උඩු දිවූ එජාප අර්බුදය
එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා කවුරුන්ද යන්න සම්බන්ධයෙන් පක්ෂය ඇතුළේ පසුගිය සති දෙක තුන තුළ මතුව තිබූ අර්බුදය මේ වන විට ඉතා බරපතළ තත්ත්වයකට පත්ව ඇති ආකාරයක් පෙනෙන්නට තිබේ. විශේෂයෙන්ම ඇතැම් අවස්ථාවලදී පක්ෂයේ විනය සහ සම්ප්‍රදාය තඹයකට මායිම් නොකරමින් පක්ෂයේ ඇතැම් ජ්‍යෙෂ්ඨයන් මෙන්ම රාජ්‍ය, නියෝජ්‍ය අමාත්‍යවරුන්ද එජාප පසුපෙළ තරුණ මන්ත්‍රිවරුන්ද විවිධ ප්‍රකාශ තැන නොතැන නොබලා සිදුකිරීමට යෑම නිසාත්, එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා මෙන්ම ඔහුට සහාය දක්වන කණ්ඩායම ඉකුත් සති දෙක තුන තුළ පක්ෂය ඇතුළේත්, පක්ෂයෙන් පිටතත් සිදුකරනු ලැබූ විවිධ ක්‍රියා නිසාත් මෙම අර්බුදය විසඳෙන පාටකට වඩා පක්ෂය පුරා තව තවත් දළුලා යන තත්ත්වයකට පත්ව තිබූ ආකාරයක් දැකගන්නට තිබිණ.
මෙහිදී කෙක්කෙන් හෝ කොක්කෙන් එජාපයේ ජනපති අපේක්ෂකත්වය ලබාගැනීමේ අරමුණින් සජිතුත්, ඔහුට හිතවත් කණ්ඩායමත් පසුගිය සතිය අවසානයේ සිටම විවිධ මෙහෙයුම් දියත් කර තිබූ ආකාරයක් දැකගන්නට තිබිණ. විශේෂයෙන්ම ඉකුත් සතියේ අප මංගලගේ ප්‍රධානත්වයෙන් මාතර පැවැති රැලිය දක්වා සජිත්වේ පාර්ශ්වයෙන් සිදුකළ මෙහෙයුම් එකින් එක රාජ්‍ය රහස් තීරය ඔස්සේ අනාවරණය කළ නිසා මෙවර අප මාතර රැලියෙන් පසුව ගෙවුණු සිකුරාදා දිනය දක්වා පක්ෂය ඇතුළේ සිදුවූ සිදුවීම් රාජ්‍ය රහස් තීරය ඔස්සේ ගෙනහැර දැක්වීමට සූදානම්ය.
සජිත් මාතර යද්දී කබීර්-රංජිත් කරූගේ ගෙදර
සජිත්ගේ මාතර රැලිය පැවැත්වෙන විට සජිත් කණ්ඩායම් තවත් ප්‍රබලයන් දෙදෙනකු වූ එජාප සභාපති කබීර් හෂීමුත්, අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතාත් තවත් මෙහෙයුමක් පක්ෂය ඇතුළේ දියත් කරමින් සිටියහ. මේ දෙදෙනාම එදින මාතර රැලියට සහභාගි නොවුණු අතර ඒ වෙනුවට ඔවුන් කළේ අපේක්ෂක සටනේ තවත් ඉදිරියෙන් කියැවෙන නමක් වන කතානායක කරු ජයසූරිය මහතා හමුවී ඔහුගේ සහාය සජිත් වෙත ලබාගන්නා වැඩපිළිවෙළක් දියත් කිරීමය. ඒ අනුව කතානායකවරයා මුණගැසීම සඳහා වේලාවක් ඉල්ලා සිටීමෙන් අනතුරුව කරුගෙන් ඔවුන්ට ලැබුණේ සිකුරාදා (23දා) සවස් වරුවය. ඒ අනුව දෙදෙනාම කතානායකවරයා මුණගැසීමට ඔහුගේ නිල නිවෙසට පැමිණ කෙළින්ම අදාළ මාතෘකාවට බැස්ස ආකාරයක් දැකගත හැකි විය. ඒ අනුව ඔවුන් කරුගෙන් සජිත්ට සහාය ලබාදෙන ලෙස ඉල්ලා සිටිද්දී කතානායකවරයා ඔවුන් දෙදෙනාටම දැනුම් දී සිටියේ පක්ෂයේ සම්ප්‍රදායට අනුව එවැන්නක් සිදුවන්නේ නම් කිසිදු පැකිලීමකින් තොරව තමන් සජිත්ට සහාය දැක්වීමට සූදානම් යැයි කියාය. නමුත් පක්ෂය කඩන කිසිදු වැඩපිළිවෙළකට තමන්ට සහාය ලබාදිය නොහැකි බව එහිදී කියා සිටි කරු පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් වශයෙන් පක්ෂය එකතු කර තබා ගැනීමට කබීර්ටත්, මද්දුමබණ්ඩාරටත් විශාල වගකීමක් ඇති බවද පෙන්වා දුන්නේය.
“යූ.ඇන්.පී. එකේ ජනාධිපති අපේක්ෂකයා නම් කරන පිළිවෙළක් තියෙනවා. සම්ප්‍රදායක් තියෙනවා. පක්ෂ ව්‍යවස්ථාවක් තියෙනවා. ඔබතුමන්ලා පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් විදිහට ඒ ගැන හොඳට දන්නවා. මෙහෙම පාරවල් ගානේ ජනාධිපති අපේක්ෂකයන් තෝරන සම්ප්‍රදායක් එජාපය ඇතුළෙ තිබ්බෙ නෑ. ඒ නිසා පක්ෂ ව්‍යවස්ථාවට අනුව කෘත්‍යාධිකාරි මණ්ඩලයට සම්බන්ධ වෙලා එහෙම යෝජනාවක් එනවා නම් මම සූදානම් ඒකට සහයෝගය දක්වන්න. ඒ ඇරෙන්න වෙනත් විදිහකට එන යෝජනාවලට එකඟ වෙන්න මට පුළුවන්කමක් නෑ…’ යනුවෙන් කතානායකවරයා කබීර්ටත්, මද්දුමබණ්ඩාරටත් කියද්දී සිය මෙහෙයුම අසාර්ථක වන ආකාරයක් ඔවුන් දෙදෙනාටම වැටහිණ. ඒ අනුව එම සාකච්ඡාව එතැනින් අවසන් කර දැමීමට කබීරුත්, මද්දුමබණ්ඩාරත් කටයුතු කළහ.
සජිත් හොරෙන්ම සම්බන්දන් හමුවෙන්න යයි
මීට අමතරව එදිනට පෙර දින එනම් බ්‍රහස්පතින්දා (22දා) දිනයේ සජිත් තවත් විශේෂ පුද්ගලයකු මුණගැසීමට කටයුතු කළේය. කිසිදු මාධ්‍යයකින් මෙම හමුව එළියට නොපැමිණි අතර පළමුවරට එම තොරතුර හෙළිදරව් කරන්නේ රාජ්‍ය රහස් තීරය ඔස්සේ අප විසින්ය. එසේ සජිත් හමුවූයේ වෙන කවුරුවත් නොවන දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන්ය. එම හමුව සජිත්ගේ පාර්ශ්වයෙන් ඉතා වැදගත් වූයේ ප්‍රධාන සුළු ජාතික පක්ෂය ලෙස දෙමළ ජාතික සන්ධානය සතුව ලක්ෂ අටකට අධික ඡන්ද ප්‍රමාණයක් පැවතීමත්, දෙමළ ජාතික සන්ධානයේ සහාය සජිත්ට හිමිවන්නේ නම් එය ඔහුගේ අපේක්ෂකත්වය ලබාගන්නා සටනට විශාල හයියක් වීමට ඉඩකඩ තිබීම නිසාත්ය. එම නිසා කෙසේ හෝ දෙමළ ජාතික සන්ධානය තමන්ට නම්මාගන්නා ලෙසට එම පාර්ශ්වයෙන් සජිත්ට එල්ලවූ දැඩි පීඩනය නිසාම මෙසේ සම්බන්ධන්ව මුණගැසුණු සජිත් ජනාධිපතිවරණයේදී තමන්ට සහාය පළකරන ලෙස ඔහුගෙන් ඉල්ලා සිටීමට කටයුතු කළේය. මෙහිදී ඉතා නිවුණු ස්වරයකින් යුතුව සම්බන්ධන් සජිත්ට කෙළින්ම කියා සිටියේ තම පක්ෂයට අපේක්ෂකයාගෙන් ගැටලුවක් නොමැති බවත්, ඡන්දය ලබාදීමේදී තම පක්ෂය සලකා බලන්නේ උතුරට එම අපේක්ෂකයා ලබාදෙන දේශපාලන විසඳුම පිළිබඳවත් කියාය. වත්මන් ආණ්ඩුව 2015 දී උතුරේ ජනතාවට ලබාදුන් පොරොන්දු මෙතෙක් ඉටුකර නොමැති බව කී සම්බන්ධන් මේ හේතුව මත උතුරේ ජනතාව විශාල ලෙස කලකිරී සිටින බවත්, එම නිසා පිළිගත හැකි අපේක්ෂකයකු ඉදිරිපත් නොවුනහොත් බහුතරයක් පිරිස ඡන්දය දීමෙන් වැළකී සිටිනු ඇති බවත් සජිත්ට කියා සිටියේය. එමෙන්ම පොහොට්ටුවේ අපේක්ෂකයා වන ගෝඨාභයට විශාල බියක් මෙන්ම විරෝධයක් උතුරේ ජනතාව අතර පවතින බව කියා සිටි සම්බන්ධන් එම දෙමළ ජනතාවගේ සම්පූර්ණ ඡන්දය ලබාගැනීමට නම් අපේක්ෂකයා සම්බන්ධයෙන් විශාල විශ්වාසයක් ඔවුන් තුළ ඇතිකළ යුතු බවද කියා සිටියේය.
