විශ්වයේ මහා රහස්‍ය ගුණයන් මිනිසාගේ උපන් මොහොත සමඟ බද්ධ කරන අපේ පැරණි හෙළ ජ්‍යොතිෂය, කෙනකුගේ උපන් නැකත මුල් කරගෙන මිනිස් වර්ගයා ප්‍රධාන ගණ තුනකට බෙදා වෙන් කර තිබෙනවා. ඒ දේව ගණය, මනුෂ්‍ය ගණය සහ රාක්ෂ ගණය යනුවෙනි. මේ විශ්වීය බෙදීම තුළ ‘දේව ගණය යනු පෙර පින් මහිමයෙන්ම ජීවිතයට උරුම වන අතිශය වාසනාවන්ත, ප්‍රභාශ්වර පිහිටීමක් ලෙස හැඳින්විය හැකියි. බොහෝ දෙනෙක් සිතන්නේ කේන්දරයක සටහන් වන මේ ගණයෙන් කියවෙන්නේ කෙනෙකුගේ බාහිර ගතිගුණ පමණක් කියා වුවත්, සැබවින්ම එය උපන් මිනිසාගේ හද ගැස්මේ සිට ආදරය, විවාහය සහ ආත්මීය ලිංගික ජීවිතයේ අතිශය පෞද්ගලික ළැදියාවන් දක්වා දිවෙන මහා ගැඹුරු අනාවරණයක් සිදුකරන මනෝවිද්‍යාත්මක කැඩපතකි. Sri Lanka Latest News
දේව ගණයෙන් මෙලොව එළිය දුටු මිනිසෙකුගේ ආත්මය ස්වභාවයෙන්ම හැඩගැසෙන්නේ සාමකාමී, නිසල සහ මෘදු ගුණයන්ගෙනි. ඔවුන් තුළ සහජයෙන්ම පිහිටන ධාර්මික බව නිසාම වැරදි වැඩ, වංචාවන් හෝ අකුසලයන් කිරීමට ඔවුන්ගේ හෘද සාක්ෂිය ඉඩ දෙන්නේ නැත. එය හරියට අකුසලයට බියෙන් පින් දහමටම බර වූ දේව ආත්මයක් බඳුය. අන් අයගේ දුකේදී උණුවන සංවේදී හදවතක් මෙන්ම සතා සීපාවා කෙරෙහි දක්වන අපරිමිත කරුණාව ඔවුන් සතු සැබෑ ආභරණයකි. ජීවිතයේ ඕනෑම බරපතළ ප්‍රශ්නයකදී කලබල නොවී, ඉවසීමෙන් සහ නිහතමානීව දේවල් දෙස බැලීමට ඔවුන්ට ඇත්තේ සහජ හැකියාවකි. මෙවැනි ගුණාංග නිසාම ව්‍යාපාරික ලෝකය තුළ හෝ ජීවන ගමනේ හවුල්කරුවෙකු ලෙස දේව ගණයේ කෙනෙකු ළඟ තබා ගැනීම මහා භාග්‍යයක් වන්නේ ඔවුන් කිසිවිටෙකත් තමන්ව විශ්වාස කරන අයෙකුට වංචා නොකරන, අවංකව සහ සාධාරණව ගනුදෙනු කරන මිනිසුන් වන බැවිනි. ඔවුන්ගේ මේ සාත්වික මනෝභාවය ඔවුන් ගන්නා ආහාර රටාවෙන් පවා පිළිඹිබු වන අතර, සාමාන්‍යයෙන් මස්, මාළු වැනි දේට වඩා එළවළු, පලතුරු සහ කිරි වැනි ශරීරයටත් මනසටත් සැහැල්ලුවක් දෙන ආහාරවලට ඔවුන් රුචිකත්වයක් දක්වයි. රැකියා ස්ථානයේදී වුවද අනුන්ට කරදරයක් නොවී නීතිගරුකව සහ පිළිවෙළකට වැඩ කිරීමට කැමති මේ මෘදු මිනිසුන්ව, කවුරුන් හෝ බැණවැදී හෝ තර්ජනය කර මෙල්ල කිරීමට හැදුවහොත් ඔවුන් දැඩි ලෙස මානසිකව ඇද වැටීමට ලක් වෙයි.
මේ අපූර්ව ආත්මීය ගුණය විවාහය සහ ආදරය ඉදිරියේදී වඩාත් සුන්දරව දිග හැරෙන්නේ ගන පොරොන්දම හරහා දෙදෙනෙකුගේ මානසික ගැළපීම මැන බලන විටදීය. ජ්‍යොතිෂයට අනුව දේව ඝණයේ අයෙකුට විවාහය සඳහා වඩාත්ම ගැළපෙන්නේ තවත් දේව ගණයේම හෝ මනුෂ්‍ය ගණයේ සහකරුවෙකු හෝ සහකාරියකි. එවැනි බැඳීම් තුළ අදහස් ගැටීම් ඉතා අවම වන අතර ජීවිතය ගලා යන්නේ නිසල ගඟක් මෙනි. එහෙත් දේව ගණයේ මෘදු සිතක් ඇති අයෙකු, දැඩි සහ ආවේගශීලී ගතිගුණ උරුම රාක්ෂ ගණයේ අයෙකු සමඟ විවාහ වුවහොත්, එතැන නිරන්තර මත ගැටුම් සහ ආත්මීය නොගැළපීම් නිර්මාණය වීමේ අවදානමක් පවතී.
විශේෂයෙන්ම ආදරය සහ ලිංගික ජීවිතය දෙස බලන විට දේව ගණයේ අයෙකු සතු ආදරණීය ස්වභාවය මැනවින් පැහැදිලි වෙයි. ඔවුන්ට ලිංගිකත්වය යනු හුදෙක් ශාරීරික අවශ්‍යතාවයක් සපුරා ගැනීමක් පමණක් නොව, එය දෙදෙනෙකුගේ ආත්මයන් යා කෙරෙන, ආදරය ප්‍රකාශ කරන උත්තරීතර කලාවකි. ආදරයේදී මෙන්ම ලිංගිකත්වයේදීත් අතිශය මෘදු, චිත්තවේගීය සහ සංවේදී වන ඔවුන්, රළු හෝ කලහකාරී හැසිරීම් සහ දැඩි අධිපතිවාදී ස්වභාවයන් මුළුමනින්ම ප්‍රතික්ෂේප කරයි. සහකරුගෙන් ඔවුන් නිරන්තරයෙන් බලාපොරොත්තු වන්නේ සැබෑ ආත්මීය බැඳීමක්, පෙර සූදානමක්, ආදරණීය සිපගැනීම් සහ සවන් සනසන ආදරණීය වදන් මධ්‍යයේ ගොඩනැගෙන සුන්දර හැඟීම් සමුදායකි.
කෙනෙකුගේ උපන් කේන්දරයේ ඇති ලග්නාධිපතිගේ බලපෑම හෝ ග්‍රහ දශාවන්ගේ විපර්යාසයන් මත මේ ලක්ෂණ සුළු වශයෙන් අඩු වැඩි විය හැකි වුවත්, දේව ගණයේ උපන් අයට සහජයෙන්ම සමාජයේ ආදරය, ගෞරවය සහ පිළිගැනීම ලැබීමේ ප්‍රවණතාවය ඉතා ඉහළය. ඔබත් මෙවැනි දේව ගණයක උපන් අයෙකු නම්, ඉහත කී විශ්වීය ලක්ෂණ ඔබේ ජීවිතයේ පෞද්ගලික අත්දැකීම් සමඟ කෙතරම් දුරට බද්ධ වී ඇත්දැයි මොහොතක් සිතා බැලීම වටී.
ජ්‍යොතිෂවේදී ඔස්මන් පෙරේරා











