පාස්කු ඉරුදින ඛේදවාචකයේ 5 වසරක සිහිකිරීම වෙනුවෙන් මීගමුව මාරිස්ටෙලා විදුහලේදී සැමරුම් මොහොතක් පැවැත්වූ අතර, එයින් අනතුරුව කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය දක්වා යාච්ඥාවේ පාගමනක් සිදුකෙරිණි. මෙම අවස්ථාවට කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු ගරු පූජාප්රසාදිතුමන්ලා සහ පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් ජනතාවගේ පවුල්වල ඥාතීහු සහභාගි වී සිටියහ. එම අවස්ථාවේදී රැස්ව සිටි පිරිස අමතමින් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විශේෂ ප්‍රකාශයක් සිදුකළ අතර, පහත පළවන්නේ එම අදහස් දැක්වීමයි. (Sri Lanka Latest News)
අද, පාස්කු ප්‍රහාරය සිදුවී වසර 5ක් සම්පූර්ණ වන දිනයයි. අප මෙහි රැස්ව සිටින්නේ එදා ඒ කුරිරු ත්‍රස්ත ප්‍රහාරය නිසා ජීවිත අහිමි වූ සහ බරපතළ ලෙස තුවාල වූ අප සොයුරු සොයුරියන් සිහිකරන්නටත්, ඔවුන් වෙනුවෙන් යාච්ඥා කරන්නටත්, ඔවුන්ට පින් අනුමෝදන් කරන්නටත්ය. මේ අවාසනාවන්ත සිදුවීම තුළින් කොච්චිකඩේ ශාන්ත අන්තෝනි සිද්ධස්ථානයේත්, කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේත්, මඩකළපුව සියෝන් දේවස්ථානයේත් සහ ෂැංග්‍රිලා, කිංග්ස්බරි, සිනමන්ඩ්ග්රෑන්ඩ් යන සංචාරක හෝටල්වලද පිපිරූ බෝම්බ නිසා අහිංසක ජීවිත 273ක් අහිමි වූ බවත්, ඒ අතර කුඩා ළමුන් අසූ දෙදෙනෙක්ද, රටවල් 14කට අයත් විදේශිකයන් 47 දෙනෙක්ද සිටි බවත් අපි දනිමු. මේ සමගම 500කට අධික පිරිසකට සුළු හෝ බරපතළ තුවාල සිදුවූ බවත්, ඉන් 30කට වැඩි පිරිසක් අද වනතුරුත් ආබාධිත තත්ත්වයේ පසුවන බවත් කිව යුතුය. මේ මහා ව්‍යසනය නිසා ශ්‍රී ලංකාවේ නූතන දේශපාලන ගමන් මගට නව අභියෝග රැසක් එකතු කර, රටේ ආර්ථික ප්‍රගතියට සුවිශාල වෙනසක් ඇතිකරන්නටද හේතු වූ බව කිව යුතු වේ.
එදා ඒ ප්‍රහාරවලින් ආරම්භ වී ඇදවැටුණු අපේ රටේ ආර්ථිකය අද වනතුරුත් ගොඩනගා ගැනීමට නොහැකි වීම මෙම මහා ව්‍යසනයෙන් සිදුවූ විනාශයේ තරම කෙතරම්දැයි අපට පහදා දෙයි. මේ පිළිබඳ විමර්ශනය කිරීම සඳහා එදා පැවැති රජය විසින් විජිත් මලල්ගොඩ විනිසුරුතුමාගේ නායකත්වයෙන් යුතු එක් කමිටුවක්ද, පාර්ලිමේන්තු තේරීම් කාරකසභාවක්ද, ජනාධිපති කොමිෂන් සභාවක්ද පත්කරනු ලැබීය. පාර්ලිමේන්තු තේරීම් කාරකසභාවේ සහ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තා මේ වන