සම්බන්දන් සජිත්ට කියපු දේ
කෙසේ වෙතත් සජිත් මෙහිදී එජාප අපේක්ෂකත්වය සඳහා පක්ෂය ඇතුළෙන් මෙන්ම රට ඇතුළෙන්ද තමන්ට ඇති ඉල්ලුම පිළිබඳව සම්බන්ධන්ට පෙන්වා දීමට කටයුතු කළේය. නමුත් මෙහිදී සියල්ල සාවදානව අසා සිටි සම්බන්ධන් අවසානයේදී සජිත්ගෙන් විමසා සිටියේ එකම එක ප්‍රශ්නයකි. ඒ, සජිත් අපේක්ෂකයා ලෙස පත්වුණහොත් උතුරේ ජනතාවට ලබාදෙන දේශපාලන විසඳුම පිළිබඳවත්, දෙමළ ජනතාවගේ ප්‍රශ්නය පිළිබඳව සජත්ගේ ප්‍රතිපත්තිය කුමක්ද යන්නත්ය. එවිට සජිත් සම්බන්ධන්ට කියා සිටියේ තමන් තවමත් සිය ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කොට නොමැති බවකි. එසේ වුවත් තමන් ජනපති වුවහොත් මාස හයක් ඇතුළත උතුරට ලබාදිය හැකි උපරිම දේශපාලන විසඳුම ලබාදීම සම්බන්ධයෙන් තමන් පොරොන්දුවක් ලබාදෙන බවද සජිත් සම්බන්ධන්ට අවධාරණය කර සිටියේය.
නමුත් සජිත්ගේ මේ පොරොන්දුවට සම්බන්ධන් පිළිතුරු දුන්නේ මද සිනහවකින් යුක්තවය. එසේ සිනාසෙන ගමන්ම සම්බන්ධන් කියා සිටියේ එවැනි පිළිතුරක් දෙමළ ජනතාවට විකිණීමට ඉතා අපහසු යැයි කියාය.
“අපේ උගත් ජනතාව අතර මතයක් තිබෙනවා ඔබතුමාගෙ සමහර ප්‍රතිපත්ති රාජපක්ෂලාගේ ප්‍රතිපත්තිවලට සමානයි කියලා. ඒ නිසා එක්සත් ජාතික පෙරමුණේ අනෙක් නායකයන්ට වඩා ඔබතුමාට ලොකු කාර්යභාරයක් තියෙනවා ඔබතුමාගෙ ප්‍රතිපත්ති ගැන ජනතාව දැනුවත් කරන්න. ඔබතුමා ජනාධිපති වෙලා මාස හයකින් විසඳුමක් දෙනව කියල කියන එක අපිට පිළිගන්න බෑ. එහෙම කියන එකත් ඔබතුමාට අවාසියි. ඒ නිසා අපේක්ෂකයා වුණ හැටියෙම ඔබතුමා උතුරට දෙන දේශපාලන විසඳුම ජනතාවට කියන්න. අනෙක දෙමළ සන්ධානය තීන්දුව ගන්න කලින් අපිට ඔබතුමාගෙ විසඳුම ඕනෙ. ඊට පස්සෙ අපි ඔබතුමාගෙ විසඳුම පක්ෂය ඇතුළෙ කතා කරල අපේ සහාය දෙන්න පුළුවන්ද බැරිද කියල කියන්නම්” යන්න එහිදී සම්බන්ධන් සජිත්ට දුන් පිළිතුර විය. ඒ අනුව එම සාකච්ඡාවද අවසන් වූයේ ස්ථිර විසඳුමකින් තොරවය.
මංගලගේ රැලිය දවසේම රනිල්ගෙන් පාටියක්
ඒ අනුව සිකුරාදා දිනයේ මංගලගේ ප්‍රධානත්වයෙන් මාතර සජිත්ගේ රැලිය පැවැත්වුණේ මෙවැනි වටාපිටාවකය. කෙසේ වෙතත් මාතර මංගලගේ රැලිය පැවැත්වෙන රාත්‍රියේම රනිල්ද පක්ෂයේ සියලුම මන්ත්‍රිවරුන්ට රාත්‍රි භෝජන සංග්‍රහයක් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබිණ. ආණ්ඩුවට වසර 4ක් පිරීම නිමිත්තෙන් මෙම රාත්‍රි භෝජන සංග්‍රහය පැවැත්වෙන බවත්, ඊට මන්ත්‍රිවරුන් පමණක් නොව පවුලේ ඥාතීන්ද රැගෙන එන ලෙසත් රනිල් දැනුම්දී තිබුණද සජිත්ගේ පාර්ශ්වය කියන්නට වූයේ මාතර සජිත්ගේ රැලිය කඩාකප්පල් කිරීමේ අරමුණින් රනිල් එදිනම මෙසේ රාත්‍රී භෝජන සංග්‍රහයක් කොළඹදී සූදානම් කළා යැයි කියාය.
ඒ කොයිහැටි වෙතත් රනිල්ගේ මේ රාත්‍රි භෝජන සංග්‍රහය මෑත කාලයේ ඉහළම මන්ත්‍රි සහභාගිත්වයකින් පැවැති උත්සවයක් යැයි කිවහොත් එය නිවැරදිය. දහවල් පැවැති මංගලගේ මාතර රැලියට එජාප මන්ත්‍රිවරුන් 18 දෙනකු සහභාගිව සිටි අතර, ඉන් මංගල, සජිත්, මලික්, එරාන්, හරීන් හැරෙන්නට අනෙක් සියලුම එජාප මැති, ඇමැතිවරු දකුණු අධිවේගය ඔස්සේ රාත්‍රි වන විට අරලියගහ මන්දිරයට පැමිණෙන්නට වගබලාගෙන තිබුණහ. මීට අමතරව දෙමළ ජාතික සන්ධානය ඇතුළු ආණ්ඩුව සමඟ සිටින සියලුම සුළු ජාතික පක්ෂ නියෝජිතයන්ටද කර තිබූ ආරාධනයට අනුව ඔවුන්ද රනිල්ගේ එම රාත්‍රී භෝජන සංග්‍රහයට සහභාගිව සිටින ආකාරයක් දැකගන්නට හැකි විය.
රනිල් කරූටත් එන්න කියයි
මීට අමතරව තවත් එක් විශේෂ පුද්ගලයකුටද රනිල් මෙම රාත්‍රී භෝජනයට ආරාධනා කිරීමට වගබලාගෙන තිබිණ. ඒ වෙන කවරුවත් නොව මේ දිනවල බොහෝ කතාබහට ලක්ව සිටින කතානායක කරු ජයසූරිය මහතාය. රනිල් පෞද්ගලිකවම කතා කොට ඊට සහභාගි වන ලෙස කළ දැනුම්දීමට අනුව කතානායකවරයාද ඊට සහභාගි වී සිටිනු දැකගත හැකි විය. කලකට පසු කතානායකවරයා හා පක්ෂයේ මන්ත්‍රිවරුන්ද සහභාගී වූ ප්‍රධාන පෙළේ රාත්‍රී භෝජන සංග්‍රහය මෙය විය. රනිල් පිල මෙන්ම සජිත් පිල නියෝජනය කළ මැති ඇමැතිවරුන් බොහෝමයක්ම එහි සිටි නිසා විශාල වශයෙන් දේශපාලන සාකච්ඡා සිදුනොවුණද මාතර රැස්වීම ගැන බොහෝ දෙනා එකිනෙකාට සිනාසෙමින් විහිළුතහළු කරගන්නා ආකාරයක් මෙහිදී දැකගන්නට ලැබිණ. ඒ වන විටත් සජිත් හා සම්බන්ධන් අතර හමුව පිළිබඳ කසුකුසු එජාපය ඇතුළේ ගොස් තිබුණ නිසා සාදයේ සිටි සුමන්තිරන්ගෙන් ඒ පිළිබඳව බොහෝ දෙනා විමසද්දී සුමන්තිරන් කීවේ දෙදෙනා අතර පැවැති එම සාකච්ඡාව අසාර්ථක එකක් යැයි කියාය.
කෙසේ වෙතත් එජාපය ඇතුළේ පැවැති සාකච්ඡාවල කරූ ප්‍රධාන සාධකයක් බවට පත්වූයේ ඒත් සමගමය. සාකච්ඡා සඳහා වේලාවන් ලබාදෙන ලෙස ඉල්ලා කරුට දිගින් දිගටම විවිධ පාර්ශ්වයන්ගෙන් ලැබෙන ඇමැතුම් ප්‍රමාණය ඉහළ යන ආකාරයක් ඒ වන විට දැකගන්නට තිබිණ. විශේෂයෙන්ම එසේ වේලාව ඉල්ලා සිටි පිරිස අතර ඉහළින්ම සිටියේ සජිත් සහ සජිත්ට සහාය දක්වන කණ්ඩායමය.
සජිත් කරූ හමුවන්න එයි
මුලින්ම සජිත් කළ ඉල්ලීමට අනුව කරු සජිත් මුණගැසීම සඳහා අඟහරුවාදා (27දා) දින වේලාව ලබාදීමට පියවර ගත්තේය. දෙදෙනා අතර පමණක් මුහුණට මුහුණ පැවැති එම සාකච්ඡාවේදී සජිත් තමන් පැමිණි කාරණය ඉදිරිපත් කරමින් පක්ෂය ඇතුළේ සිටින ජ්‍යෙෂ්ඨයන් පමණක් නොව රට වටාම සිටින පාක්ෂිකයන් තමන් ජනපති අපේක්ෂකයා ලෙසට විශාල ලෙස ඉල්ලීම් කරන බවත්, එම නිසා තමන්ට සහාය දක්වන ලෙසත් කරුගෙන් ඉල්ලා සිටියේය.
කෙසේ වෙතත් මෙහිදී කරු සජිත්ගේ අදහස් දැක්වීම සාවදානව අසා සිටි අවසානයේදී ඔහුට පිළිතුරු දුන්නේ වැඩිහිටියකු කුඩා දරුවකුට අවවාද කරන ආකාරයටය. එහිදී කරු විශේෂයෙන් සජිත්ට කියා සිටියේ පක්ෂය දෙකඩ කිරීමෙන් වැළකී සිටින ලෙසට තමා වැඩිහිටියකු මෙන් අවවාද කරනවා යැයි කියාය. එජාපය යනු අතීතයේ සිටම විනයක්, සම්ප්‍රදායක් පැවැති පක්ෂයක් බව මෙහිදී සජිත්ට පෙන්වා දුන් කරු එහිදී ජනපති අපේක්ෂකයන් තේරීමේ ක්‍රමවේදයක් පවතින බවත්, පක්ෂ ව්‍යවස්ථාවට අනුව එය පක්ෂය ඇතුළේම විසඳාගන්නවා විනා ප්‍රශ්නය මහපාරට රැගෙන ගොස් විශාල අර්බුදයක් බවට පත්කිරීම නොකළ යුතු බව එහිදී සජිත්ට පෙන්වා දුන්නේය. ඒ හරහා සිදුවන්නේ පක්ෂය දෙකඩ කිරීමක් පමණක් බවද කරු සජිත්ට පෙන්වා දුන්නේය. එවැනි තත්ත්වයක් ඇතිවුවහොත් නිසැකවම ඉදිරි ජනාධිපතිවරණයේදී පක්ෂයට බලවත් හානියක් සිදුවීම වැළැක්විය නොහැකි බවද කරු එහිදී සජිත්ට දැනුම් දී සිටියේය.
