අද කාලයේ ගොඩක්දෙනා AI යුගයේ විශ්වකර්මයන් ගැන බොහොසේන් කතබහ කරනවා. මීට අවුරුදු 250කටත් කලින්, කිසිම ආකාරයකින් විදුලිය නැතිව ලියන්න පුළුවන් ‘රොබෝ යන්ත්‍රයක්’ හදලා තිබුණා කිව්වොත් ඔබ විශ්වාස කරනවද? Sri Lanka Latest News
අද මම කියන්න යන්නේ කෘත්‍රිම බුද්ධිය, රොබෝවරු, ස්වයංක්‍රීය යන්ත්‍ර සහ සුපිරි පරිගණක ගැනයි. නමුත් මේ හැම දියුණුවකම මූලාරම්භය කොහේද කියලා හොයලා බැලුවොත්, අපිට යන්න වෙන්නේ 1774 වසරටයි. ඒ කාලයේ විදුලියවත් සාමාන්‍ය ජනතාව අතර භාවිතයට නොතිබුණු සමයක, බැටරියක්වත් පරිගණක චිපයක්වත් නොමැතිව ලියන්න පුළුවන් රොබෝ යන්ත්‍රයක් නිර්මාණය කරලා තිබුණා. ඒ අපූරු නිර්මාණය තමයි ලෝක ප්‍රසිද්ධ “The Writer” හෙවත් “ලියන්නා” නමින් හැඳින්වෙන යාන්ත්‍රික රොබෝව.
මේ විස්මිත නිර්මාණය බිහි කළේ ස්විට්සර්ලන්තයේ අති දක්ෂ ඔරලෝසු නිර්මාණකරුවෙකු වූ පියරේ ජැකේ-ඩ්‍රොස් (Pierre Jaquet-Droz), ඔහුගේ පුත් හෙන්රි-ලූයි ජැකේ-ඩ්‍රොස් (Henri-Louis Jaquet-Droz) සහ ඔවුන්ගේ සමීප මිතුරා වූ ජීන්-ෆ්‍රෙඩ්රික් ලෙෂෝ (Jean-Frédéric Leschot) යන තිදෙනායි. 1768 වසරේදී ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීමට ඔවුන්ට වසර හයක පමණ අඛණ්ඩ කැපවීමක් අවශ්‍ය වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස 1774 දී ලෝකය හමුවේ ඔවුන් යාන්ත්‍රික මිනිස් රූප තුනක් හඳුන්වා දුන්නා. ඒවා නම් පියානෝව වාදනය කරන The Musician, චිත්‍ර අඳින The Draughtsman, සහ ලියන The Writer යන අපූරු නිර්මාණ තුනයි.
මේ තුනෙන්ම ලෝකය වැඩියෙන්ම මවිත කළේ “ලියන්නා”යි. සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් 70ක් පමණ උසැති කුඩා පිරිමි ළමයෙකුගේ හැඩයෙන් නිර්මාණය කර තිබූ මෙම රොබෝ යන්ත්‍රය, ලී පුටුවක වාඩි වී මේසයක් ඉදිරිපිට සැබෑ මිනිසෙකු මෙන් ලියන ආකාරය අදටත් දකින්න පුළුවන්. එය නිර්මාණය කිරීමට අතින් සකස් කළ කුඩා යාන්ත්‍රික කොටස් දහස් ගණනක් භාවිතා කර තිබෙන අතර, ඒවා සියල්ලම ක්‍රියාත්මක වන්නේ ඔරලෝසුවක ඇති කරකවන ස්ප්‍රිං එකක් සහ ඉතා නිරවද්‍ය දැති රෝද පද්ධතියක් මඟිනි.
මෙම විශ්වකර්ම ලියන්නාගේ ක්‍රියාන්විතය ගැන කත කලහොත්. ඔහු තම දකුණු අතේ තිබෙන පක්ෂි පිහාටු පෑන තීන්ත මත ගිල්වා, වැඩිපුර තීන්ත සෙමින් ගසා ඉවත් කර, ඉන්පසු අකුරෙන් අකුර ඉතා පිළිවෙළට ලියන්න පටන් ගන්නවා. ලියන අතරතුර ඔහුගේ ඇස් දෙක ලියන අකුරු දිගේ ගමන් කරනවා. හිසත් අතේ චලනයට ගැළපෙන ලෙස මඳක් නැවී නැවී ක්‍රියා කරනවා. ලියන කඩදාසියද අවශ්‍ය පරිදි සෙමින් චලනය වෙනවා. මේ හැම දෙයක්ම සිදුවෙන්නේ කිසිදු විදුලි පද්ධතියක් නොමැතිව, සම්පූර්ණයෙන්ම යාන්ත්‍රික ක්‍රමවේදයක් මතයි.
