මැයි 23 කාඞ් බෙදලා සූදානම් වුණා. දැන් නැකැතක් ඇත්තෙන්ම නැහැ. වර්තමානය වන විට ජ්‍යොතිෂය පිළිබඳ තිබෙන පැහැදීම අඩු වැඩි වශයෙන් වෙනස් වුණත් තමන්ගේ ජන්ම පත්‍රය පරීක්ෂා නොකරන කෙනෙක් නැති තරම්. ඒ නිසා අපි හිතුවා අපේ කලාකරුවන් අතර ජ්‍යොතිෂය පිළිබඳ තියෙන උනන්දුව කොහොමද කියලා හොයලා බලන්න. ඒ වෙනුවෙන් අපි අද කතා කළේ ජනප්‍රිය රංගන ශිල්පිනි අනුෂා දමයන්තිට.
අනුෂා ඔබ ජ්‍යොතිෂය විශ්වාස කරන කෙනෙක්ද?
ඔව්. ජ්‍යොතිෂය ගැන මගෙ විශ්වාසයක් තියෙනව වගේම දැනුමකුත් මට තියෙනවා. මගේ සීයා ජ්‍යොතිෂය උගත් කෙනෙක්. ඒ නිසා මමත් සීයගෙන් ජ්‍යොතිෂය ගැන සරල දැනුමක් ලබාගෙන තියෙනවා. හැබැයි අපේ සීයගෙ කාලේ වගේ නෙවෙයි දැන්. අපේ සීයා ඒ කාලේ හඳහනක් පරීක්ෂා කරන්න දවස් දෙකක් ගන්නවා. අද වෙද්දි හැම දේම සොෆ්ට්වෙයාර් බවට පත්වෙලානේ.
ඒ කියන්නේ ඔබට දැන් ජ්‍යොතිෂය ගැන විශ්වාසයක් නැද්ද?
නැතිව නෙවෙයි. ජ්‍යොතිෂය ගැන මට දැනුමක් තියෙන නිසා හඳහනක් බලන්න ගියාම ඒ ගැන කියන කරුණු විශ්වාස කරන්න පුළුවන්ද බැරිද කියන දේ මටම අවබෝධ වෙනවා. සමහර අවස්ථාවලදී හඳහන අරගෙන පස් තැනකට ගියොත් ඒ පස්දෙනා මගේ හඳහනේ මහ දශා පහක් කියනවා. මාස ගාණකින් හරි මහ දශාව වෙනස් වෙනවා. ඉතින් ඒක උපන් වෙලාවට මහ දශා පහක් කියන්නෙ කොහොමද? මට දැනුම තියෙන නිසා මං දන්නවා හරි දේ මොකක්ද කියලා. නොදන්න මිනිස්සු රැවැටෙනවානේ.
හඳහන පරීක්ෂා කිරීමේදී බොරු කියන බව ඔබට අවබෝධ වුණු අවස්ථා තියෙනවද?
ඔව්. මට කිසිම ප්‍රශ්නයක් කරදරයක් නැති වෙලාවක හඳහන බලන්න ගිය අවස්ථාවක මට කිව්වා මං දැන් මානසිකව වැටිලා නරකම කාලයක් ගෙවන්නෙ කියලා. ඇත්තටම ඒ මට හොඳම කාලයක්. මං ඔහුට එවෙලෙම කිව්වා මට කිසිම ප්‍රශ්නයක් නැහැ. මං හඳහන බලන්න ආවෙ වෙනත් කාරණයකට කියලා.
හඳහන් පරීක්ෂා කිරීමේදී ඔබේ ජීවිතය පිළිබඳ සත්‍ය කියූ අවස්ථා තිබෙනවද?
ඔව්. මගේ විවාහය ගැන නිතරම කියූ දේ සත්‍යයක්. විවාහය කල් යන බව තමයි හඳහනේ ලියැවිලා තියෙන්නේ. සමහර කාලවලදී කිව්වා දැන් විවාහය කරන්න තව කල් ගියොත් හුඟක් ප්‍රමාද වෙයි හොඳ නැකතක් නැහැ කියලා. ඉතින් ඒ කියූ දේවල් ඇත්ත. ඒ වගේම පසුගිය මැයි 23 වැනිදා මගේ විවාහයට හොටෙල් බුක් කරලා කාඞ් ගහලා කාඞ් බෙදලා සියල්ලටම සූදානම් වෙලා හිටිය අවස්ථාවෙත් වැළැක්විය නොහැකි හේතුවක් නිසා විවාහය කරන්න බැරිවුණා.
නැකැත් පරීක්ෂා කරලද දිනය යොදාගත්තෙ?
ඔව්. විවාහයට හොඳම නැකැතක්. නමුත් කුමක් හෝ හේතුවක් බලපෑවා විවාහය වළක්වන්න. ඊට පසුව හඳහන් පරීක්ෂා කළාට දැන් හොඳ නැකැතක් නැහැ.
තවත් කාලය ගතවන නිසා නැකැත් නොබලා විවාහ වුණා නම් හොඳයි කියලා හිතිලා නැද්ද?
ජ්‍යොතිෂය විශ්වාස කළත් නැතත් අපේ ජීවිත සොබාදහම සහ සංස්කෘතිය සම්ප්‍රදායත් සමඟ බැඳිලා තියෙනවා. ඉතින් ඒ සොබාදහමට හිතුවක්කාර නොවී කටයුතු කරන්නයි මං කැමතිය.
ඒ කියන්නේ ඔබ ජ්‍යොතිෂ්‍ය සමඟ දැඩිව ඇලුනු කෙනෙක් කියන එක නේද?
නැහැ. මං කොහොමත් සියයට පනහක් විශ්වාසයත් අවිශ්වාසයත් සමඟ වැඩකරන කෙනෙක්. හැමදේටම ඒ සියයට පනහ වැදගත්. හඳහන් පරීක්ෂා කළත් නැතත් මං පින්කම් කරනවා. මේ කාලයේදී අපලයි කිව්වමනෙ අපි කුසල් කරන්න උත්සාහ ගන්නේ. මට එහෙම නැහැ. අපල තිබුණත් නැතත් මගේ පින් දහම් කටයුතු නිතර කරනවා. බෝධිපූජා තියනවා. හරක් නිදහස් කරනවා. ඒවාට දායක වෙලා තියෙනවා. මගේ ආත්ම විශ්වාසයයි සොබාදහමයි, බුදු දහමයි අනුව මං ජීවත් වෙනවා. අවශ්‍යතාව අනුව ජ්‍යොතිෂයේ සහාය ලබාගන්නවා.
ජ්‍යොතිෂ්‍ය උපදෙස් අනුව මෙතෙක් කරපු ලොකුම වියදම කොච්චරද?
ඇත්තටම මං සුරයක්වත් දාලා නැහැ. කවදාවත් ලොකු වියදම් කරලා නම් නැහැ.