ඒ අනුව කළින් සාකච්ඡා මෙන්ම මෙම සාකච්ඡාවද විසඳුමක් නොමැති සාකච්ඡාවක් බවට පත්වීමට වැඩි වේලාවක් ගියේ නැත. පසුව අදාළ සාකච්ඡාව සම්බන්ධයෙන් සජිත් පාර්ශ්වයේ මන්ත්‍රිවරුන් සජිත්ගෙන් විමසද්දී එහි අසාර්ථක බව ඔවුනට පැහැදිලි කර සිටියත් ඊට මොහොතක් යෑමට මත්තෙන් කරු – සජිත් සාකච්ඡාව පිළිබඳව වෙබ් අඩවිවල පළවන්නට පටන් ගත්තේ ඊට සම්පූර්ණයෙන්ම වෙනස් ප්‍රවෘත්තියකි. එනම් ඇතැම් වෙබ් අඩවි වාර්තා කර සිටියේ ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් කරු හා සජිත් අතර එකඟතාවක් ඇතිවූ බවත්, ඒ අනුව එම සාකච්ඡා සාර්ථකව අවසන් වී ඇති බවත්ය. ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ කතානායක කාර්යාලයේ මාධ්‍ය සම්බන්ධ වගකිවයුත්තන් කිහිපදෙනකුම අදාළ වෙබ්අඩවිවලට කතාකොට එම පුවත සම්පූර්ණයෙන් අසත්‍යයක් බවත්, එවැනි අසත්‍ය පුවත් පළකිරීමෙන් වැළකී සිටින ලෙසත් ඔවුන්ට දැනුම් දී සිටීමට පියවර ගත්තේය. ඊට අමතරව කරුගේ පාර්ශ්වයෙන් සජිත්ට කතා කළ කිහිපදෙනකුම අසත්‍ය පුවත් වෙබ් අඩවිවලට ලබාදීමෙන් වැළකී සිටින ලෙසට සජිත්ට දැනුම් දීමටද කටයුතු කර තිබිණ.
සාකච්ජාව අසාර්ථක නිසා මංගලත් ගේමට බසී
මේ ආකාරයට කරු හා සජිත් අතර පැවැති සාකච්ඡා අසාර්ථක වීමත් සමඟ සජිත්ගේ පිලේ ප්‍රබලයකු වූ මංගල සමරවීර මහතාද කරුගෙන් මුණගැසීම සඳහා වේලාවක් ඉල්ලා සිටියේ කෙසේ හෝ සජිත්ගේ පිලට කරුවද ගොඩකර ගැනීමටය. ඒ අනුව කරු මංගලට දැනුම්දී සිටියේ බදාදා දිනයේදී තමන්ට මංගලව මුණගැසිය හැකි යැයි කියාය. ඒ අනුව බදාදා මංගල කරුව මුණගැසීම සඳහා කරුගේ නිල නිවෙසට ගියේ තනිවම නොව සජිත් පිලේ තවත් ප්‍රබලයකුද සමගය. ඒ ප්‍රබලයා වෙන කවුරුවත් නොව එරාන් වික්‍රමරත්නය. සජිත් මෙන් නොව ඔවුන් දෙදෙනාම කරුව මුණගැසුණේ ලිපි ලේඛන කිහිපයක්ද අතැතිවය. නැතහොත් ආයුධ සන්නද්ධවය. ඒ අනුව සාකච්ඡාව ආරම්භ කරමින් මංගල සජිත්ට පක්ෂය ඇතුළේත්, රට ඇතුළේත් ඇති ජනප්‍රියතාවය පැහැදිලි කරමින් මේ වන විට එජාප අපේක්ෂකත්වය සඳහා සුදුසුම පුද්ගලයා සජිත් බව පැහැදිලි කරදී කරුගේ සහයෝගයද ඔහුට ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය.
මෙහිදී කරු මංගලලාගෙන් එක් ප්‍රශ්නයක් විමසා සිටියේය. එනම් ඔය කියන ජනප්‍රියත්වය මනින්නේ කෙසේද යැයි කියාය. මංගලලා රැගෙන ආ ලිපි ලේඛන ඔවුන් එළියට ගත්තේ කරුගේ මේ ප්‍රශ්නයත් සමඟය. ඒ අනුව මංගල සිය ලිපිගොනුවේ තිබුණු ‘මත විමසුම්’ කිහිපයක්ම එළියට ගෙන ඒවා එකින් එක කරුට පැහැදිලි කරන්නට විය. මුලින්ම මංගල පෙන්වා දුන්නේ නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වාට අයත් ආයතන කිහිපයක් විසින් සිදුකර තිබූ මත විමසුම් කිහිපයක ප්‍රතිඵලය. මීට අමතරව තවත් පෞද්ගලික ආයතනයක් විසින් සකසා තිබූ මත විමසුමක්ද මෙහිදී මංගල කරුට පෙන්වා සිටියේය. ඒ සියලු මත විමසුම්වල ඉදිරියෙන් සිටිනු දක්නට ලැබුණේ සජිත් ප්‍රේමදාසය.
කෙසේ වෙතත් මෙහිදී කරු මංගලටත්, එරාන්ටත් දුන්නේ කලින් කබීර්ටත්, රන්ජිත් මද්දුමබණ්ඩාරටත්, සජිත්ටත් දුන් පිළිතුරුමය. එනම් පක්ෂ ව්‍යවස්ථාවට අනුව යමින් සම්ප්‍රදායානුකූලව මෙම ගැටලුව පක්ෂය ඇතුළේ විසඳාගන්නා ලෙසටය. එසේ නොමැතිව මේ ආකාරයට මහ පාරේ අපේක්ෂකයන් නම්කිරීමට ගියහොත් පක්ෂය දෙකඩ වීමේ අනතුරක් ඇති බවද කරු එහිදී මංගලටත්, එරාන්ටත් දැනුම්දී සිටියේය. පක්ෂ ව්‍යවස්ථාවට අනුව කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් අනුමත කරනු ලබන ඕනෑම ජනාධිපති අපේක්ෂකයකුට සහාය පලකිරීමට තමන් සූදානම් බව මෙහිදී මංගලටත්, එරාන්ටත් දැනුම්දී සිටීමටද කරු වගබලා ගත්තේය.
හර්ෂෙගේ මත විමසුම්වල ඉතිහාසය
කෙසේවෙතත් සිදුවීම් පෙළගැසෙන ආකාරය දෙස බලන විට සජිත් වෙනුවෙන් පෙනී සිටින බොහෝ දෙනකුගේ ලොකුම ආයුධය වී ඇත්තේ හර්ෂගේ ආයතනයන් මඟින් සිදුකර ඇති මත විමසුමකි. ඒ අනුව අපිද හර්ෂගේ මේ ආයතන මඟින් සිදුකර ඇති මත විමසුම්වල ප්‍රතිඵලයන් පිළිබඳව සොයාබැලීමක නිරත වීමට පියවර ගත්තෙමු. ඒ අනුව අපට දැනගන්නට ලැබුණේ හර්ෂ මේ මත විමසුම් කරන්නේ අද ඊයෙක සිට නොව 2008 වැනි කාලයක සිටම මෙසේ හර්ෂ විවිධ මත විමසුම් කරමින් ඒවායේ ප්‍රතිඵල පක්ෂ නායකත්වයට ලබාදෙන්නට කටයුතු කර ඇති බවකි. මුලින්ම හර්ෂ දේශපාලනයට වඩා ආර්ථිකය සම්බන්ධ මත විමසුම් සිදුකළ නිසා ඔහු එවක කටයුතු කළේ රනිල්ගේ නිල නොවන ආර්ථික උපදේශකවරයා ලෙසටය. 2010 වසරේ ජනාධිපතිවරණය පැවැත්වීමට මාස කිහිපයකට ප්‍රථම මේ ආකාරයට හර්ෂ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මත විමසුමක් සිදුකර තිබූ අතර එහි ප්‍රතිඵලය මඟින් හර්ෂ කියා තිබුණේ සරත් ෆොන්සේකා වැනි ප්‍රබල චරිතයක් ආණ්ඩුවෙන් එළියට ගෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් කළහොත් නිසැක ලෙසම එය ජයග්‍රහණය කිරීමට හැකියාවක් ඇතැයි කියාය. නමුත් ජනාධිපතිවරණයට ෆොන්සේකා පැමිණියද ජයග්‍රහණය කළේ මහින්ද රාජපක්ෂය. ඒ අනුව හර්ෂගේ එම මතවිමසුම බොරු එකක් බව හෙළිවිය.
එතැන් සිට පැවැති සෑම පළාත් සභා, පළාත් පාලන ඡන්දයකදීම මේ ආකාරයට හර්ෂ මත විමසුම් ඉදිරිපත් කර තිබූ අතර ඇතැම් ඒවා මැතිවරණ ප්‍රතිඵලවලට ඉතා අහිතකර ලෙස බලපෑම් කර තිබූ ආකරයක්ද දැකගන්නට ලැබිණ.
හර්ෂ රවිට ගහපු ගේම
ඉන් එකක් වූයේ අවසන් වරට පැවැති පළාත් පාලන ඡන්දය ඉලක්ක කරගෙන හර්ෂ සකස් කර තිබූ මත විමසුමකි. ඒ වන විට බැඳුම්කර ප්‍රශ්නය මුල්කරගෙන එජාපය ඉතා විශාල ලෙස රට ඇතුළේ අප්‍රසාදයකට ලක්ව තිබූ නිසා හර්ෂ කර තිබූ එක් මත විමසුමක ප්‍රතිඵල ලෙස ඔහු පෙන්වා දී තිබුණේ එම බැඳුම්කර ප්‍රශ්නයට චෝදනා ලබා සිටි රවි කරුණානායක පක්ෂයේ උප නායක තනතුරෙන් පමණක් නොව පක්ෂයෙන්ද නෙරපා හැරියහොත් පුංචි ඡන්දය නිසැකවම එජාපයට ජයග්‍රහණය කළ හැකි යැයි කියාය.
