උදාවෙන හැම දවසක්ම සුබ දවසක් වේවා යන බලාපොරොත්තුවෙන් තමයි කවුරුත් දවස ආරම්භ කරන්නේ. ගෙවුණු කාලය අසුබ නම් කරන කියන වැඩ සියල්ල අසාර්ථක නම් අදවත් හොඳක් වෙයිදෝ කියන දෙගිඩියාව නිතරම හිතේ රැඳෙනවා. උදෑසනම බුදුන් වැඳලා දෙවියන්ට පහන් පත්තු කරලා බොහෝ දෙනා දවසේ වැඩකටයුතු සාර්ථක වෙන්න කියලා ආශීර්වාදය ඉල්ලනවා. ඒ වගේම පුරුද්දක් විදියටත් සියලුම කටයුතුවලදී සුබ වේලාවක් බලලා වැඩ කරන අයත් ඕනෑ තරම් ඉන්නවා. කරන කියන කටයුතු හරිගියාම ඒ වෙලාව සුබයි කියන්නත්, කටයුතු අසාර්ථක වෙද්දි නරක වෙලාවක් නරක දවසක් කියන්නත් පුරුදු වෙලා ඉන්න අයට හොඳ දවසක් කියන්නෙ ඉතා වැදගත් කාරණයක්.
ජීවිතයේ සියලුම කාරණාවලට හොඳම දවසක් හොයන කාටත් සතියේ හොඳම දවස ගැන අපි හැමදාම වගේ අදත් කියනවා. උදාවන අලුත් සතියේ හොඳම දවස ඔබේ සියලුම සුබ කටයුතු සඳහා යොදාගන්න පුළුවන්. පොඩි පොඩි රාජකාරිවලටත් හදිසියේ නැකැත් හදන්න අවශ්‍ය නැති නිසා රාහු කාලය මඟහැර මරු සිටින දිශාව මඟහැර සුබ දිශාව බලා සතියේ හොඳම දවසේදී වැඩකටයුතු ආරම්භ කරන්න පුළුවන්.
මේ සතියේ හොඳම දවස 05 වැනිදා. බ්‍රහස්පතින්දා. උදාවූ අලුත් මාසයේ මුල්ම සුබ දවස තමයි මේ. පස්වැනිදාට මරු සිටින දිශාව දකුණ. සුබ දිශාව වන්නේ උතුර. යෝගිනි වයඹ දිශාවට යෙදෙනවා.
මෙදින අටවිසි යෝග අතරින් ආනන්ද යෝගය යෙදෙනවා. එමෙන්ම සිද්ධි යෝගයත් පවතිනවා. ඉතාමත් සුබ දිනයක් ලෙස හඳුන්වන්න පුළුවන්. අලුත් මාසයේ අලුතින් කරන්න සිතාගෙන සිටින කටයුතු සඳහා මේ දිනයේ සුබපල ඔබට ලබාගන්න හැකියාව තිබෙනවා.
ගොවිතැන් කටයුතු කරන අයට, වාහන මිලට ගැනීමට සූදානම් අයට, වැව් පොකුණු ආශ්‍රිත කටයුතු කරන අයට, වෙදකම් ඇසුරෙන් කටයුතු කරන අයට වගේම දරුවන්ට ඉඳුල් කටගෑමටත් නිවෙසට ගෙවැදීම සහ ඉදිකිරීම ආශ්‍රිත කටයුතු සඳහාත් මේ දිනය ඉතා සුබයි.
රාහු කාලය පස්වරු 1.33 සිට 3.03 දක්වාත්, හිරු උදාව උදෑසන 6.03ටත් යෙදෙන මේ දිනයේ උදේ 10.10ට ඔබේ සුබ කටයුතු යොදාගන්න පුළුවන්.