ඒ කාලයේ තිබූ තාක්ෂණය ගැන හිතන විට මෙය සැබෑ ආශ්චර්යයක්. අද අපි පරිගණකයක හෝ ජංගම දුරකථනයක වචන ටයිප් කරන්නේ මෘදුකාංගයක් භාවිතා කරමින්. නමුත් “The Writer” සතුවත් මෘදුකාංග හා සමාන ක්‍රමවේදයක් තිබුණා. යාන්ත්‍රික මතක පද්ධතියක් භාවිතයෙන් අක්ෂර 40ක් දක්වා වචන තුන් පේළියක් ලිවිය හැකි ලෙස එය පෙර සකස් කළ හැකි වුණා. ඒ නිසාම බොහෝ දෙනෙක් මෙය ලෝකයේ මුල්ම “Programmable Machine” හෙවත් වැඩසටහන්ගත කළ හැකි යන්ත්‍රවලින් එකක් ලෙස සලකනවා. අද Artificial Intelligence, රොබෝ තාක්ෂණය සහ පරිගණක ඉංජිනේරු විද්‍යාව ගැන කතා කරන අපට, ඒවායේ මූලික සංකල්ප මීට සියවස් දෙකහමාරකට පෙරම බිහි වී තිබූ බව මෙම විශ්වකර්ම නිර්මාණය පැහැදිලි කරනවා.
මෙම යාන්ත්‍රික නිර්මාණ තුන යුරෝපය පුරා රජ මාලිගා, ප්‍රභූවරුන් සහ විද්‍යාඥයන් ඉදිරියේ ප්‍රදර්ශනය කෙරුණු අතර, එය ජැකේ-ඩ්‍රොස් පවුලේ ඔරලෝසු නිෂ්පාදන ලොව පුරා ප්‍රචලිත කිරීමටත් විශාල දායකත්වයක් ලබාදුන්නා. එදා ඔවුන්ගේ නිර්මාණ යුරෝපයේ සිට ලන්ඩනය හරහා චීනය දක්වා ප්‍රසිද්ධියට පත් වූ අතර, ඔවුන් චීනයට නොගියත් ඔවුන්ගේ නිෂ්පාදනවල කීර්තිය එරටටත් ළඟා වුණා. වසර ගණනාවකට පසු “The Writer” රොබෝ යන්ත්‍රය ප්‍රථම වරට බීජිං නගරයට ගෙන ගොස් විශේෂ ප්‍රදර්ශනයකදී “Jaquet Droz en Chine” යන වචන ලියවීමත් ඉතිහාසයේ සුවිශේෂී අවස්ථාවක් ලෙස සැලකෙනවා.
අදටත් වසර 250කට වැඩි කාලයක් ගතවී තිබුණත්, මේ අපූරු යාන්ත්‍රික රොබෝ යන්ත්‍රය තවමත් සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. එය ස්විට්සර්ලන්තයේ නියුචැටෙල් (Neuchâtel) කලා හා ඉතිහාස කෞතුකාගාරයේ ඉතා සුරක්ෂිතකර තිබෙන අතර, ලොව පුරා සිටින ඉංජිනේරුවන්, ඉතිහාසඥයන් සහ තාක්ෂණ ලෝලීන් අදටත් එය දැක විස්මයට පත්වෙනවා.
මේ සියල්ලටම මඟ පෙන්වූ බුද්ධිමත් සිතුවිලි සහ නිර්මාණශීලීත්වය මීට සියවස් දෙකහමාරකට පෙර විදුලියවත් නොමැති යුගයක, සම්පූර්ණයෙන්ම යාන්ත්‍රික ක්‍රමවේදයක් මත මිනිස් ක්‍රියාවන් අනුකරණය කළ මේ “ලියන්නා”, මිනිස් නිර්මාණශීලීත්වයට සීමාවක් නොමැති බව ලෝකයට ඔප්පු කළ අමරණීය විස්මිත නිර්මාණයක් ලෙස ඉතිහාසයේ සදාකාලිකවම සටහන් වී තිබෙනවා.
ඊ.ඩී. චමත්