රවි හා හර්ෂ අතර කාලයක් තිස්සේම කෝට්ටේ ආසනය සම්බන්ධයෙන් බරපතළ අර්බුදයක් පැවැතීම නිසා දෙදෙනාගේ එම ප්‍රශ්නය මෙම මත විමසුම් හරහාද එළියට එන ආකාරයක් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් හඳුනාගෙන තිබුණද ඒ වන විට එල්ලවූ ප්‍රබල බලපෑම නිසා අවසන් වරට පැවැති පක්ෂ සම්මේලනයේ වේදිකාවට පවා රවි ගොඩවීම වළක්වාලීමට රනිල්ට සිදුවිය. එපමණක් නොව හර්ෂගේ මත විමසුම මුල්කරගෙන මලික් හා කබීර්ගේ ප්‍රධානත්වයෙන් රවිට එරෙහිව විනය කමිටුවක් පවා පත්කිරීමට රනිල් රහිදී කටයුතු කළේය. වරෙක පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් අතර පැවැති රැස්වීමකදී මෙය සම්පූර්ණයෙන්ම දේශපාලන පළිගැනීමක් බව රවි කියා සිටියේ හර්ෂගේ මෙම මතවිමසුම් තුළ තිබූ දේශපාලන පසුබිම හොඳහැටි වටහාගෙන තිබූ නිසාය.
කෙසේ වෙතත් අවසානයේදී හර්ෂගේ මෙම මතවිමසුම් අමු බොරුවක් බවට පත්කරමින් පුංචි ඡන්දයේදී හර්ෂගේ කෝට්ටේ ආසනය සහ රටින්ම එජාපය අන්ත පරාජයක් ලබද්දී චෝදනා ලැබූ රවි සිය බටහිර කොළඹ ආසනය එජාපයට දිනවාදීමට පියවර ගෙන තිබිණ. හර්ෂ 2009 සිට කළ මත විමසුම්වල ප්‍රතිපල මේ ආකාරයේ වුවද ඒ සියල්ලක්ම අමතක කර දමා අදත් මංගලලා, එරාන්ලා කරේ තියාගෙන යන්නේ සජිත් දිනන බවට හර්ෂගේ ආයතනයක් මගින් සිදුකළ එවැනි ආකාරයේ මත විමසුමකි.
සන්ධානයත් අන්තිම තීන්දුව ගනී
මේ සියල්ල අතරවාරයේ එක්සත් ජාතික පක්ෂය ප්‍රධාන කොට බිහිකිරීමට නියමිත පුළුල් සන්ධානයේ සාකච්ඡාද පසුගිය සතියේ තීරණාත්මක මංසන්ධියකට පැමිණ තිබිණ. සන්ධානයේ සියලුම පක්ෂ නායකයන්ගේ සහභාගිත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවලදී සන්ධානයේ ව්‍යවස්ථාව, මහලේකම් තනතුර, සලකුණ පිළිබඳව එකඟතාවයකට පැමිණීමට සියල්ලන්ටම හැකිව තිබීම විශේෂ සිදුවීමක් විය. එමෙන්ම සජිත්ගේ පාර්ශ්වයෙන් සන්ධාන ව්‍යවස්ථාවට ඉදිරිපත් කළ සංශෝධන ඊට ඇතුළත් කිරීම සඳහා පියවර ගැනුණු අතර සන්ධානය අස්සන් තබන දිනයේදීම පක්ෂයේ ජනපති අපේක්ෂකයා නම් කිරීමටද තීන්දු විය.
කෙසේ වෙතත් අපේක්ෂකයා සම්බන්ධයෙන් මාතෘකාව ඇදී ආ එක් අවස්ථාවකදී චම්පික දැඩිව අදහස් පළකරනු දැකගත හැකි විය. ඉතා දැඩි ස්වරයකින් යුක්තව චම්පික රනිල්ට කියා සිටියේ මෙය තවදුරටත් ඉදිරියට රැගෙන නොයන ලෙසත්, ඉතාමත් ඉක්මණින්ම පක්ෂයේ අපේක්ෂකයා නම් කර ප්‍රශ්නය අවසන් කරන ලෙසත්ය. කෙසේ වෙතත් රනිල් චම්පිකට කියා සිටියේ ඒ සඳහා පක්ෂයේ නිසි ක්‍රමවේදයක් පවතින බවත්, එය දිනකින් දෙකකින් සිදුකර අවසන් කළ නොහැකි බවත්ය. එම ක්‍රමවේදය නිසි ආකාරයෙන් ඉටුකිරීම සඳහා සතියක් එකහමාරක් වැනි කාලයක් ගතවනු ඇති බව පෙන්වා දුන් රනිල් ඒ සඳහා අවශ්‍ය කාලය එජාපයට ලබාදෙන ලෙසටද සන්ධාන නායකයන්ගෙන් ඉල්ලීමක් කළේය. රනිල්ගේ ඒ පැහැදිලි කිරීමට චම්පිකද අවසානයේදී එකඟතාවය පළ කළේය.
බදාදා දිනයේ රවිගේ-මංගලගේ ගෙවල්වල පාටි
මේ සියල්ල අතරවාරයේ පසුගිය බදාදා දිනයද ඉතා තීරණාත්මක දිනයක් විය. ඒ එදින රාත්‍රියේද රනිල්ගේ පිල නියෝජනය කරමින් සහ සජිත්ගේ පිල නියෝජනය කරමින් තීරණාත්මක රාත්‍රී භෝජන සංග්‍රහයන් දෙකක් ස්ථාන දෙකකදී පැවැත්වීම නිසාය. ඉන් එක් රත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්වූයේ පාර්ලිමේන්තු පාරේ පිහිටි රවිගේ නිවසේදීය. දෙවැන්න තිබුණේ මංගලගේ නිල නිවසේදීය. රවිගේ නිවසේ පැවැති රාත්‍රී භෝජන සංග්‍රහය සඳහා ඔහු රනිල්ට, කරුට පමණක් නොව මෙරට සිටින ප්‍රධාන තානාපතිවරුන් විශාල ප්‍රමාණයකටද ආරාධනා කළේය. මේ හේතුව නිසාම බදාදා සවස එජාප මන්ත්‍රීවරුන් අතර විශාල රාවයක් ගියේ එදින රාත්‍රියේ රවිගේ නිවසේදී විදෙස් තානාපතිවරුන් හමුවේ පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා එළිදැක්වීමට සූදානම් කොට ඇතැයි කියාය. නමුත් එම රාත්‍රී භෝජන සංග්‍රහයේදී එවැන්නක් සිදුනොවූ අතර ගොඩනැඟීමට නියමිත අලුත් සන්ධානයේ හැඩරුව සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් තානාපතිවරුන් හමුවේ තැබීම එදින සිදුවිය. හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් තමාට පැමිණීමට නොහැකි බව කරුද කල්තියාම රනිල්ටත්, රවිටත් දැනුම්දී තිබීම නිසා එම රාත්‍රී භෝජන සංග්‍රහයේදී වැඩිපුරම සාකච්ඡාවට ලක්වූයේ අපේක්ෂකයා පිළිබඳව නොව සන්ධානයේ ඉදිරි වැඩපිළිවෙළ සහ ජනාධිපතිවරණය සම්බන්ධයෙන්ය.
සජිත් පුතා වෙනුවෙන් අම්මා හේමාත් සටනට බහී
කෙසේ වෙතත් මංගලගේ නිවසේ පැවැති රාත්‍රී භෝජන සංග්‍රහය සඳහාද මංගල පක්ෂයේ සියලු දෙනාටම ආරාධනා කර තිබූ අතර එයට මන්ත්‍රිවරුන් වැඩි ප්‍රමාණයක් ගෙන්වා ගැනීම සඳහා විශාල ප්‍රචාරක ව්‍යාපාරයක් බදාදා දහවල් සිටම දියත් කර තිබූ ආකාරයක්ද දැකගත හැකි විය. ඒ සඳහා විවිධ උපක්‍රමද භාවිත කර තිබූ අතර ඊට මන්ත්‍රිවරුන් ගෙන්වා ගැනීම කෙතරම් වැදගත් වී තිබුණාද කියනවා නම් සජිත් වෙනුවෙන් පළමු වතාවට ඔහුගේ මෑණියන් වන හේමා ප්‍රේමදාස මැතිනියද කරලියට පිවිස සිටි ආකාරයක් දැකගත හැකි විය. විශේෂයෙන්ම එදින දවල් වරුවේ සිට හේමා ප්‍රේමදාස මැතිනිය එජාප ජ්‍යෙෂ්ඨයන්ට දුරකතන ඇමැතුම් ලබාදෙමින් මංගලගේ නිවසේ පැවැත්වීමට නියමිත සාදයට සහභාගි වන ලෙස දැනුම්දී සිටීමට කටයුතු කළාය. සජිත්ද එම අවස්ථාවට සහභාගි වන බව මෙහිදී සඳහන් කර සිටි හේමා ප්‍රේමදාස මැතිනිය පක්ෂය තුළ ඉතා තීරණාත්මක අවස්ථාවක් මතුව ඇති මේ මොහොතේ අදාළ රාත්‍රි භෝජන සංග්‍රහයට සහභාගි වී සජිත්ට සහයෝගය පළ කරන ලෙසද පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගෙන් ඉල්ලා සිටියාය.
මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ ඇතැම් ජ්‍යෙෂ්ඨයන් ඉතා කාරුණිකව හේමා ප්‍රේමදාස මැතිනියගේ මෙම යෝජනාව ප්‍රතික්ෂේප කිරීමට කටයුතු කිරීමය. ජනපති අපේක්ෂක සම්බන්ධයෙන් පක්ෂය ඇතුළේ අර්බුදයක් මතුව පැවතියදී මේ ආකාරයට එක් පාර්ශ්වයක රාත්‍රී භෝජන සංග්‍රහයකට සහභාගි වුවහොත් වැරැදි චිත්‍රයක් රටට යනු ඇති බවත්, මේ අවස්ථාවේදී කළ යුත්තේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් ලෙස තමන් සියලු පාර්ශ්වයන්ගේම සමගිය ආරක්ෂා කර පක්ෂය ජයග්‍රහණය කරවීම බවත් ඔවුහු හේමා ප්‍රේමදාස මැතිනියට පෙන්වා දීමට කටයුතු කළහ.
