නුවරඑළිය හීතලයි. හැමදාම එහෙමයි. නිරතුරුවම වැටෙන මල් තුහිනවලින් නුවරඑළිය තෙතබරිත වෙනවා. කොළඹදි ඈත අහසෙ පාවෙනවා පේන වලාකුළු නුවරඑළියෙදි බිමට බහිනවා. ඒ වලාකුළු හැමදාම උදේට මල්ගොමු අස්සෙ හුරතල් වෙනවා. ඇස්ටමේනියා, බටන් කපුරු, කානේෂන්, රෝස මල් යායට පිපෙනවා. ඩේසි මල්වලට අණක් ගුණක් නෑ, ඒවා හැම තැනම. ඉඳහිට තැනක ලිලී මලක් දෙකක් පිපිලා. නුවරඑළිය ලස්සන වෙන්නෙ අප්‍රේල් මාසෙට. රොබරෝසියා මල් පිපිලා ඉවර වෙන්නෙ රෝස වසන්තයෙ අග. ඊට පස්සෙයි අවුරුද්දත් අරගෙන වසන්තය එන්නෙ. (Sri Lanka Latest News)
හැම වසන්තයකම වගේ මෙදා වසන්තයේදීත් නුවරඑළියෙ මල් පිපුණා. හීං හිරිකඩ මල් තුහින මල් පෙති උඩ වැටුණම පෙනුණෙ රෝස පාට කම්මුලකට කඳුළු වැටිලා වගේ. අප්‍රේල් මාසෙ පටන් ගන්නකොටම වැටුණු මහ වැස්සෙන් බදුල්ලෙ බණ්ඩාරවෙළ පැත්තෙ කඳු කඩාගෙන වැටුණා. දිය ඇලිවල වතුර බොර වුණා. ඒත් මිනිස්සු බලාගෙන හිටියෙ නිදහසේ හුස්මක් ගන්න දවසක් එනකල්. දෙදාස් දහනවයෙ ඉඳලම මිනිස්සුන්ට නිදහසේ නුවරඑළි යන්න බැරි වුණා. දහනවයේ අප්‍රේල්වල පාස්කු බෝම්බෙත් එක්ක පපුවෙ හැදුණු ගැස්ම කොහේද ඉඳලා කඩං පැන්න කොරෝනාවක් හින්දා හත්අට ගුණයක් වුණා. ඊට පස්සෙ තෙල් ටිකල් ගහගන්න පෝලිංවල නැහෙනවා මිසක් මිනිස්සුන්ට නුවරඑළියක යන්න ලැබුණෙ නෑ. ඔය ඔක්කොම ඉවර වෙලා මේ මිනිස්සු යාන්තං නිදහසේ හුස්මක් ගත්තා විතරයි. මේ අප්‍රේල් මාසෙ නුවරඑළිය මිනිස්සුන්ගෙන් පිරුණා. ඒ මිනිස්සු ඇවිද්දා, කෑවා, බිව්වා, නැටුවා, දැඟලුවා. ඒ අස්සෙ…
ඔව් මේ ලියන්න හදන්නෙ ඒ කතාව. අවුරුදු පහකට පස්සෙ ආයෙමත් අප්‍රේල් මාසෙ අන්තිම කාලෙ ඔබට හිත රිදෙන කතාවක් ලියන්න වුණාට සමාවෙන්න. මම හැම දාකම පත්තරකාරයෙක් විදියට හරි නවකතාකාරයෙක් විදියට හරි උත්සාහ කරන්නෙ ඔබව සතුටින් තියන්න. ඔබට සතුටු හිතෙන දේවල්ම කියන්න. ඒත් මේ වෙලාවෙ එහෙම නෑ. ලස්සන නුවරඑළියෙ තිබ්බ සතුට එක මොහොතකින් ඉවර වුණු විදිය මට ලියන්න වෙලා. මේක මේ දුක ගැන වේදනාව ගැන කඳුළු ගැන කියන මාසයක් නෙමෙයි. මේ සතුට ඉතිරෙන මාසයක්. ඒත් ඒ මාසෙ අපි කී වතාවක් අඬන්න ඇතිද?
