‘ඊශ්‍රායලය විසින් සිදුකළ මෙම ක්‍රියාව මුළුමහත් ප්‍රජාතන්ත්‍රවාදයේත්, මාධ්‍ය නිදහසේත් භයානක සාපරාධී ක්‍රියාවක් ලෙසට හැඳින්විය හැකිය. තවද ප්‍රජාතන්ත්‍රවාදයේ අඳුරු දවසක් ලෙසට එය ලෝක ඉතිහාසයට එකතු වෙනවා. අල් ජසීරා මාධ්‍ය ආයතනය ඊශ්‍රායලය තුළ තහනම් කිරීමට ඊශ්‍රායල බලධාරීන් විසින් ගත් මෙම තීරණය එය රට තුළ ක්‍රියාත්මක වන අනෙකුත් මාධ්‍ය ආයතනය සඳහාද පූර්වාදර්ශයක් සපයනවා. මෙලෙස ඊශ්‍රායලයේ අල් ජසීරා වසාදැමීමේ ක්‍රියාව මේ වන විට ලෝකයේ මානව හිමිකම් සහ පුවත්පත් කණ්ඩායම් ගණනාවකගේ විවේචනයට ලක්ව තිබෙනවා. අල් ජසීරා මාධ්‍ය ආයතනය ඊශ්‍රායලයට තර්ජනයක් බවට එරට බලධාරීන් විසින් සිදුකරනු ලබන ප්‍රකාශයන් අතිශයින් භයානක හා අතිශයින්ම හාස්‍යජනක බොරුවක් ලෙසින් එම සංවිධානය හඳුන්වාදී තිබෙනවා. ඔවුන් තමන්ට එරෙහිව ගනු ලැබූ පියවරට ඊශ්‍රායලයට එරෙහිව සෑම නීතිමය පියවරක් අනුගමනය කිරීමට පියවර ගනිමින් සිටිනවා. එය ඔවුන් සතු අයිතියක් හා යුතුකමක්…’ (Sri Lanka Latest News)
මෙම ආවේගශීලී ආන්දෝලනාත්මක කතාන්දරය ඇසෙන්නේ කොතැනකින්ද? ලෝකයේ ප්‍රකට මාධ්‍ය සංවිධානයක් වන බී.බී.සී. ආයතනයේ පුවත් වාර්තාවකින් මෙම තොරතුරු ඇසෙන්නට විය. මෙලෙස දින කිහිපයකට පෙරදී ලෝකයේ බොහෝ පාර්ශ්වයන් මහත් ආන්දෝලනයට පත්කළ පුවතක් ගැන ඇසෙන්නට විය. එය කුමක්ද? පසුගියදා අසන්නට ලැබුණු මෙම පුවතින් කියැවුණේ ලොව ප්‍රධානතම පෙළේ මාධ්‍ය සංවිධානයක් වන අල් ජසීරා මාධ්‍ය ජාලය අදාළ වූ සුවිශේෂ කතාවකි. එනම් ඊශ්‍රායලය තුළ ක්‍රියාත්මක වෙමින් තිබුණු එම මාධ්‍ය ජාලයේ කාර්යාලය ඊශ්‍රායල බලධාරීන් විසින් තහනමට ලක්කිරීම සහ ඉන් අනතුරුව එම කාර්යාලය මුළුමනින්ම වසාදැමීමය. එසේම එම ආයතනයේ සේවය කළ සියලු මාධ්‍ය කාර්ය මණ්ඩලයම ඊශ්‍රායලයෙන් පිටුවහල් කිරීමය. දැනට සතියකට පමණ පෙරදී මෙම අර්බුදය සිදුවූ අතර, මෙවැන්නක් සිදුවන්නේද වත්මන් ඊශ්‍රායල-පලස්තීන යුද්ධය පසුබිමේදීය. ඊශ්‍රායල රජය විසින් මෙම තීරණය ගනිමින් නිල ප්‍රකාශයක් සිදුකරමින් ප්‍රකාශ කර ඇත්තේ අල් ජසීරා මාධ්‍ය සංවිධානය විසින් තමන්ගේ මාධ්‍ය ක්‍රියාවලිය හරහා ඊශ්‍රායලයට බොහෝ හානිකර තත්ත්වයක් උද්ගත කර තිබෙන බවයි. එනම් වර්තමාන යුද්ධයේදී තම විරුද්ධවාදියා වන පලස්තීනයට පමණක් සහාය දක්වමින් මාධ්‍යකරණයෙහි නිරත වූ බැව්ය. යුද්ධයට පෙර හා දැනට යුද්ධය පවතින පසුබිමේදීද මෙම තත්ත්වය උත්සන්න වූ බව ඊශ්‍රායලය චෝදනා කර සිටියේය. මෙම වටපිටාව යටතේ ඊශ්‍රායලයේ වත්මන් අගමැති බෙන්ජමින් නෙතෙන්යාහුගේ නායකත්වය සහ උපදෙස් මත ඊශ්‍රායල කැබිනට් මණ්ඩලය විසින් මෙම තහනම පැනවීමට ඒකමතිකව ඡන්දය ලබාදුන්නේය.
