පාස්කු ප්‍රහාරයට පස් වසරක් පිරුණු පසුගිය අප්‍රේල් 21 වැනිදා සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා මාධ්‍ය හමුවක් කැඳවමින් එම ප්‍රහාරය පිළිබඳ ආන්දෝලනාත්මක හෙළිදරව්වක් සිදුකළේය. එහිදී ඔහු කියා සිටියේ ත්‍රස්ත ප්‍රහාරය එල්ල වීමට සති 2කට පෙර සිට අදාළ හෝටලයේ සියලු කාමරවල රැඳීසිටි පිරිස්වල නම් ලැයිස්තුවක් හෝටලය මගින් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණද, සහරාන් හෂීම් රැඳී සිටි කාමරයේ සිටි පිරිස් සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් ලබාදී නොමැති බවයි. එමෙන්ම හෝටලයේ 623 අංකය දරන කාමරයේ සිටි පිරිස් සම්බන්ධයෙන්ද කිසිදු තොරතුරක් වාර්තා කර නැති බවද ඒ මහතා අනාවරණ කළේය. මුජිබර් රහුමාන් මහතා සිදුකළ එම සම්පූර්ණ හෙළිදරව්ව පහත පළවේ. (Sri Lanka Latest News)
අපි දන්නවා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මහාධිකරණයේ නඩුවක් විභාග වෙනවා. මේ නඩුව විභාග වෙන අතරතුරදී වැදගත් කරුණු 2ක් අනාවරණ වෙලා තිබෙනවා. සහරාන් බෝම්බය පුපුරුවා ගත්තේ ෂැංග්‍රිලා හෝටලයේ කියන එක අපි සියලු දෙනාම දන්නවා. එයා ෂැංග්‍රිලා හෝටලයට නවාතැන් ගන්න අමුත්තෙක් විදියට එන්නේ 2019 අප්‍රේල් මාසේ 20 වැනිදා රාත්‍රියේ. ඔහු ඇවිල්ලා එහි නවතින්නේ 6 වැනි තට්ටුවේ 616 වැනි කාමරයේ. මේ බෝම්බය පිපිරුණාට පස්සේ ෂැංග්‍රිලා හෝටලයේ තියෙන සියලු කාමරවල ලැගුම් ගෙන හිටපු අමුත්තන් පිළිබඳ විශාල විස්තරයක් උසාවියට වාර්තා කරලා තිබෙනවා. එක කාමරයක් හැරෙන්න. ඒ කියන්නේ බෝම්බය පිපිරෙන්න සති දෙකකට කලින් ඉඳන්ම ඒ කාමරවල හිටපු අය කවුද කියන එක සම්බන්ධයෙන් ඒ සියලු වාර්තා උසාවියට මේ වෙද්දී වාර්තා කරලා තියෙනවා. නමුත් සහරාන් 2019 අප්‍රේල් මාසේ 20 වැනිදා රාත්‍රියේ එතැනට නවාතැන් ගන්න එන්න කලින් 616 කාමරයේ කවුද හිටියේ කියලා වාර්තා වෙලා නෑ.
සහරාන් හිටපු කාමරේ සහරාන් එන්න කලින් කවුද හිටියේ? ඒකෙ ලැගුම් අරගෙන හිටියේ කවුද? ඒක වාර්තා වෙලා නෑ. ඒක උසාවියට වාර්තා කරන්නේ නෑ. නමුත් හෝටලය පිළිගන්නවා ඒ කාමරයේ අමුත්තෝ හිටියා කියලා. ෂැංග්‍රිලා හෝටලය පිළිඅරගෙන තිබෙනවා සහරාන් ලැගුම් ගත් කාමරයේ අමුත්තන් හිටියා කියලා. කවුද ඒ අමුත්තෝ? ඒ පිළිබඳ තොරතුරු නෑ. ඒක තවත් අබිරහසක්. ඒක කොහොමද වෙන්නේ? 616 කාමරය සහරාන්ට කලින් කවුද හිටියේ කියන එක වාර්තා නොවෙන්නේ ඇයි? අනෙක් හැම කාමරයකම මාසයක කාලයක් කවුද හිටියේ කියලා වාර්තාවක් ලබාදීලා තියෙනවා. 616 කාමරයේ කවුද හිටියේ කියලා වාර්තාවක් ලබාදීලා නෑ. එහෙම කාටද ඉන්න පුළුවන්? හෝටලයක තමන්ගේ නම ලියාපදිංචි නොකර තමන්ගේ නම එතැන ඇතුළත් කරන්නේ නැතුව ඉන්න පුළුවන් කණ්ඩායමක් ඉන්නවද? මම ඒ ගැන හොයාබැලුවා. හොයා බැලුවම අපිට වාර්තා වෙනවා එහෙම හෝලයක තමන්ගේ වාර්තාවන් නොදී ඉන්න පුළුවන් කීප දෙනෙක් ඉන්න බව. රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන්, රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන්ගේ ආරක්ෂක අංශයේ අය, ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්, බුද්ධි අංශවල ඉහළ නිලධාරීන් වගේ අය කාමරවල ඉන්නවා නම් ඒවා වාර්තා වෙන්නේ නෑ කියන එක තමයි අපිට දැනගන්න ලැබුණේ. ඒ හින්දා සහරාන්ගේ කාමරයේ සහරාන් එන්න කලින් කවුද පාවිච්චි කළේ? මේක අබිරහසක් හැටියට මේ නඩු විභාගයේදී අපිට වාර්තා වෙනවා.
