තවත් නොබෝ දිනකින් උදාවන සැප්තැම්බර් මාසයේ ඔබගේ සිඟිති දුවට හෝ පුතාට අකුරු කියැවීමට ඉතාමත් ප්‍රබල හා බලගතු සරස්වතී යෝගයක් සහිත සුබ නැකැතක් ක්‍රි.ව. 2019 සැප්තැම්බර් මස 25 වැනි බදාදා දින උදාවනු ඇත. මෙවැනි බලගතු සුබ මුහූර්තයකින් දරුවකුට අකුරු කියැවීම තුළින් එම දරුවා අනාගතේ මෙරට ඉතාමත් දැනුමැති අධ්‍යාපනයෙන් පරතෙරට ගිය සමාජයට වැඩදායී යහපත් උගතකු වනු නොඅනුමානය.
සුබ නැකැතට අකුරු කියැවීම
මෙම චාරිත්‍රය – දරුවකුගේ ජීවිතයේ අතිශය වැදගත් වූ චාරිත්‍රයකි. එම දරුවා සමාජයේ යහපත් මෙන්ම දැන උගත් පුරවැසියකු වීමට නම් ඉතාමත් සුබ වේලාවක මෙම කටයුත්ත ඉටුකළ යුතුය. මෙම චාරිත්‍රය එදා මෙන්ම අදත් සුබ වේලාවකට සිදු කිරීමට අප ජන සමාජය තුළ ඇත්තේ ඉමහත් වූ උනන්දුවකි. ඒ අනුව පුරාණයේ නම් දරුවාට අකුරු කියැවීම යෙදී ඇති සුබ වේලාව තුළ කැවුම්, කිරිබත් ආදිය රැගෙන ගමේ පන්සලට හෝ අකුරු කියවන වියතාණන්ගේ නිවෙසට හෝ යෑම සිරිතයි. ඒ අනුව ජ්‍යොතිෂානුකූලව දරුවාගේ උපන් ජන්ම නැකැතට සීහෙන ලෙස යොදාගත් සුබ වේලාව තුළ හාමුදුරුවන්ට හෝ ගුරුවරයාට බුලත් අතක් පිළිගන්වන ළමයා ගුරුවරයාගේ දෙපා මත සිරස තබා පළමුව වඳී. ඉන් අනතුරුව ගුරුවරයා අදාළ පොත දරුවා අත තබා “ස්වස්ථි සිද්ධම්” (යහපතක්ම වේවා) යැයි පවසා දරුවා පොතට වැඳීමෙන් අනතුරුව අකුරු කිහිපයක් දරුවාට කියවා, අකුරු කිහිපයක් දරුවා ලවා ලියවනු ලබයි. මුල් කාලීනව මෙම කටයුත්ත ගමේ පන්සල හෝ පාසලේ මුල් ගුරුවරයා මූලික කොටගෙන සිදුවුවත් අද වන විට එය වෙනස්ව එය ගෙදරම වැඩිහිටියකු කරන තත්ත්වයට පත් වී ඇත. කෙසේ වෙතත් මෙම සුබ කටයුත්ත දරුවාට හිතවත්, උගත්, බුද්ධිමත්, ගුණගරුක වැඩිහිටියකු කළ යුතුය.
අකුරු කියැවීමට අස්විද, රෙහෙණ, මුවසිරස, පුනාවස, පුෂ, හත, සිත, සා, අනුර, සුවණ, සියාවස, රේවතී යන නැකැතක් යෙදෙන පංචාංග සුබ පුරපස සඳුදා, බදාදා, බ්‍රහස්පතින්දා හා සිකුරාදා යන දිනයක සුදුසුම හෝරාවක සුදුසුම පංචම කාල හෝරාවක් මේ සඳහා යොදාගැනීම ඉතාමත් සුබදායක වනු ඇත. එසේම රාහු කාලයෙන් තොර සුබ හෝරාවක යොදාගැනීම ඉතාමත් යහපත් වනු ඇත. එසේම අටවැන්නේ කිසිම ග්‍රහයකු නැති උභය ලග්නයක් උදාවූ වේලාවක මෙම නැකැත සකස් විය යුතුය. අකුරු කියැවීම මුල් කාලීනව වයස අවුරුදු 5ට පෙර සිදු කළ යුතු වුවද, වත්මනේ එය පෙරපාසල් සංස්කෘතියත් සමඟින් වයස 3ට පෙර කියවිය යුතු යැයි මතයක් ගොඩනැඟී ඇත.
අකුරු කියැවීමේ අවස්ථාවේදී ගණ දෙවියන්ට හා සරස්වතී මෑණියන්ට විශේෂ ස්ථානයක් හිමි වන අතර, ධාරණ ශක්තිය ඇති වීම, සබකෝලය දුරුවීම, විභාග, සම්මුඛ පරීක්ෂණ ආදියට පෙනී සිටීමට ආත්ම ධෛර්ය ඇතිවීම ආදිය සඳහා ගණ දෙවි පූජාවක් මගින් ආශීර්වාදය ලබාගැනීම මෙම කටයුත්තේදී ඉතාමත් වැදගත් වනු ඇත.
සරස්වතී හා ගණදෙවි පූජාව
මෙම පූජාව තැබීමේදී අඹ සමඟ වස විසෙන් තොර නැවුම් සුවඳ හමන පලතුරු 5ක් සමඟ තල, උක් හකුරු, වී පොරි, මී පැණි, උඳු මිශ්‍ර කැවිලි වර්ගයක් සමඟින් සුදු මල් හා නෙලුම් මල්, බුලත් කොළ ඇතිරූ වට්ටියක තබා ඒ මත පැන් හෝ තැඹිලි ගෙඩියක් තබන්න. ඉහත පූජා භාණ්ඩ හා පඬුරු තබා එළඟිතෙල් පහනක්ද දල්වා පිණිදිය ඉස හඳුන්කූරු, කපුරු හා සුවඳ දුම් අල්ලා සරස්වතී හා ගණදෙවි ස්තෝත්‍ර ගායනා කොට පූජාව තබා අකුරු කියැවීම මැනවි.
ඊට පෙර දින දරුවා සමඟ විහාරස්ථානයට ගොස් ආගමික වතාවත්වල යෙදීම ඉතාම යහපත් වනු ඇත. විශේෂයෙන් බෞද්ධ දරුවන්ට අකුරු කියැවීමේදී බුද්ධ පූජා පවත්වා සැරියුත් මහතෙරුන් වහන්සේට පූජා පැවැත්වීම යහපත් වෙයි.
ඒ අනුව ඔබත් ඉහත සඳහන් දිනය තුළ ජ්‍යොතිෂවේදී මහතාගේ උපදෙස් මත අවශ්‍ය කටයුතු සඳහා නැකැත් යොදාගැනීමට උත්සුක වීම තුළින් ඔබටත් යහපත් ප්‍රතිඵල උදාකරගත හැකිය.
ජ්‍යොතිෂවේදී සම්පත් එස්. කල්පගේ