“මම ආඥාදායකයෙක්, ජාතිවාදියෙක් හෝ ඒකාධිපතියෙක් නොවෙයි. සමහර විරුද්ධ පාක්‍ෂිකයන් මාව එහෙම හඳුන්වනවා. එය සම්පූර්ණ වැරැදි අදහසක්. මම ආචාරධර්ම, ගරුකරන, හැදුණු පුද්ගලයෙක්. මගේ ක්‍රියාකලාපයෙන් මම ඔප්පු කරලා තියෙනව මම ජාතිවාදියෙක් නෙවෙයි කියලා. මම සමාජයේ එක් කොටසකට පමණක් සේවය කරන පුද්ගලයෙක් නෙවෙයි. ඒ නිසයි මම දමිළ සහ මුස්ලිම් ජනතාවට මා සමඟ එකතුවන්න කියලා කිව්වේ. රට නඟාසිටුවන්න මේ සැමගේ සහාය අවශ්‍යයි. මා ළඟට එන්න, මට කතා කරන්න, මා අවබෝධ කරගන්න. මා යන මාවතට බාධා කරන්න එපා. එවිට එය කිසිවකුටවත් ප්‍රයෝජනයක් නැති වේවි.”
බොහෝ හැඟීම්බර මේ කතාව කියන්නේ කවුද? ඒ තමයි මේ රටට අලුතින් පත්වූ “මහා මිනිසා,” ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා. ඔහු රටේ මහා පුටුවේ වාඩිවෙලා තවම දවස් ගණනයි ගතවුණේ. මේ කතාව ඔහු කියන්නේ ප්‍රකට මාධ්‍යයක් ඉදිරියේයි. ගෝඨාභය රාජපක්‍ෂයන්ගේ ජනාධිපති ආගමනය පසුගියදා සිදුවුණේ “වක්කඩ කැඩුවා සේ’ ය. මහා ජනතාවක් ඔහු වටා රොද බැඳ ගත්තේය. ඔහු ජනපති පුටුවේ වාඩිගත් පසුව තම පළමු මාධ්‍ය සාකච්ඡාව සිදුකර ඇත්තේ ඉන්දියාවේ ප්‍රකට රූපවාහිනී මාධ්‍ය ආයතනයක් වන, “භාරත් ශක්ති” ආයතනය සමඟය. එම මාධ්‍ය ආයතනයේ ප්‍රධාන කර්තෘවරයා වන, ප්‍රකට ඉන්දියානු ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු වන නිතින් ගොකේල් සමඟ මෙම දීර්ඝ රූපවාහිනී සාකච්ඡාව පවත්වා ඇත. නිතින් ගොකේලේ මහතා හවායිහි ආරක්‍ෂක අධ්‍යයන මධ්‍යස්ථානයේ ආදි විද්‍යාර්ථිකයෙක්, මාධ්‍යවේදියෙක්, ව්‍යවසායකයෙක්, හමුදා ඉතිහාසය පිළිබඳ ග්‍රන්ථ රචකයෙක් සහ උපායමාර්ගික කටයුතු පිළිබඳ විශේලේෂකයෙක් ද වෙයි. නව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඔහු සමඟ දීර්ඝ සංවාදයක යෙදී ඇත. ඉංග්‍රීසි බසින් කර ඇති එම රූපවාහිනී සංවාදයේ සිංහල අනුවර්තනය මෙසේ වෙයි.
ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා ලෙසට ඔබ ප්‍රමුඛත්වය දෙන්නේ කුමන කටයුතු සඳහාද?
“ අපි අපේ ප්‍රතිපත්ති මොනවාදැයි ජනතාවට ප්‍රකාශ කර තිබෙනවා. එයින් අංක එකට ප්‍රමුඛත්වයදී තිබෙන්නේ රටේ ආරක්‍ෂාවයි, ජනතාවගේ ආරක්‍ෂාවයි. මෙම කාර්යය සඳහා රටේ තිබෙන සමහර ආයතනවල ප්‍රතිසංවිධානයක් අවශ්‍යයි. මෙයින් බුද්ධි අංශ කටයුතු කරන ආයතන ප්‍රමුඛ වෙනවා. ඒ සඳහා කළයුතු කාර්යයන් මේ වන විට මා විසින් හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව ඉදිරියේදී කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා. එසේම හමුදාමය කටයුතුවල ප්‍රතිසංවිධානයක්ද අවශ්‍ය වෙනවා. ආරක්‍ෂාවට මා ප්‍රමුඛස්ථානය දෙන අතර, දෙවනුව රටේ ආර්ථිකය නැංවීම කෙරෙහි කටයුතු කරනවා.
ඊළාම් යුද්ධයේදී ඔබ සිදුකළ කාර්යභාරය බොහෝ දෙනකුගේ අවධානයට ලක්ව තිබෙනවා. එහිදී ආරක්‍ෂක කටයුතුත්, බුද්ධි මෙහෙයුම් කටයුතුත් ඔබ විසින් සහමුලින්ම ප්‍රතිසංවිධානය කර සිදුකරනු ලැබුවා. ඒවායින් ඔබ සාර්ථක ප්‍රතිඵල අත්කරගත්තා. එහෙත් පසුගිය වසර 5ක කාලයේදී එම ආරක්‍ෂක කටයුතු බොහෝ අඩාළවී ඇති බැව් පේනවා. පසුගිය අප්‍රේල් පාස්කු ප්‍රහාරය එයට හොඳම නිදර්ශනයක්. මෙවැනි වටාපිටාවක් ඇති වුණේ කුමන හේතුවක් නිසාද? ඉදිරි ඔබගේ පාලන කාලයකදී මෙවැනි අවාසනාවන්ත තත්ත්වයන්ගෙන් මිදිය හැකිද?
