හබරණ කැලේ නිදැල්ලේ සිටි ඇතින්නියන් හය දෙනෙක් සහ ඇතෙක් අබිරහස් ලෙස මරණයට පත්වීම ගැන විවිධ කතාබහ රට තුළ පසුගිය සතියේ සැරිසැරුවේ ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමිනි. හබරණ හිරිවඩුන්න, තුම්බිකුලම රක්ෂිතය තුළ අබිරහස් ලෙස මියගොස් සිටි ඇතින්නියන් අතර ගැබ්බර ඇතින්නියක්ද සිටියාය. වනජීවී අධ්‍යක්ෂ ජනරාල් එම්.ඩී.එල්. සූරියබණ්ඩාර මහතා සඳහන් කරන ආකාරයට මෙම අලි මරණවලට හේතුව වන්නේ විෂ ශරීරගතවීමකි. විෂක් යැයි කීවාට කෘමිනාශක ශරීරගත වීමකි. මෙම අලි රංචුවට වස දුන්නේ කවුරුන්දැයි පැහැදිලි නැතත් වස දී ඇත්තේ ආහාරයකට මුසුකර නොවන බව නම් පැහැදිලිවම පශු වෛද්‍යවරු හෙළිකරගෙන හමාරය.
ඒ අනුව මෙම විෂ අලින්ගේ ශරීරවලට ඇතුළුවී ඇත්තේ යම් පානයකින් බවය. අලි හත්දෙනකුට එකවර වස බොන්නට දීම එතරම් පහසු කටයුත්තක් යැයි සිතන්නට බැරිය. එබැවින් මෙම අලි මරණ පිටුපස ඇත්තේ අබිරහසකි. විපක්ෂය නම් උත්සාහ දරන්නේ මෙම අලි මරණවලට වගකිව යුතු වන්නේ ආණ්ඩුවේ අපේක්ෂකයකු බව කියන්නටය. නොකියා ඔවුන් ඒ බව සඳහන් කරන්නේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වයේ භාරයක් ඔප්පු කරන්නට එම අලි මරණ සිදුවූවාදැයි සමාජයේ සැකයක් ඇතිකරවමිනි. එම අලි හත්දෙනාගේ මරණ ගැන කැක්කුමකින් කතාකරන විපක්ෂ නායකයා හෝ විපක්ෂයේ සෙසු දේශපාලනඥයන් සිය පාලන සමයේදී මවු ඇතින්න මරා, කිරි බොන වයසේ සිටි අලි පැටවුන් පැහැරගැනීම ගැන නම් කිසිවක් කීවේ නැත. එහෙත් ඔවුන් මේ අලි මරණ හත ගැන නම් කතාකරන්නේ දැඩි කැක්කුමකිනි.
මෙම අලි මරණ විපක්ෂය දේශපාලන මාතෘතාවක් බවට පත්කර ගත්තද සැබෑ ලෙසම මෙම අලි මරණවලට හේතුව නම් සොයාගත යුතුය. මන්ද යත් මලයාලම් ගුරුකම්වලට අලින්ගේ ලොකු සම්බන්ධයක් ඇති බැවිනි. ආණ්ඩුවේ ප්‍රබලයා කෙසේ වෙතත් මේ අලි මරණ ගැන කැක්කුමෙන් කතාකරන දේශපාලනඥයන් ගුරුකම්වලට නම් හපන්නු බව ප්‍රසිද්ධ රහසකි.
කොටස් රසපරීක්ෂකට යැව්වා -වනජීවී අධ්‍යක්ෂ ජෙනරාල් එම්.ඩී.එල්. සූරියබණ්ඩාර මහතා
“මෙසේ අභිරහස් ලෙස ප්‍රථම වරට මේ තරම් වල් අලි සංඛ්‍යාවක් මියයෑම සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වූවා. එමගින් ලබාගත් කොටස් රජයේ රස පරීක්ෂකවරයාට සහ පේරාදෙණිය වෛද්‍ය අංශ වෙත යවා තියෙනවා. අලි හිටි ප්‍රදේශවල කැලෑ එළිකර ගම්වාසීන් කැලෑ වැදීම නිසා වල් අලි ගම්මානවලට එනවා. ඒ ප්‍රවණතාවය වැඩිවී තියෙනවා. කොහොම නමුත් මෙම අලි මරණ පිළිබඳ අවසන් තීන්දුවකට ඒමට හැකිවන්නේ රසායනාගාර පරීක්ෂණ අවසන් වීමෙන් පසුවයි.”