විට හෙළිදරව් කරනු ලැබ ඇත. මේ වාර්තාවල නිර්දේශ වන කරුණු ක්‍රියාත්මක කිරීම මූලික වශයෙන් පැවරුණේ 2019 නොවැම්බර් 16 වැනි දින පවත්වන ලද ජනාධිපතිවරණයේදී ජනාධිපති ධුරයට පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා වෙතය. ඒ කෙසේ වෙතත් තමන් එම තනතුරට පත්කර ගත්තේ ඡන්දයට පෙර මීගමුව සහ ජාඇල යන ප්‍රදේශවල පවත්වන ලද දේශපාලන රැස්වීම් දෙකකදීද එතුමා හා ශ්‍රී ලංකා කතෝලික රදගුරු මණ්ඩලය අතර සිදුවූ හමුවකදීද පාස්කු ප්‍රහාරය පිළිබඳ විනිවිද පෙනෙන පරීක්ෂණයක් පවත්වා ඒ ගැන සාධාරණය ඉටුකරන බවට සහතික වූ ඒ මහතා, ජනාධිපති කොමිෂන් සභා වාර්තාවෙන් රටේ ජනාධිපතිතුමන් ලෙස පිළිගත් දිනට පසු දිනම දුරකතනයෙන් මා අමතමින් එසේ කිරීමට තමන්ට දුෂ්කරතා ඇති බව සඳහන් කිරීම තුළත්, එම නිර්දේශයන් ක්‍රියාත්මක කිරීමට යෑම නිසා තමන්ට හිතවත් ඇතැම් සංවිධානවල නායකයන් අත්අඩංගුවට ගැනීමට සහ ඔවුන්ගේ සංවිධාන තහනම් කිරීමටත් සිදුවීම තුළ වාර්තාවේ ඉදිරිපත් කර ඇති නිර්දේශ තමන්ට ක්‍රියාත්මක කරන්නට නොහැකි බවත් සඳහන් කළ අයුරු මට මතක් වේ.
ඉන් අනතුරුව එම වාර්තාවේ පළමු වෙළුමේ පිටපත් පවා අපට ලබාදීමට ප්‍රමාද කරමින්ද, එලෙසම එම වාර්තාවේ අනෙකුත් පිටපත් ලබා නොදීම තුළින්ද ජනාධිපතිතුමන් ලෙස මේ ගැන උනන්දු නොවී එම වාර්තාවේ නිරීක්ෂණ ක්‍රියාත්මක කිරීමේ වගකීම තමන්ට පැවරුණත් ඒ ගැන අධීක්ෂණය කර ඇතැම් දේ පමණක් තෝරා ක්‍රියාවට නැංවීම නිර්දේශ කිරීමට තමන්ගේ රජයේ ඇමැතිවරුන් 6 දෙනකුගෙන් යුත් කමිටුවක් පත්කිරීම තුළින්ද තමා දුන් එම පොරොන්දු ඉෂ්ට කරන්නට මැළි වීම නිසා අප ඇස් ඉදිරියේ ඡන්දයට පෙර එතුමා එදා දුන් පොරොන්දු ඉෂ්ට නොකළ කෙනකුගේ තත්ත්වයට පත්විය. එලෙසම මෙම ප්‍රහාර පිළිබඳ ඒ වන විටත් කරගෙන යනු ලැබූ විමර්ශන මෙහෙයවූ ඇතැම් නිලධාරීන් එම තනතුරුවලින් ඉවත් කොට ඔවුන්ගෙන් ප්‍රධානියකු සිරගත කිරීමට පවා කටයුතු කරමින්ද, තවත් නිලධාරීන් එම නිලතලවලින් ඉවත් කර ඈත ප්‍රදේශවලට මාරු කර යැවීමට ක්‍රියා කරමින්ද, තමන්ට හිතවත් නිලධාරීන් පමණක් ඒ සඳහා පත්කරමින්ද මෙම විමර්ශන කඩාකප්පල් කිරීමට හා එතුමාට අවශ්‍ය අයුරින් මෙහෙයවීමට එතුමා ගත් පියවර ඇත්තෙන්ම කනගාටුදායකය. මේ පසුබිම තුළ මෙවැනි මහා ව්‍යසනයක් සම්බන්ධයෙන් එම රජය ගත් මන්දගාමී හා කඩාකප්පල්කාරී ක්‍රියා පිළිවෙත අප ඉදිරියේද ප්රහේළිකාවක් ලෙස දිස්විය.
