පානදුරේ ගොරකාන ගල්කණුව ප්‍රදේශයේ පිහිටි එක් නිවසක් වටා දින කිහිපයක් තිස්සේ පැතිර ගියේ අමුතු නිහඬතාවක්. ඒ නිවසේ දොර දින කිහිපයක් තිස්සේ විවෘත වූයේ නැත. කිසිවකු ඊට ඇතුළු වී තිබුණේද නැත. එහෙත් නිවස තුළ සිටි සුනඛයන් නොනවත්වා බුරන්නට වුණා. ඒ බිරීම තුළ යම් අසරණකමක් තිබෙන්නට ඇත. ඇතැම් විට ඒ සතුන් යම් අනතුරක් පිළිබඳ ප්‍රදේශවාසීන්ට දැනුම් දෙන්නට උත්සාහ කළා වන්නටද පුළුවන. මේ අතර, අසල්වැසියන්ට එම නිවස ආශ්‍රිතව පැතිර යමින් තිබුණු අධික දුර්ගන්ධයක්ද වහනය වී තිබුණා.Sri Lanka Latest News
මේ කතාවේ කතා නායිකාව වුණේ නදුනි. ඇය ජීවත් වුණේ පානදුර ගොරකාන ප්‍රදේශයේ බෝඩිම් කාමරයකයි. ඇය කාගේත් සිත් ඇද බැඳ ගන්නට සමත් රූ සපුවකින් යුතු තරුණියක වූවා. බෝඩිමක ජීවත් වූ ඇගේ ස්ථිර පදිංචිය වුණේ පානදුර උතුර වඩුමඩුව හන්දිය ප්‍රදේශයේයි. ඇය විවාහ ගිවිසගෙන තිබුණේ ගුවන් නියමුවකු සමගයි. කෙසේ වෙතත් එම යුවළට එක්ව ජීවත්වීමට නොහැකි වීම නිසා එම විවාහය අවලංගු වී ඇති බවයි දැනගන්නට ලැබුණේ. සුනඛයන්ට දැඩි ලෙස ඇලුම් කළ නදුනි සුනඛයන් කිහිප දෙනකු ඇතිදැඩි කළේ මහත් ආදරයෙනි. නමුත් අසල්වැසියන් සුනඛයන් ඇතිදැඩි කිරීමට විරෝධය පෑම නිසා ඇය එම සුනඛයන්ද රැගෙන පානදුර ගොරකාන ප්‍රදේශයේ කුලී කාමරයකට ගොස් තිබුණා. එහි සිට ඇය පානදුර ප්‍රදේශයේ හෝටලයක රැකියාවකට ගොස් ඇති අතර, එම හෝටලයේ සේවය කළ නවෝද්‍ය ලක්මාල් ජයවර්ධන නමැති 22 හැවිරිදි තරුණයකු සමග ඇය පෙමින් වෙළී තිබුණා. කලක් ගතවෙද්දී ලක්මාල් නදුනිගේ බෝඩිම් කාමරයට එන්නට යන්නට කටයුතු කර තිබුණා. මේ අතර නදුනි එම හෝටලයේම ප්‍රධාන කෝකියා ලෙස සේවය කළ කැකිරාව කිරිගස්වැව පදිංචි දෙනුවන් ප්‍රමෝද නමැත්තා සමගද සමීප සබඳතාවක් ගොඩනගාගෙන ඇත.
24 හැවිරිදි දෙනුවන් ඇයට දැඩි ලෙස ආදරය කළ අතර, ඇගේ වියදම් සහ බෝඩිම් කුලිය සඳහා මාසිකව රුපියල් 35,000ක මුදලක් ලබාදී ඇති බවද අනාවරණ වී තිබේ. සමහර දිනවල දෙනුවන් නදුනිගේ බෝඩිම් කාමරයේ රැය පහන් කිරීමටද හුරුව සිටියා. කෙසේ වෙතත් තුන්කොන් ආදරයක් වූ මෙයට නදුනිගේ හෝ දෙනුවන්ගේ විරෝධයක් එල්ලවී ඇති බවක් නොපෙනුණේ ඔහුගෙන් මාසිකව ලැබෙන මුදල් නිසා බව පැවසෙයි.