එක වතාවක් කොටුවෙ බෝම්බෙන් මිනිස්සු එකසිය දහතුනක් මියගියා. ඊට පස්සෙ මීතොටමුල්ල කුණු කන්ද මිනිස්සුන්ගෙ ඔළුව උඩට කඩාගෙන වැටුණා. ඊට පස්සෙ පාස්කු බෝම්බෙ පිපිරෙව්වා, මේ වතාවෙ තවත් මරණ ගොඩක් එක්ක අපිට අවුරුද්ද නිමා වෙනවා. මිනිස්සු ගෙවල් ඉස්සරහ හදපු මල් පැළවල් ගලවපු ගමන්ම සුදු කොඩි දාන්න වෙලා. මේ මරණ එකක් එකක් ගානෙ වෙන වෙනම විස්තර කරන්න මට බෑ. අපි පත්තරකාරයො තමයි. අපිටත් හිතක් පපුවක් තියෙනවා. රස්සාව වෙනුවෙන් මළමිනී කඳු අස්සෙ ඇවිදලා දැං මට හති. ඒ හැම වෙලාවකම මට දැනෙන්නෙ මේ මගෙ නෑදෑයො කියලා. අරණායක සාමසර කන්දෙ රොන්මඩ අස්සෙ වැළමිටෙන් පහළ අත් කෑල්ලක් හම්බුණාම මිනිස්සු දුවගෙන ආවා ඒ අපේ අම්මගෙ කියලා. සමහරු කිව්ව නෑ ඒ මගෙ වයිෆ් කියලා. සමහරු බැලුවා ඒ දුවගෙ ද කියලා. මගෙ හත්මුතු පරම්පරාවෙ කවුරුවත් සාමසර කන්දෙ නොහිටියත්, සත්තයි මටත් හිතුණා ඒ අත අල්ලලා බලන්න. මේ හැම වෙලාවකම එහෙමයි. අප්‍රේල් විසිඑක බෝම්බෙන් ඉරිතැලුණු කාත්තන්කුඩියෙ සියොන් පල්ලියෙ මළ සිරුරු කොටස් අස්සෙ ඇවිදින කොට අපිට හිරිකිත හිතුණෙ නෑ. ඒ මිනිස්සු කතා කරන හෟ හිනා වෙන හෟ මට ඇහුණා. අපි ආපුහු ගෙදර ආවෙ විශාල පසුතැවිල්ලක් එක්ක. මේ වතාවෙත් ඔබට මරණයේ වේදනාව ගැන ලියන්න වුණු එකට මට සමාවෙන්න.
නුවරඑළියෙ මීදුම් අහස දැන් තියෙන්නෙ සුදු කොඩි එල්ලලා. කඳු මුදුන් මළගෙදර යන්න ලෑස්ති වෙලා වෙන්න ඇති. මම ඔබට නොදන්න කතාවක් කියන්නම්. මේක ඇත්තටම කතා දෙකක්. ඒ දෙකම ඔබ කියවන්න පරිස්සමට. හිත තැලෙන තැන් රිදෙන තැන් දැක්කොත් පැනලා දුවන්න. එහෙමත් බැරි නම් කියවන එක නවත්තන්න. අවුරුදු එකොළහක් තිස්සෙ මම ලියන ඒවා කියවපු ඔබ මට එහෙම කළා කියලා මම තරහ වෙන්නෙ නෑ.
පළමු කතාව 2019 අප්‍රේල් මාසෙ 21. එදත් නරියා කන්දෙ රේස් එක තිබ්බ දවසක්. එදත් මේ වගේම මිනිස්සු ඇවිල්ලා හිටපු දවසක්. එදා ඒ වෙනකොට අපි හිටියෙ සාමකාමී රටක. යුද්ධය ඉවර වෙලා. බය හැක නැති මිනිස්සු හුස්ම ගත්තෙ නිදහසේ. එදා හිතාගන්න බැරි විදියට බෝම්බ පිපිරුවා. කොළඹ ගිනි ගන්න කොට ඒ රස්නෙ නරියාකන්දට දැනුණා. එදා රේස් එක අතර මඟ නතර කළා. එදා කොයි වෙලාවෙ බෝම්බයක් පුපුරයිද කියලා බයෙන් ගැහුනු මිනිස්සු ආගිය අතේ ගියා. රේස් එකේ වැඩකටයුතු පිළිවෙළකට ඉවර කරන්නවත් බැරි වුණා. සංවිධායකයන්ට කරකියාගන්න දෙයක් නැතිව ගියා. එදා රතු කොඩි දාලා නතර කරපු රේස් එක වෙනුවෙන් කොළ කොඩියක් වනන්න අවුරුදු පහක් ගියා. එදා රේස් එක නතර වුණු තැනින් ආයෙත් පටන් ගත්තෙ 2024 දී. 20, 21, 22, 23 හැම අවුරුද්දක්ම ඔහේ ගෙවිලා ගියා. 2024ත් රේස් එකට දවස් නියම වෙන්නෙ 21 වැනිදාටමයි. ඒත් මේ 21 වැනිදා මොකක් වෙයිද කියලා කාටවත් අලුතෙන් හිතන්න උවමනාවක් තිබුණෙ නෑ. බලාපොරොත්තු ගොඩක් එක්ක කෑම බීම හදාගෙන මේ මිනිස්සු රේස් එක බලන්න ආවා. වෙනදා නරියාකන්ද රේස් එක ලෑස්ති කරපු විදිය ගැන මිනිස්සුන්ට අසීමිත විශ්වාසයක් තියලා තිබ්බා. ඒ විශ්වාසය සියලු දෙනා විසින්ම බින්දා. පළමු දවසෙ රේස් එකක් කරනවා වගේ, පළමු වතාවට රේස් එකක් පදිනවා වගේ, පළමු වතාවට රේස් එකක් බලන්න ආවා වගේ දේවල් වෙලා තිබ්බෙ.