ඒ අතරම, මේ පිළිබඳ නිදහස් හා ස්වාධීන විමර්ශනයක් ඉල්ලා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන් වෙත යොමුකරන ලද රදගුරුතුමන්, පියතුමන් හා ගිහි සැදැහැවතුන් 34 දෙනකුගේ අස්සනින් යුත් 2021 ජුනි 12 වැනි දින දරන ලිපියට කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු බවද, අඩු තරමින් ඒ ලිපිය තමන්ට ලැබුණු බවටවත් පිළිතුරු ලිපියක් අප වෙත නොලැබුණු බවද සඳහන් කළාය. එලෙසම 2023 ඔක්තෝබර් මස 23 වැනිදා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාටද, රදගුරුතුමන් හා පියතුමන්ද ගිහි පැවිදි සාමාජිකයන්ද ඇතුළත් පිරිසක් විසින් යවන ලද දෙවැනි ලිපියටද අඩු තරමින් එය ලැබුණු බවටවත් පිළිතුරක් නොලැබීම තුළද පාස්කු ප්‍රහාරය පිළිබඳ අප ලද බොහෝ නවක තොරතුරු පිළිබඳ විමර්ශන අවශ්‍ය බව අප පුන පුනා කියා සිටියත් ඔවුන් විසින් අපගේ ඉල්ලීම් තුට්ටුවකටවත් ගණන් නොගන්නා තත්ත්වයක් ඇතිවීම තුළද මේ රජයද ප්‍රහාරය පිළිබඳ සාධාරණ විසඳුමක් ලබාදීමට මැළි වන බව අපට පැහැදිලි විය. මේ සියලු ආකල්ප අප තේරුම්ගත යුත්තේ කෙසේදැයි අපටම නොවැටහේ. මෙවැනි ක්‍රියාදාමයක් තුළින් එක දෙයක් පිළිබඳ බලවත් සැකයක් අපට ඇතිවේ. එනම් මෙහි සත්‍යය යටපත් කිරීමට පැවැති රජය හා වත්මන් රජයද දිගින් දිගටම ක්‍රියාත්මක වෙමින් මීට සම්බන්ධ ඇතැම් පුද්ගලයන් හා ඇතැම් ආයතන ආරක්ෂා කිරීමට කරන බවයි. මේ හැර වෙන නිගමනයකට අපට යා නොහැක. ඔවුන් මෙයට සම්බන්ධ නැත්නම් ප්‍රහාරය පිළිබඳ සත්‍ය තොරතුරු හෙළිවීම ඔවුන්ට ප්‍රශ්නයක් නොවනු ඇත.
මෙම ප්‍රහාරය පිටුපස අන්තවාදී මුස්ලිම් ත්රස්තවාදීන් පිරිසක් ක්‍රියා කළ බව ඇත්ත වුවත්, ඔවුන් පිටුපස තවත් බලවේග සිටි බවට සාක්ෂි මතුවී තිබියදී ඒ පිළිබඳ හරියාකාර විමර්ශනයක් සිදු නොවීම තුළ සහ සාක්ෂි යටපත් කිරීමට ඕනෑකමින් කටයුතු කිරීම තුළ වත්මන් රජයටද මෙම ප්‍රහාරය පිළිබඳ සත්‍යය සඟවා තැබීමට වුවමනාවක් ඇති බව හැර අපට වෙන නිගමනයකට එළඹිය නොහැක.
මේ සිද්ධීන් පිළිබඳ මේ වන විට හෙළිදරව් වී ඇති නවක තොරතුරු ගැන කිසිදු ප්‍රතිචාරයක් නොදක්වමින් ප්‍රහාරයට පාදක වූ පුළුල් කුමන්ත්‍රණයක් පිළිබඳ කරුණු සඟවා සිටීමට කටයුතු කිරීම ඇත්තෙන්ම කනගාටුදායකය. ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ සඳහන් වන පරිදි මේ ප්‍රහාරය ගැන දැනගෙන සිටියදීත් එය වැළැක්වීමට කටයුතු නොකළ දේශපාලනික හා ආරක්ෂක අංශවල නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස නීතිපති තුමාට නිර්දේශ කර ඇතත්, එතුමා මේ වනතුරුත් ඒ ගැන මුනිවත රැකීම අපි තරයේ හෙළා දකිමු. මේ අසාධාරණ පක්ෂග්‍රාහීභාවය මේ රට තුළ නීතියේ ස්වාධීනත්වයට කරන දරුණු පරිභවයක් බව කිව යුතුය.