නදුනිගේ මවද නදුනිගේ මෙම සබඳතාවන් ගැන දැන සිට ඇති අතර, දෙනුවන් මවගෙන් විමසා සිටියදී මව පවසා ඇත්තේ නදුනි සහ ලක්මාල් අතර ඇත්තේ මිත්‍රත්වයක් පමණක් බවයි. මීට පෙර ලක්මාල්ගේ පියා නදුනි සහ තම පුතා අතර පවතින සම්බන්ධතාව දැන ඊට විරෝධය පා ඇති අතර, පියා විසින් දෙදෙනාටම තර්ජනය කිරීමටද කටයුතු කර තිබුණා. මේ හේතුවෙන් ලක්මාල් තමන්ගේ ඇඳුම්ද රැගෙන නදුනිගේ බෝඩිමට යාමට කටයුතු කර තිබුණු අතර, නදුනි පානදුර පොලිසියට ගොස් පැමිණිල්ලක් ගොනුකර තිබුණා. පැමිණිල්ල සමථ මණ්ඩලයට යොමුකිරීමෙන් අනතුරුව දෙදෙනා අවුරුදු 16ට වැඩි නිසා කැමති කෙනකු විවාහ කරගැනීමේ නිදහස ඔවුන් සතු බව පැහැදිලි කරදී ඇත. මේ අතර, දෙනුවන් නදුනිගේ කාමරයට යන සෑම අවස්ථාවකම ඒ බව නදුනිගේ මවට දැනුම් දීමටද කටයුතු කර ඇත. ඒ අනුව දිනක් මව කුලී නිවසට ගොස් ඇති අතර, එවිට නිවසේ දොර වසා තිබූ නිසා ඇය නැවත ගොස් ඇති බවයි පරීක්ෂණවලින් හෙළිව තිබුණේ. මවගේ දුරකතන ඇමතුම්වලටද දියණියගෙන් ප්‍රතිචාර නොලැබී තිබූ අතර, කුලී නිවසේ අවට නදුනිගේ ඇඳුම් විසිර තිබෙන අයුරුද මවට දැකගන්නට ලැබී ඇත.
මේ අතර, දෙනුවන් නදුනිගේ අතුරුදන්වීම දරාගැනීමට නොහැකිව නදුනිගේ මව සමග පසුගිය 05 වැනිදා කුලී නිවසට ගොස් ඇති අතර, ඒ වනවිට නිවස තුළින් දරාගත නොහැකි දුර්ගන්ධයක් වහනය වෙමින් තිබී ඇත. එවිට දෙනුවන් නදුනිගේ කුළී නිවසේ දොර කඩා ඊට ඇතුළු වී ඇති අතර, එහිදී දුටු දෙයින් ඔවුන්ට දෑස් අදහාගැනීමට පවා නොහැකි වී තිබේ. ඒ අනුව වහාම 119 හදිසි ඇමතුම් අංකයට දැනුම් දෙන්නට ඔවුන් කටයුතු කර තිබුණා.
