ශ්‍රීදේවී නම් මනස්කාන්ත නිළි තාරකාව මලවුන් හා ඇසුරට දින නියම කරගත් පසුව ගෙවී යන 18 වැනි මාසයද නිමවෙන්නට ආසන්නය.
එහෙත්, තවතමත් ශ්‍රී දේවි ගැන සෝසුසුම්, දුක්බර වදන් නිතර සමාජ ජාල වෙබ් අඩවිවල සටහන් වේ.
තම සුපිරි තාරකාවක් ගැන රසවත් වංහුං හොයන්නට කැමැති ඔවුනට උමතුව සිටින රසිකයන් ශ්‍රී දේවියගේ දුක්බර වියෝවෙන් පසුව වුවද ඇගේ පවුලේ අය ගැන තොරතුරු දැන ගන්නට උත්සුක වෙති.
සමාජ ජාල වෙබ් අඩවිද ඔවුන්ගේ උමතුව හොඳින් හඳුනාගෙන සිටින බැවින් තමන් සොයාගන්නා ආරංචිවලට තවත් පදමට ලුණු ඇඹුල් දමා රසකර ඒවා උණු උණුවේ බෙදාහරිති.
එලෙසින් බෙදාහැරෙන තොරතුරු අතර උණුසුම්ම පුවතක් වූයේ සුන්දර ශ්‍රී දේවියගේ රූසපුව රැගත් සජීවී මට්ටමෙහිලා තැනෙන කලාත්මක ඉටි රූපය සිංගප්පූරුවේ පිහිටි මැඩම් ටුසෝඞ් කෞතුකාගාරයේ ඉදිවෙමින් පවතින බවත් ලබන සැප්තැම්බරයේ එය විවෘත වන බවත්ය.
ශ්‍රී දේවිගේ රූ සොබාව වඩා ප්‍රකට වන ආකාරයට එයට පාදක කොටගෙන ඇත්තේ අතිශයින් ජනාදරයට පත් ‘මිස්ටර් ඉන්ඩියා’ චිත්‍රපටයේ ඇය රඟන ‘හවා හවායි’ ගීතය සඳහා පෙනී සිටි ස්වරූපයයි. ඉදිවෙමින් පවතින එකී ඉටි ප්‍රතිමාව වරින්වර වෙබ් අඩවි ඔස්සේ ප්‍රචාරය වෙමින් තිබෙන අවස්ථාවල ශ්‍රී දේවියගේ ආදරණීය රසිකයන් ඉතාම සංවේදී සටහන්වලින් එයට පිළිතුරු සපයා තිබිණි. එලෙසම ශ්‍රී දේවියගේ වියෝවත් සමග ඇය වටා රොදබැඳගත් රසික හමුව ඈ වෙනුවෙන් නිතර පළකර සිටින ආදරණීය සිහිවටනයන්ට පිළිතුරු ලෙස බොනී කපූර්ද යම් විටෙක තම ට්විටර් ගිණුමෙහි සරලවූ සංවේදී වදන් සටහන් කළේය.
‘ශ්‍රීගේ රූපශ්‍රීයෙහි සුන්දරත්වය කියාපෑමට මේ ලෝකයේ මැවී තිබෙන වචන මදි තරම්ය. ඒ වගේම ඇගේ සිත්කළු පෙනුම කිසිවකුට ලෙහෙසියෙන් අමතක නොවේ. බොහෝ විට එය ලෝකයට බිහිවන සුවිශේෂී මුහුණු අතරින් තවත් එක් සුවිශේෂී මුහුණකි. මගේ ප්‍රියාදරියගේ රූ සංකේතය මෙලෙසින් මැකී නොයන සිහිවටනයක් කළ මෙහෙවර වෙනුවෙන් මුසාඞ්ස් මැතිනියටත්, අල්මිටේට් ෆිල්ම් ස්ටාර් එක්ස්පීරියන්ස් සමාගමටත් මගේ හද පිරි ස්තුතිය පිරිනමන්නෙමි. ඒ අතරම ශ්‍රීගේ රූපශෝභාව ඉටි ප්‍රතිමාවක්ව විවෘත වන දිනයට මම මගේ දූවරුන් සමග ඊට සහභාගි වන බවද මෙයින් දන්වා සිටිමි.’
