බොහෝ විට නිවෙසක් සාදන විට වාස්තු ශාස්ත්‍රඥයකුගේ උපදෙස් පැතීම අද දවසේ සිදු වන නමුත් එසේ නොමැති අවස්ථාද තිබේ. එසේ වාස්තු සිද්ධාන්ත පිළිබඳ තැකීමක් නොකර ඉදිකළ නිවෙස්වල සිටින අය තමන්ගේ ජීවිතවලට කරදර පැමිණෙන විට වාස්තු ශාස්ත්‍රඥයකුගේ උපදෙස් පතන අතර, ඒ බොහෝ දෙනකු අදාළ නිවෙස්වල කොටස් කඩාබිඳ දමා වෙනස් කිරීමට නිර්දේශ කරනු අප දැක තිබේ. එසේම නිවෙස සෑදීමට පෙර අනුගමනය කළ වාස්තු උපදෙස්ද බොහෝ විට වැරදි බව පසුව සොයාගත් අයටද එවැනිම ආකාරයේ කඩාබිඳ දමා වෙනස් කිරීමේ උපදෙස් ලැබේ. දුක්මහන්සියෙන් ඉපැයූ ධනයෙන් තම කැමැත්ත පරිදි සාදාගත් නිවෙස් එසේ කඩා බිඳදමා වෙනස් කිරීමට ලැබෙන උපදෙස් බොහෝ විට කිසිදු ප්‍රායෝගික බවකින් තොර බව අප පවසන්නේ විශ්වාසයෙනි.
වාස්තු ශිල්පය පිළිබඳ මුලින්ම ලියැවෙන්නේ මිනිසුන් යෝධ ගොඩනැඟිලි ඉදිකළ නමුත් ඒ සම්බන්ධ කිසිදු විධිමත් දැනුමක් හෝ තක්‍ෂණයක් නොමැති කාලයකය. එම නිසා වාස්තු ශාස්ත්‍රයේ ඉදිරිපත් කර තිබෙන බොහෝ මූලික සිද්ධාන්ත අද දවස වන වට ප්‍රායෝගිකත්වයෙන් තොර බව තේරුම ගැනීමට තරම් වාස්තු ශාස්ත්‍රඥයා බුද්ධිමත් විය යුතුය.
එවන් සිද්ධාන්තයන් කිහිපයක් පිළිබඳ ඔබ දැනුවත් කිරීම මෙම ලිපියේ අරමුණයි.
නිවෙසේ තරප්පු පෙළට නියමිත තරප්පු සංඛ්‍යාව නොමැති නම් එය ගෙහිමියාට මරණය කැන්දන තරම් බලවත් දෝෂයක් බව බොහෝ වාස්තු පොත්පත්වල සඳහන් වෙයි. නමුත් ප්‍රායෝගිකව තරප්පු පෙළට ඇතුළත් විය යුතු තරප්පු සංඛ්‍යාව නීර්ණය විය යුත්තේ ප්‍රධාන කරුණු දෙකක් ඔස්සේය. පළමු වැන්න නම් නිවෙසේ වාසය කරන පුද්ගලයන්ගේ උස මට්ටම අනුව එක් තරප්පුවක උස තීරණය කිරීමයි. එය සියල්ලන්ටම පහසුවෙන් තරප්පු පෙළ නැඟීම හෝ බැසීම පදනම් කරගෙන කළ යුත්තකි. අනෙක් කරුණ නම් තරප්පු පෙළ නැඟීම හුරු පාදයෙන් එනම් දකුණු පාදයෙන් ආරම්භ කර හුරු පාදයෙන්ම අවසන් කිරීමට හැකි වීමය. එසේ නොවුණහොත් පය පැකිලීම සිදුවිය හැකිය. විශේෂයෙන්ම තරප්පු පෙළ හදිසියෙන් නඟින – බසින අවස්ථාවකදී යම් අනතුරක් බොහෝ දුරට විය හැකිකම පවතී. සුවිසල් සාප්පු සංකීර්ණවල තිබෙන විදුලියෙන් ක්‍රියාත්මක කෙරෙන ස්වයංක්‍රීය තරප්පු පෙළක් නඟින හෝ බසින විටක මා මේ කියන කරුණ ඔබට පැහැදිලිවම අත්විඳිය හැකිය.
නිවෙසේ මුදුන් යටලීය මත කිසිවක් තැබීම අයහපත් බවත්, එයද ගෙහිමියාට මරණය කැන්දන තරමට බලවත් දෝෂයක් බවත් බොහෝ පොත්පත්වල සඳහන්ය. අතීතයේ ගෙවල් සාදන විට දොර-ජනෙල්වලට ඉහළින් ලින්ටලයක් තැබීම කෙරුණේ නැත. එය පසුකාලීනව ගොඩනැඟිලි තාක්‍ෂණයට එක්වූ සුවිශේෂී අංගයකි. දොර හෝ ජනේලය යනු බිත්තියේ විශාල විවරයක් බැවින් ඉහළින් එන බර දරා ගැනීම ලින්ටලය මඟින් සිදුවෙයි. අතීතයේ නිවෙස් සෑදූ ක්‍රමවේදය අනුව බොහෝ විටම ප්‍රධාන දොර තැබුණේ මුදන් යටලීයට එක එල්ලේ පහළිනි. ලින්ටලයක් නොමැති බැවින් වහලයේ බරද දරාගනිමින් සිටින මුදුන් යටලීය ඔස්සේ සම්ප්‍රේෂණය වන දැවැන්ත පීඩනය දොර තිබෙන විවරයට එල්ල වීමෙන් බිත්තිය පුපුරා ගොස් කඩාවැටීමේ ඉඩකඩ ඉතා ඉහළය. එවන් ඛේදවාචකයන් මඟින් මරණයක් සිදුවිය හැකි බව අනිවාර්ය කරුණකි. නමුත් වර්තමානය වන විට එසේ නොවේ. ඉදිකිරීම් කර්මාන්තය බොහෝ සේ නව තාක්‍ෂණයෙන් සවිමත් වී තිබේ. දැන් මුදුන් යටලීයක් එසේ කඩාවැටිය හැක්කේ කලාතුරකිනි. එම නිසා එවැනි පැරණි සිද්ධාන්ත අද කාලයට කිසිසේත්ම වලංගු නැත.