එම ඇමතුමෙන් වහාම ක්‍රියාත්මක වූ පානදුර උතුර පොලිසියේ ස්ථානාධිපති තිස්ස සරත්චන්ද්‍ර මහතා ඇතුළු නිලධාරීන් මේ සිදුවීම වූ ස්ථානයට ළඟාවුණා. එම ස්ථානයේ තිබී ලක්මාල්ගේ ඇඳුම් කිහිපයක්, ජංගම දුරකතනයක්, පිහියක් සහ ඔහුගේ ජාතික හැඳුනුම්පතද සොයාගැනීමට පොලිසියට හැකිවී තිබුණා. ඒ වනතුරුත් නදුනි ආදරයෙන් රැකබලා ගත් සුනඛ ජෝඩුව සහ පැටවුන් කිහිප දෙනෙක් නදුනිගේ දේහය අසල තනි රකිමින් සිට තිබුණා. නදුනිගේ මළ සිරුර පරීක්ෂා කළ පොලිසිය සැක කළේ ලක්මාල් විසින් නදුනිගේ ගෙලට පහර කිහිපයක් එල්ල කොට ඇයව ඝාතනය කර පලාගොස් ඇති බවටයි. ඒ අනුව සැකකාර ලක්මාල් සොයා පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මක වූ අතර, දෙනුවන්ද කැඳවා පොලිසිය ප්‍රශ්න කරන්නට වුණා. එම ප්‍රශ්න කිරීම් හමුවේ දෙනුවන් පවසා ඇත්තේ නදුනි තමන් රවටා තම බැංකු ගිණුමෙන් රුපියල් ලක්ෂ 8කට ආසන්න මුදලක් වංචා කර ඇති බවයි. පසුව දෙනුවන් නදුනිගේ සුනඛ ජෝඩුව සහ පැටවුන් රැගෙන ගොස් තිබුණේ නදුනිට තිබූ ආදරය නිසාවෙනි.
දෙනුවන් පොලිසිය හමුවේ තවදුරටත් පවසා ඇත්තේ මෙවැන්නකි.
‘තවත් කොල්ලෙක් එක්ක නදුනි සම්බන්ධයක් පවත්වාගෙන යන බව මම දැනගෙන හිටියේ නැහැ. මට නදුනි ගැන සැකයක් ඇතිවුණේ නැහැ. මම මෙයාව බඳින්න හිටියේ. පහුගිය කාලේ ලක්ෂ 10ක් විතර ඉල්ලගෙන තිබුණා. මම එයා ඉල්ලන ඉල්ලන සැරේට සල්ලි දුන්නා. නදුනි සත්තුන්ට ආදරේ කළා. ඒ සත්තුන්ට කන්න දුන්නෙත් මම. මම නදුනිට හදවතින්ම ආදරේ කළා. මම නදුනිට ආදරේ කළ නිසා බල්ලන් පස්දෙනාව මගේ ගෙදරට අරන් ගියා…’
පසුව දැනගන්නට ලැබුණේ ලක්මාල් නමැති සැකකරු නදුනි ඝාතනය කිරීමෙන් පසු දුම්රියට පැන ජීවිතය හානි කරගැනීමට උත්සාහ කර ඇති බවයි. දුම්රියට පැනීම නිසා බරපතළ තුවාල ලත් ඔහුව අවට සිටි පිරිස් විසින් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබූ අතර, මේ වනවිටත් ඔහු එහි ප්‍රතිකාර ලබමින් සිටියි.
ලක්මාල් පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ පවසා තිබුණේ මෙවැන්නකි.
‘මම හෝටලයේ වැඩ ඉවර වෙලා එනකොට ටිකක් රෑ වුණා. පාරේ බස් තිබුණේ නැති නිසා හෝටලයේ ඉඳලා ගෙදරට ආවේ පයින්මයි. කිලෝමීටර් 4කට වැඩි දුරක් තියෙනවා. මම හොඳටම හෙම්බත් වෙලා හිටියේ. ඇඟපත හෝදගෙන පුටුවක හාන්සි වෙලා හිටියා. කොච්චර මං නදුනිට සල්ලි දුන්නත් ඇතිවීමක් නැහැ. මං පුටුවේ හාන්සි වෙලා ඉන්නකොට නදුනි ඇවිත් සල්ලි ඉල්ලුවා. මං කිව්වා මං ළඟ සල්ලි නැහැ තාම පඩි හම්බවුණේ නැහැ කියලා. ඒ වෙනකොට නදුනිට මං ලක්ෂ 8ක් විතර දීලයි තිබුණේ. මං සල්ලි නැහැ කිව්ව ගමන් නදුනි මට අපහස කරලා බණින්න ගත්තා. සල්ලි දුන්නේ නැත්තම් මං පලිය ගන්නේ උඹේ නංගිගෙන් මගේ කොල්ලෝ දාලා. සල්ලි දෙන්න බැරිනම් ගෙදරින් පලයන්. ආයෙ පැත්ත පළාතක එන්න එපා…’ කියලා කිව්වා. සුන්දර පෙනුමක් තිබුණට නදුනි හරි නපුරුයි…’
නදුනි මුදල් වංචා කළ පුවත ප්‍රචාරය වීමත් සමග තවත් ආගන්තුක තරුණයෙක් පොලිස් ස්ථානාධිපති සරත්චන්ද්‍ර මහතාට දුරකතන ඇමතුමක් ලබාදී මෙසේ පවසා තිබුණා.