සල්ලිි තිබුණත් අලි වැට ගහලා නෑ – වනජීවී රාජ්‍ය අමාත්‍ය රංජිත් අළුවිහාරේ මහතා
“අලි ගැවසෙන මෙම ප්‍රදේශවල කිලෝමීටර් 124ක් අලි වැට ඉදිකිරීමේ කටයුතු සඳහා පසුගිය ජනවාරි මාසේ ටෙන්ඩර කැඳවන්න තිබුණා. ඒකත් ප්‍රමාද වුණා. ඒ ක්‍රියාවලියත් ප්‍රමාද වූයේ ඇයි කියල හොයන්න ඕනෑ. මේ සිද්ධිය ආරංචි වුණ විගස මම ඒ ස්ථානවලට ගිහින් ඒ ගැන සොයා බැලුවා. ශ්‍රී ලංකාවෙ වනගත ප්‍රදේශවල වල්අලි 5800ක් විතර ඉන්නවා. ඒ අයගෙ ආරක්ෂාවට කිලෝමීටර් 2000ක විතර අලි වැට ඉදිකිරීමට යෝජනා වී තියෙනවා. ඒ සඳහා යුද හමුදාවෙ, නාවික හමුදාවෙ සහාය ලබාගන්න බලාපොරොත්තු වෙනවා. දැනට ලැබී ඇති ආරංචි අනුව වල් අලි වැටවල් ඉදිකිරීමට අවශ්‍ය තරම් මුදල් ලැබී තියෙනවා. ඒවායින් ප්‍රයෝජන අරන් නැහැ.”
පුළුල් පරීක්ෂණයක් කරනවා – වනජීවී සහ සංචාරක අමාත්‍ය ජෝන් අමරතුංග මහතා
“අලි මරණ ගැන ඉදිරි දින හතරකින් පහකින් පමණ පර්යේෂන වාර්තා ලැබේවි. කිසියම් රසායනික ද්‍රව්‍යයක් වැනි විෂක් ශරීරගත වීමෙන් මේ අලි මරණ සිදුවී ඇති බවයි සැක කරන්නෙ. යම්කිසි පිරිසක් හෝ පුද්ගලයකු ඒ දේ සිදුකර ඇත්නම් ඒ ගැන පරීක්ෂණ පවත්වන්න පොලිසියට භාරකරලයි තියෙන්නෙ. අපි මේ අලි මරණ ගැන අනිවාර්යයෙන්ම පුළුල් පරීක්ෂණයක් පවත්වනවා.
වනජීවී අධ්‍යක්ෂ ජෙනරාල් සූරිය බණ්ඩාර මහතා සිද්ධියෙන් පසු තවත් පිළිතුරක් ලබාදුන්නා.
“මේ සිද්ධයෙන් පසු අපේ වනජීවී නිලධාරීන් පොලිසිය, හමුදාව සහ ගම්වාසීන් සමඟ හබරණ සිට කැලෑවෙ කිලෝමීටර් 100ක දුරක් පරීක්ෂණ මෙහෙයුමක්ද ක්‍රියාත්මක කළා. එහෙම කළේ අලි මරණවලට අදාළව කිසියම් සැක සහිත දෙයක් සොයාගන්නයි. ඒ විතරක් නෙමෙයි ඒ පරීක්ෂා කළ වනගත සීමාවේ තවත් අලි මරණ සිදුවී ඇද්ද යන්න සෙවීමත් එහි අරමුණ වී තිබුණා.”
ප්‍රේමලාල් විජේරත්න