කැරලිකාරයන්ට සජිත් දුන් අන්තිම තීන්දුව
කෙසේ වෙතත් බදාදා රාත්‍රියේ මංගලගේ නිවසේ පැවැත්වීමට නියමිත රාත්‍රි භෝජන සංග්‍රහයට පෙරාතුව සජිත් සිටියේ විශාල පීඩනයකින් යුතුවය. එම පීඩනයට හේතුවී තිබුණේ යම් හෙයකින් හෝ පක්ෂය අපේක්ෂකත්වය ලබා නොදීමට කටයුතු කළහොත් එජාපයෙන් එළියට ගොස් වෙනත් පක්ෂයකින් හෝ ජනාධිපතිවරණයට ඉදිරිපත් විය යුතු බවට තම කණ්ඩායමෙන් දිගින් දිගටම එල්ලවෙමින් තිබූ දැඩි බලපෑම්ය. විශේෂයෙන් පක්ෂයේ තරුණ මන්ත්‍රින් කණ්ඩායම මෙසේ පක්ෂයෙන් එළියට ගොස් වෙනත් පක්ෂයකින් තරග කළයුතු බවට සජිත්ට දැඩිව බලපෑම් එල්ල කරද්දී සජිත් වටා සිටින රාජ්‍ය ඇමැතිවරුන් කණ්ඩායම දැනුම්දී තිබුණේ එසේ එළියට ගොස් අලියයි, කොළ පැහැයයි රැගෙන මැතිවරණ ප්‍රචාරක කටයුතු දියත් කළ යුතු යැයි කියාය. මෙම සටනේදී නැවත හැරීමක් නොමැති බවට අවස්ථා කිහිපයකදීම සජිත් ප්‍රකාශ කර තිබූ නිසා පසුපෙළ මන්ත්‍රිවරුන් බොහෝදෙනකු විටින් විට සජිත්ට බලපෑම් කරමින් කියා සිටියේ ශ්‍රීලනිපයෙන් එළියට ගොස් බැසිල් පොහොට්ටුව නිර්මාණය කළා සේ එජාපයෙන් එළියට ගොස් සජිත්ද අලුත් පක්ෂයක් නිර්මාණය කළ යුතු යැයි කියාය. මෙවැනි බලපෑම් හේතුකොටගෙන බදාදා සවස වන විට සජිත්ද සිටියේ ඉදිරියට කරන්න යන්නේ කුමක්ද යන්න සම්බන්ධයෙන් තීරණයක් ගත නොහැකි තත්ත්වයකට පත්වය.
කෙසේ වෙතත් එදින රාත්‍රියේ මංගලගේ නිවසේ පැවැති රාත්‍රි භෝජන සංග්‍රහයට මන්ත්‍රිවරුන් 24ක කණ්ඩායමක් සහභාගිව සිටින ආකාරයක් දැකගන්නට ලැබිණ. මුලින්ම අදහස් දක්වමින් කතා කිරීම ආරම්භ කළේ මංගලත්, මලිකුත්ය. දෙදෙනාම කතා කළේ කුරුණෑගල පැවැත්වීමට නියමිත ‘සජිත් එනවා’ රැලියේ තෙවැනි අදියර සාර්ථක කර ගැනීම සම්බන්ධයෙන්ය. මීට අමතරව හර්ෂද සිල්වා විසින් ඉදිරිපත් කරනු ලැබ තිබූ සජිත්ට වාසි සහගත මත විමසුම පිළිබඳවද එහිදී දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු විය. කෙසේ වෙතත් ඒ සියල්ලම මැද්දේ ඉතා වැදගත්ම සහ තීරණාත්මකම කතාව කළේ වෙන කවුරුවත් නොව සජිත් ප්‍රේමදාසය. යම් හෙයකින් පක්ෂයේ ජනපති අපේක්ෂකත්වය ලබා නොදෙන්නේ නම් පක්ෂය කඩාගෙන එළියට ගොස් තරග කළ යුතු බවට ඉකුත් දින කිහිපය පුරාම තමන්ට එල්ල වූ දැඩි බලපෑමට පිළිතුරු ලබාදීමක් සජිත් සිය කතාව හරහා කරනු දැකගත හැකි විය. ඒ අනුව කිසිවකුත් බලාපොරොත්තු නොවූ ප්‍රකාශයක් සිදුකරමින් සජිත් කියා සිටියේ කුමන තත්ත්වයක් මත හෝ තමන් පක්ෂය කඩාගෙන එළියට නොයන බවකි.
සුජීවටයි- අජිත් පී.ටයි ගැලවිල්ලක් ඇත්තෙම නෑ
“මම මෙතැන ඉන්න අයට එකක් පැහැදිලිව කියන්න ඕනෙ. දැන් එක එක කටකතා යනවා අපේක්ෂකත්වය ලැබුණෙ නැත්නම් මම පක්ෂයෙන් අයින් වෙලා වෙනම පක්ෂයකින් ඉල්ලනව කියලා. හැබැයි මොන තීන්දුව ආවත් මම කවදාවත් එජාපය නම් දාලා යන්නෙ නෑ. ඒ ගැන මෙතැන ඉන්න කිසිම කෙනෙක් කිසිම අවිශ්වාසයක් තියාගන්න එපා…” යනුවෙන් සජිත් කියද්දී එහි සිටි බොහෝ දෙනක් මුහුණට මුහුණ බලාගන්නා ආකාරයක් දැකගන්නට තිබිණ. සජිත් එය විශේෂයෙන්ම සඳහන් කර සිටියේ වෙන කාටවත් නොව පක්ෂයේ ජනපති අපෙක්ෂකත්වය ලබා නොදෙන්නේ නම් බැසිල් කළා වගේ පක්ෂයෙන් එළියට ගොස් වෙනත් පක්ෂයක් පිහිටුවා හෝ ජනපති සටනට ඉදිරිපත් විය යුතු බවට බලපෑම් එල්ල කළ ඔහුටම හිතවත් මන්ත්‍රිවරුන් කණ්ඩායමටය.
මේ අතරවාරයේ සජිත්ට හිතවත් ඇතැම් මන්ත්‍රිවරුන් පක්ෂයේ විනය පවා කඩ කරමින් කටයුතු කරද්දී ඔවුන්ට එරෙහිව නිසි ක්‍රියාමාර්ග ගන්නා ලෙසට පක්ෂය ඇතුළෙන් රනිල්ට එල්ලවෙමින් තිබූ බලපෑමද දිනෙන් දින ඉහළ යමින් තිබූ ආකාරයක් දැකගන්නට ලැබිණ. විශේෂයෙන් මෙම ඇතැම් මන්ත්‍රිවරුන් ප්‍රසිද්ධියේම පක්ෂ නායකත්වය විවේචනය කරමින් පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය වන ආකාරයට කටයුතු කර තිබීම නිසා මීට සති එකහමාරකට පමණ ඉහතදී පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතාට පක්ෂ නායකත්වය දැනුම්දී තිබුණේ අජිත් පෙරේරාත්, සුජීව සේනසිංහත් යන මන්ත්‍රිවරුන්ට එරෙහිව මුල් වටයේදී වහාම විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙසටය. ඒ අනුව අකිල පක්ෂයේ නීති කටයුතු සම්බන්ධයෙන් ප්‍රවීණත්වයක් ඇති තිලක් මාරපන සමග එක්ව ඊට අවශ්‍ය වැඩකටයුතු දියත් කළ අතර සාක්ෂි වශයෙන් ඊට අදාළ වීඩියෝපට සහ පුවත්පත්වල පළවූ ප්‍රකාශ එක්රැස් කිරීමට පියවර ගෙන තිබිණ. විශේෂයෙන්ම බදුල්ලේ සහ මාතර පැවැති රැස්වීම්වලදී සුජීව සහ අජිත් පෙරේරා සිදුකළ ප්‍රකාශවල පිටපත්ද මෙසේ ගෙන්වා ගැනීමට අකිල කටයුතු කර තිබිණ. ඉන් අනතුරුව ඉකුත් අඟහරුවාදා දින පක්ෂයේ විනය මණ්ඩලය හමුවට පැමිණෙන ලෙසට මෙම දෙදෙනාටම ලිඛිතව දැනුම්දීමට අකිල කටයුතු කළේය. නමුත් එදින මේ දෙදෙනාම විනය මණ්ඩලය හමුවට පැමිණීමට කටයුතු කළේ නැත. නමුත් ලබන 09 වැනි දිනට ප්‍රථම සුජීව සහ අජිත් පවතින නීතියට අනුව විනය මණ්ඩලය හමුවේ පෙනී සිටීම අනිවාර්යය.
අකිල සුජීවට දුන් උපදේශය
කෙසේ වෙතත් ඉකුත් අඟහරුවාදා දින පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමට සිය කැබිනට් අමාත්‍යවරයා පැමිණ නොසිටීම හේතුවෙන් ඊට සහභාගි වීමේ අවස්ථාව රාජ්‍ය අමාත්‍ය සුජීවට හිමිව තිබිණි. ඒ අනුව කැබිනට් මණ්ඩල රැස්වීමට පැමිණි සුජීව ඒ වන විටත් තමන්ට එරෙහිව විනය පියවර ගන්නා බවට වූ පුවත මාධ්‍යයට නිකුත් වී තිබීම නිසා අකිලගෙන් ඒ පිළිබඳව විමසා සිටීමට කටයුතු කළේය. දෙදෙනාම හොඳ මිත්‍රයන් වන නිසා යාළුකම මුලින් තබා අකිලට කතා කළ සුජීව “මොකක්ද මහලේකම්තුමා මේ වැඬේ? මට වඩා පක්ෂයේ විනය කඩපු අය ඕන තරම් ඉන්නවා. පක්ෂය මාරු කරපු අය ඉන්නවා. වෙන පක්ෂවලට ගිය අය ඉන්නවා. බැඳුම්කර ප්‍රශ්නයට සම්බන්ධ වෙච්ච අය ඉන්නවා. ඉතින් ඒ අයට විරුද්ධව ඉස්සෙල්ලාම විනය පියවර ගන්නෙ නැතුව මට විරුද්ධව විනය පියවර ගන්නෙ ඇයි” යනුවෙන් විමසද්දී අකිල කීවේ පක්ෂයේ නීතිය අනුව එසේ කරන ලෙසට තමන්ට උපදෙස් ලැබුණු බවකි.
“අපේ යාළුකම් වෙනයි සුජීව. ඒකෙ කිසි ප්‍රශ්නයක් නෑ. හැබැයි පක්ෂයේ විනයක්, නීතියක් තියෙනවා. මට ලැබුණු උපදෙස් අනුවයි මම ඒ දේ කළේ. ඒ නිසා මම යාළුවෙක් හැටියට කියන්නේ ඉක්මනටම ඇවිල්ලා මේ විනය පරීක්ෂණය ඉදිරියේ පෙනී සිටින්න කියලයි” යනුවෙන් එහිදී අකිල සුජීවට සඳහන් කර සිටියේය.