ඒ බොනී කපූර් පසුගිය සතියක සටහන් කොට තිබූ වදන් පෙළකි.
එයට ලැබුණු ප්‍රති උත්තර අතිවිශාල විය.
‘ඔබ ඇයට මේ තරමට ආදරය කරන්නේ නම් මේ අපූරු ප්‍රතිමාව එයට කදිම උපහාරයකි. ඇයට වන්දනාමාන කරන්නන්ට මෙය සංවෙදී නවාතැනකි’
බොනී කපූර් ඉහත කී ප්‍රතිචාර සමූහයට නැවත ස්තුති කළේය.
බොනී කපූර් සිය ලේ ඥාතියකුගේ විවාහ මංගල්‍යයකට සහභාගි වීම සඳහා පසුගිය මාසයේ ප්‍රසිද්ධියේ එළිපෙහෙළියට පැමිණියේ බොහෝ කලකට පසුවය. එතැනදී ඔහු මාධ්‍යවේදීන් කිහිපදෙනකු හමුවේ සිය හදවත විවෘත කර තිබුණේ පුදුමාකාර විදියටය.
‘ඔයාලා දන්නවද ශ්‍රීගේ හදවත දිනාගන්න මම අවුරුදු ගාණක් ඇගේ පස්සෙන්ම ගියා. ශ්‍රී සමග මම පළමුව ආදරයෙන් බැඳුණේ ඒකපාර්ශ්වීය ලෙසයි. විශ්වාස කරයිද ඔබ කිසිවකු, මම අවුරුදු 10ක් පමණ ඇයට තනි හිතින් ආදරය කළා. ශ්‍රී හරියටම ඩිරෙක්ට් මා හා කතාබහ කර මට වචනය දුන්නේ මාහා විවාහ වෙන්න පොරොන්දු වුණේ මම ඇයට වහවැටී ගෙවුණු දොළොස් වැනි අවුරුද්දෙදි.’
බොනී කපූර් නම් මහා පෞරුෂවත් මිනිසා එසේ තම වචන ඔවුන් හමුවේ දිග හැරියේ ඉතාම මෘදු ලෙසය. විසි හැවිරිදි ජාන්වීට සහ දහසය වැනි වයසෙහි සිටින පුංචි කුෂීට දැන් අම්මා කෙනකු නැත. ශ්‍රීදේවී සහ ඔවුන් අතර තිබූ බැඳීම ඉතාම සමීප විය. මාපිය දරු සෙනෙහස සේම කිසිඳුම රහසක් සඟවාලන්නට නොහැකි මිතුරු පවුරක්ද ඔවුන් අතර ඉතා හෘදයාංගමව ඉදිව තිබිණ.
ඉතින් එහෙව් සමීපතාවක් තම අම්මා සමග තිබූ මේ යොවුන් දැරියකට ඈ නැති පාළුව ශෝකය කෙසේ නම් පුරවාලන්නද? බොනී කපූර් නම් විද්‍යුත් මාධ්‍ය හමුවේ සටහන් කොට තිබුණේ,
‘ශ්‍රී දේවිට අත්වූ කටුක මරණයත් සමඟ අසරණ දැරියන් මහා තනිකමකට මැදිවූ බවයි.
‘නිහඬව සියල්ල දරා සිටියද ඔවුන් ඇතුළතින් මහා ගින්නකින් දැවෙන බව මම දුටුවා’
ඒ මොහොතේ ඉතාම අසරණව සිටි මට මගේ පළමු බිරියගේ සහ මාගේ වැඩිමහල් දරුවන් වූ අර්ජුන්ගෙන් වගේම අංශුලාගෙන්ද ලැබුණු සහයෝගය කිසි විටක අමතක වන්නේ නැහැ.
මෝනා වාගේම අංජුලා සහ අර්ජුන්ද ඒ දුෂ්කර අවස්ථාවේදී ජාන්වීව සහ කුෂ්ව භාරගත් අන්දම ඉතාම ආදරයෙන් ඔවුන්ව පිළිගෙන අප එම පවුලක දරුවන්ය යන දයාබර සිතුවිල්ල ඔවුනට දුන් අන්දම මට විශාල සහනයක් වුණා.
