණය කළා. මට මගේ පෞද්ගලික සුඛවිහරණය සඳහා ඉන්දියාවේ පොදු ජනතාවගේ සල්ලි අවශ්‍ය නැහැ. මේ නිසා අද මේ සභාවේදී මා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර සිටිනවා මගේ මේ පුද්ගලික ආකල්පයන් සහ තීරණයන් ගැන…’
ලෝකයේ බලවත්ම කාන්තාවක් බවට ගෝලීයව පිළිගෙන තිබෙන මෙම සුවිශේෂ ගැහැනිය මෙලෙස ප්‍රකාශ කරන වගතුග අප කෙතරම් අගය කළ යුතුද? තමන් කිසි විටෙකවත් පොදු ජනතාවගේ ධනය තමන්ගේ සුඛවිහරණය සඳහා ලබා නොගන්නා බව ඇය ප්‍රකාශ කර සිටියි. මේ ආකාරයේ දේශපාලනඥයන් ලෝකයේ බොහෝ රටවලින් සොයාගත හැක්කේ ඉතා අල්ප වශයෙනි. යුරෝපය වැනි බටහිර රටවල එවැනි දේශපාලනඥයන් සිටියත් ආසියාව හා අප්‍රිකාව වැනි කලාපවලින් එවැන්නන් සොයාගැනීම දුෂ්කරය. ඉන්දියාවටත් වඩා ශ්‍රී ලංකාව ගෙන බලන්න. අපගේ රටේ සිටින මුළුමහත් දේශපාලකයන්ගෙන් 95%ක්ම ජනතා ධනය සූරාකන අමු පල් හොරුන්ය. ඔවුහු ජනතා ධනයට කෙළ හලන නිවට කපටින්ය. පසුගිය දශක කිහිපයක්ම ඔවුන් ජනතා ධනය අසීමිතව කොල්ලකන ලද අතර, තවද එම කොල්ලයේම නිරතව සිටිති. ආසියාවේ අංක එකට සිටින දේශපාලක හොරුන් තක්කඩින් සිටින්නේ ශ්‍රී ලංකාවේය. ඔවුන් පවුල් පිටින් ජනතා ධනය කොල්ලකෑ හැටි අද ඉතිහාසයටද එක්වී හමාරය. මෙවැනි වටපිටාවක් තිබියදී ඉන්දියාවෙන් අපට ඇසෙන ඉහත සුවිශේෂ ගැහැනියගේ කතාව කෙතරම් අගය කළ යුතුද, ඇය පසුගියදා මෙම සිදුවීවේ සියලු වගතුග හෙළිකර සිටියේ ඉන්දියාවේ පැවැති ප්‍රසිද්ධ සභාවකදීය. ඉන්දියාවේ අනාගතය උදෙසා වාර්ෂිකව පැවැත්වෙන මෙම සමුළුව නම්කර ඇත්තේ ටයිම්ස් නිව් සමිට් 2024 ලෙසිනි. ඉන්දියාවේ අගමැති, ජනාධිපති ප්‍රධාන බොහෝ පිරිස් මෙම සමුළුවට සහභාගි වෙති. එහිදී වර්තමාන ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය බොහෝ විද්වත් දේශනයක් ඉදිරිපත් කළාය. ඇය ජවහර්ලාල් නේරු විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති හා දර්ශනපති උපාධිද හිමි කරගෙන සිටින්නීය.
ඉන්දියාව යනු අද ලෝකයේ වැඩිම ජනගහනය සිටින රට බවට වාර්තා වෙයි. මුලින් එහි අංක එකට චීනය තිබුණද මෙයට වසර දෙකකට ඉහතදී එම වාර්තාව බිඳහෙළීමට ඉන්දියාව සමත් විය. එනම් මේ වන විට ඉන්දියාවේ සමස්ත ජනගහනය කෝටි 142ක් බව වාර්තා වන අතර, දෙවැනි ස්ථානයට පත් චීනයේ ජනගහනය එම ප්‍රමාණයට වඩා මිලියන දෙක තුනක් පමණ අඩුය. ආසියාවේ මහා බලවතා ලෙස සැලකෙන්නේ චීනයයි. ඉන් පසුව දෙවැනි ස්ථානය ගන්නේ ඉන්දියාවය. මෙලෙස ලොව විශාලතම ජනගහනය සිටින න්දියාවේ මැතිවරණ පැවැත්වීම යනු මහා විශාල කාරියකි. එනම් එම දැවැන්ත මෙහෙවර සඳහා වැයවන මහා ධනස්කන්ධයද අසීමිතය. එහිදී රාජ්‍ය පාර්ශ්වයෙන් වැයවන ධනයට අමතරව එක් එක් මැතිවරණ අපේක්ෂකයන් විසින් වැයකරනු ලබන ධනයද විශාලය. එසේම ඉන්දියාවේ මැතිවරණයක් පැවැත්වීම යනු දින සති හා මාස ගණන් ගතවන පුළුල් කාර්යයකි. එහිදී ඉන්දියාවේ මහ මැතිවරණය නොහොත් ලෝක් සභා මැතිවරණය පැවැත්වීම යනු වදනින් පවා විස්තර කර නිමාවක් නොදකින කතාවකි. එනම් මෙයට යම් කාලකට පෙර සිට මෙම මහ මැතිවරණයේ වගතුග මාධ්‍ය වෙතින් හෙළිදරව් කර තිබිණි. මෙම විස්තරවලට අනුව 2024 ඉන්දීය මහ මැතිවරණය 2024 අප්‍රේල් 19 වැනිදා ආරම්භ වන අතර, 2024 ජුනි 01 වැනිදා නිමාවට පත්වෙයි. මෙම ඡන්ද විමසීම අදියර 07කින් දින 44ක් පුරා පැවැත්වෙන අතර, ඉන්දීය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 543ක් තෝරාගැනීම සිදුකෙරෙයි. මෙම මහා සටනේ අවසාන ප්‍රතිඵල නිකුත් කරනු ලබන්නේ 2024 ජුනි 04 වැනිදාය. නව රජයක් පිහිටුවීම සඳහා ආසන 272ක බහුතරයක් අවශ්‍ය වෙයි. මිලියන 960ක ජනතාවක් ඡන්දය දීමට සුදුසුකම් ලබා ඇත.