මේ අතරවාරයේ අජිත් පෙරේරාද ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා මෙම විනය පරීක්ෂණය පිළිබඳව සිය ස්ථාවරය ඉදිරිපත් කිරීමට කටයුතු කළේය. කෙසේ වෙතත් වෙනදා මෙන් එහිදී දැඩි ස්වරයෙන් තොරව අදහස් ප්‍රකාශ කළ අජිත් පෙරේරා තමන් විනය කඩ වන ආකාරයට කටයුතු කර නොමැති බව කියා සිටියේය.
මේ අතර එදින කැබිනට් මණ්ඩලයේද විශේෂ සිදුවීම් කීපයක් සිදුවිය. ඉන් එකක් වූයේ රවුෆ් හකීම් ඉලක්ක කරගෙන චම්පික දැඩි ප්‍රහාරයක් දියත් කිරීමය. ඒ සඳහා මුල්වූයේ මඩකළපුවේ පිහිටි බැටික්ලෝ කැම්පස් හෙවත් හිස්බුල්ලාට අයත් විශ්වවිද්‍යාලය රජයට පවරා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙනි. එහිදී චම්පික කියා සිටියේ වහාම එම විශ්වවිද්‍යාලය ආණ්ඩුවට පවරා ගැනීමේ කටයුතු සම්පූර්ණ කරන ලෙසත්, එසේ නොවුණහොත් පසුගිය කාලයේ මතුවූ සයිටම් විරෝධී ආකාරයේ රැල්ලක් බැටික්ලෝ කැම්පස් මුල්කරගෙනද මතුවිය හැකි බවත්ය.
ඊට අමතරව මනෝ ගනේෂන් යටතේ පවතින සංහිඳියා කාර්යාලයේ වැඩකටයුතු සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය සිදුකරන කාර්යයන් පිළිබඳව මනෝද චන්ද්‍රිකාට එරෙහිව විරෝධයක් දක්වන ආකාරයක් දැකගත හැකි විය.
මෛත්‍රී රනිල්ට පෑ අමුතු ඇගෑලුම්කම
කෙසේ වෙතත් මේ සියලු සිදුවීම් අතරවාරයේ වෙනදා ජනාධිපතිවරයාගෙන් දක්නට නොලැබුණු හැසිරීම් කිහිපයක්ම අමාත්‍යවරුන්ට එදින දැකගත හැකි විය. වෙනදා නම් ආරම්භයේ සිටම ආණ්ඩුවේ සහ අගමැතිවරයාගේ ක්‍රියාකලාපය විවේචනය කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළද එදින අවස්ථා කිහිපයකදීම අගමැතිවරයා ආරක්ෂා කරමින් අදහස් දැක්වීමට මෛත්‍රි කටයුතු කිරීම නිසා දෙදෙනා අතර අලුත් හිතවත්කමක් ගොඩනැගී ඇති ආකාරයක්ද ඇමැතිවරුන්ට දැකගත හැකි විය. ඉන් එක් අවස්ථාවක් වූයේ නුවර බෝගම්බර සංවර්ධන ව්‍යාපෘතිය පිළිබඳව සාකච්ඡාවය. එම ව්‍යාපෘතිය මුල්කරගෙන විශේෂ රැස්වීමක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් සෙනසුරාදා දිනයේදී නුවරදී පැවැත්වීමට යොදාගෙන තිබුණේ මල්වතු අස්ගිරි උභය පාර්ශ්වයන්ගෙන් එම ව්‍යාපෘතියට එල්ල වී තිබූ විරෝධය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහාය. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන්ගේ සහභාගිත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතව තිබුණද අවසන් මොහොතේදී ජනාධිපතිවරයා ඊට සහභාගි වීමෙන් වැළකී සිටීම විශේෂ සිදුවීමක් විය. මේ සම්බන්ධයෙන් කිරිඇල්ල කැබිනට් මණ්ඩල රැස්වීමේදී ජනාධිපතිවරයාගෙන් විමසා සිටිද්දී ඊට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා කියා සිටියේ තමන් ඊට සහභාගි වූවා නම් අගමැතිවරයා අපහසුතාවට පත්වීමට ඉඩ තිබෙනවා කියාය. අගමැතිවරයා එසේ අපහසුතාවට පත්කිරීමට නොහැකි නිසා තමන් ඊට සහභාගි වීමෙන් වැළකී සිටි බවද මෛත්‍රි එහිදී කියා සිටියේය.
ජනාධිපතිවරයාගේ මේ පිළිතුරෙන් සියල්ලන්ටම පෙනී ගියේ ජනාධිපතිවරයා, අගමැතිවරයා අතර කිසියම් අලුත් හිතවත්කමක් මේ වන විට ගොඩනැඟී ඇති බවකි. පසුගිය කාලසීමාවේදී දෙදෙනා නයි – මුගටි විලාසයෙන් සිටි නිසා එකවරම ජනාධිපතිවරයා රනිල් කෙරෙහි මෙවැනි හිතවත්කමක් පෙන්වූයේ ඇයිද යන්න සියල්ලන්ටම ප්‍රශ්නයක් වී තිබිණ. ඒ නිසා අපිද ඒ පිළිබඳ සොයාබැලීමක නිරත වීමු.
අන්තිම තුරුම්පුවත් මෛත්‍රී එළියට අදී
එහිදී අපට සොයාගැනීමට හැකි වූයේ ජනාධිපතිවරයා මෙසේ හිටිහැටියේම අමුතු හිතවත්කමක් පෙන්වා තිබුණේ රනිල්ට ආදරයටවත්, එජාපයට ආදරයටවත් නොව තමන්ගේ දේශපාලනය අනාගතය පිළිබඳව මතුව ඇති විශාල අවිනිශ්චිතතාවයක් මුල්කරගෙන බවය. දැනට පවතින ව්‍යවස්ථා ප්‍රතිපාදනවලට අනුව ලබන දෙසැම්බර් 09 වන විට මෛත්‍රි පත්වීමට නියමිතව ඇත්තේ විශ්‍රාමික ජනාධිපතිවරයකුගේ තත්ත්වයටය. මේ නිසා පසුගිය කාලසීමාව පුරාම මෛත්‍රි එජාපය ඇතුළේ අර්බුද ඇතිකළේත්, රනිල්, මහින්ද සහ අධිකරණය සමඟ වරින්වර ඔට්ටු වූයේත් කෙසේ හෝ තවදුරටත් ජනාධිපති ධුරයේ සිටීම සඳහා සිය කාලය දික්කර ගැනීම සඳහාය. නමුත් ඒ කිසිවක් සාර්ථක නොවුණු නිසා මෛත්‍රි මෙසේ රනිල්ට හිතවත්කම් පෑවේ තමන් සතුව තිබූ අන්තිම තුරුම්පුවත් ගැසීමටය.
අමරවීර රවීට කපුකම භාර දෙයි
ඒ අනුව පසුගිය අඟහරුවාදා කැබිනට් රැස්වීම පැවැත්වීමට ප්‍රථම වහාම මහින්ද අමරවීරව කැඳවූ ජනාධිපතිවරයා ඔහුට දැනුම් දී සිටියේ තමන්ට රනිල්ව මුණගැසී සාකච්ඡා කිරීමට අවශ්‍ය යැයි කියාය. එම පණිවුඩය එජාපයට ලබා දෙන ලෙසද මෛත්‍රි මෙහිදී අමරවීරට දැනුම් දී සිටියේය. ඒ අනුව අමරවීර කළේ පක්ෂයේ උප නායක රවි කරුණානායකට දුරකතන ඇමැතුමක් ගැනීමය. මෙසේ රවිට කතා කළ අමරවීර ජනාධිපතිවරයාගේ පණිවුඩයක් බව කියමින් විධායකය අහෝසි කිරීමේ කැමැත්තක් ජනාධිපතිවරයා හට ඇති බවත්, දැනට ඒ සඳහා ජනතා විමුක්ති පෙරමුණ 20 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති නිසා ඒ හරහා විධායකය අහෝසි කිරීමේ වැඩපිළිවෙළක් සකස් කර ගැනීමට ජනාධිපතිවරයාගේ ඇති අවශ්‍යතාව සඳහන් කර සිටියේය. ඒ වෙනුවෙන් අගමැතිවරයාගේ එකඟතාව ඊට ලබාදිය හැකිද යන්නත් අමරවීර මෙහිදී රවිගෙන් විමසා සිටියේය. රවි එහිදී අමරවීරට කියා සිටියේ තමන්ට ඒ පිළිබඳව සහතිකයක් ලබාදිය නොහැකි බවත්, ඒ පිළිබඳව ජනාධිතිවරයාටම අගමැතිවරයා සමඟ සාකච්ඡා කොට අදහස් හුවමාරු කරගත හැකි බවත්ය.
ඒ අනුව කැබිනට් මණ්ඩල රැස්වීම නිමාවූ සැණින් සිය කාමරයට ගිය මෛත්‍රි වහාම රවිව කැඳවීමට කටයුතු කළේය. එහිදී රවිට කතා කළ මෛත්‍රි කියා සිටියේ විධායකය අහෝසි කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා තමන්ට අගමැතිවරයා සමඟ සාකච්ඡා කළ යුතු බවත්, ඒ අනුව හැකි නම් ගොස් අගමැතිවරයා කැඳවාගෙන එන ලෙසත්ය. මෛත්‍රිගේ ඒ කීමට අනුව රවිද යළිත් පැමිණ රනිල්ව කැටුව මෛත්‍රිගේ කාමරයට යෑමට කටයුතු කළේය. එහිදී මෛත්‍රි තමාගේ හිතේ පැවැති එම අදහස රනිල්ට දැනුම්දෙමින් කියා සිටියේ විධායකය අහෝසි කිරීමට එකඟතාවයකින් යුතුව කටයුතු කළ හැකිදැයි කියාය.
