ජන්ම පත්‍රයක රවි ග්‍රහයා අපල කරන බව දැනගත් විට රවි ග්‍රහයාට අදාළ වත්පිළිවෙත් කිරීමටත්, පෙර තමන්ගේ චර්යාවන්, හැඟීම් ආදියද යහපත් කරගත යුතුය. ප්‍රථමයෙන්ම සුරා සූදුවෙන්, දුෂ්චරිතයෙන් තොරව ආගම – දහමට ළැදිව සිටිය යුතුයි. තමන් සිදුකරන සෑම ක්‍රියාවකදීම පරිස්සම් වීමට තරයේ සිත තබාගත යුතුයි. විශේෂයෙන් ගමන් – බිමන් යෑමේදී මෙන්ම රිය පැදවීමේදී එය කළ යුතුයි. එමෙන්ම ජීවිතයේ යම් තීරණයක් ගැනීමේදීද එය දෙවරක් සිතා වැඩිහිටි, තමන්ට හිතවත් අයගෙන් විමසා ගත යුතුය. නිතර ඉෂ්ට දේවතාවන් අනුස්මරණයද කළ යුතුයි.
ඉහත ආකාරයේ යහපත් පුද්ගලයකු වී රවිගේ අපලය සමහන් කිරීමට අදාළ වත්පිළිවෙත් සිදුකළ යුතුය. එම වත්පිළිවෙත් අතර ශිව දෙවියන් උදෙසා පුද පූජා පැවැත්වීම අනිවාර්යයෙන්ම කළ යුතුය. ඊට අමතරව විෂ්ණු දෙවියන්ට හෝ කතරගම දෙවියන්ට සෙත් කවියක් කීම, රතු නෙලුම්, රතු අරලිය, රත්මල් ආදී රතු පැහැයෙන් යුතු මල් සර්වඥධාතූන් වහන්සේ උදෙසා පුදා බෝධි පූජාවක් දවස් 7ක් තැබීම, ඉඹුල් වෘක්‍ෂයක් පන්සලක හෝ ගෙවත්තේ සිටුවා එම ඉඹුල් වෘක්‍ෂයට ආවතේව කිරීම නිතර ඉඹුල් වෘක්‍ෂය සෙවණේ සිටීම, රවි ග්‍රහයාට අදාළ ග්‍රහ දාන දීම, එම ග්‍රහ දානය දීමේදී රතු පැහැති රෙදි, තිරිඟුවලින් සාදන ලද ආහාර වර්ග, රත්හඳුන්, රතුසීනි, පරිප්පු ආදිය හැකි උපරිමයෙන් ලෝභ සිත දුරලා, සිල්වත් අසරණ පුද්ගලයන්ට දන්දීම සිදු කළ යුතුයි. එසේ දන්දී එම සිල්වත් අසරණ පුද්ගලයන් ලවා අපල ඇති අයට සෙත් කරවා ගැනීම, අභය දානය හැකි පමණ සිදුකිරීම, මරණයට කැප වූ ගවයන්, එළුවන්, කුකුළන්, ඌරන් ආදී සතුන් බේරා ගැනීම, සදාකල් සිරවූ ගිරවුන්, සැලලිහිණියන්, මයිනන්, වී කුරුල්ලන් ආදී කුරුල්ලන් නිදහස් කිරීම, ගංගාවලින් අල්ලාගත් පණ තියෙන මිරිදිය මසුන් (වෙල් මාළු, ඉස්සන්, කකුළුවන්) නිදහස් කිරීම, අටපිරිකර පූජාව, ධර්ම දානය, කැසිකිළි – වැසිකිළි තැනීම ආදී කොට ඇති අටමහා කුසලයට දායක වීම, ඉඹුල් කොළ තැම්බූ ජලය ස්නානය කිරීම, කිරි අම්මාවරු 7 දෙනෙක් ගෙන්වා කිරි අම්මා දානයක් දී එම දානය වෙනුවෙන් සෑදූ ආහාර ද්‍රව්‍ය අගහිඟකම් අඩුපාඩු නැති ධනවත් අය සොයා වැඩි පිරිසකට බෙදා දීම.
රවි ග්‍රහයාගේ අපලය සඳහා පුදන පූජා වට්ටිය රතු මල්, රත් නෙලුම්, රත්හඳුන්, පද්මරාග හෝ රතුකැට ගල්, තිරිඟුපිටි, රතු වදමලින් ගෙතූ මල් වැල්, රතු රෙදි, රතු කොඩියක්, ඉඹුල් කොළ, සුදු සහලින් පිසූ බත්, උක් හකුරු මිශ්‍ර කිරිබතක් හා තුරඟ රූපයකින්ද යුක්ත විය යුතුයි. මෙය ශිව දෙවියන්ට පුදා සෙත්පතා භාරවීම සිදුකළ යුතුයි.
රවිගේ මැණික පද්මරාග මැණික වුවද, රවිගේ අපලයක් පවතින විට එය සමනය වීමට කිසිවට පද්මරාග මැණිකක් පැලඳීම නොකළ යුතුයි. රවි අපලයට පද්මරාග මැණික පැලඳීම තුළින් රවිට අදාළ අසුබ කිරණ මැණික හරහා ශරීරගත වී රවි අපලය තවතවත් තීව්‍ර කරනු ඇත. එනිසා දක්‍ෂ ජ්‍යොතිෂවේදියකු ලවා ජන්ම පත්‍රය පරීක්‍ෂා කර රවිගේ අසුබ බලය මැඬලිය හැකි ග්‍රහයා ජන්ම පත්‍රය තුළින් සොයා එම ග්‍රහයා බලවත් කිරීමට එම ග්‍රහයාට අදාළ මැණික පැලඳිය යුතුයි. එහිදී රවිගේ අසුබ බලය දුබල වී යනු ඇත.
ඔබගේ ජන්ම පත්‍රයේ රවි අපලයක් ඇත්නම් ඒ පිළිබඳ අනවශ්‍ය බියක් ඇතිකර නොගෙන එය සමනය වීමට අවශ්‍ය වත්පිළිවෙත් සිදු කිරීමට අදිටන් කරගන්න. දැහැමි වී හැකි උපරිමයෙන් රවි ග්‍රහයාට අදාළ වත්පිළිවෙත් සිදුකිරීමෙන් රවිට අදාළ අපල දුරුවීම හෝ සමනය වීම ඔබටම අත්දැකිය හැකිය.
ජ්‍යෙතිෂවේදීනි මංජුලා පුෂ්පරාංගනී