කොහොම වුණත් මේ තරගය නිමාවෙලා තියෙන්නේ මරණ හතකුත් එක්ක. ඇත්තටම තරගයක් නිමා වෙන්න ඕනේ කුසලානයක් එක්ක. ජයග්‍රහණයක් එක්ක. පදක්කම් එක්ක. ඔල්වරසන් එක්ක. අපිට අහන්න ලැබුණා මේ මරණ හතකින් කෙළවර වෙච්ච තරගය අවසානයේත් ඩී.ජේ. පාටියක් දැම්මා කියලා. අප්‍රසන්න නිසා අපි ඒ ගැන කතා නොකර ඉමු. කොහොම වුණත් මේ තරගය සම්බන්ධයෙන් මෝටර් රථය ධාවනය කරපු මහේෂ් කෝදාගොඩ කියන කතාව අපි ඇහුවා. මහේෂ්ලා කියන්නේ මේක රේස් ඩිරෙක්ටර් විසින් මීට කලින් නවත්තන්න තිබුණු තරගයක් කියලා. කහ කොඩිය වනපු පමණින් වාහනය නවත්තන්න බැහැ කියලා ඔහු කියනවා. එතකොට මේ වාහනය වේගය පාලනය කරගෙන නැවත්වීමට සූදානම් වීම, එහෙම නැත්නම් අවදානමක් ඇති බව තමයි කහ කොඩියෙන් දැනුම් දෙන්නේ. නමුත් කහ කොඩිය නිසි වෙලාවේ වැනුවද? කහ කොඩිය වනනකොට මෝටර් රථ තරගයක් සඳහා මේ ධාවන පථය සුදුසු මට්ටමින් තිබුණද? ඒ වගේම රතු කොඩිය වනන්න පරක්කු වුණාද? රතු කොඩිය වනපු ගමන් තරගය නවත්වන්න ඕනේ. එහෙම නැතුව රතු කොඩිය නොදැක තරගය නැවැත්වීමේ අයිතියක් නෑ තරගකරුවන්ට. මේ සම්බන්ධයෙන් විවිධ කාරණා විවිධ පාර්ශ්වවලට එල්ල වෙනවා.
මේ ලිපිය ලියන මොහොත වෙනකොටත් මෝටර් රථ ධාවකයන් දෙදෙනෙක් අත්අඩංගුවට පත්වෙලා තියෙන්නේ. ඔවුන් නිසයි මේ රිය අනතුර සිද්ධ වුණේ කියන එක මූලිකව පේන කාරණයක්. හැබැයි මේක පිටිපස්සේ තියෙන බොහෝ කාරණා පැහැදිලි කරගත යුතුයි. නරියාකන්ද ධාවන පථය සූදානම් කරලා තිබුණු විදිය නිවැරැදිද? නිවැරැදි ආකාරයෙන් පස් බැමි යොදලා, නරඹන්නන්ට කිට්ටු වෙන්න බැරි පරිසරයක් නිර්මාණය කරලා, ආරක්ෂාව පිළිබඳ ඔවුන්ව නිසි ආකාරයෙන් දැනුවත් කරලා තිබුණද? ටිකට් එක පිටුපස ‘මාරාන්තිකයි’ කියලා ටයිප් කරන එක නෙවෙයි. ලියුම්කරු පත්තරකාරයෙක් වුණාට රේස් බලන හැටි දන්නේ නෑ. කොච්චර පරතරයකින් ඉන්න ඕනෙද, අවදානම් තැන් මොනවද, බලන්න ඕනේ තැන් මොනවද කියලා මම පුද්ගලිකව දන්නේ නෑ. මම වගේ සාමාන්‍ය මිනිස්සු ලක්ෂ ගානක් ලංකාවේ ඉන්නවා. රේස් ගැන දන්න අයට රේස් එකෙන් ආරක්ෂා වෙන්න පුළුවන්. ඒ වගේම මේ ධාවන පථය ගැන අපි බොහෝ කමෙන්ට්ස් දැක්කා. සාමාන්‍යයෙන් මේ වගේ දූවිලි විහිදෙන ධාවන පථයකට හැම රේස් එකකින්ම පස්සේ වතුර ඉසින්න ඕනේ කියලා. නමුත් මේ රේස් එකේ වතුර ඉහලා තිබුණේ නෑ. අපි දන්නවා, අපිට පේනවා දූවිල්ල ඇවිස්සෙන හැටි. ඒක තරගයක ජයග්‍රාහකයා තරගය ඉවර වෙලා තවත් වටයක් පදිනවා. ඒ කියන්නේ ඔහු මේ තරගය අවසාන කිරීමේ කොඩිය දැකලා නෑ. මේ සියලු දෙනාම පළපුරුදු තරගකරුවන්. නමුත් මේ තරගය සූදානම් කරද්දී නිවැරැදිව මේ ස්ථානවලට වතුර ඉහලා මේක හරියට කළා නම් මේ තරගය මීට වඩා සුන්දර නිමාවකින් කෙළවර කරන්න තිබුණා. නමුත් ඒක සිද්ධ වුණේ නෑ. ඒ වගේම මේ ධාවන පථයට එන මෝටර් රථවලට අපි පැහැදිලිව දන්න කාරණයක් තමයි කොළ, කහ සහ රතු පැහැයෙන් කොඩි තුනක් තියෙනවා. කොළ කොඩිය වනනවා කියලා කියන්නේ තරගය සාමාන්‍ය පරිදි පවත්වන්න පුළුවන්. කොළ කොඩියක් වනනවා කියලා කියන්නේ තරගයට අවශ්‍ය කරන සාමාන්‍ය පරිසරය ඒ තරග භූමියේ තියෙනවා කියන එක. නමුත් එහෙම තත්ත්වයක් නැතුව තියෙද්දීත් කොළ කොඩියේ තත්ත්වය තමයි සාමාන්‍ය මට්ටමේ තියෙන්නේ. එක තරගයක මෝටර් රථ 4ක් පෙරළෙනවා. ඊට පස්සේ උපුල්වන් සේරසිංහගේ මෝටර් රථය සහ තවත් මෝටර් රථයක් ට්‍රැක් එකේ පෙරළිලා තියෙනවා. එහෙම තියෙද්දීත් තරගය පැවැත්වෙනවා. එහෙම තරගය පැවැත්වෙද්දී තමයි මහේෂ් කෝදාගොඩගේ සහ තවත් වාහන දෙකක් අනතුරට ලක්වෙන්නේ.