‘සර් මං මොරටුව පැත්තේ රස්සාවක් කරන කාලේ නදුනිත් එක්ක ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගියා. අපි දෙන්නා විවාහ වෙන්න හිටියේ. ඇය පෞද්ගලික විශ්වවිද්‍යාලයක නීතිය හදාරමින් හිටියේ. 2024 වර්ෂයේ නීති පීඨයට බැඳෙන්න ඕනේ කියලා මගෙන් වරින් වර සල්ලි ඉල්ලා ගත්තා. ලක්ෂ 10ක් විතර දුන්නා. මං බඳින්න ඉන්න නිසා ඇය ඉල්ලන ඉල්ලන වාරයක් පසා මුදල් ලබාදුන්නා. එයා ඊට පස්සේ මාව මගහැරලා ගියා…’
නදුනිගේ පියා මීට කලකට පෙර මියගොස් ඇති අතර, මව වැල්ලවත්ත ප්‍රදේශයේ ජීවත්වන බවද දැනගන්නට ලැබුණා. පසුගිය 09 වැනිදා නදුනිගේ මරණය සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණය පානදුර රෝහලේදී සිදුකෙරුණු අතර, එහිදී දැනගන්නට ලැබුණේ පිහි පහර 10කට වඩා ඇගේ ශරීරයට එල්ල වී ඇති බවයි.
නදුනි විවාහ පොරොන්දු දී තරුණයන් මුළාකර ඔවුන්ගෙන් විශාල වශයෙන් මුදල් ලබාගෙන ඇති බව පොලිසිය අනාවරණ කරගෙන තිබුණා.
මේ සිදුවීම තුළ තිබෙන්නේත් පසුගිය කාලයේ රටම කැලඹූ තෙල්දෙණියේ භෞත චිකිත්සකවරියගේ ඝාතන සිද්ධියට සමාන කතාවකි. එම භෞත චිකිත්සකවරිය සමග පෙම් සබඳතාවක් පවත්වාගෙන ගිය තරුණයා කලක සිට මුදල් වංචා කර ඇයව ඝාතනය කර තිබුණා. නදුනි ඝාතනයද ඊට තරමක් සමාන වන්නේ නදුනි විසින් පෙම්වතුන් රවටා ඔවුන්ගේ මුදල් වංචා කර තිබීම හේතුවෙනි.
මේ තරුණිය සැබැවින්ම මේ තරුණයන්ටද ආදරය කළාද? නැතහොත් විවාහ පොරොන්දු මත මුදල් ලබාගත්තාද? එය තවමත් නොවිසඳුණු ප්‍රශ්නයකි. මෙම සිදුවීම අපට පෙන්වා දෙන්නේ ආදරය සහ මුදල් එකට මිශ්‍ර වූ විට ඇතිවිය හැකි භයානක තත්ත්වයයි. ආදරය යැයි සිතා දුන් මුදල් වංචාවක් බවට පත්වූ විට මිනිසකුගේ ආවේගය කොතැනින් නතර වේද? ආදරය ලෙස අපි හඳුනාගන්නා සෑම දෙයක්ම ආදරයද? ඒ ගැන නැවත නැවතත් හොඳින් සිතා බැලිය යුතු බව අපට මේ සිදුවීම විසින් මතක් කර දෙනවා.

නිලන්ති රේණුකා