ශ්‍රී ලංකාව තුළ අපට සාධාරණයක් ඉටු කරගැනීමට දිගින් දිගටම අප කළ ඉල්ලීම් පසුගිය රජයද, දැන් පවතින රජයද තුට්ටුවකටවත් ගණන් නොගැනීම නිසාද, ඇති සියලු මං වසාදමා තිබීමෙන්ද අපට මේ භයානක සිද්ධියේ සත්‍ය පසුබිම සොයාගැනීමට නොහැකි වී ඇත. අප එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය වෙත අපේ මේ ඉල්ලීම ඉදිරිපත් කළේ අපට වෙන විකල්පයක් නොතිබූ නිසාය. එලෙසම ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ වෙතද, අද ලෝකයේ විවිධ ප්‍රදේශවල කතෝලික සභාව මෙහෙයවන කාදිනල් හිමිපාණන් වෙතද මෙම දුක්ගැනවිල්ල යොමුකරන්නට සිදුවූ බව සඳහන් කර සිටිමි. මෙය ජාත්‍යන්තර තලයට ගෙන යන්නේ කතෝලික ජනතාව අප රටට ආදරය නොකරන නිසා නොව අපට සිදුවූ මේ මහා විනාශය පිළිබඳ සත්‍යය සොයාගැනීමට අපට වෙන විකල්ප මාර්ගයක් නොමැති වීම නිසාය.
පාස්කු ප්‍රහාරය සිදුවූ මොහොතේ නීතිපති ධුරය දැරූ දප්පුල ද ලිවේරා මහතා 2021 මැයි 17 වැනි දින ‘නිවුස් ෆස්ට්’ මාධ්‍යවේදී සුල්ෆික් ෆර්සාන්ට දැන්වූ ආකාරයට මේ ප්‍රහාරය පිටුපස තිබූ මහා කුමන්ත්‍රණය කුමක්දැයි සොයා බලන්නේ නැත්තේ ඇයිදැයි අප රජයෙන් අසා සිටිමු. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමන් ජනාධිපති ධුරයෙන් ඉවත් කිරීමට ක්‍රියා කළ බලවේග පිළිබඳ ලියන ලද කෘතියක කතෝලික සභාවද මෙම අරගලය පිටුපස ප්‍රධාන බලවේගයක් වූ බවට චෝදනා කිරීම අසාධාරණ දෙයක් බව මෙහිදී සඳහන් කළ යුතුමය. ඒ මහතා ජනාධිපති ධුරයට ඉල්ලුම් කළ මොහොතේදී ඔහුම අපට දුන් පොරොන්දු මත පදනම්ව ඔහු පිළිබඳ අප තුළ යම් බලාපොරොත්තුවක් ඇතිවූ බව සත්‍යයකි. මෙහිදී ඒ පිළිබඳ අපට ඍජු වශයෙන් හා ප්රසිද්ධවද ඔහු ලබා දුන් පොරොන්දු බලපෑ බව නොරහසකි. කෙසේ වෙතත් බලයට පැමිණි පසු ඒ සියල්ල අමතක කරදැමීම හා පාස්කු ප්‍රහාරයට අදාළ විමර්ශන සඟවා තැබීමට ඍජුවම කටයුතු කිරීම තුළ ඔහු පිළිබඳ අප තුළ තිබූ විශ්වාසය සහමුලින්ම බිඳවැටුණු බව ප්‍රකාශ කළ යුතුමය.
