ගිය සතියේ ගිය මරදාන තවමත් පරණ මරදානමය. මා අසා ඇති පරිදි අපේ තාත්තා ඉස්කෝලේ ගිය මරදානත් අඩු වැඩි ලෙස ඔය මරදානමය, වෙනසක් වී ඇත්තේ නම් ඒ බොහොමත්ම අඩුවෙනි. බාහිරින් බලද්දී කොළඹ තියෙන නගර අතරින් ලස්සනින් අඩුම යැයි කෙනකුට හිතෙන්නට පුළුවන් මරදාන අලුත් වන්නේ නම් එසේ වනු ඇත්තේ මුළු කොළඹම අලුත් වූවායින් පසුවය, හෙමිහිටය. වට්ටක්කා හොද්දේ පෙඟවෙන තෝසයක, උළුඳු වඩයක මට ඇත්තේ සයිවර් කෑමේ රසයටත් වැඩියෙන් ඒ හා බැඳුණු මතකවල රසය. (Sri Lanka Latest News)
‘මහත්මයට නේද මේක අයිති? ඒ කාලේ නම් අපි සෑහෙන්ඩ මෙතෙන්ට පාඩු කරල ඇති, හොරෙන්ම වගේ කාලා. දැන් බිලක් දාලම තමයි කන්න පටන් ගන්න තියෙන්නෙ නේද? කාලා ඉවර වෙලා නෙමේ’
‘කොහෙද ඕගොල්ලො? රේල්වේ එකේද? සතොසෙද?’
‘නෑ අපි ආනන්දෙ, බඩගින්නට නෙමේ පරණ පුරුද්දට ආවෙ ඕ.බී.ඒ. එකේ මීටින් එකක් ඉවර වෙලා.’
‘ආ එහෙමද බොහොම සන්තෝසයි, මේ ඩොක්ටව දන්නවද?’ ඔහුගේ ෆෝන් තිරයේ දිස්වෙන පින්තූරය අපට පෙන්වමින් අපෙන් අසයි.
එහෙම කෙනෙක් අපි දන්නේ නැත. අපට වඩා වයසින් ගොඩක් වැඩි පාටයි.
‘මෙයා දැන් ලන්ඩන් ඉන්නෙ, මෙයා ටැමිල්. ආනන්ද එකට තමයි ඉස්කෝලේ ගිහින් තියෙන්නෙ, මේ ළඟදී ලංකාවට ආවා කියල මෙහෙටත් ඇවිත් ගියා. තව පොඩි පුතෙක් මේ පාර ඒ ලෙවෙල් විභාගෙ ඉවර වුණා කියලා ඇවිත් මගෙ අත්දෙක අල්ලන් මට මෙහෙම කියල ගියා, ‘අංකල් මම මුලින්ම ඉස්කෝලෙට එන දවසෙත් තාත්තත් එක්ක ඇවිත් මෙතැනින් කාල ගියා. අද මගෙ ඉස්කෝලෙ අන්තිම දවස. මම අංකල්ට කියලා යන්න ආවෙ’.
‘එතකොට සහිරා එකේ ළමයිනුත් මෙහෙන් තමයි කාල යන්නෙ.’
‘මරදාන පොලිසියේ ඕ.අයි.සී. මහත්තයත් ළඟදී කිව්වා පරණ පොලිස් ඔෆිසර්ස්ල ටික කතාකරපු වෙලාවට අහනව කියලා මම හොඳින් ඉන්නවද කියල’.’
‘දැන් හරි අමාරුයි කරන් යන්න. සේවක ප්‍රශ්න. මට තව පුළුවන් කාලයක් කරන් යනවා.’
‘දුවයි එක පුතෙකුයි ඉන්නෙ ලන්ඩන්වල. අනිත් පුතත් ළඟදී එහෙ යනවා. ඒගොල්ලො මේ බිස්නස් එකට එන්නෙ නෑ. මම දැන් වැඩිය දුරට හිතන්නේ නෑ. සේවයක් කියල හිතන් කරන් යනව. මිනිස්සු හොඳ දෙයක් කනවනෙ. ඒක ගැන මට සන්තෝසයි. ඉතුරු ටික ඉතින් දෙවියන්ට තමා බාර.’
‘එන්න කුස්සිය පෙන්නන්න.’
ඒ කුස්සියේ සේවකයන් දහයක් විතර වැඩය. ඉඳිආප්ප වට්ටියක් ගෙදරක තියෙන කෑම මේසයක් වසන වට්ටියකට පොඩ්ඩක් පොඩිය. ළිප්ද ඒ වගේම ලොකුය.
‘මට ඕනෙ හොඳ දෙයක් දෙන්න, එළවළු වුණත් හොඳ නැත්තම් මම ගන්නෙ නෑ. මම මේක ඉස්සරහට කරගෙන යන්නෙ කොහොමද කියල කියද්දී මේ ළඟදී බැංකුවේ මැනේජර් කෙනෙකුත් කිව්වා ඔයාට මේක එහෙම දැන් නවත්තන්න බෑ. මේක මරදානෙ ලෑන්ඩ්මාර්ක් එකක් වෙලා ඉවරයි කියලා.’