උපුල්වන් සේරසිංහගේ රථය පෙරළිලා තියෙද්දීත් සාමාන්‍ය පරිදි රේස් එක පැවැත්වෙනවා. ඒ වගේම මේ මෝටර් රථ පෙරළිලා තියෙන බවක්වත්, වංගුවක් පිළිබඳ අවබෝධයක්වත් නිසි ආකාරයෙන් ලැබෙන්නේ නෑ තරගකරුවන්ට. තරගකරුවන්ට මේ වෙලාවේ මේකෙන් මෙහෙම ගැලවෙන්න බැරි හේතුව තමයි ඔවුන් දැනගන්න ඕනේ තමන්ට නිසි ආකාරව ධාවන පථය පේන්නේ නැත්නම් තරගයේ යෙදෙනකොට පරිස්සම් වෙන්න. ඒ ගැන ඔවුන් ආරක්ෂා වුණාද, නිසි පියවර ගත්තද, ඒ වගේම ජයග්‍රහණය විතරක් නෙවෙයි තමන් බලාපොරොත්තු විය යුත්තේ කියන එක ගැන ඔවුන් කල්පනා කරන්න ඕනේ. ඒකට හේතුව මේ තරගයේදී එක චෝදනාවක් එල්ල වෙනවා තරගකරුවන්ට ඔවුන් කහ කොඩිය තියෙද්දීත් වේගය අඩු කළේ නෑ කියලා. ඒකට මෝටර් රථ ධාවකයන්ගේ උත්තරය තමයි කහ කොඩියක් දැක්ක පමණින් අපිට එක පාරටම බ්රේක් ගහලා වාහනේ නවත්තගන්න බෑ කියන එක. ඒ වගේම කහ කොඩිය වනන්න ඕනේ මීටර් 100ක් 200ක් ඈතින් පේන්න. ඒ වගේම මෙතැන තියෙන ප්‍රශ්නෙ තමයි කහ කොඩිය පේනවද කියන එක. මොකද දූවිල්ලෙන් වැහිච්ච තරග බිමක අපිට මේ වීඩියෝවල පේනවා අනතුරට පත්වෙච්ච ස්ථානයේ අනතුරක් සිදුවුණා කියලාවත් පේන්නේ නෑ. ඒ තරමට දූවිලි විහිදිලා තියෙන්නේ. මේ අනතුරෙන් කෝන මාස්ටර්ලා කිහිප දෙනකුත් මියයනවා. කෝන මාස්ටර් කියන්නේ රථය ධාවනය කරන භූමියේ ඉන්න කොඩිය වැනීමේ රාජකාරිය කරන අය. අපි දැක්කා එක තැනකදී ඉතා කනගාටුදායක සිදුවීමක්. මේ සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදුවූ අවස්ථාවේ මෙතැන හිටපු අය කවුද ඉන්නේ කියලා අහපුවාම ඔවුන්ට උත්තරයක් නෑ. මොකද ඔවුන් සියලු දෙනාම මියගිහිල්ලා. මෙහෙම රේස් එකක් කෙළවර වෙනවා 2019 අප්‍රේල් මාසේ 21 වැනිදා කොඩිය වනපු තැනින්ම. ඒ කියන්නේ 2019 අප්‍රේල් 21 වැනිදා රතු කොඩි වනලා තරගය නවත්වනවා. ඒ වගේම 2024දීත් ඒ විදියටම තරගය අතරමගදී නවත්වන්න සිද්ධ වෙනවා. හත් දෙනෙක්ගේ මරණත් එක්ක. මේ මරණ ගැන එකින් එක විස්තර කරන්න අවශ්‍ය නෑ. කනගාටුවට කරුණ වෙන්නේ පුංචි ගෙදරක හිටපු පුංචි දියණියක් මහ රේස් එකක් බලන්න සීයත් එක්ක ගිහිල්ලා ලොකු මාමලා රේස් පදින දිහා බලාගෙන ඉඳලා තමන්ට නැති මෝටර් රථය අනෙක් අය පදින දිහා බලාගෙන ඉන්නකොට කඩාගෙන වැදුණු මෝටර් රථයක් ඒ පුංචි කැකුලියගේ ජීවිතය අරගෙන යනවා. මේ ජීවිත පරිස්සම් කරන්න බැරි නම් ආයේ මෝටර් රථ රේස් තියන්න එපා. ධාවන පථවල මියගිය පළමුවැනියා දෙවැනියා නෙවෙයි. ආනන්ද වෙඩිසිංහ මියයනවා. මේ වගේම තවත් එක තරගකරුවෙක් ලංකාවේ ප්‍රසිද්ධ ධාවකයෙක්. ඔහු මුළු රටම දන්න කෙනෙක්. නමුත් ඔහු අද වෙද්දී ජීවතුන් අතර නෑ. මේ විදියට මරණ එකක් දෙකක් තුනක් හතරක් පහක් සිද්ධ වෙනකොටවත් අපි නිසි ආකාරව පියවරක් නොගන්නවා නම්.