එදා ගාලුමුවදොර පිටියේ පැවැති ජන අරගලයට කතෝලික පියතුමන්, පැවිදි සොහොයුරු සොහොයුරියන් සම්බන්ධ වූ බව සත්‍යයකි. එහෙත් ඒ මහතා අමතක කරන්නේ එම අරගලයට සම්බන්ධ වූයේ කතෝලික ජනතාව පමණක් නොව බෞද්ධ, හින්දු, මුස්ලිම් හින්දු ජනකොටස් බවය. එදා ගාලුමුවදොර පිටියට පැමිණි බෞද්ධ භික්ෂුන්වහන්සේ, මවුලවිතුමන්ලා, හින්දු පූජකතුමන්ලා පිළිබඳවද අද ඒ මහතා කතා නොකිරීම ප්රහේළිකාවකි. ශ්‍රී ලංකාවේ ආර්ථිකය මෙන්ම ප්රජාතන්ත්රවාදී පිළිවෙත්ද එදා කඩාවැටුණු නිසා ජන අරගලය ඇතිවූ බව රහසක් නොවේ. එලෙසම ඒ මහතාගේ පාලනය යටතේ ගන්නා ලද ඇතැම් තීන්දු තීරණයන් තුළ ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩාවැටීම සිදුවූ බව අමුතුවෙන් කිවයුතු නොවේ. ජන අරගලය ආරම්භ වූයේ කිලෝමීටර් ගණන් දිග පෝලිම්වල ඉන්ධන, භූමිතෙල් හා ගෑස් වැනි අත්‍යාවශ්‍ය දේ ලබාගැනීමට දින ගණනාවක් සිටීමට රටේ මහජනතාවට සිදුවූ නිසාත්, ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ඉතා කිට්ටුවෙන් සම්බන්ධ ගොවිතැන පිළිබඳ එතුමා ගත් යම් තීරණයන් නිසා එම ක්ෂේත්රය සහමුලින්ම වාගේ කඩාකප්පල් වීම නිසාත්, තමන් වටා සිටි ඇතැම් පිරිස්වල නොමග යැවීමට එතුමා යටත් වීම නිසාත් මේ රට තුළ සියලු ජාතීන් හා ආගමිකයන් එක්සත් කරමින් සැබෑ ප්රජාතන්ත්රවාදී රාමුවක් තුළ රට ගෙනයන්නට එතුමා කටයුතු නොකිරීම නිසාත් ඇතිවූ පිළිකුල්සහගත තත්ත්වය නිසාය. ඒ අරගලයට කතෝලික අපි සම්බන්ධ වූවා නම් එසේ වූයේ වෙනත් ජාතීන් හා ආගමිකයන් සමග අප රට වෙනුවෙන් අප තුළ තිබූ ජාතිමාමක හැඟීම නිසාය.
දැන් අප රටට සිදුවී ඇත්තේ මහත් විනාශයකි. අද ශ්‍රී ලංකාව තුළ පුදුමාකාරයේ පාලන තන්ත්රයක් බිහිවී ඇත. පාරම්පරිකව වාමාංශික සමාජවාදී අදහස් දැරූ කණ්ඩායමක් ඒ මගින් බලයට පැමිණ පාරම්පරිකව බටහිර ගැති ආකල්ප හා නිදහස් වෙළෙඳ පිළිවෙත වැලඳගත් කණ්ඩායමක් සමග එකට හවුල්වී ජනතාවගේ බඩගින්න දුක වේදනා ගැන කිසිදු තැකීමක් නොමැතිව මේ රටේ සම්පත් විදේශීය සමාගම්වලට සහ ආයතනවලට විකුණන්නට පිඹුරුපත් සකස් කරමින් මේ රට අවට රටක කොටසක් යැයි කියන්නට තරම් ධෛර්යවත් වෙමින් අපේ ස්වාධීනත්වය හා ස්වෛරීභාවය පාවාදෙන ආකාරයේ තීරණ ගනිමින් වම සහ දකුණ එකට එකතුවූ දෙපත් නයකු මෙන් මේ රට පාවාදෙමින් මේ පාලන තන්ත්රණය ක්‍රියාත්මක වෙමින් පවතී. අධික ණය බර නිසාද දරාගත නොහැකි බදු ගෙවීමට සිදුවීම නිසාද රටේ බහුතර ජනතාව අන්ත දුප්පත්කමින් පීඩා විඳින අතර, ඉතා සුළු වූ පොහොසතුන් පිරිසකට මෙන්ම විදේශීය සමාගම්වලටද රටේ සම්පත් අයත් වීම දිගින් දිගටම සිදුවෙමින් පවතී. එලෙසම හතු පිපෙන්නාක් මෙන් රටේ ප්රජාතන්ත්රවාදී ගමන් මග ඒකාධිපතිවාදයක් වෙත මෙහෙයවන්නට විවිධ ආඥා පනත් ඉදිරිපත් කරමින් තමන්ට ලැබුණු ජන වරම අමතක කර ඊට ප්‍රතිවිරුද්ධ දේ රට තුළ ජනිත කරවන්නට ඔවුන් ක්‍රියාත්මක වෙමින් සිටියි. ඒ සියල්ල අමතක කර දමා පවතින මෙම තත්ත්වයට හේතුව කතෝලික සභාව යැයි යම්කිසි කෙනකු ප්‍රකාශ කළහොත් අපට නම් ඔහු සිහි විකල් වූ කෙනකු මිස පියවි මනසකින් කතා කරන්නකු නොවේ.