මෛත්‍රි රනිල්ට බස්සපු බෝලය
“විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ගැන දැන් ආයෙමත් සාකච්ඡාවක් මතුවෙලා තියෙනවා. ජේ.වී.පී. එකත් දැනටම පාර්ලිමේන්තුවට 20 වැනි සංශෝධනය ඉදිරිපත් කරල තියෙන්නෙ විධායකය අහෝසි කරන්න ඕනෙ කියලයි. මමත් මෙතැනදි ඉන්නෙ විධායක ක්‍රමය අහෝසි කරන්න ඕනෙ කියන ස්ථාවරයේ. ඒකට මගෙත් එක්ක ඉන්න මන්ත්‍රිවරුන් 18 දෙනාගේ සහයෝගය ලබාදෙන්නත් මම සූදානම්. ඒක අපි දෙමළ සන්ධානය එක්කයි, එක්සත් ජාතික පෙරමුණ එක්කයි කතා කරල තීන්දුවකට එමු. මේක අහෝසි කරාට පස්සෙ නාමික ජනාධිපති ධුරයක් යටතේ ඊළඟ මැතිවරණය පවත්වන තෙක් අන්තර්කාලීන ආණ්ඩුවක් අපිට පිහිටුවන්න පුළුවන්” යනුවෙන් කියමින් මෛත්‍රි තම හිතේ සැලැසුම පිළිබඳව දීර්ඝව රනිල්ට විස්තර කරද්දී ඉතා සාවදානව අසා සිටි රනිල් අවසානයේදී තමන්ගේ කිසිදු අකැමැත්තක් ඊට නැති බව සඳහන් කර සිටියේය. නමුත් එහි ඇති ප්‍රායෝගික ගැටලු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් කිරීමටද රනිල් පියවර ගත්තේය.
“මට කිසි ප්‍රශ්නයක් නැහැ. අපි දෙගොල්ලොම එකතු වෙලා 2015 රටේ ජනතාවට පොරොන්දුවක් දුන්නා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියලා. හැබැයි අපිට ඒක කරන්න පුළුවන් වුණේ නෑ. එහෙම තියාගෙන දැන් ජනාධිපතිවරණයක් කැඳවන්න ඔන්න මෙන්න කියල තියෙද්දි මේ වගේ දෙයක් කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නය මතුවෙනවා. විශේෂයෙන්ම අපිට විතරක් මේ ගැන තීන්දු කරන්න බෑ. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ එක්ක කතා කරන්න ඕනෙ. ජේ.වී.පී. එකත් එක්ක කතා කරන්න ඕනෙ. අනෙක අපි මේ වගේ දෙයක් කරනව නම් ඒක මහින්දට වාසි නොවන විදිහට කරන්න වගබලාගන්නත් ඕනෙ. ඒ පැත්තෙනුයි, අනෙක් අයගෙනුයි අනුමැතිය අරගෙන සාමූහිකව කරන්න පුළුවන් නම් මට ප්‍රශ්නයක් නෑ…’ යනුවෙන් රනිල් පැහැදිලි කරද්දී නැවත වතාවක් කතා කළ මෛත්‍රි කියා සිටියේ ඒ සඳහා මහින්දගේ අනුමැතිය ලබාගැනීමට රනිල්ට හැකිදැයි කියාය. එසේ මෛත්‍රි තම පිලට දැමූ බෝලය යළිත් මෛත්‍රිගේ පිලටම දැමූ රනිල් කියා සිටියේ විපක්ෂනායකවරයා සමග එවැනි විෂයයක් කතා කිරීමට සිටින හොඳම සුදුස්සා ජනාධිපතිවරයා යැයි කියාය. එසේ කතා කර එකඟතාව ලබාගත හැකි නම් අනෙක් පක්ෂ සමඟ සාකච්ඡා කර ජනාධිපතිවරයාගේ ඒ යෝජනාව ඉදිරියට ගෙන යා හැකි බවද රනිල් එහිදී පෙන්වා දී සිටියේය.
මෛත්‍රි එදාම රෑ මහින්දව හමුවෙයි
මෛත්‍රිගේ යෝජනාවට රනිල්ගෙන් දැල්වුණු මේ කොළ එළියත් සමඟ මෛත්‍රි තවත් මොහොතක්වත් පමා නොවී මහින්දට ඇමැතුමක් ලබාදෙමින් කියා සිටියේ විශේෂ කාරණාවක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා හැකි ඉක්මණින් තමන්ව මුණගැසෙන ලෙසටය. ඒ අනුව එදිනම රාත්‍රියේදී එම විශේෂ සාකච්ඡාව පැවැත්වීමට දෙදෙනා කතිකා කරගත්හ. අතිශය රහසිගත ලෙස දෙදෙනා අතර පැවැති මෙම සාකච්ඡාව ආරම්භයේදීම මෛත්‍රි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සම්බන්ධයෙන් වූ තම අදහස මහින්දට දැනුම්දීමට කටයුතු කළේය. ඊට රනිල්ද එකඟ බව මහින්දට කියා සිටීමට මෛත්‍රි අමතක නොකළේය.
නමුත් පළමු වටයේදීම මෛත්‍රිගේ මේ යෝජනාවට විරෝධය පළකළ මහින්ද කියා සිටියේ ජනාධිපතිවරණයක් කැඳවීමට ඔන්න මෙන්න කියා තිබියදී මේ අයුරින් කටයුතු කිරීමට යෑමෙන් විපක්ෂයෙන් ප්‍රබල විරෝධයක් මතුවනු ඇතැයි කියාය. එමෙන්ම ජනතාවද පාරට බැස ඊට එරෙහිව විරෝධතා දක්වනු ඇති බවද මහින්ද මෛත්‍රිට දැනුම්දී සිටියේය. එපමණක් නොව රනිල්ටද ඒ සම්බන්ධයෙන් තනි තීන්දුවක් ගත නොහැකි බව පෙන්වා දුන් මහින්ද එක්සත් ජාතික පෙරමුණේ සුළු පක්ෂ නායකයන් අතරද මීට එරෙහිව දැඩි විරෝධයක් මතුවිය හැකි බවද පෙන්වා දුන්නේය.
මෛත්‍රිව නොකවුට් කළ මහින්ද මෛත්‍රිට කැරට් අලයක් දෙයි
මේ ආකාරයට ඉතා උපක්‍රමශීලීව මෛත්‍රිගේ යෝජනාව පළමු වටයෙන්ම යටගැසීමට කටයුතු කළ මහින්ද මෛත්‍රි සතුටු කිරීම සඳහා වෙනත් ආකාරයේ යෝජනාවක් ඉදිරිපත් කිරීමට කටයුතු කළේය. ඒ, ගෝඨාභය ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව මහ මැතිවරණයක් පැවැත්වෙන තෙක් පවතින භාරකාර ආණ්ඩුවේ අගමැති ධුරය මෛත්‍රිට ලබාදිය හැකි යැයි කියාය. ඊට අමතරව තවත් විශේෂ යෝජනාවක්ද මෛත්‍රිට ඉදිරිපත් කිරීමට මහින්ද කටයුතු කළේය.
“මේ වෙලාවේ විධායකය අහෝසි කරන්න ගියොත් රට ඇතුළෙ ලොකු ප්‍රශ්නයක් එයි. ඒ වෙනුවට අපි ළඟ වෙන යෝජනාවක් ඔබතුමාට තියෙනවා. ගෝඨාභය ජනාධිපතිවරණය ජයගත්තට පස්සෙ අපිට එකපාරටම ආණ්ඩුව විසුරුවන්න බෑ. ව්‍යවස්ථාවට අනුව තවත් මාස කිහිපයක් අපිට මේ ආණ්ඩුව අරන් යන්න වෙනවා. එතැනදි අලුත් ආණ්ඩුවක් පිහිටුවනකම් ඒ තියෙන ආණ්ඩුවේ අගමැතිකම ඔබතුමාට ලබාදෙන්න අපිට පුළුවන්. ඒ විතරක් නෙවෙයි අපි අලුත් ආණ්ඩුවක් පිහිටෙව්වට පස්සෙ ඔබතුමාට ඕන කරන අමාත්‍යාංශ මොනවද, ඒ විෂයයන් මොනවද, බලතල මොනවද, ඕන තනතුරු මොනවද කියන ඔක්කොම හදලා යෝජනාවලියක් විදියට මට දෙන්න. ඒ සියල්ල කිසිදු ප්‍රශ්නයක් නැතුව ලබාදෙන්න මම සූදානම්. ඒ ගැන අපි ඉස්සරහට ගෝඨාවත් හම්බවෙලා කතා කරමු” යනුවෙන් මහින්ද සිය යෝජනාවලිය ඉදිරිපත් කරමින් මෛත්‍රිට දැනුම් දී සිටියේය.
මෙය ඇත්තටම දේශපාලන ගුලියක්ද, එසේත් නැත්නම් දේශපාලන කැරට් අලයක්ද යන්න කීමට තවමත් කල් මදි නමුත් මහින්දගේ මේ යෝජනාවෙන් මෛත්‍රි ඉතා සතුටට පත්වූ ආකාරයක් ඔහුගේ මුහුණේ ඉරියව්වලින් දැකගන්නට තිබිණ. කෙසේවෙතත් සාකච්ඡාව නිමවා එළියට පැමිණීමෙන් පසු මහින්දට දිගට හරහට ඇමැතුම් ලැබෙන්නට පටන්ගත් අතර ඒ සියල්ලකගෙන්ම විමසා සිටියේ සාකච්ඡාවේ ප්‍රතිඵල මොනවාද යන්න කියාය. එහිදී මහින්ද සිනාසෙමින් ඒ හැමෝටම කියා සිටියේ ‘සාකච්ඡාව ඉතා සාර්ථකයි’ යැයි කියාය.
කෝකටත් තෛලය වූ බැදුම්කරය යළි එළියට ගනී
කෙසේ වෙතත් මෙම සාකච්ඡාවෙන් පසු විධායකය අහෝසි කිරීමේ හැකියාවක් නොමැති බව මෛත්‍රිට වැටහිණි. මහින්දගේ ස්ථාවරයට අනුව විධායකය අහෝසි කිරීම සඳහා තුනෙන් දෙකේ බහුතරය ලබාගැනීම කිසිසේත්ම කළ නොහැකි බවද මෛත්‍රිට වැටහිණි. ඒ අනුව මහින්දගේ දෙවැනි යෝජනාව පිළිබඳ තවදුරටත් සිතන්නට ගත් මෛත්‍රි එය ඔළුවේ තබාගෙන නැවත වතාවක් රනිල්ටත්, රවිටත් පහරදීමට පියවර ගත්තේය. ඒ සඳහා මෛත්‍රි යොදාගත්තේ එජාපයට විරුද්ධව ‘කෝකටත් තෛලය‘ ලෙස තිබෙන බැඳුම්කර සිදුවීමය. ඒ අනුව වහාම ඊට පසු දින බැඳුම්කර පරීක්ෂණ පවත්වන කණ්ඩායම කැඳවූ ජනාධිපතිවරයා එම පරීක්ෂණවල ප්‍රගතිය විමසා බැලීමට කටයුතු කළේය. එපමණක් නොව එම විමර්ශන කඩිනම් කරන ලෙසද ජනාධිපතිවරයා ඔවුන්ට දැනුම් දී සිටියේය. ඒ අනුව බ්‍රහස්පතින්දා දහවල් වන විට රවිට රහස් පොලිසියෙන් කැඳවීමක් ලැබුණේ සති දෙකක් ඇතුළත වහාම රහස් පොලිසියට පැමිණ ප්‍රකාශයක් ලබාදීමට කටයුතු කරන ලෙසටය.