ඩිල්ෂාන් බණ්ඩාරනායක මිනි කූපර් රථය අනතුරට පත්වෙලා මේ විදියටම මියයනවා. ඒත් ඔහුගේ මරණය පිළිබඳ වාර්තාව පළවෙන්නේ 2008 අප්‍රේල් මාසේ 21 වැනිදා. මේ විදියටම එදත් ඔහුව රෝහලට රැගෙන යන්නවත් පහසුකම් නොතිබුණු බව අද සමහර තැන්වලදී වාර්තා වෙනවා. එක පාරක් දෙපාරක් තුන්පාරක් හතරපාරක් මේ විදියේ දේවල් සිද්ධ වෙනකොට ඇයි අපිට බැරි මේවාට නිසි නීති පනවන්න? මේවාට නිසි පියවර ගන්න? දවසක් දෙකක් කාව හරි අල්ලගෙන ඇවිල්ලා කූඩුවේ දාලා ප්‍රශ්න විසඳන එක නෙවෙයි විය යුත්තේ. ඒ නිසා කනගාටුයි මේ සම්බන්ධයෙන් එකින් එක විස්තර කරනවාට වඩා මම හිතන්නේ අවශ්‍ය වෙන්නේ මේ කාරණය නිසි ආකාරව පැහැදිලි කරගන්න එක.
මේ අනතුරෙන් පස්සේ අපි ගාව ඉතුරු වෙච්ච ප්‍රශ්න ටික මෙන්න මේ ටික. මේවාට උත්තර දෙන්න ඕනේ විවිධ පාර්ශ්ව. මෝටර් රථ තරගාවලියක් සංවිධාන කරද්දී ඒ තරගාවලිය සම්බන්ධයෙන් ගතයුතු අවම ආරක්ෂක ක්‍රියාමාර්ගවත් අරගෙන තිබෙනවාද යන්න පිළිබඳ සැලකිලිමත් වෙන ආයතනයක් හෝ කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ එහෙම නැත්නම් ලෝකයේ ඉන්නවද? මෝටර් රථ තරගාවලියක් සම්බන්ධව අදාළ ධාවන පථය සකස් කරන්න තියෙන නිවැරැදි ක්‍රමවේදයක් තියෙනවද? ආරක්ෂක ක්‍රියාමාර්ග සම්බන්ධව ජාත්‍යන්තර වශයෙන් පිළිඅරගත්ත නිර්නායක තියෙනවද? එහෙම තියෙනවා නම් ඒවා මේ අය විසින් ක්‍රියාත්මක කරලා තියෙනවද? ආරක්ෂක බැරියර් එහෙම නැත්නම් නරඹන්නන් සහ ධාවන පථය අතර යොදන ආරක්ෂක වැටවල් හෝ ටයර් එහෙම නැත්නම් වෙනත් ආකාරයකින් පස් කඳු නිසි ආකාරව යොදාගැනීමක් මේ තරගාවලියේදී සිදුවෙලා තියෙනවද? එහෙම සිද්ධ වෙලා නැත්නම් ඒ නැති වීම සම්බන්ධව වගකීම බාරගත යුත්තේ කුමන පාර්ශ්වයක්ද? මෝටර් රථ තරගාවලියකට තරගකරුවෙක් ඉදිරිපත් වෙනකොට ඒ තරගකරුවාට වගකීමක් නැද්ද ධාවන පථය සම්බන්ධව ගැටලුවක් තියෙනවා නම් ඒ පිළිබඳ දැනුවත් කරන්න?
