මේෂ – කලබල නොවී වැඩේ ගොඩදාගන්න
මේ සතියේ ඔයාගේ කුජ ග්‍රහයා ඉන්න තැනත් එක්ක පොඩි කලබල ගතියක් සහ ඉක්මනින් කේන්ති යන ස්වභාවයක් එන්න පුළුවන්. විශේෂයෙන්ම මැයි 26, 27 වගේ දවස්වල රණ්ඩු සරුවල් ඇති කරගන්න එපා. හැබැයි වැඩක් කරන්න බැහැ කියල එකක් නැහැ, උත්සාහ කළොත් ලොකු ගේමක් ගහන්න පුළුවන්. සල්ලි අතින් බැලුවොත් වියදම් පාර්ශ්වය ටිකක් ඉහළ යනවා, ඒ නිසා අත මිට ටිකක් පරිස්සම් කරගන්න. Sri Lanka Latest News
වෘෂභ – පොඩි සහනයක් වගකීම් ගොඩක්
ලග්නාධිපති සිකුරුගේ පිහිටීමත් එක්ක හිතට තිබ්බ බර ගතියක් ටිකක් අඩු වෙලා යනවා. හැබැයි රවි, බුධ දෙන්නම ලග්නයේ ඉන්න නිසා ඔයාට වෙනදාට වඩා වැඩ රාජකාරි සහ වගකීම් පැවරෙන්න ඉඩ තියෙනවා. මැයි 28 වෙනකම් රැකියාවේ හෝ ව්‍යාපාරික කටයුතුවල තීරණ ගනිද්දී දෙපාරක් හිතන්න. ආදරේ කරන අයට නම් මේ සතිය තරමක් සුබයි, එකිනෙකා තේරුම් ගැනීම වැඩි වෙනවා.
මිථුන – ඉවසීම අංක එක
මිථුන ලග්න හිමියන්ට මේ සතියේ 12 වැන්නේ ග්‍රහයෝ කිහිපදෙනෙක්ම ගමන් කරන නිසා අනවශ්‍ය වියදම් සහ හදිසි ගමන් බිමන් බහුල වෙන්න පුළුවන්. සතියේ මැද හරියේදී හිතේ පොඩි නොසන්සුන් ගතියක් ඇති වෙන්න ඉඩ තියෙනවා. හැබැයි බුද්ධිමත්ව වැඩ කළොත් පාඩු සිද්ධ වෙන්නේ නැහැ. සෞඛ්‍යය ගැන වෙනදාට වඩා ටිකක් හිතන්න – විශේෂයෙන්ම නිදි වැරීම සහ මහන්සි වීම නිසා ඇඟට අමාරු වෙන්න පුළුවන්.
කටක – ලාභ අස්සේ ප්‍රශ්න
කටක ලග්න හිමියන්ට මේ සතියේ ආදායම් මාර්ගවල පොඩි වර්ධනයක් පෙන්නුම් කරනවා. යාළු මිත්‍රයන්ගෙන් උදව් උපකාර ලැබෙන්න ඉඩ තියෙනවා. හැබැයි සෙනසුරුගේ බලපෑම නිසා ළඟම කෙනෙක් එක්ක පොඩි මතභේදයක් ඇති වෙන්න පුළුවන්, ඒ නිසා කතා කරනකොට වචන පාවිච්චි කරන්නේ බලාගෙනයි. මැයි 29 වැනිදා සිතේ සතුට වැඩි වෙන දේවල් සිද්ධ වෙන්න පුළුවන්.
සිංහ – කැපී පෙනෙන සතියක්
ඔයාගේ ලග්නාධිපති රවි 10 වැන්නේ ඉන්න නිසා මේ සතියේ රැකියා ස්ථානයේ හෝ කරන වෘත්තීය වැඩවලදී ඔයා කැපී පෙනෙන කෙනෙක් වෙනවා. ඉහළ නිලධාරීන්ගෙන් පැසසුම් ලැබෙන්න ඉඩ තියෙනවා. හැබැයි ගෙදර දොරේ ප්‍රශ්න සහ වැඩ රාජකාරි සමබරව තියාගන්න එක ලොකු අභියෝගයක් වෙයි. පවුලේ අය වෙනුවෙනුත් පොඩි කාලයක් වෙන් කරන්න අමතක කරන්න එපා.
කන්‍යා – දුර ගමන්
පින සහ වාසනාව කියන දේවල් මේ සතියේ ඔයාට ටිකක් සමීපයි. 9 වැන්නේ ග්‍රහ බලය තියෙන නිසා ආගමික කටයුතු හෝ දුර බැහැර සංචාරවලට මඟ පෑදෙනවා. උසස් අධ්‍යාපනය කරන අයට ඉතාම හොඳ සතියක්. හැබැයි ලග්නාධිපති බුධගේ පිහිටීම අනුව, හදිසි තීරණ නිසා පොඩි පොඩි මඟහැරීම් වෙන්න පුළුවන්. ඒ නිසා හැම ලියකියවිල්ලක්ම හොඳට කියවලා බලන්න.