බොනී කපූර් ශ්‍රී දේවිගේ වියෝවෙන් පසු ගෙවී යන වසර අවසානයේ එලෙස සටහනක් තැබුවේ තම ට්විටර් ගිණුමෙහිය. ඉතාම සංවේදී ප්‍රතිචාර රැසකින් එයට පිළිතුරු සටහන්ව තිබිණි.
සත්තකින්ම බොනී කපූර් තුළ ශ්‍රී දේවි කෙරෙහි වූ ආදරය එතරම් සදාතනිකද?
‘ඒක නම් කියන්නට දන්නේ නැත’
මන්ද යත් ඔහුගේ ප්‍රේමණීය වූ ශෝකාන්තය ශ්‍රී දේවිය කෙරෙහි ඒ තරමට බැඳී තියෙන්නේද යන හැගීම අනුමාන කළ නොහැකි යමක් පසුගිය දවසක ප්‍රසිද්ධියේම සිදුවූ නිසාය. සිදුවීම සමීප රූප ලෙස සටහන් කරන රූපරාමු පෙළක්ද සමාජ ජාල ඔස්සේද ඉතා රසවත්ව මුදාහැර තිබිණි.
ඌර්වාෂී රවුමෙලා ඉතා සුන්දර රූප කායකින් හෙබි ඉන්දීය නිළියකි, නිරූපිකාවකි. ‘මිස් දිවා’ ලෙස ඇය 2015 වසරෙහි කිරුළු පැලඳුවාය.
සුවිශේෂීම කාරණය වූයේ ඌර්වාෂි ශ්‍රී දේවියගේ සමීපතම රසිකාවියකි. පාසල් යන කෙල්ලක කාලේ සිටම ශ්‍රී දේවියට තදින් ඇලුම් කළ ඌර්වාෂී ශ්‍රී දේවියගේ බාල දියණිය ජාන්වීට වඩා වැඩිමහලු වූයේ වසර 5කට පමණි.
පසුගිය දවසක කලාකරුවන් ප්‍රමුඛව පැවැති උත්සව අවස්ථාවක ජාන්වී සහ බොනී කපූර් සිටින තැනට ඌර්වාෂී පැමිණියේ හදිසියේම වාගේය. බොනී සමඟ ඕනෑවට වඩා සමීපව හැසිරෙන ඇගේ අශෝභන විලාසය ජාන්වීගේ සිතට එක්කර තිබුණේ අමනාපයකි. ඇගේ නොමේරූ සොඳුරු මුවකමල තරහෙන් විරූපී විය. ඈ සිය පියා දෙස නොව ඌර්වාෂී දෙස යන්තමට රවා බැලුවාය. ඌර්වාෂිට එය ගණනක් නොවීය.
ජාන්වීට තමා සිටින තැන මඟහැර යන්නට තරම් අපුලක් දැනුණේ බොනී ඌර්වාෂීගේ නිතඹ කිහිප වරක්ම සිය සුරතින් ස්පර්ශ කරන විටය. 66 හැවිරිදි බොනී 25 හැවිරිද ඌර්වාෂී හමුවේ තම ප්‍රතිචාරය එසේ එළිදක්වන විට තත්පර කිහිපයක් ඇතුළත එය සමාජ ජාල ඔස්සේ පැතිර යන්නට වූයේ නොසිතූ ලෙසිනි. ශ්‍රී දේවියට සැබෑ සිතින් ළෙන්ගතු ඇගේ මිතුරු පවුර මෙයින් දැඩි පිළිකුලට පත්විය.
අන්තර්ජාලයෙහි සඳහන් වන අන්දමට ඉතා නොසරුප් වදන් සහිත ප්‍රතිචාර හතළිස් අටදහසක් බොනී කපූර්ට විරුද්ධව සටහන්ව තිබූ බව අනාවරණ විය.
‘සිදුවන්නේ කුමක්දැයි නොදනිමු, බලා සිටිමු, බොනී සහ ඌර්වාෂී තව රසවත් ඕපාදූප මවාලනු ඇතැයි’ යනුවෙන් ඉන්දීය මාධ්‍යවේදියකුද එම රූප රාමුව දැක සටහනක් අකුරු කොට තිබිණි.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු