අත්ලේ පිහිටන ප්‍රධාන රේඛා හය අතුරින් ප්‍රධානකොට සලකන ජීවන රේඛාව පිළිබඳ පසුගිය කේන්දරේ තුළින් විස්තර කළා ඔබට මතක ඇති. අදත් එවැනිම රේඛාවක් පිළිබඳවයි මේ විස්තර කරන්නේ. එය තමයි ශීර්ෂ රේඛාව. සමහරු මෙම රේඛාවට මානසික රේඛාව සහ චිත්ත රේඛා ලෙසද හඳුන්වති. ශීර්ෂය කියන්නේ හිසට. එසේ නම් ශීර්ෂ රේඛාව කියන්නේ හිසට සම්බන්ධ රේඛාවක් බව ඔබට පැහැදිලි වෙන්න ඕනෙ. පුද්ගලයාගේ මානසික තත්ත්වය මෙන්ම පුද්ගලයාගේ ඥානය, රෝගපීඩා සහ විශේෂයන් මොළයේ ඇතිවන ආබාධද මෙම රේඛාවේ පිහිටීම තුළින් නිශ්චය කළ හැකිවේ.
ශීර්ෂ රේඛාව පටන්ගන්නේ ජීවන රේඛාව පටන්ගන්නා ප්‍රදේශයෙන්මයි. ඒ කියන්නේ මහපටැඟිල්ලටත්, දබරැඟිල්ලටත් අතර ඇති ප්‍රදේශයෙන්. කුජ තලාව (අතටිලේ මැද) හරහා විහිද යන ශීර්ෂ රේඛාව බොහෝ විට චන්ද්‍ර මණ්ඩලය දෙසට නැඹුරු වෙමින් තම ගමන්මඟ අවසන් කරයි. රූප සටහනින් ඔබට එය පැහැදිලි වනු ඇත. ශීර්ෂ රේඛාව නිසා අත්ල කොටස් දෙකකට බෙදීයන අතර ශීර්ෂ රේඛාවේ සිට ඇඟිලි දෙසට විහිද යන ප්‍රදේශයට මානසික කොටස යනුවෙනුත්, මැණික් කටුව දෙසට විහිද යන පහළ කොටස භෞතික කොටස යනුවෙනුත් හඳුන්වයි. ආදරය, කරුණාව, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, ලිංගික හැඟීම් වැනි කරුණු රාශියක් මානසික කොටසින් දැකගත හැකි වන අතර කෙනකුගේ ශාරීරික ක්‍රියාකාරීත්වය, ආයුෂ, සමාජීය බලපෑම්, ධනය වැනි කරුණු භෞතික කොටසින් දැනගත හැකිය.
බාධක රේඛාවලින් නොකැපී, ඍජුව, ගැඹුරුව දික්ව පිහිටි ශිර්ෂ රේඛාව ප්‍රබල චිත්ත ශක්තියක් ඇති කෙනකු හඳුන්වා දෙයි. නොසපුබට උත්සාහයන්, අප්‍රතිහත ධෛර්යයත් උපතින්ම පිහිටවන එවන් අත්ල හිමියෝ මනා ශිල්ප ශාස්ත්‍ර අවබෝධය ඇතිකරගන්නා අතර ඉතා සාර්ථක ලෙස ධනෝපායන මාර්ග දියුණු කරගනිති. ශීර්ෂ රේඛාව තැනින් තැන කැඩීම්, බිඳීම්, දූපත්, දම්වැල් ආකාර සලකුණු කතිර, කුරුස වැනි සලකුණු ඇත්නම් එමඟින් පෙන්නුම් කරන්නේ මොළයට සම්බන්ධව ආබාධ ඇති බවකි. හිසරදය. පීනස, නාසයේ හා කනේ ලෙඩ රෝග වැලඳීමටත් එම පිහිටීම් හේතුවනු ඇත. මෙම ලකුණු අත් දෙකේම ශීර්ෂ රේඛාවල එක සමානව පිහිටියේ නම් එම කරුණු ස්ථීර ලෙසම සිදුවෙයි. ශීර්ෂ රේඛාව හා ජීවන රේඛාව ඉතාමත් ළඟින් පටන්ගැනීම මොළයේ උණ වැනි අසනීප සෑදීමට හේතුවෙයි. හෘදය රේඛාව හා ශීර්ෂ රේඛාව අතර පරතරය ඈත්වූ විට ඇදුම රෝගය හා සෙම් රෝග වැළඳීමේ ප්‍රවණතාවක් ඇත. මෙම රේඛා දෙක අතර වඩාත්ම පුළුල් පරතරයක් පිහිටියේ නම් හෙතෙම අතෘප්තිකර හැඟීම්වලින් යුත් අහංකාර ගතිගුණ ඇත්තෙක් වෙයි. ශීර්ෂ රේඛාව චන්ද්‍ර මණ්ඩලයෙන් අවසන් වීම තීක්ෂණ මනසක් ඇති බව ප්‍රකට කරයි. ශීර්ෂ රේඛාව ඇදවෙමින් විහිද ගියහොත් එය දුර්වල වූ අධිෂ්ඨාන ශක්තියක් ඇති බව පෙන්නුම් කරයි. එම රේඛාව ඍජුව විහිද යෑම ස්ථිර අදහස් ඇති අයකු බව හෙළිකරයි. තම මතයටම අනුව ක්‍රියාකිරීම එම අයගේ ලක්ෂණයකි. ශීර්ෂ රේඛාව චන්ද්‍ර මණ්ඩලය දෙසට විහිද යෑමත්, සෙනසුරු ඇඟිල්ල (මැදඟිල්ල) මැද තාරකා ලකුණක් ඇතිවීමත් උමතු බව ඇතිවීමට හේතුවේ. මෙය අත්ල දෙකේම එක ලෙසටම පිහිටියේ නම් එම කරුණු ස්ථිර ලෙසම සිදුවිය හැකිය.