පළමුවරට ශිරන්ති එළියට එයි
මේ අතරවාරයේ පසුගිය බදාදා රාත්‍රියේ කොළඹ සිනමන් ග්‍රෑන්ඞ් හෝටලයේ විශේෂ මංගල උත්සවයක් පැවැත්විණි. එහි එක් පාර්ශ්වයක් වූයේ ආණ්ඩුවේ ආයතනයක සභාපතිවරයකු වන අසේල ඉද්දවල මහතාය. විවාහ වී තිබුණේ අසේලගේ බිරියගේ ඥාති දියණියකය. මේ දෙපාර්ශ්වයේ සාක්ෂි සඳහා අස්සන් කිරීමට නියමිතව සිටියේ ජනාධිපතිවරයාත්, විපක්ෂ නායක මහින්දත්ය. ඒ අනුව නියමිත වේලාවට මෛත්‍රි සාක්ෂි මේසයට පැමිණියත් මහින්ද එන පාටක් තිබුණේ නැත. ඒ වෙනුවට කවුරුත් පුදුමයට පත්කරමින් පැමිණියේ වෙන කවුරුවත් නොව මහින්දගේ බිරිය වූ ශිරන්ති රාජපක්ෂ මැතිනියය. මහින්දට හදිසියේම රත්නපුරය බලා යෑමට සිදුව තිබූ බැවින් කල් තියාම මංගලෝත්සවයේ පාර්ශ්වයන්ට මහින්ද කියා සිටියේ තමන්ට ඊට සහභාගි වීමට නොහැකි බවත්, ඒ වෙනුවට සිය බිරිය සාක්ෂිකාරියක වශයෙන් අස්සන් තැබීමට එවන බවත්ය. ඒ අනුව අවසානයේදී දෙපාර්ශ්වයෙන් සාක්ෂියට අස්සන් තැබුණේ ජනාධිපතිවරයාත්, ශිරන්තිත්ය. කෙසේ වෙතත් මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂ සිදුවීම වූයේ ශිරන්තිත්, මෛත්‍රිත් ඉතා කුළුපග ලෙස ආගිය තොරතුරු කතාකරමින් සිනාසෙමින් සිටි ආකාරයය. මෛත්‍රි මෙහිදී නාමල්ගේ විවාහ මංගල්‍යය පිළිබඳ ශිරන්තිගෙන් තොරතුරු විමසූ අතර ශිරන්තිද පෙරළා දහම්ගේ මංගලෝත්සවය පිළිබඳ ජනාධිපතිවරයාගෙන් විමසා සිටියාය. දෙදෙනාම එක්ව හිතවතුන් සමඟ ඡායාරූපවලටද පෙනී සිටි අතර එසේ ඡායාරූප ගනිද්දී මෛත්‍රි ශිරන්තිට ඒ අසලට පැමිණෙන ලෙස ආරාධනා කරනුද දැකගන්නට ලැබිණි.
ගෝඨාට බැරිවුණොත් ශිරන්තිද?
මේ අතර මෙසේ හදිසියේම මහින්ද වෙනුවට ශිරන්ති කරළියට පැමිණීම පිළිබඳවද ඊට පසු දිනම දේශපාලන ක්ෂේත්‍රයේ විවිධ කටකතා පැතිර යන්නට විය. පසුගිය කාලයේ ශිරන්තිගේ නමත් ජනාධිපති අපේක්ෂක නම් ලැයිස්තුවේ ඉහළින්ම තිබූ නිසා යම් හෙයකින් ගෝඨාගේ අපේක්ෂකත්වයට අවාසිසහගත තත්ත්වයක් උදාවුවහොත් ශිරන්තිව ඉදිරිපත් කිරීමේ අරමුණ ඇතිව මහින්ද මෙසේ දැන්ම තියා ශිරන්තිව කලඑළි බැස්සුවාද යන්න සියල්ලන්ටම සැක මතුවූ කාරණයක් වී තිබිණ.
පුදපු ගමන් කාපි යකා
මේ ආකාරයට මෛත්‍රි හා මහින්ද අතර අලුත් හිතවත්කමක් ඇතිවෙද්දී අළු යට ගිනි පුපුරු මෙන් නැවත නැවතත් පැරැණි අර්බුද මතුවන ආකාරයක් බ්‍රහස්පතින්දා වන විටම දැකගන්නට ලැබිණි. ඒ, ගෝඨාභය සමඟ සාකච්ඡා කිරීම සඳහා ශ්‍රීලනිපය නියෝජනය කරමින් දයාසිරි ජයසේකර, මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න, ගෝඨාභයගේ නිවෙසට ගොස් සිටියදී බත්තරමුල්ලේ පිහිටි පොහොට්ටු කාර්යාලයේදී ශ්‍රීලනිපයේ සිටි එස්.බී. දිසානායක හා ඩිලාන් පෙරේරා ශ්‍රීලනිපයෙන් ඉවත්ව බැසිල්ගේ අතින් පොහොට්ටුවේ සාමාජිකත්වය ලබාගැනීමය. ඒ සමඟම ශ්‍රීලනිප පාර්ශ්වය නැවත වතාවක් කෝපයට පත්වූ ආකාරයක් දැකගන්නට ලැබුණු අතර වහාම එස්.බී.ට හා ඩිලාන්ට එරෙහිව විනය පියවර ගැනීමට තීන්දු කර තිබිණ.
ගෝඨාගේ කැම්පේන් එක අලවෙයි
පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ නම්කිරීමත් සමඟ රට ඇතුළේ ගෝඨාභය සම්බන්ධයෙන් විශාල ඉල්ලුමක් මතුවිය. රට පුරාම ගෝඨාභය ඉල්ලා රතිඤ්ඤා පත්තු කරන්නට පටන්ගත් අතර තැන් තැන්වල කිරිබත් කන ආකාරයක්ද දැකගන්නට ලැබිණි. පසුව ගෝඨාභය ආගමික ස්ථාන වැඳපුදා ගැනීම සඳහා කැලණිය, කතරගම, මහනුවර, අනුරාධපුර ආදී නගරවලට යද්දී අති විශාල ජනතාවක් ගෝඨා වටා එක් රැස්වනුද දැකගන්නට ලැබිණි.
එසේ ආරම්භයේදී ගෝඨාභයගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ඉහළටම ගියත් හිටි හැටියේම පසුගිය දිනවල එය අසාමාන්‍ය ලෙස එක්වරම නිහඬ වූ ආකාරයක් දැකගන්නට ලැබිණි. මීට පෙර රට පුරා තිබූ පෞද්ගලික සමාගම් කිහිපයකින් සිදුකරනු ලැබ තිබූ මත විමසුම්වලට අනුව ඔවුන් පෙන්වා දී තිබුණේ පසුගිය දින කිහිපය තුළ ගෝඨාගේ මැතිවරණ ව්‍යාපාරය සාමාන්‍ය ජනතාවගෙන් ඈත්වී ආකාරයක් පෙන්නුම් කර ඇතැයි කියාය. ඒ අනුව අපද ඒ පිළිබඳ සොයාබැලීමක නිරත වීමු. එහිදී අපට දැනගන්නට ලැබුණේ ජනාධිපතිවරණය කැඳවීමට මාසයකටත් පමණ කලින් තියා මෙසේ ගෝඨාගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය පටන්ගැනීම නිසා දැන් එය පවත්වාගෙන යෑමේ බරපතළ අර්බුදයකට එම පාර්ශ්වය මුහුණපා ඇති බවකි. මීට අමතරව පොහොට්ටුව ඇතුළේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය කරන්නේ කවුද, කොහෙන්ද, ආරම්භ කරන්නේ කෙතැනින්ද වැනි කරුණු සම්බන්ධයෙන් බරපතළ මත ගැටුමක් පවතින බවද ආරංචිය. එමෙන්ම ගෝඨා කලින් ආරම්භ කළ ප්‍රචාරක ව්‍යාපාරයට පොහොට්ටුවේ අනුමැතිය ලැබී නොමැති බවක්ද දැනගන්නට තිබේ.
බැසිල් වැඩේ අතට ගනී
මේ අතරවාරයේ පසුගිය සතිය වන විට බැසිල් සහ මහින්ද මැදිහත් වී ගෝඨාභයට උපදෙස් ලබාදී තිබුණේ කුමන උත්සවයකට ගියත් මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශ නිකුත් කිරීමෙන් වැළකී සිටින ලෙසටය. නිසි ආකාරව ගෝඨාගේ මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කරන තෙක් එසේ විවිධ ප්‍රකාශ ලබාදීමෙන් වැළකී සිටින ලෙස දැනුම්දී තිබීම නිසා මෙසේ ගෝඨාගේ පාර්ශ්වයෙන් නිහඬ බවක් දැකගන්නට තිබේ. මීට අමතරව දැනටමත් ගෝඨාභය හදවත් සැත්කමකට ලක්කර තිබීමෙන් වෛද්‍ය උපදෙස්ද ලැබී ඇත්තේ ඉදිරියේදී සති 06ක පමණ කාලයක් නොකඩවා වැඩකිරීමට ඇති නිසා හැකි තරම් නිහඬව විවේක ගන්නා ලෙසටය. විශේෂයෙන්ම කතරගම අවස්ථාවේ ඇතිවූ සිද්ධියක් මත මෙසේ වෛද්‍ය උපදෙස් දැඩිව ගෝඨාට ලබාදී ඇති බවක්ද දැනගන්නට ඇත. ඒ අනුව මේ වන විට විවිධ සංගම් සහ සංවිධාන සමඟ පවත්වන සුළු සුළු සාකච්ඡා වෙනුවෙන් කාලසටහන් සකස් කිරීමට බැසිල් පාර්ශ්වය කටයුතු කොට ඇති බවක්ද දැනගන්නට තිබේ.