වරක් එක්තරා මවක් තම දරුවාගේ කේන්දරය මා වෙත යොමු කළේ ඇය දැඩි සිත් අමාරුවෙන් පෙළෙන අවස්ථාකදීය. ඒ එම කේන්දරය බැලූ බොහෝ ජ්‍යොතිෂ ශාස්ත්‍රඥයන් එම දරුවාගේ අධ්‍යාපනය කඩාකප්පල් වන බවට අනාවැකි ඉදිරිපත් කළ හේතුවෙනි.
නමුත් එම කේන්දර සටහන අප දන්නා ජ්‍යොතිෂයට අනුව නම් පෙන්වන්නේ එය හිමියා ඉතාමත්ම වාසනාවන්ත දරුවකු බවයි. යම්කිසි දිනක රටේ ඉතා ඉහළ තත්ත්වයකට පත්වීමෙ හැකියාව මෙම දරුවාට තිබේ. උසස් අධ්‍යාපනය ඉතා හොඳින් නිම කර ක්‍ෂේත්‍රයන් කිහිපයක විශේෂඥයකු වීම කිසි ලෙසකින්වත් නොවැළැක්විය හැක්කකි. ගණිතයෙහි අති දක්‍ෂයකු වීමෙ භාග්‍ය තිබෙන ඔහුට ගණිතය හා සම්බන්ධ වෙනත් විෂයයන්ද ඉතා පහසුවෙන් ධාරණය කරගත හැකිකම, අවබෝධ කරගත හැකිකම තිබේ. ඒ බව පෙන්වා දෙන්නේ කේතු ග්‍රහයාය. එසේම විශාල පිරිසකට දේශන පැවැත්වීමද තම දේශනයට අසන්නන් ආකර්ෂණය කර ගැනීමද පහසුවෙන් කළ හැකි බව කේන්දරයේ සෙනසුරු ග්‍රහයා පිහිටා තිබෙන ආකාරයෙන් පෙන්වයි. පොත්පත් කිහිපයකම කතුවරයා වීමේ භාග්‍ය පෙන්වා දෙන්නේ චන්ද්‍ර ග්‍රහයාය. දඩබ්බර හා හිතුවක්කාර ගති ඇත්තකු වන බව සැබෑ නමුත් එයට සංවේදී බව හා දක්‍ෂ නායකත්වයක ලකුණුද එයට එක්වී තිබේ. හිතුවක්කාර හා දඩබ්බර වුවත් එම ගතිගුණ යොදවන්නේ සංවේදී නායකයකු ලෙස නම් එය ඍණාත්මක නොව ධනාත්මක පැත්තට බර කාරණාවකි. එසේම මෙම කේන්දරයේ දෙවැන්නේ තිබෙන ග්‍රහ සංයෝගය පෙන්වා දෙන්නේ කෙදිනක හෝ මෙම දරුවා අති දක්‍ෂ චරිතාංග නළුවකු වන බවයි. ඒ අනුව මෙම කේන්දරය හිමිවන්නේ බොහෝ දක්‍ෂතා ඇති දරුවකුටය.
මෙම කේන්දරයේ සෙනසුරු ග්‍රහයා එසේ දැඩි අපල ඇති කරන්නෙක් නොවේ. විශේෂනේම තමන්ගේ දෘෂ්ටිය ඔස්සේ දරුවාගේ කේන්දරයේ බොහෝ තැන් ශක්තිමත් කරන්නකු බවට මෙහි සෙනසුරු පත්වී තිබේ. ගුරු ග්‍රහයා නීච වී රාහු සමඟ සිටියත් මෙහිදී තමන් සිටින තැන ආධිපත්‍යය ඔහු හිමිකරගෙන සිටී. මෙම කේන්දරයේ ගුරු ග්‍රහයාව තම බලපෑමට හසුකිරීමට රාහුට නොහැකි අතර ඒ වෙනුවට රාහු ග්‍රහයා තමන්ට නතුකර ගැනිමට ගුරු ග්‍රහයා සමත් වෙයි. එසේම මෙහිදී බුධ ග්‍රහයාද අවනත ගුරු ග්‍රහයාටමය. දෙදෙනාම එකතුව අධ්‍යාපනයට ලබාදෙන ශක්තිය මැඬලීමට රාහුට නොහැකි අතර ඒ වෙනුවට ඔහුට කළ හැක්කේ දරුවා තමන්ගේ අභිමතය පරිදි අධ්‍යාපන ගමන්මඟ තෝරා ගැනීමට යොමු කිරීම වැනි සුන්දර දඩබ්බර බවක් ඇතිකිරීම පමණි.