තුලා – අභියෝග මැදින් ඉස්සරහට
තුලා ලග්න හිමියන්ට මේ සතියේ 8 වැන්නේ ග්‍රහයෝ තෙරපිලා ඉන්න නිසා පොඩි පොඩි බාධා, ප්‍රීතිමත් නොවන සිදුවීම් සහ කකුල් ඇදීම් වෙන්න පුළුවන්. රහස් සතුරන්ගෙන් ප්‍රවේශම් වෙන්න ඕනේ සතියක්. සල්ලි දේපළ සම්බන්ධ පොඩි ප්‍රශ්නයක් මතුවෙන්න ඉඩ තියෙනවා. හැබැයි අධෛර්යමත් වෙන්න එපා, සතියේ අන්තිම දවස් දෙක (මැයි 29, 30) වෙද්දී තත්ත්වය ගොඩක් දුරට යහපත් අතට හැරෙනවා.
වෘශ්චික – ලස්සන වෙන සතියක්
ඔයාගේ 7 වැන්න මේ සතියේ ගොඩක් බලවත්. ඒ කියන්නේ විවාහ ජීවිතය, ප්‍රේම සබඳතා වගේම ව්‍යාපාරික හවුල්කරුවන් එක්ක තියෙන බැඳීම් අලුත් වෙනවා. එකට එකතු වෙලා කරන වැඩවලින් සාර්ථකත්වයක් ලබන්න පුළුවන්. හැබැයි කුජ 6 වැන්නේ ඉන්න නිසා සතුරන් මර්දනය කරන්න ඔයාට ලොකු ශක්තියක් ලැබුණත්, අනවශ්‍ය තර්ක විතර්කවලට ගිහින් රණ්ඩු ඇති කරගන්න එපා.
ධනු – නිර්භීතව වැඩ
6 වැන්නේ ග්‍රහයෝ හැසිරෙන විදිහට ඔයාට මේ සතියේ එන ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්න පුළුවන් හයියක් ලැබෙනවා. ණය ප්‍රශ්නයක් හෝ නීතිමය ප්‍රශ්නයක් තිබ්බා නම් ඒවයින් පොඩි නිදහසක් ලැබෙන්න ඉඩ තියෙනවා. හැබැයි සෞඛ්‍යය පැත්තෙන් බඩේ අමාරු, උෂ්ණාධික රෝග වගේ දේවල් මතු වෙන්න පුළුවන් නිසා කෑම බීම ගැන ටිකක් සැලකිලිමත් වෙන්න.
මකර – හොරවැඩ එපා
මකර ලග්න හිමියන්ගේ 5 වැන්න බලවත් වෙන නිසා අලුත් අදහස්, නිර්මාණශීලී වැඩවලට මේ සතිය මරු. දරුවන් ඉන්න දෙමාපියන්ට ඔවුන්ගේ දියුණුවක් දැකලා සතුටු වෙන්න පුළුවන්. හැබැයි සෙනසුරු ලග්නයේම (2 වැන්නේ) ඉන්න නිසා සල්ලි ලැබුණත් ඒව රඳවා ගන්න එක ටිකක් අමාරු වෙයි. සූදුවෙන් හෝ ලෙහෙසියෙන් සල්ලි හොයන්න යන ක්‍රමවලින් ඈත් වෙන්න.
කුම්භ – මානසික නිදහස
හතරවැන්න බලවත් වීම නිසා නිවස, ඉඩකඩම්, වාහන සම්බන්ධ වැඩකටයුතුවලට මේ සතියේ කාලය වෙන් වෙයි. ගෙදර පරිසරය ලස්සන කරන්න හෝ අලුත්වැඩියා කරන්න හිතෙනවා. මවගේ සෞඛ්‍යය ගැන පොඩ්ඩක් බලන්න සිද්ධ වෙයි. සතියේ මැද හරියේදී රැකියාවේ පොඩි පීඩනයක් ආවත්, පවුලේ අයගෙන් ලැබෙන සහයෝගය නිසා මානසිකව ලොකු සහනයක් දැනේවි.
මීන – උත්සාහයේ ප්‍රතිඵල
මීන ලග්න හිමියන්ට මේ සතියේ තමන්ගේ සහෝදර සහෝදරියන්ගෙන් හෝ ළඟම මිතුරන්ගෙන් උදව් ලැබෙනවා. ඔයා ලේඛන කලාව, මාධ්‍ය හෝ සන්නිවේදන ක්ෂේත්‍රවල ඉන්න කෙනෙක් නම් ඔයාගේ වචනවලට ලොකු පිළිගැනීමක් ලැබෙන සතියක්. ලග්නයේ රාහු ඉන්න නිසා හිතේ මවාගන්නා බයවල් සහ සැකයන් ඇති වෙන්න පුළුවන්, ඒවට ඉඩ නොදී යථාර්ථවාදීව වැඩ කරන්න.
ජ්‍යොතිෂවේදී සම්පත් ආරියසිංහ (ඉසිවර අසපුව)