ඒ වගේම තමයි සහරාන්ගේ කාමරයට ළඟින් තිබුණු අංක 623 දරන කාමරය. හෝටලයේ මේ බෝම්බය පිපිරුණාට පස්සේ හෝටලය විසින් වාර්තාවක් හදලා තියෙනවා. ඒ කියන්නේ හෝටලයේ ඉන්න අමුත්තෝ කීදෙනෙක් ඝාතනය වුණාද, කීදෙනෙක් තුවාල වුණාද, කීදෙනෙක් රෝහල්ගත වුණාද, කීදෙනෙක් නීත්‍යනුකූලව හෝලයෙන් පිටමං වුණාද කියලා ඒගොල්ලෝ වාර්තාවක් හදලා තිබෙනවා. ඒ වාර්තාවේ කීප දෙනෙක් ගැන සඳහන් වෙන්නේ නෑ. ඒ සඳහන් වෙන්නේ නැති පුද්ගලයෝ හිටපු කාමරයක් තියෙනවා. සහරාන් කාමරයට ළඟින් තිබුණු කාමරයක්. කාමර අංක 623. ඒ කාමරයේ හිටපු කට්ටිය කවුද කියලා වාර්තා වෙන්නේ නෑ. ඒගොල්ලෝ ඝාතනය වෙලත් නෑ, ඒගොල්ලෝ තුවාල ලබලා රෝහල්ගත වෙලත් නෑ, ඒගොල්ලෝ නීත්‍යනුකූල විදියට හෝටලයෙන් චෙක්-අවුට් වෙලත් නෑ. එහෙම නම් ඒ කණ්ඩායම ගැන ඇයි පරීක්ෂණ කරන්නේ නැත්තේ? ඒ කණ්ඩායම කොහෙද ඉන්නේ? ඒගොල්ලේ රටින් පිටමං වුණාද? එහෙම නැත්නම් අපේ රටේ තවම ඉන්නවද? ඒගොල්ලෝ ගැන ඇයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ කරන්නේ නැත්තේ? මේ නඩුවට ඔවුන්ව ඇයි ඉදිරිපත් කරන්නේ නැත්තේ?
ඒක බරපතළ කාරණාවක්. සහරාන්ගේ කාමරයට ළඟින් තිබුණු කාමරයක්. කාමර අංක 623. ඒකේ හිටපු පුද්ගලයෝ ගැන කිසිදු ආකාරයේ සඳහනක් වෙන්නේ නෑ. ඔවුන් තුවාල ලබලත් නෑ, ඔවුන් රෝහල්ගත වෙලත් නෑ, නීත්‍යනුකූල විදියට ඔවුන් චෙක්-අවුට් වෙලත් නෑ. එහෙම නම් මෙන්න මේ කරුණු හින්දා තමයි අපි කියන්නේ මේක යම් කණ්ඩායමක් මෙහෙයවපු ප්‍රහාරයක් කියලා. ඒ කණ්ඩායම කවුද කියලා හොයාගන්න එක තමයි මේ රටට, ජාතික ආරක්ෂාවට අත්‍යාවශ්‍යම දේ. මොකද ඒ කණ්ඩායම නිදහසේ ඉන්නතුරු අපේ රටේ ජාතික ආරක්ෂාව තවම තියෙන්නේ අනතුරේ. මොකද සහරාන් මෙහෙයවපු කණ්ඩායම නිදහසේ ඉන්නවා කියලා කියන්නේ තවමත් අපේ රටේ ජාතික ආරක්ෂාව අනතුරේ. ඒ හින්දා ඒක හොයාගැනීම තමයි අපේ රටේ පුරවැසියන් හැටියට සියලු දෙනාගෙම වගකීම. මම හිතන්නේ කාදිනල් උන්නාන්සෙත් දිගින් දිගටම සටන් කරන්නේ ඔවුන්ව හොයාගන්න ඕනේ කියලා. ඒක තමයි අපිත් මේ කෑගහන්නේ. අපිත් මේ කියන්නේ. මොකද මේ කරුණු දිහා බැලුවම අපිට පේනවා සහරාන්ව මෙහෙයවපු කණ්ඩායමක් ඉන්න බව.