නිවෙසේ ගිනිකතියරට හසුවන මාරක ළිඳ පිළිබඳ සංකල්පයද එවන් වූ ප්‍රායෝගික නොවන සිද්ධාන්තයකි. නිවෙසේ මුල්ලක දෙපසකට බිත්ති බැඳීම සඳහා පොළොව හාරන්නට සිදුවෙයි. ඒ ආසන්නයේම පිටතින් ළිඳක් සඳහා ගැඹුරට පොළොව හෑරීම නිසා ඒ අතර තිබෙන පස් තට්ටුව යමකිසි කාලයක ළිඳ තුළට කඩාවැටීම සිදුවිය හැකි අතර, එයද යම්කිසි කරුමක්කාරයකුට මරණය ගෙනදීමටද සමත් විය හැකිය. මන්ද යත් අතීතයේදී එසේ හාරන ළිඳ වටේ දැන් මෙන් බැමි බැඳ සවිමත් කිරීමක් නොකෙරුණු බැවිනි.
නිවෙසේ දොර-ජනෙල් සඳහා ඔත්තේ හා ඉරට්ටේ ලෙස තිබිය යුතු යන සංකල්පයක්ද වාස්තු සිද්ධාන්තයන් අතර තිබේ. එයද සියලුම වාස්තු ශාස්ත්‍රඥයන් පාහේ ඉතා දැඩි ලෙස අනුගමනය කරන නීතියක් බව අප අත්දැක තිබේ. නමුත් දොර-ජනෙල් එසේ ඔත්තේ හෝ ඉරට්ටේ විය යුතු වීමට හේතුව කිසිවෙක් නොදනී. ඇත්තෙන්ම එය එසේ විය යුතුද නැත. විය යුත්තේ නිවෙස තුළට හැකිතාක් පිරිසුදු වාතාශ්‍රය ලැබීමය. නිවෙසේ බිත්තිවල සවිශක්තියට හානි නොවන සේ හා උළුවහු සඳහා තමන්ට වියදම කළ හැකි සේ හැකිතාක් දොර ජනෙල් තැබීමේ කිසිදු වරදක් නොවේ. ඔත්තේ හෝ ඉරට්ටේ විය යුතුය යන සීමාවක් ඒ සඳහා කිසිසේත් අදාළ නොවේ.
තවත් මෙවන් ප්‍රායෝගිකත්වයකින් තොර අදට නොගැළපෙන වාස්තු සිද්ධාන්ත රාශියකි. නිවෙසේ ප්‍රධාන දොර තබන දිශාව සම්බන්ධ සිද්ධාන්තද එවැනිය. අද මෙන් විදුලිය එළිය නොමැති, කෘත්‍රිම ආලෝකය පිළිබඳ කිසිදු හැඟීමක්වත් නැති අතීත කාලයේද නිවෙසේ කටයුතු කිරීම සඳහා ඕනෑම තරාතිරමක අයකුට තිබුණු එකම සෑහෙන ආලෝක ප්‍රභවය වූයේ හිරු එළියයි. හිරු එළියෙන් උපරිම ප්‍රයෝජන ගැනීම පිණිස නිවෙසේ කටයුතු උදෑසන හිරු එළියත් සමඟ අරඹා ක්‍රමක්‍රමයෙන් හිරු බැස යන ආකාරයට ගැළපෙන සේ සැලසුම් කර නිවෙසේ දොර තැබීම හා කාමර වෙන් කිරීම වැනි කටයුතු කර තිබෙන බව පැහැදිලිය.
වාස්තු ශාස්ත්‍රයේ රහස තිබෙන්නේ දිශාවන් සමබර කර ගැනීමටය. විශ්ව ශක්තිය නියමිත ආකාරයට ප්‍රයෝජනයට ගැනීමට හැකි වන සේ නිවෙස ප්‍රායෝගිකව සැලසුම් කරගත යුත්තේ ඉහත මා දැක්වූ ආකාරයට අනවශ්‍ය හිසේ කැක්කුම් බැහැර කරලමිනි. බොහෝ දෙනා වාස්තු දෝෂ ලෙස පෙන්වාදෙන බොහෝමයක් කාරණාවල කිසිදු වැදගත්කමක් නැත. මා ඒ සඳහා උදාහරණ දී ඇත. එසේම බොහෝ වාස්තු දෝෂ නිවැරැදි කිරීම සඳහා සාදා තිබෙන නිවෙසේ බරපතළ කැඩීම් – බිඳීම් වෙනස් කිරීම් අවශ්‍ය නැත. තීක්‍ෂණ බුද්ධියකින් හා ප්‍රායෝගික දැනුමකින් යුත් වාස්තු ශාස්ත්‍රඥයකු සතුව එවන් දෝෂ දුරලනු සඳහා සරල මෙන්ම ප්‍රායෝගික විසඳුම් තිබිය යුතු වෙයි.