කලක් තිස්සේ නිහඬව තිබූ මහපොළොව රහස් පවසන්නට පටන් ගන්නා හෝරාව උදා වී ඇත. ඒ වෙන කිසිවක් නිසා නොව, ග්‍රහ මණ්ඩලයේ තීක්ෂණ බුද්ධියට අධිපති, ‘මහමොළකරු’ ලෙස හඳුන්වන බුධ ග්‍රහයා තමාට මිත්‍ර සිකුරු හිමි වෘෂභ රාශියට මෙවර සම්ප්‍රාප්ත වන්නේ හුදු ග්‍රහ මාරුවකට එහා ගිය මහා පෙරළියක් රැගෙන බැවිනි. මෙය ලග්න කිහිපයකට පමණක් සීමා වූ ගමනක් නොව, පොළොව යට සැඟවුණු සම්පත්, නිදන් වස්තු සහ මැණික් වැනි මහා ධනය මතුපිටට කැඳවන සොබාදහමේ සුවිශේෂී විධානයකි.
මැයි 14 සහ 15 දිනවලින් ඇරඹී මැයි 29 මධ්‍යහ්නය දක්වා දිවෙන මේ කාලපරාසය සැබවින්ම ආශ්චර්යවත් යෝග පොකුරක එකතුවකි. විශේෂයෙන්ම මේෂ, කටක, තුලා සහ මකර ලග්න හිමියන්ට මෙහිදී ලැබෙන රුචක යෝග බලය සුළුපටු නොවේ. එය ඔබේ අතමිට සරු කරන, නොසිතූ මූලාශ්‍රවලින් ධනය ගලා එන වාසනාවන්ත පෙරනිමිත්තකි. තිලෝචන, වෙශී, වොශී මෙන්ම සුනඵා, අනඵා සහ දුරුධරා වැනි අති ප්‍රබල යෝග සමුදායකින් මුළු රාශි දොළසටම ආශීර්වාද ගලා එන්නේ මයුර පාරිජාත සහ චන්ද්‍රචූඩා වැනි යෝග රැල්ලකින් මුළු රටටම ශාන්තිය උදා කරමිනි. Sri Lanka Latest News
මෙය තාක්ෂණයේ සහ බුද්ධියේ යුගයකි. බුධගේ මේ ගමනත් සමග ලේඛන කලාවට, ජනසන්නිවේදනයට සහ පොත්පත් ප්‍රකාශනයට රන් දොරටු විවර වෙයි. දේශීය සංස්කෘතියේ සහ කලාවේ නව ප්‍රබෝධයක් ඇතිවන අතර, නිර්මාණශීලී මිනිසුන්ට තම දක්ෂතා රන් අකුරින් ලියන්නට මේ හොඳම කාලයයි. ජවබල සම්පන්න දරු උපත් වාර්තා වන, පවුල් ජීවිතවල සෞන්දර්ය රජයන මේ කාලය තුළ කාර්මික සහ තාක්ෂණික අංශවලින් පෙර නොවූ විරූ දියුණුවක් අපේක්ෂා කළ හැකිය. භක්තිය, ශ්‍රද්ධාව සහ අවංකකම පෙරදැරි කරගත් මිනිසුන් ඉදිරියට පැමිණෙන අතර, ඔවුන්ගේ කීර්තිය සහ ප්‍රසිද්ධිය රට පුරා පැතිර යනු ඇත.
යානවාහන, ගොඩමඩ ඉඩකඩම් මෙන්ම භූමිගත සම්පත් කෙරෙහි වැඩි අවධානයක් යොමුවන මැයි සහ ජුනි මාසවලදී රාජ්‍ය තාන්ත්‍රික අංශ පවා ප්‍රබල වන බව පෙනෙන්නට තිබේ. කොටස් වෙළෙඳපොළ ජයග්‍රහණ සහ බැංකු ඉතිරිකිරීම් වර්ධනය වන මේ පසුබිම තුළ, ප්‍රතිගාමී බලවේග පරාජය කරමින් සාමාන්‍ය ජනතාවගේ ජීවන මට්ටම ඉහළ නැංවීමට අවශ්‍ය බුද්ධිමය මඟපෙන්වීම විශ්වය විසින්ම ලබා දෙනු ඇත.
කෙසේ වුවද, කාලසර්ප යෝගය වැනි අශුභ ග්‍රහ ගැටුම් පසුබිමේ ක්‍රියාත්මක වන බැවින්, අප සතු යාන්ත්‍රික සහ තාක්ෂණික දැනුම තවදුරටත් මුවහත් කර ගැනීම අත්‍යවශ්‍යය. දේශගුණික සහ පාරිසරික විපර්යාසයන් පිළිබඳව විමසිලිමත් වීම වටිනා අතර, සමස්තයක් ලෙස ගත් කල මෙම බුධගේ පැමිණීම අපව කැඳවාගෙන යන්නේ ධනයෙන් සහ ප්‍රඥාවෙන් සපිරි නවතම පරිච්ඡේදයකටය. ඒ මහා වාසනාව දෝතින් වැළඳ ගැනීමට දැන් කාලය එළඹ ඇත.
ජ්‍යොතිෂවේදී ඔස්මන් පෙරේරා











