ග්‍රහ අපල සඳහා මැණික් පැලඳීමේදී ප්‍රතිකර්මය පුරාණයේ සිට පැවැත එන ප්‍රතිකර්මයකි. යම් ජන්මලාභියකුගේ ජන්ම පත්‍රයේ ග්‍රහ පිහිටීම් මත ජ්‍යොතිර්වේදියා පැලඳිය යුතු මැණික නිර්දේශ කරනු ලබයි. බොහෝ විට ජන්මලාභියා මැණිකක් පැලඳීම සිදුකළද එම පලඳින මැණික හරහා කුමන ප්‍රතිලාභයක් ලැබේද යන්න නොදන්නා කාරණයකි. ඔහු දන්නා එකම කරුණ වන්නේ අපලකාරී තත්ත්වයෙන් මිදී වාසනාව තමා කරා ළඟා වන බවය. ජන්මියකුගේ ජීවන ගමනේදී මුහුණ දීමට සිදු වන දුක්කම්කටොළු මුළුමනින්ම වෙනස් කර වාසනාව උදාකර දීමේ හැකියාවක් මැණික් ප්‍රතිකර්මයට නැත. මැණික් පාෂාණය විවිධ සංයෝග සමඟ නිර්මාණය වී ඇති පාෂාණයකි. මැණික් පැලඳීම හරහා එම මැණික මතට සූර්ය කිරණ පතිතවීම මඟින් ශරීරය මතට එන ආලෝක කිරණ හා මැණික ශරීරයට ස්පර්ශ වීම මඟින් මිනිස් ශරීරයට යම් ගුණාත්මක බලපෑමක් ඇති වන බව වර්තමානය වන විට සොයාගෙන ඇති කරුණකි.
එසේම විවිධ මැණික් හරහා විවිධාකාර ප්‍රතිඵල ලබාදුන්නද සෑම මැණිකක්ම සෑම ජන්මලාභියකුටම ගැලපෙන්නේ නැත. ජ්‍යොතිෂය ග්‍රහ තාරකාවන් පදනම් කොට ගොඩනැඟී ඇති බැවින් ඒ ඒ ග්‍රහයාට අදාළ මැණික් වෙන වෙනම පෙන්වාදී ඇත. ජ්‍යොතිෂයේදී මැණික් පැලඳීම සඳහා පුරුෂ පාර්ශ්වයට දකුණු ඇතද, ස්ත්‍රී පාර්ශ්වයට වම් අතද යොදාගැනීම සුදුසු බව සඳහන් වෙයි. එහිදී රවි ග්‍රහයාට අදාළ මැණික් වර්ගය හා ඉන් ලැබෙන ප්‍රතිඵල මොනවාද යන්න සලකා බලමු.
රවි ග්‍රහ ලෝකයේ ප්‍රධානියා වේ. ජ්‍යොතිෂයේ පීතෘකාරක ලෙස රවි ග්‍රහයා හඳුන්වයි. ලෝකයට ජීවය දෙන්නේද හිරුය. පුරාණයේ සිට මිනිසුන් ලෝකයේ උසස්ම දෙවියා ලෙස රවි හෙවත් හිරුව සලකා ඇත. පුරාණයේ මිනිසුන් සූර්ය නමස්කාරයෙන් පසු තම දෛනික කටයුතු පවා ආරම්භ කර ඇත. හිරුගෙන් ජීව බලය හා රෝග නාශක බලය ලැබේ. නිර්භීතකම, ප්‍රසිද්ධිය, දීර්ඝායුෂ, ගෞරවය, නායකත්වය, උසස් ගතිගුණ, විශ්වාසය, ඍජුබව ආදී කරුණු රැසක් රවිගෙන් නිරූපණය වෙයි.
රතු මැණික් පැලඳීමෙන් ගත හැකි ප්‍රතිඵල
උද්‍යෝගී බව
නිර්මාණශීලීත්වය
නායකත්වය
ඍජු බව
තම අරමුණු ළඟාකර ගැනීමේ ශක්තිය
සුබවාදී බව
එඩිතරකම
සමාජ කටයුතුවලදී සාර්ථකත්වය හා කැපීපෙනීම
ප්‍රසිද්ධිය
රාජ්‍ය අංශයේ රැකියාවන්වල උසස්වීම්
අන් අයගේ ප්‍රසාදය
රතු මැණික දුරුකරන රෝග
හදවත් රෝග
රුධිර පීඩනය
රක්තපාතය
මුහුණේ හටගන්නා කුඩා බිබිලි වැනි තත්ත්වයන්
අපස්මාරය
ශරීරයේ අධික උෂ්ණය
ඇස් රෝග
හිසේ රෝග
යන ප්‍රතිඵලයන්ට අමතරව තව ප්‍රතිඵල රැසක් රවි ග්‍රහයා බලවත් කිරීම හරහා ලබාගත හැකි බව ජ්‍යොතිෂයේ සඳහන් වෙයි. දුර්වල වූ රවි ග්‍රහයාගේ බලපෑම නිසා ඉහත සඳහන් කළ ජන්මියාගේ දියුණුවට බලපාන කරුණු වැළකීම හා රෝගාබාධ වැලඳීමක් දක්නට ලැබේ.
රතු මැණික් පලඳින ආකාරය
රතු මැණික් පැලඳීම සඳහා රත්‍රං මුදුවක් යොදා ගන්නේ නම් වඩා යෝග්‍ය බව ජ්‍යොතිෂයේ සඳහන් වෙයි. මුදුව පැලඳීම සඳහා අතේ වෙදඟිල්ල යොදා ගැනීම සුදුසුය.
ජ්‍යොතිෂවේදී එස්.කේ. කැලුම් කුමාර