අධ්‍යාපනය ගැන කේන්දරයෙන් විමසීමේදී පළමුව දරුවාගේ අධ්‍යාපන ගමන් මගේ සීමා මායිම් හා දිශානතිය නිවැරැදිව සොයා දැනගැනීමේ වැදගත්කම ඉතාම ඉහළය. එමෙන්ම පළමුව කළ යුතුම දෙය එයයි. මන්ද යත් එය වෙනස් කිරීම කිසිම ග්‍රහයකුට නොහැකි බැවිනි. අයහපත් ග්‍රහ ගෝචර හා ඒරාෂ්ටක මෙන්ම අයහපත් දශාවන්හිදී සිදුවන්නේ එම දරුවාගේ අධ්‍යාපන හැකියාව අඩු කිරීම නොවේ. දරුවාගේ බුද්ධි මට්ටම හෝ ධාරණ ශක්තිය වෙනස් කිරීම නොවේ. එහිදී වන්නේ දරුවාට ලැබෙන අධ්‍යාපනයේ ගුණාත්මක බව අඩු කිරීමයි. එසේම අසනීප වැනි තත්ත්වයක් හේතු කොටගෙන අධ්‍යාපනයේ යෙදෙන්නට තිබෙන අවස්ථාව සීමා කිරීමයි. සමහර විට අධ්‍යාපනය ඉහළින් ලබා දෙන බව පැවැසෙන හොඳ යැයි සලකන පාසලකට එම දරුවාට ඇතුළත්වීමේ අවස්ථාව පමා කිරීම මෙයට උදාහරණයක් සේ පැවැසිය හැකියි. එයින් කිසිසේත්ම දරුවාගේ හැකියාවන් අඩු කිරිමක් සිදු නොවේ. නමුත් තාවකාලිකව ඔහුට ලැබෙන අධ්‍යාපනයේ ගුණාත්මක බව අඩු විය හැකිය. නමුත් අවසාන ඉලක්කය කරා යෑමට ඔහුට දෛවයෙන් ලැබී තිබෙන අවස්ථාව අහිමි කිරිමක් ඉන් සිදු නොවේ. මෙම කේන්දරය ඔස්සේ මට ඔබට පෙන්වා දෙන්නට අත්‍යවශ්‍ය වූ කාරණාව එයයි. පළමුව කේන්දරයෙන් දරුවාට උරුම වන අනාගතය ගැන නිවැරැදි තොරතුරු දැනගත් විට ඉහතකී මව මෙන් කඳුළු සලන්නට හේතුවක් ඇති නොවේ. මන්ද යත් වැරදි තැන් නිවැරැදි කරගත යුතු ආකාරය ඔබට සැලසුම් කළ හැකි බැවිනි. ඕනෑම ප්‍රශ්නයකට නිවැරැදි පිළිතුරක් තිබේ. එය සොයාගැනීම ඔබගේත් ඔබේ දරවාගේත් ජයග්‍රහණයේ යතුරයි. ඒරාෂ්ටක හෝ අපල ඇති බව පැවැසේ නම් එයට කළ හැකි නිවැරැදි පිළියමද විමසා සිටීම ඔබට කළ හැකිය. අව්‍යාජ ජ්‍යොතිෂය ඒ සඳහා ඕනෑවටත් වඩා පොහොසත්ය. ඔබගේ ධෛර්යය හීන කිරීම නොව ඔබට තව තවත් ධෛර්යය දීම ජ්‍යොතිෂයේ අරමුණයි.
ජ්‍යොතිෂවේදී ජනක මාධව නවරත්න











