මෙරට දේශපාලනයේ උණුසුම උපරිම කාලපරිච්ඡේදයක් තමයි මේ ගතවෙන්නේ. රටේ ජනතාව වගේම දේශපාලන ක්‍ෂේත්‍රයේ සියල්ලන්ද මේ උණුසුම සමඟ දෙගිඩියාවකින් පසුවෙනවා. විශේෂයෙන්ම රට ඊළඟට භාරගන්නේ කවුද කියන තීරණාත්මක මාතෘකාව කා අතරත් කසුකුසුවක් බවට පත්වෙලා. රටේ නායකයා බවට පත්වීම යනු රටේ රජකම ලැබීමයි. එහෙම නම් රටේ රජකම ලැබීමට රාජ යෝගයක් උපතින් තිබිය යුතුය. කවුරු කෙසේ කොතරම් උත්සාහ කළත් රාජ යෝගයක උරුමය නැතිනම් කිසිවකුට රටේ ජනාධිපති වෙන්න බැහැ.
රාජ යෝගයක උරුමය ජන්ම පත්‍රය පරීක්‍ෂා කිරීමෙන් හඳුනාගන්න පුළුවන්. ඕනෑම කෙනෙක්ගේ ජන්ම පත්‍රයේ රාජ යෝග පිහිටා තිබෙන්න පුළුවන් වුවත් රටේ නායකයා බවට පත්වීමට නම් රාජයෝග බලවත් වෙන්න ඕනෑ.
මෙරට දේශපාලන ඉතිහාසයේ රාජයෝග බලවත් වූ ජනාධිපතිවරු අතර ඩී. බී. විජේතුංග සුවිශේෂී චරිතයක්. අමාත්‍ය ධුරයෙන්, ආණ්ඩුකාර ධුරයෙන්, අග්‍රාමාත්‍ය ධුරයට පත්වූ ඔහු ජනාධිපති ධුරයට පත්වේය යන වග කිසිවකු නොසිතූ කාරණයකි.
ප්‍රේමදාස ජනාධිපතිවරයාට බලපෑම් කළේ ඔහුගේ බිරියගේ රාජ යෝගයයි. ඉතා බලගතු රාජ යෝගයක් හිමිවූ ප්‍රේමදාස ආර්යාවගේ ඒ ප්‍රබල බව ප්‍රේමදාස මහතා ජනාධිපති බවට පත්කිරීමට තරම් හේතු වුණා.
වර්තමාන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනටත් රාජ යෝගයක බලගතු බව තිබෙනවා. කවුරු කෙසේ දෝෂාරෝපණය කළත් ඒ රාජ යෝග බලය වළක්වන්න බැහැ. එම නිසා අනාගතයේදීත් මෛත්‍රිපාල සිරිසේන මහතාගේ රාජයෝග බලය පලදෙන්න පුළුවන්.
ඊට අමතරව මේ වන විට වර්තමාන දේශපාලන ක්‍ෂේත්‍රයේ රාජ යෝග අති ප්‍රබල ලෙස පිහිටි තුන්දෙනෙක් සිටිනවා. නමුත් ඔවුන් තිදෙනා තවමත් ජනාධිපතිවරණයක් ගැන බලාපොරොත්තුවෙන් එළිදැක නැහැ.