දැන් අප මෙම කතාවේ යම් හැරවුම් ලක්ෂ්යයකට පැමිණ සිටිමු. එසේ නම් මෙවර 2024 ඉන්දීය මහ මැතිවරණය වෙනුවෙන් තරග කරනු ලබන විවිධ සුවිශේෂ අපේක්ෂකයන් ගැන යමක් සොයා බලමු. එසේම යම් අපේක්ෂකයකුට එවැනි තරගයක් සඳහා ඉදිරිපත් වීමට අවශ්‍ය වන පුද්ගලික ධනයට අදාළ වන තොරතුරුද සොයා බලමු. මෙම මුදල් ප්‍රතිපාදන ගැන යමක් සොයා බැලීම සිදුකළ යුත්තේ මෙම කතාවෙහි මුලින්ම අප සඳහන් කළ ඉන්දියාවේ වත්මන් මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මියට මුහුණ දෙන්නට වූ අකරතැබ්බය ගැන සිහිවන විටදීය. ඉන්දියානු රාජ්‍ය නිල වාර්තා සහ මාධ්‍ය වාර්තාවන්ට අනුව එම බලය ලබාගැනීමේ සටනට සල්ලි ගස් සෙලවීම ගැන මෙසේ හෙළිකර ඇත.
★ විශාලතම ලෝක් සභා (පාර්ලිමේන්තු) ආසනයක් තරග කිරීම සඳහා අපේක්ෂකයකුට ප්රචාරක කටයුතු සඳහා වැයවන අවම මුදල ඉන්දියානු රුපියල් ලක්ෂ 95ක් පමණ (ශ්‍රී ලංකා රුපියල් කෝටි තුනහමාරක්) වෙයි.
★ දෙවැනි ප්‍රමාණයේ විශාලතම පාර්ලිමේන්තු ආසනයක් තරග කිරීම සඳහා අපේක්ෂකයකුට තම මැතිවරණ මෙහෙයුම් කටයුතු සඳහා වැයවන අවම මුදල ඉන්දියානු රුපියල් ලක්ෂ 75ක් පමණ (ශ්‍රී ලංකා රුපියල් කෝටි 03ක්) වෙයි.
★ මධ්‍යම ප්‍රමාණයේ පාර්ලිමේන්තු ආසනයක් සඳහා මැතිවරණ මෙහෙයුම් වෙනුවෙන් අපේක්ෂකයකුට වැයවන පුද්ගලික ධනය ඉන්දියානු රුපියල් ලක්ෂ 40ක් පමණ (ශ්‍රී ලංකා රුපියල් කෝටි 1.5ක්) වෙයි.
★ කුඩාම ප්‍රමාණයේ පාර්ලිමේන්තු අසුනක් තරග කිරීම සඳහා අපේක්ෂකයකු මැතිවරණ කටයුතු සඳහා වැයකළ යුතු පුද්ගලික ධනය ඉන්දියානු රුපියල් ලක්ෂ 20ක් (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 75ක්) වන බව පැවැසෙයි.
මෙහිදී අප අවධානයට ගතයුත්තේ මෙය ඉතා අවම මුදල් ප්‍රමාණයක් බවත්, අපේක්ෂකයාගේ ධනවත්කම්වලට අනුව එම මුදල එම සීමාවන්ද ඉක්මවා යයි. මෙවර ඉන්දියානු මහ මැතිවරණය සඳහා තරග කරනු ලබන සමහර ධනවත් අපේක්ෂකයන්ගේ නම්ගම් සහ ඔවුන්ගේ වත්කම් ගැන ඉන්දියානු මාධ්‍ය වාර්තා දුර්ලභ තොරතුරු රැසක් වාර්තා කර සිටියි. එය සොයා බලමු.
★ ඉන්දියානු මහා ධනකුවේර ව්‍යාපාරික හා දේශපාලක බන්ඩි සාරධීගේ වත්කම ඉන්දියානු රුපියල් කෝටි 5,300කි.
★ ඉන්දියානු කොංග්රස් මන්ත්‍රී ධනකුවේර ව්‍යාපාරික අයෝධ්‍යා රෙඩ්ඩිගේ වත්කම ඉන්දියානු රුපියල් කෝටි 2,577කි.
★ ස්වාධීන අපේක්ෂක, ව්‍යාපාරික රමේෂ් කුමාර් ෂර්මාගේ ධනවත්කම ඉන්දියානු රුපියල් කෝටි 1,107කි.
★ ලෝක් සභා මන්ත්‍රී නකුල් නාත්ගේ වත්කම් ඉන්දියානු රුපියල් කෝටි 700කි.
★ ලෝක් සභා මන්ත්‍රී, කොංග්රස් අපේක්ෂක ඩී.කේ. සුරේෂ්ගේ පුද්ගලික ධනවත්කම ඉන්දියානු රුපියල් කෝටි 593කි.
ප්‍රියන්ත හෙට්ටිගේ