පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පස්සේ නැත්තටම නැතිවුණු අපේ රටේ සංචාරක ව්‍යාපාරය දැන් තමයි ටික ටික ගොඩ එන්නේ. සංචාරක ව්‍යාපාරය බිඳවැටුණු එක මහා පරිමාණ හෝටල් හිමිකරුවන්ගේ ඉඳන් පාර අයිනේ තැඹිලි ගෙඩියක් විකුණපු පොඩි මිනිහ දක්වාම එක වගේ බලපෑමක් ඇති කළා.
ඒ හරහා රටේ ආර්ථිකයට ඇතිකරපු පාඩුවත් සුළුපටු නැහැ. සංචාරක ව්‍යාපාරය නැවත නැඟිටින එක ගැන අපි හැමෝම එක වගේ සතුටු වෙන්නේ ඒ නිසයි
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පස්සේ පළමු වරට සංචාරකයන් විශාල ප්‍රමාණයක් ලංකාවට පැමිණෙන ඉසව්වක් ගැනයි මේ කියන්නේ. සංචාරක ව්‍යාපාරයට ඍජු බලපෑමක් එල්ල කළත් මේක ක්‍රීඩා ඉසව්වක්.
ශ්‍රී ලංකා හෝටල් සංගමය (The Hotels Association of Sri Lanka – THASL) සංවිධාන කරන ලෝක සර්ෆ් පිරිමි ලීග් World Surf League (WSL) 2019) තරගාවලිය මේ මස 25 වැනිදා සිට 29 වැනිදා දක්වා පොතුවිල් ආරුගම්බේ වෙරළ තීරයේදී පවත්වන්න සැලසුම් කරලා තියෙනවා. සර්ෆ් ක්‍රීඩාව සඳහා උචිත ලොව අංක එකේ වෙරළ තීරයක් විදියට සැලකෙන ආරුගම්බේ වෙරළ මේ හරහා නැවත වතාවක් ජාත්‍යන්තරයේ කතාබහට ලක්වෙනවා.
ඕස්ටේ්‍රලියාව, ඉන්දුනීසියාව, ප්‍රංශය, වෙනිසියුලාව, ඊශ්‍රායලය, ඇමෙරිකා එක්සත් ජනපදය, පෘතුගාලය, නවසීලන්තය, මෙක්සිකෝ, ස්පාඤ්ඤය, මහා බි්‍රතාන්‍ය, බ්‍රසීලය, දකුණු අප්‍රිකාව, කොස්ටරීකා රාජ්‍ය, ආර්ජන්ටිනාව, ජපානය, අයර්ලන්තය, චිලී, බෙල්ජියම, පේරු, ඉන්දියාව, මාලදිවයින සහ මැලේසියාව යන රටවල් නියෝජනය කරන ක්‍රීඩකයන් මේ තරගාවලිය සඳහා සහභාගි වීම මේ වන විටම ස්ථිර කරලා තියෙනවා.
ඒ වගේම තමයි ලබන වසරේ ජපානයේ පැවැත්වෙන ඔලිම්පික් තරගාවලියේ ඉඳන් සර්ෆ් ක්‍රීඩාව ඔලිම්පික් ක්‍රීඩාවක් විදියට අභිෂේක ලබනවා. ඔලිම්පික් උළෙල සඳහා සුදුස්සන් තේරීමේ තරගාවලියක් විදියටත් ක්‍රියාත්මක වෙන හින්දා මෙවර ආරුගම්බේ තරගාවලිය දැඩි තරගකාරීත්වයක් ගනියි කියලා තමයි විශ්වාස කරන්නේ. ඒ වගේම තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වෙන එක අපේ රටේ ක්‍රීඩකයන්ට අමතර වාසියකුත් වේවි.
කොහොම වුණත් මේ මාසේ අන්තිම ඉඳන් ආරුගම්බේ වෙරළ නැවත වතාවක් විදේශීය සංචාරයකන්ගෙන් පිරී ඉතිරි යනවා. ආරුගම්බේ අවට සංචාරක හෝටල් සියල්ල මේ වෙද්දිම සංචාරකයන් වෙන් කරගෙන අවසන් කියලයි ආරංචි. ඒ හින්දා මේ මාසේ අන්තිමට ආරුගම්බේ පැත්තට ගියොත් ලොව වටා ඉන්න දක්ෂයෝ අපේ වෙරළේ වැඩ දාන හැටි හොඳ හැටි බලාගන්න අවස්ථාවත් හැමෝටම තියෙනවා.