මේ සම්බන්ධයෙන් නඩු විභාගයක් යනවා. චූදිතයෝ කියලා විසි ගානක් නම්කරලා තියෙනවා. නීතිපති දෙපාර්තමේන්තුව ඔවුන්ට චෝදනා එල්ල කරලා, නඩු විභාගයක් යනවා. ඒ නඩු විභාගයක් යන අතරේ අපිට තිබෙනවා ප්‍රශ්නයක් කවුද මේ සාක්ෂිකාරයෝ කියලා. රජයේ සාක්ෂිකාරයෝ හැටියට නම්කරලා තියෙන්නේ කවුද? අපි දන්න විදියට නම් මේ පරීක්ෂණය කරපු කවුරුවත් නෑ සාක්ෂිකාරයෝ හැටියට. පළමු දේ තමයි මේ බෝම්බය පිපිරුණාට පස්සේ මේ පරීක්ෂණයේ ප්‍රධානියා තමයි හිටපු නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න. ඊළඟට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර. ශානි අබේසේකර තමයි ඒ බෝම්බ අටම පිපිරෙච්ච ස්ථාන අට ගැනම පරීක්ෂණ පවත්වපු ප්‍රධාන නිලධාරියා. එයාගේ බාරයේ තමයි මේ පරීක්ෂණ ඔක්කොම සිද්ධ වුණේ. ඊළඟට සහරාන්ව හොයාගෙන ගිය නාලක සිල්වා.
අඩුම ගානේ පහුගිය කාලේ පුරාම අලුත් කරුණු රාශියක් මේ සමාජයට එළියට දැම්ම කාදිනල් හිමියන්. මේ කවුරුවත් සාක්ෂිකාරයෝ හැටියා නම්කරලා නෑ. මේගොල්ලන්ව නම්කරන්නේ නැතුව ප්‍රහාරයට කිසිම සම්බන්ධයක් නැති ප්‍රහාරයේ අගක් මුලක් දන්නේ නැති අයව සාක්ෂිකාරයෝ ලෙස නම්කරලා තියෙනවා. ඉතින් කොහොමද අලුත් කරුණු ඉදිරියට එන්නේ? ඒ හින්දා තමයි අපි කියන්නේ කවුරු හරි මේක පිටිපස්සේ ඉඳගෙන මෙහෙයවනවා කියලා. ඇයි නාලක සිල්වාව මේකේ සාක්ෂිකාරයෙක් කරන්නේ නැත්තේ? ඇයි රවී සෙනෙවිරත්නව මේකේ සාක්ෂිකාරයෙක් කරන්නේ නැත්තේ? මේ බෝම්බකරුවන් අටදෙනා පිළිබඳ පරීක්ෂණ කරපු ප්‍රධාන නිලධාරියා වුණු ශානි අබේසේකරව ඇයි සාක්ෂිකාරයෙක් කරන්නේ නැත්තේ?
කාදිනල් හිමියන් මේකේ කරුණු හුඟක් හෙළිදරව් කළා පහුගිය කාලේ. ඇයි උන්වහන්සේව සාක්ෂිකාරයෙක් කරන්නේ නැත්තේ? ඒ හින්දා අපිට සැකය තව තව තහවුරු වෙනවා. ආණ්ඩුව මේක යටපත් කරන්න, මේක වෙනත් දිශාවකට ගෙනියන්න උත්සාහ කරනවා.
අවසාන වශයෙන් කියන්න ඕනේ අපි සමගි ජන බලවේගය හැටියට මේ ආණ්ඩුව මේක කරන්නේ නැත්නම් අපේ රජයක් යටතේ අපි පූර්ණ අධිකරණ බලතල තිබෙන කොමිෂන් සභාවක් පත්කරලා මේ පරීක්ෂණ නැවතිච්ච තැනින් ඉදිරියට ගෙනයනවා කියන පණිවුඩය. ඒ සහතිකය අපි රටට ලබාදීලා තිබෙනවා. ඒ නිසා අද වික්‍රමසිංහ – රාජපක්ෂ පාලනය පාස්කු බෝම්බ ප්‍රහාරයේ කොතරම් සත්‍ය කරුණු සඟවන්න උත්සාහ කළත්, කොතරම් සත්‍ය කරුණු ඔවුන් හෙළිදරව් නොකරන්න උත්සාහ කළත්, සමගි ජන බලවේගයේ රජයක් යටතේ මේකේ සත්‍ය කරුණු ටික හෙළිදරව් කරලා මේ අපරාධයට මුල්වෙච්ච සියලු දෙනාම නීතිය ඉදිරියට ගේනවා කියන පණිවුඩය පාස්කු බෝම්බ ප්‍රහාරය සිදුවෙලා අවුරුදු පහක් ගතවෙන මේ අවස්ථාවේදී අපි නැවත වතාවක් මතක් කරන්න කැමැතියි.
News Center යූටියුබ් නාලිකාවෙනි