ශීර්ෂ රේඛා දෙකක් ඇති අතක් දක්නට ලැබෙන්නේ ඉතාමත් කලාතුරකිනි. ඉන්දියාවේ මහත්මා ගාන්ධිතුමාගේ අත් එවැන් දුර්ලභ පිහිටීමක් තිබුණු බව පතපොතේ සඳහන්ය. අසහාය බුද්ධි බලයේත්, අවිහිංසකභාවයේත් සංකේතයක් වශයෙනුයි එය විග්‍රහ කළ හැක්කේ. ශිර්ෂ රේඛාවෙන් මතුවෙන රේඛාවක් ගුරු මණ්ඩලය දෙසට (දබරැඟිල්ලේ මුල) විහිද යෑම ඉතාම වාසනාවන්ත පිහිටීමක්. උසස් අධ්‍යාපනයක් ලැබීම මෙන්ම රජයේ ඉහළ තනතුරු ලැබීමටත් එය හේතුවෙයි. ශීර්ෂ රේඛාව අවසානයේ ශාඛා කීපයකට බෙදී යෑමද ඒ වගේම සුබය. උපතින්ම උසස් බුද්ධි බලයක් එම ලකුණු හිමි අයට උරුමයි. විවිධ නිර්මාණ කුසලතාවන්ද ඔවුන් තුළින් දැකිය හැකිය. ජීවන රේඛාවට දුරස්ව නැතිනම් ගුරු මණ්ඩලයෙන් කොතෙකුත් ශීර්ෂ රේඛාව ආරම්භ වූයේ නම් හෙතෙම කඩිසර නිර්භීත එමෙන්ම දැඩි ආත්ම විශ්වාසයෙන් යුතුව කටයුතු කරන්නකුද වෙයි. මොවුහු ත්‍යාගශීලී, කාර්යශූර වගේම නායකත්වයටද සුදුස්සෝ වෙති. ජීවන රේඛාවෙන් ඈත්වන ප්‍රමාණය අනුව මෙම ගතිලක්ෂණ දැඩිව පෙන්නුම් කරයි.
යම් අයකුගේ ශීර්ෂ රේඛාව අත් දෙකේම කැඩී ඇත්නම් හෙතෙම මරණයට ළංව සිටින්නෙක් වෙයි. එක අතක පමණක් කැඩී තිබේ නම් හිසේ ආබාධයක් හෝ ඇති අයකු විය හැකිය. ශීර්ෂ රේඛාව මත හතරැස් කොටු සලකුණක් වැටී ඇත්නම් හදිසි අනතුරකට මුහුණපෑවත් මොනයම් ක්‍රමයකින් හෝ ආරක්ෂා වෙයි. යමකුගේ අත්ලේ ශීර්ෂ රේඛා දෙකක් පිහිටියේ නම් ඔහු හෝ ඇය දෙයාකාරයක සිත් ඇත්තකු වෙයි. එක් අවස්ථාවක නපුරු කෙනෙක් ලෙසද, තවත් විටෙක කාරුණික අයෙක් වශයෙන්ද පෙන්නුම් කරයි. මෙයින් ශක්තිමත් රේඛාවේ බලය වැඩිය. මෙසේ තිබෙන අයෙක් සම්පූර්ණයෙන් වෙනස් වෘත්තීන් දෙකක යෙදී සිටිය හැකිය. මෙයද බහු දක්ෂතාවන් පෙන්නුම් කිරීමකි. කුමන වෘත්තියක් තෝරාගනු ලැබුවද ඔවුනට අන් අයගේද සහයෝගයෙන් ජයග්‍රහණය කරා යා හැකිය.
හිඹුටානේ පියතිලක ද අල්විස්
158, හිඹුටාන, මුල්ලේරියාව නව නගරය
0716212020