‘මගෙ පුතත් දැන් ආනන්දෙ එක වසරෙ, එයත් එයි මෙහෙට ටික කාලෙකින්. ඔයාගෙ නොම්බරෙත් මට දෙනවද?’ එහෙම කීවේ මගෙ මිතුරාය.
‘බොහොම සන්තෝසයි ඕගොල්ලො ආවට. ආපහු වෙලාවක ඇවිත් යන්න.’
‘මචන් මම එයාගෙ නොම්බරේ ඉල්ල ගත්තෙ පුළුවන් වෙලාවක නිකම් ඒ මනුස්සයට ආපහු කෝල් එකක් දෙන්න ඕනෙ හින්දා. ඒකෙන් තමයි ඒ මිනිස්සුන්ටත් සන්තෝසයක් තියෙන්නෙ.’ එළියට පැමිණීමෙන් අනතුරුව මගේ මිතුරා මට එසේ කීවේය.
එතැනින් එළියට ඒමෙන් අනතුරුව ඒ නාමපුවරුව දෙස නැවතත් හැරී බැලුවෙමි. ඒ නම සරල සිංහලට හරවා නැවත වරක් කියැවීමි.
‘සුදු කන්දක්’ මෙන් නැගී සිටිමින්, මරදානෙන් කෝච්චියෙන් ලංකාවේ හැම තැනටත්, අර කිව්වා වාගේ ලන්ඩන් ඇතුළු ලෝකේ අන් සෑම නගරවලටත්, පොලීසියේ, රේල්වේ එකේ, සතොසේ වගෙම, මරදානේ තියෙන ආණ්ඩුවේ මෙන්ම පුද්ගලික කාර්යාලවලත්, කතෝලික නැඹුරුවක් ඇති මරදාන ශාන්ත ජෝසප් විද්‍යාලයේ, මුස්ලිම් නැඹුරුවක් ඇති මරදාන සහිරා විද්‍යාලයේ, බෞද්ධ නැඹුරුවක් ඇති මරදාන ආනන්ද විද්‍යාලයේ වගෙම කොළඹ අනිත් ඉස්කෝලවලත් සුවහසක් දෙනාට බඩගින්න නිවනවාටත් වැඩියෙන් ජීවිතයේ පන්නරය දෙන්නට විස්මිත හැකියාවක් ඇති, මිනිසුන් වෙනස් බවත් හරියට යොදාගන්නවා නම් ඒ වෙනසම රටකට ආභරණයක් බවත් කියාදෙන්නට විස්මිත හැකියාවක් ඇති, තෝසයක් හා වඩයක් පිළිගන්වන්නට මේ වියපත් දමිළ මිනිසාට දිගටම හැකිවේවා…
මේ කතාවේ සාරය අවුරුදු පැතුමකටත් යොදාගන්න අවුලක්ම නෑ වගේ.
ලස්සන රටක් වෙනුවෙන් එකිනෙකාට වෙනස් නමුත් තමන්ටම අවේණික වූ වීදිවලින් වැඩකරන ඔබ සැමටත් සුබ අලුත් අවුරුද්දක් වේවා…
මරදාන පුරුදු කෙනෙක් සිටී නම්, ඔව්, ඒ සයිවර් කඩයේ නම ඔබ සිතූ නම තමයි.
70 දශකයේ අග භාගයේ, රුපියලකට අඩු මුදලකින් මරදාන සයිවර් කඩෙන්, තෝසේ හා උළුඳු වඩේවලින් බඩ පුරවාගත් මිතුරන් අතර, මගේම පන්තියේ හිටපු පියල්, මේ ලිපිය මට දෙරඅ්රා කරලා තිබුණෙ, ‘මතකද..? උඹට ඒ කාලෙ උළුඳු වඩේ අරහං. කෑවේ පරිප්පු වඩේ විතරයි’ කියන දවටනයකුත් සමගයි.
සත්තකින්ම නම නොදන්න අනඳ ලියුම්කරු නිවැරැදියි. මුළු මරදානටම සාම්බාරු පනිට්ටුවෙන් සහජීවන දානය නිර්ලෝභීව පිළිගැන්වූ තැන එතැන. උනුන් පරයා නොයන වාර්ගික ගිරි රහිත සහෝදරත්වයේ ධවල පුදබිමක්, නිසැකවම එතැන.
නම නොදන්නා අනඳ ලියුම්කරු Malith Rukshan Jayasinghe වග පසුව මාහට දැනගන්නට ලැබුණා, ඔබට බෙහෙවින්ම ස්තුතියි…
ඩලස් අලහප්පෙරුම