තහනම ක්‍රියාත්මක වීමත් සමගම ඊශ්‍රායල පොලිසිය වහා අල් ජසීරා මාධ්‍ය ආයතනය වෙත කඩාපැන එම පරිශ්‍රයට මුද්‍රා තබා සියලු විකාශයන් තහනමට ලක් කළේය. එසේම එම ආයතනය සතු නවීනතම මාධ්‍ය උපකරණ රාශියක්ද ආරක්ෂක අංශ භාරයට ගෙන ඇත. අල් ජසීරා මාධ්‍ය ආයතනය තහනම් කිරීමේ තීරණය ප්‍රකාශයට පත්කරනු ලැබුවේ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතෙන්යාහු විසින් වන අතර, එම මාධ්‍ය ආයතන පරිශ්‍රයට සීල් තැබීමට එරට සන්නිවේදන සහ මාධ්‍ය කටයුතු අමාත්‍ය ෂ්ලොමෝ කාර්හිගේ නියෝගය මත සිදුකෙරිණි. ඒ අනුව පොලිසියේ සහාය ඇතිව කාර්යාලය වටලන ලදී. ඒ සඳහා ඊශ්‍රායල සන්නිවේදන හා මාධ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්ද පැමිණ සිටියේය. අගනුවර වන ජෙරුසලමේ පිහිටි මෙම කාර්යාලය වටලන අයුරු මාධ්‍ය ආයතන කිහිපයක් විසින් රූගත කර තිබිණි. ඊශ්‍රායලය සහ පලස්තීනය අතර පවතින වත්මන් යුද්ධ පසුබිමේදී ඊශ්‍රායලයට යම් මාධ්‍ය ආයතනයක් විසින් ආරක්ෂාවට එරෙහි තර්ජනයක් සිදුවන්නේ නම් එම මාධ්‍ය ආයතනවලට එරෙහිව කටයුතු කෙරිණි. පසුගිය 2024 අප්‍රේල් 01 වැනිදා ඊශ්‍රායලයේ පාර්ලිමේන්තුව විසින් මේ සඳහා විශේෂ පනතක් සහ නීති මාලාවක් සම්මත කරගන්නා ලදී. ඒ අනුව මෙම තර්ජනය ප්‍රධාන වශයෙන්ම බලපානු ලබන්නේ විදේශීය මාධ්‍ය ආයතන වෙතය. එහි ප්‍රතිඵලයක් ලෙස එම දරදඬු තීරණය මත ප්‍රථම වතාවට දඬුවමට ලක්වන්නේ අල් ජසීරා ආයතනයයි. මෙම තත්ත්වය යටතේ ලෝකයේ මාධ්‍ය විශ්ලේෂකයන් ප්‍රකාශ කර සිටින්නේ ඉදිරියේදී තවත් මාධ්‍ය ආයතන පවා අනතුරට ලක්විය හැකි බවය. මෙම ප්‍රබල තහනම යටතේ ඊශ්‍රායලය තුළ ක්‍රියාත්මක වූ අල් ජසීරා පුවත්පත්, රූපවාහිනී නාලිකා, වෙබ් අඩවි, කේබල් නාලිකා සහ සියලු අන්තර්ජාල ප්‍රවේශ මාර්ග පූර්ණ තහනමට ලක්කර ඇත.
ඊශ්‍රායලයේ පාලන තන්ත්‍රය විසින් ගනු ලැබූ මෙම දරදඬු මාධ්‍ය මර්දනයට එරෙහිව අල් ජසීරා මාධ්‍ය ආයතනයේ ඩොහා නගරයේ (කටාර් රාජ්‍යයේ අගනුවර පිහිටි ප්‍රධාන මූලස්ථානය විසින් නිල ප්‍රකාශයක් නිකුත් කර ඇත. ඒ මගින් මෙසේ කරුණු කියා සිටියි.