ඒ වගේම ධාවන පථයේ දූවිලි සහිත බව පේනවා නම් තරගකරුවන්ට තරගයට ඉදිරිපත් නොවී ඉන්න හෝ තරගයේ අනතුරුදායක බව දැනුවත් කරන්න වගකීමක් තියෙනවද? ධාවන පථය දූවිලි සහිතයි, ධාවනය කරන්න බෑ කියන එක දන්නවා නම් තරගකරුවාගේ වේගය අඩුකළ යුතුද? ධාවන පථය දූවිලි සහිත බව පෙනෙද්දිත් කහ කොඩි දාලා තියෙද්දිත් තරගකරුවන් පැයට කිලෝමීටර් 160ක වේගයෙන් වාහන ධාවනය කළ යුතුද? ඒ වගේම තරගකරුවාට මාර්ගය නොපෙනෙනවා නම් කහ කොඩි හෝ රතු කොඩි නොදැම්මත් ඔහු මොකක්ද කරන්න ඕනේ? එකක් ඔහුගේ ජීවිතය පිළිබඳ සහ නරඹන්නන්ගේ ජීවිත පිළිබඳ අනාරක්ෂිත තත්ත්වය ගැන සැලකිලිමත් වීමට තරගකරුවාට වගකීමක් නැද්ද? තරගකරුවන් තරගයකට ඉදිරිපත් වීමේදී අදාළ නිර්නායක පිළිබඳ සොයා බලන්නේ නැද්ද? නරඹන්නන් තරගය නරඹන්න එනකොට ඒ අයව දැනුවත් කිරීමේ නිසි වැඩපිළිවෙළක් තියෙනවද? අපි දැක්කා මේ ටිකට් එක පිටුපස ඉංග්‍රීසි භාෂාවෙන් යම් යම් දේවල් ටිකක් මුද්‍රණය කරලා තියෙනවා. ඇත්තටම මේ ආපු සියලු දෙනා ඉංග්‍රීසි භාෂාව දන්නවද? ඩයරබා වත්තේ මේ භාෂාව කියවාගන්න පුළුවන්ද? තරගාවලිය නරඹන්න එන පිරිස ප්‍රමාණය යම් සීමාව ඉක්මවා යනවා නම් ඒ සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ගය ගැන දැනුවත්ද? අපි දකිනවා මේ සම්බන්ධව නරඹන්නන් දිගින් දිගටම ප්‍රශ්න කරනවා වෙනදා විනාඩි කීපයෙන් කීපයට නරඹන්නන්ව දැනුවත් කරනවා, ඔවුන් ඒ ස්ථානයෙන් ඉවත් කරනවා නමුත් මේ වතාවේ එහෙම දෙයක් වුණේ නෑ කියලා.
ඒ වගේම අපි දැක්කා චෝදනාවක් තියෙනවා වතුර යොදලා මේක හරියට තරගයෙන් තරගයට සකස් කළේ නෑ කියලා. එතකොට නරඹන්නන්ට වගකීමක් තියෙනවාද මේ ප්‍රේක්ෂකාගාරයේ බැම්ම ගාවට එන්නේ නැතුව යම් තැනකින් නතර වෙන්න? එතකොට මේ සියල්ලම ප්‍රශ්න. මේ ප්‍රශ්නවලට දැන් අපි උත්තර හොයන්න කලබල වෙන්නේ මේ අනතුරක් සිදුවීම හේතුවෙන්. අනතුර සම්බන්ධයෙන් වැරැදිකාර පාර්ශ්ව විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඒක අපි හොඳාකාරවම දන්නවා. තරග සංවිධායකයන් උත්සාහ කරනවා නම් මෝටර් රථ ධාවකයන්ට හෝ නරඹන්නන්ට චෝදනා කරලා මේකෙන් බේරෙන්න කිසිසේත්ම ඔවුන්ට හැකියාවක් නෑ. ඔවුන්ට තියෙන චෝදනා මොනවද?
ධාවන පථය නිසි ලෙස සකස් නොකිරීම. ඔවුන් ධාවන පථය නිසි ලෙස සකස් කරලා නෑ වගේම ධාවන පථයට යොදාගත යුතු නිවැරැදි ආරක්ෂක බැමි යොදලා නෑ. ඒ වගේම ආරක්ෂක බැමිවල වාහනයක් හැපුණොත් ඒ වාහනය එළියට විසිවෙන ආකාරයට බැමි සකස් කිරීම බරපතළ වරදක්. වෙනදා සිදුවෙන්නේ ධාවන පථය තුළටයි වාහනය වැටෙන්නේ. ඒ නිසා මේ ආකාරයෙන් ධාවන පථය සකස් කිරීම පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා.
ධාවන පථයේ දැඩි දූවිලි සහිත බවක් තියෙන බව පෙනි පෙනිත් වෙනදා යෙදූ උපක්‍රමයක් වෙච්ච වතුර යෙදීම මේ වතාවේ සිදු නොකිරීම ඔවුන් සිදුකළ තවත් වරදක්.