ශ්‍රී ලංකාවේ කතෝලික සභාව කවදත් මේ රටට ආදරය කරන, ජනතාවකින් හා නායකත්වයකින් හොබවනු ලැබීය. මේ වන විට ශ්‍රී ලංකාව තුළ අපගේ ජන වන්දනාවද සභාවේ ක්‍රියාකාරකම්ද, සභාවේ චින්තනයද ජාතික වටිනාකම්වලින් සහ ජාතික උරුමයන් තුළින් සකස් වී ඇත. අපේ රට තුළ අපි අපගේ වත්පිළිවෙත්වලදී භාවිත කරන්නේ සිංහල සහ දෙමළ භාෂාය. ඒවා අප මවු භාෂාවන්ය. අප කතෝලිකයන් බොහෝ දෙනකු වෙනත් ආගමිකයන් සමග ආවාහ විවාහ වී සිටීම තුළ අද කතෝලික බෞද්ධ හින්දු සහ මුස්ලිම් අප අතර වෙනස්කම් බොහෝ දුරට හීන වී ඇත. සියල්ලන්ටම අප සලකන්නේ එක හා සමානවය. විශේෂයෙන්ම මේ රට තුළ පවතින බෞද්ධ සංස්කෘතිය අපි අගය කොට සලකමු.
ඒ තුළින් අප සමාජයට උරුම වී ඇති ආකල්ප, ගති පැවැතුම් සිරිත් විරිත් කතෝලික අපද වැලඳගෙන ඇත්තෙමු. ඒ නිසා කතෝලික සභාව ශ්‍රී ලංකාව තුළ වෙනම අනන්‍යතාවකින් යුක්තව සිටින දේශපාලන බලවේගයක් ලෙස හුවාදැක්වීම වරදකි. අපට දේශපාලන පක්ෂ නැත. අප ජාතික ප්රවාහයේ දේශපාලන පක්ෂ සමග බැඳී සිටිමු. වෙනත් ආගමිකයන් මෙන් අප ක්‍රිස්තියානි ආගම පදනම් කරගත් දේශපාලන පක්ෂ බිහි නොකළෙමු. මේ සියල්ලෙන් මා අදහස් කරන්නේ මෙවැනි චෝදනා ඉදිරිපත් කරනු වෙනුවට තමන්ගේ හෘදසාක්ෂිය හොඳින් පරීක්ෂා කර බලා සිදුවූ සියල්ල සත්‍යවාදීව විමර්ශනය කරන්නට එවැනි ආකල්ප දරන සියලු දෙනා කටයුතු කළ යුතු බවය. ඒ තුළින් ශ්‍රී ලංකාවාසී අප සැමට මේ රජය හෝ ඉදිරියට පැමිණෙන රජයක් විසින් හෝ කළ යුතු වන පළමු පෙළේ වගකීම වන්නේ මේ රටේ නූතන ඉතිහාසය තවත් පැත්තකට යොමුකළ පාස්කු ප්‍රහාරය සහ එහි පිටුපස ඇති සත්‍යය සොයාගන්නට අවශ්‍ය ස්වාධීන ව්‍යුහයන් සකස් කරමින් කටයුතු කිරීමයි. එසේ නොකළහොත් ඉදිරියටද මෙය මේ රටේ කීර්තිනාමයට කැළැලක් වන බව සඳහන් කළ යුතුමය.