‘ඊශ්‍රායල රජය විසින් ගත් මෙම තීරණය අප බලවත් සේ හෙළාදකිනවා. මෙය සම්පූර්ණයෙන්ම ගෝලීය මාධ්‍ය නිදහස උල්ලංඝනය කිරීමක්. ඊශ්‍රායලය කුමක් සිදුකළත් අප අපගේ මාධ්‍යවේදීන් ආරක්ෂා කිරීමට බැඳී සිනවා. මෙම තීරණයට එරෙහිව අපි ජාත්‍යන්තර වශයෙන් නීති මාර්ගයෙන් කටයුතු කිරීමට පියවර ගන්නවා. ඒ අතරම අප ස්ථිරවම කියා සිටින්නේ ඊශ්‍රායලයෙන් පිට හෝ හිඳිමින් ඊශ්‍රායලයේ තහනම නොතකා අපගේ යුද ආවරණයන් සිදුකරන බවයි. පසුගිය කාලයේ අපගේ ආයතනයේ මාධ්‍යවේදීන්ට එරෙහිව ඊශ්‍රායලය නොයෙකුත් මර්දනයන් සිදුකළා. මාධ්‍යවේදීන් රැසක්ම විවිධ උපක්‍රම භාවිත කරමින් ඝාතනය කිරීමට පවා කටයුතු කළා. පසුගියදා ගාසා තීරයේදී අපගේ මාධ්‍යවේදියකුගේ පවුලේ සියලු සාමාජිකයන් පවා බෝම්බ ප්‍රහාරයකින් ඝාතනයට ලක්කළා. අපට මේ තර්ජනයන් ආවේ 2017 වසරේ සිටයි. ඊශ්‍රායලයේ මිසයිලයක් විසින් පලස්තීන ගාසා තීරයේ තිබුණු අපගේ කාර්යාලයක් 2021 වසරේදී මුළුමනින්ම විනාශ කර දැමුවා. ඊශ්‍රායලය අපට එරෙහිව සාපරාධී ක්‍රියා රැසක් සිදුකර තිබෙනවා. මේ සියල්ල ජාත්‍යන්තර සහ මානුෂීය නීතියට පටහැනියි. කෙසේ හෝ ගෝලීය ප්‍රේක්ෂකයන් වෙත සත්‍ය තොරතුරු සැපයීමට අපි අඛණ්ඩව කටයුතු කරනවා. 2023 ඔක්තෝබර් 07 වැනිදා යුද්ධය ආරම්භ වූ දින සිටම ඊශ්‍රායලය විදේශීය මාධ්‍යවේදීන් මර්දනය සිදුකරනු ලබනවා….’
කෙසේ හෝ ඊශ්‍රායලය විසින් ගනු ලැබූ මෙම කුරිරු මාධ්‍ය මර්දන ක්‍රියාවලිය මේ වනවිට එක්සත් ජාතීන්ගේ සංවිධානය, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ඇතුළු ලෝකයේ ප්‍රධානතම මානව හිමිකම් සංවිධාන රැසක් විසින් හෙළාදැක ඇති අතර, නිල ප්‍රකාශයන්ද නිකුත් කර ඇත. එහෙත් ඒ කිසිවක් බීරි අලින්ට වීනා වයනවා සේ කිසිදු ආකාරයකින් ඊශ්‍රායලය මායිම් කර නැත.
අල් ජසීරා මාධ්‍ය ජාලය යනු ශ්‍රී ලංකාව තුළ සහ ගෝලීය වශයෙන්ද අතිශයින් ප්‍රකට ජාත්‍යන්තර මාධ්‍ය සංවිධානයකි. මෙය මැදපෙරදිග අරාබි රජ්‍යයක් වන කටාර් රාජ්‍යයේදී ආරම්භ කර ඇත්තේ 1996 නොවැම්බර් 01 වැනිදාය. එනම් මේ වන විට එයට වසර 27ක ඉතිහාසයක් ඇත. මෙම මාධ්‍ය සංවිධානය පුද්ගලික හා රාජ්‍ය සහභාගිත්වයක් සහ අනුග්‍රහයක් ඇති ආයතනයක් වන අතර, එහි මූලස්ථානය කටාර් රාජ්‍යයේ අගනුවර වන ඩොහා නගරයේ පිහිටා ඇත. මෙම සුවිශාල මාධ්‍ය ජාලය දැනට ලෝකයේ රටවල් 150ක් පුරා විකාශය කෙරෙන අතර, මේ සේවය සඳහා පරිශීලකයන් මිලියන 430ක සුවිශාල පිරිසක් ලොව පුරා විසිරී ඇත. බොහෝ විට සත්‍ය, අපක්ෂපාත මාධ්‍ය මෙහෙවරක් ඉටුකරන ආයතනයක් ලෙස ඔවුන් ප්‍රකටය. අල් ජසීරා සේවය ඉංග්‍රීසි සහ අරාබි බසින්ද වෙන වෙනම තම සේවාවන් පවත්වනු ලබයි. දැනට මෙම මාධ්‍ය ආයතනයේ සේවකයන් 3,000කට අධික පිරිසක් ලොව විසිරී තිබෙන කාර්යාල රැසක සේවය කරති. අල් ජසීරා ආයතනයේ වත්මන් සභාපති ධුරය දරන්නේ කටාර් රාජකීය පවුලේ සාමාජිකයකු වන ෂෙයික් හමාඩි බිල් අල් තානි විසින් වන අතර, ඔහු කටාර් විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය උපාධිධරයකු වෙයි. ඔහු මෙම ආයතනය මහත් ප්‍රගතියක් කරා ගෙන යෑමට විශාල මෙහෙවරක් ඉටුකර ඇතැයි ප්‍රකාශ වෙයි.

ප්‍රියන්ත හෙට්ටිගේ