ඒ වගේම අනතුරු කීපයක් වෙලා තියෙද්දීත් කහ කොඩි දාලා තරගය ස්ලෝ කරන්න ඔවුන් පියවර ගන්න පරක්කු වීම ඉතා බරපතළ ප්‍රශ්නයක්. අපි දන්නවා මේ තරගයේදී උපුල්වන් සේරසිංහගේ සහ තවත් තරගකරුවකුගේ වාහන දෙකම ට්‍රැක් එක උඩ පෙරළිලා තියෙද්දී තරගය පැවැත්වුණා. එතකොට ඇයි ඔවුන් තරගය නවත්වන්න මේ තරම් පරක්කු වුණේ? ඇත්තටම කහ කොඩි වනන අය ඉන්න ඕනේ කොතැනද? කහ කොඩි වනන අය සම්බන්ධයෙන් අපි දන්නවා කහ කොඩි වනපු හතර දෙනෙක් මේ වෙද්දී ජීවතුන් අතර නෑ. කෝන මාස්ටර්ලත් ඇතුළුව. මේකෙදී එකක් තමයි තරගකරුවන්ගේ ආරක්ෂාව සහ තරගයේ යෙදෙන අනෙක් නිලධාරීන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතුයි. ඒක වෙලා තිබුණේ නෑ. ඒ වගේම ප්‍රේක්ෂකයන් නිවැරැදිව ඉන්න ඕනේ තැන ප්‍රේක්ෂකයන්ට තීරණය කරන්න දෙන්නේ නැතුව තරග සංවිධායකයන් තීරණය කළ යුතුයි. ඒ සඳහා ආරක්ෂක බැමි යොදලා කරන්න ඕනේ. ඒ වගේම අපි දන්නවා මේකට හමුදාව සම්බන්ධයි. ඔවුන්ට පුළුවන්කම තිබුණා නිලධාරීන් යොදලා නරඹන්නන්ව නිසි ලෙස ස්ථානගත කරන්න. එහෙම දෙයක් කරලා තිබුණේ නෑ. ඒවා වැරැදියි. ඒ වගේම මෝටර් රථ ධාවකයන්ට තියෙන චෝදනාව තමයි කහ කොඩි දාලා තියෙද්දීත් ඔවුන් වේගයෙන් රථ ධාවනය කිරීම. මොකද මේ තරගයේ පිටිපස්සේ හිටපු තරගකරුවන්ට තමයි මේ චෝදනාව එල්ල වෙන්නේ. කිහිප දෙනෙක් අත්අඩංගුවට පත්වෙලා තියෙනවා මේ වෙද්දී. නොසැලකිලිමත් රිය ධාවනයක් සිද්ධ වුණාද පිටියේ කියන එක ගැන හොයා බැලිය යුතුයි. අපිට පේන විදියට ඇත්තටම ඔවුන් නොසැලකිලිමත්ව ධාවනය කරනවා. මහේෂ් කෝදාගොඩගේ වාහනය පෙරළුණාට පස්සෙයි ඊළඟ වාහනය ඇවිල්ලා හැප්පෙන්නේ. එතකොට ඔහු දන්නවා කහ කොඩියක් දාලා තියෙන්නේ කියලා. කහ කොඩියක් දාලා තියෙනවා නම් ඔහු කළ යුත්තේ තමන්ගේ වාහනය පාලනය කරගත හැකි වේගයකින් ධාවනය කිරීම.
කහ කොඩියක් දාලා තියෙද්දී වාහනය පාලනය කරගත නොහැකි තත්ත්වයට පත්වෙනවා කියන්නේ ඔහු කරලා තියෙන්නේ වැරැද්දක්. අපිට පේනවා කහ කොඩිය වනනවා. කහ කොඩිය ඔහුටත් පේනවා. අපිට පේනවා වීඩියෝවල ඔහුට සැලකිය යුතු දුරක් තියෙනවා. අපි දන්නවා පැයට කිලෝමීටර් 160ක විතර වේගයෙන් යන වාහනයක් වුණත් මීටර් 100ක් 200ක් ඇතුළත නවත්තගන්න බැරි වුණාට වේගය අඩුකරන්න පුළුවන්කම තියෙනවා. ඔහු වේගය අඩු කළා නම් මේක වෙන්නේ මෙහෙම නෙවෙයි. ඔහු වේගය අඩු කළේ නැහැ සහ ඔහුගේ වාහනය ට්‍රැක් එකෙන් එළියට යනවා වගේ එකක් අපිට පේනවා. අපි දන්නේ නෑ ඒක කොහොමද සිද්ධ වුණේ කියලා. ඔහු එක වාහනයක් බේරන්න අනෙක් පැත්තට වාහනය ගත්තද කියන්න අපි දන්නේ නෑ, නරඹන්නන් දෙසට වාහනයක් ගමන් කිරීම සිදුවිය නොහැකියි. පළපුරුදු ධාවකයෙක් වාහනය ධාවනය කරද්දී. නරඹන්නන් කරපු වැරැද්ද තමයි ඔවුන් අනවශ්‍ය ලෙස ඉදිරියට පැමිණීම. කුඩා දරුවෙකුත් අරගෙන ඉදිරියට පැමිණීම. මේ වගේ කාරණාවලට සමහර වෙලාවට වන්දි ගෙවන්න සිදුවෙන්නේ මරණයෙන්. නැත්නම් ජීවිතයෙන්. ඒ නිසා එහෙම වැරැදි නොකර සිටිය යුතු බව අපිට මේක දකිද්දී තේරෙන කනගාටුදායක තත්ත්වයක්. ඉතාම කනගාටුදායකයි. අපි දැක්කා කවුදෝ කියනවා මෝටර් රථ ධාවන තරගයකදී සිදුවෙච්චි පළමු මරණ කීපය කියලා. අපි දන්නවා ගාල්ලේ සහ මීගමුවේදී මීට කලින් වින්ච් එකක් පදින්න ගිහිල්ලා තරුණයන් දෙදෙනෙක් ඒ ස්ථානයේදීම මියයනවා. ගාල්ලේ සිද්ධ වෙන්නේ වෙන සිද්ධියක්.