මේ රට තුළ පසුගිය දශක තුන හතරේදී බොහෝ දරුණු ලෙස නීතිය අවනීතිය බවට පත්වීම, උසාවියට පවා පරිභව කිරීමට දේශපාලකයන් කටයුතු කිරීම, සත්‍යය වසං කිරීමට විවිධ ආකාරයේ ක්‍රියා සහ අකටයුතුකම්වල නිරත වීම හා ඉතා දරුණු ලෙස දූෂණයට රට යොමුකිරීම මේ රට විනාශය කරා යොමු කළෝය. නිදහස ලබා වසර 76ක් ගෙවෙන කල අප රට මෙලෙස ඉතා අවිනිශ්චිතව හා වහල් බවේ ගමන් මගකට යොමුවී ඇත්තේ අප රට පාලනය කළ දේශපාලන නායකත්වය නිසා බව පැහැදිලිවම කිව යුතුය. ඒ නිසා ඒ ප්‍රශ්නවලට මුහුණ දෙනු වෙනුවට මේ සියල්ල වසං කිරීමට ගෝනි බිල්ලකු කතෝලිකයන් තුළ දැකීමට හිටපු ජනාධිපතිතුමා උත්සාහ කිරීම අප ප්‍රතික්ෂේප කරමු.
තමන්ගේ නොහැකියාවට පිළිතුරු සෙවිය යුත්තේ තමාගේම හෘදයසාක්ෂිය තුළ මිස අන්‍යයන්ට ඇඟිල්ල දිගුකිරීම තුළ නොවේ. ඒ නිසා තමන්ගේ නොහැකියාවට තමන් පිළිතුරු සෙවීමට කටයුතු කරන්නේ නම් එය වඩාත් සුදුසුය. අදත් මේ අවස්ථාවේදී මා ඉල්ලා සිටින්නේ මේ ම්ලේච්ඡ පාස්කු ප්‍රහාරය පිටුපස ඇති සියලු කරුණු සොයා බලන්නට ස්වාධීන වූද, සාධාරණ වූද, සත්‍යවාදී වූද විමර්ශනයක් ආරම්භ කරන ලෙසයි. එසේ නොකර සත්‍ය වසං කරමින් අනුන්ට ඇඟිල්ල දිගුකිරීම පමණක් තුළින් මේ රට සුව කරන්නට කිසි කෙනකුට නොහැකි යැයි මගේ විශ්වාසයයි. එදා සිට මේ රට තුළ සිදුවූ මිනීමැරුම්, අතුරුදන් වීම්, කුමන්ත්‍රණ හා විනාශකාරී ලේ හැලීම් පිළිබඳ විමර්ශන කිසිවක් සිදු නොවීම තුළ අප රට පත්ව ඇති තත්ත්වයද රට පාලනය කරන නායකයන් තමන් අතර සියලු බලතල අත්පත් කරගැනීමට උත්සාහ කිරීම තුළද ඒ සඳහා ඒකාධිපති වියරුවෙන් හැසිරීම තුළද අප රට අප ආදර මවුබිම දූෂිත සමාජ රටාවක් තුළ සිරවී ඇත. එබැවින් මේ අවස්ථාවේදී අපට අවශ්‍ය වන්නේ මුළු රටේම ජනතාවගේ සිත් හැදීමකි. අප අදහන උතුම් වූ ධර්මයන් තුළ පිහිටා සිට කටයුතු කිරීමට අප රටේ නායකත්වයද, අප රටේ ජනතාවද ක්‍රියා කරන්නේ නම් අප රට ඉදිරියට ගෙන යා හැක. තමන් අදහන ආගමේ වත්පිළිවෙත්වලට පමණක් සහභාගි වෙමින් ඊට ප්‍රතිවිරුද්ධ ලෙස සමාජ ජීවිතය තුළ හැසිරීම නිසා මේ නායකයන් රඟදක්වන නාටකය දැන් හමාර කළ යුතු යැයි මම සිතමි. සත්‍යය හා යුක්තිය කිසිදා යටගැසිය නොහැක. එය දිය යට තදකර තබන්නට උත්සාහ කරන රබර් බෝලයකට සමාන කළ හැක. අප එම සත්‍යය හා යුක්තිය ලැබෙනතුරු සත්‍යයේද පරමේශ්වරයාණන් වූ දෙවි සමිඳුන්ට කන්නලව් කරමු. එලෙසම පාස්කු ප්‍රහාරයෙන් මියගිය සියලු දෙනා වෙනුවෙන් අපගේ ශෝකය නැවතත් පළකර සිටින අතර, ඔවුන්ට ස්වර්ගීය සහ නිවන් සම්පත් ලැබේවා යැයි කරන ප්රාර්ථනාවද, තුවාල වූ හා අසරණ වූ අයට ඉක්මනින් සුවය ලැබෙන ලෙස කරන යාච්ඥාවද ඉදිරිපත් කරමින් මා නවතිමි.