අපි කලින් කිව්වා වගේ දිල්ෂාන් බණ්ඩාරනායක ෆොක්ස්හිල් ට්‍රැක් එකේදී මියයනවා. ඒ වගේම ආනන්ද වෙඩිසිංහගේ රිය අනතුර සිදුවෙනවා. ඒ රිය අනතුරුවලදී කවුද වැරැදි කවුද හරි කියන එක අපි දන්නේ නෑ. අපි දන්නවා මෝටර් රථ ධාවන තරග සහ යතුරුපැදි ධාවන තරග කියන්නේ අති ධාවනකාරී සහ ඉතා භයානක තරග ඉසව්. ඒවායේදී අනතුරු සිදුවිය හැකි බව සත්‍යයක්. නමුත් අනතුරු සිද්ධ නොවිය යුතු පසුබිමක අනතුරුවලින් විශාල පිරිසක් මියයනවා නම් තවදුරටත් තරග පැවැත්වීම සම්බන්ධයෙන් පවා හිතා බලන්න සිද්ධ වෙනවා. නිසි ප්‍රමිතියෙන් යමක් කරන්නේ නැත්නම්, ප්‍රමිතිය පිළිබඳ හොයා බලන්න නිලධාරීන් පත්කරන්න බැරි නම්, තරගාවලියක තරගකරුවන් හෝ තරගාවලියේ ඉන්න සංවිධායකයන් ආණ්ඩුවට නීතියට පොලිසියට වඩා ලොකුයි වගේ දැනෙනවා නම්, ඒ අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න, ඒ අයට විරුද්ධව නීතිරීති පනවන්න ආණ්ඩුවට හරි පොලිසියට හරි බෑ වගේ කියලා හිතෙනවා නම් මේ තරග ඉසව් හැකි ඉක්මනින් නවත්වා දැමිය යුතුයි. ජාත්‍යන්තර මට්ටමේ තරග පැවැත්වෙන නිසා හෝ ලෝකය පිළිගත්ත ස්ථානවල මේ වගේ තරග පැවැත්වෙන නිසා හෝ මේ තරග පැවැත්විය යුතු නෑ. ඒක තමයි යථාර්ථය. මොකද අපිට බැරි නම් ස්ටෑන්ඩර්ඩ් එකට මේවා කරන්න. හරියට මැක්ඩොනල්ඩ් අවන්හල් ලංකාවෙන් ගලවාගෙන ගියා වගේ මෝටර් රේසිනුත් ලංකාවේ නැවැත්විය යුතුයි. මොකද අපි දන්නවා දැන් ෆොක්ස්හිල් ධාවන පථය ඉතා වේගවත් කරලා තියෙන්නේ. පෑවිල්ලත් එක්ක තරග පැවැත්වෙන ස්ථානවල දූවිලි ඇවිස්සෙනවා කියන එක දෙකේ පන්තියේ ළමයෙකුට වුණත් තේරෙන දෙයක්. දූවිලි ඇවිස්සුණාට පස්සේ ට්‍රැක් එකේ වාහනවලට ඉදිරිය පේන්නේ නෑ කියන එක ඕනෑම බබෙකුට තේරෙන දෙයක්. එහෙම වෙලාවට වතුර ඉහින්න ඕනේ කියන එක මේ තරගයේ සංවිධායකයන්ට නොතේරෙනවා විය නොහැකි වගේම මීට කලින් අවුරුදුවල මේගොල්ලෝ කළේ වතුර ඉහින එක.
නොසැලකිලිමත් වීම කියන එකට කිසිසේත්ම කිසිම ආකාරයකින් සමාවක් දිය යුතු නෑ. මේ මරණ 7ට වගකිව යුත්තේ තරග සංවිධායකයන්. ඒ වගේම ඩී.ජේ. දාලා නටන එවුන් ගැනත් හොයලා බලන්න ඕනේ.
ජීවන පහන් තිළිණ