පිළිතුර :
මේක එක්, එක් රජයන්ගේ ප්‍රතිපත්තීන් අනුව සිදුවන තත්ත්වයක්. ඒ නිසා සමහරවිට එම කටයුතු පතුලටම වැටෙන්නට පුළුවන්. පසුගිය රජය ජාතික ආරක්‍ෂාව කෙරෙහි නිසි ප්‍රමුඛස්ථානය ලබා දුන්නේ නැහැ. ඒ අය ජාතික ආරක්‍ෂාව යන විෂය වැරැදි විදියට වටහා ගත්තා. ඒ නිසයි අවාසනාවන්ත තත්ත්වයකට මුහුණ දෙන්න සිදුවුණේ. එසේම මෙවැනි තත්ත්වයක් යටතේ ආර්ථික අස්ථාවරයන්ද ඇති වුණා. දේශීය හෝ විදේශීය ආයෝජකයන්ට මෙරටට පැමිණ ආයෝජනයක් කිරීමට අපහසු වුණ. පසුගිය වසර 5ක තුළම මේ තත්ත්වය ඇති වුණා. එසේම පසුගිය මානුෂික මෙහෙයුමට සම්බන්ධ වුණු නිලධාරීන්ට එරෙහිවද පසුගිය රජය කටයුතු කරන්න ගත්තා. මේ තත්ත්වය නිසා හමුදාවන් තුළ තිබුණු ධෛර්යයන් බිඳවැටුණා. එසේම බුද්ධි තොරතුරු ජාලයද කඩාගෙන වැටුණා. මේ තත්ත්වයට කිසිම විසඳුමක් ලැබුණේත් නැහැ. පසුගිය රජයේ අවුරුදු 5ක කාලය එසේ ගෙවිලා ගියා.
ඔබ ඊළාම් කොටි ත්‍රස්ත යුද්ධය දිනාගැනීමටත් ඉතාමත් පුළුල් බුද්ධි මෙහෙයුමක්ද දියත් කළා නේද? ඒ සඳහා ඔබ හොඳ අධීක්‍ෂණයක් සහ මෙහෙයුම් ක්‍රියාවලියක් සිදුකළා නේද?
ඔව්. ඔබගේ ඒ කතාව නිවරැදියි. ශ්‍රී ලංකාවේ බුද්ධි මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම සඳහා අංශ කිහිපයක්ම තිබෙනවා. මෙහි ප්‍රධානතම ආයතනය තමයි රාජ්‍ය බුද්ධි සේවය මෙය තමයි අංක එකට තිබෙන්නේ. ඊට අමතරව යුද, නාවික සහ ගුවන් යන හමුදා තුනටම වෙන වෙනම බුද්ධි අංශයන් තිබෙනවා. මෙයින් යුද හමුදාවේ බුද්ධි අංශය තමයි බොහෝ ප්‍රබල සහ පළපුරුදුම ආයතනය. ඊට පසුව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ බුද්ධි අංශයක් තිබෙනවා. ත්‍රස්ත විමර්ශන ඒකකයේත් බුද්ධි සේවයක් තිබෙනවා. මේ ආකාරයට මෙය ඉතා පුළුල්ව පැතිරී ගිය බුද්ධි අංශ ජාලයක්.
ඒ කියන්නේ බුද්ධි සේවයේ කටයුතු නිසි ලෙස බලාපොරොත්තු වූ ආකාරයෙන් සිදුකිරීමට පසුගිය රජය අපොහොසත් වුණා කියන එකයි.
බුද්ධි තොරතුරු සේවය කියන්නේ වෙනස්ම “පන්දු ක්‍රීඩාවක්”. එහෙත් පසුගිය රජය මෙහි බලය හමුදා බුද්ධි සේවය වෙත ලබා දුන්නේ නැහැ. ඒ නිසා එහි නිලධාරීන් නිසි ලෙස බුද්ධි තොරතුරු එක්රැස් කිරීමේ නිරත වුණේ නැහැ. ඔවුන් වෙනත් අංශවල කටයුතු හරියාකාරව ඉටකළත්, මෙම බුද්ධි අංශයේ කටයුතු සිදුකළේ නැහැ. දශක ගණනාවක් පුරා මේ රටේ ත්‍රස්ත යුද්ධය තිබුණා. ඒ කාලයේදී සිදුකළ මෙහෙවර නිසා මෙම නිලධාරීන් තුළ දක්‍ෂතාව තිබුණා. ඒත් ඔවුන්ට නිසි අධිකාරිත්වයක් රජය දුන්නේ නැහැ. මේ සේවය සඳහා අපි ඔවුන්ව හොඳින් පුරුදු පුහුණු කරලා තිබුණේ. ඒ නිසා ඒ අයට හොඳ පළපුරුද්දක්ද තියෙනවා. ඒත් පසුගිය රජයේ ප්‍රතිපත්තිය නිසා ඒ මෙහෙවර සිදුවුණේ නැහැ.
ඔබ ආරක්‍ෂක ලේකම් ධුරය දරන කාලයේදී එම ආයතන එකම රාමුවක් තුළ තබාගෙන කටයුතු කළා. ඉදිරියේදී ඔබගේ පාලන කාලය තුළදී මෙම කටයුතු සිදුකරන්නේ කෙසේද?
මම දැන් ඉතාමත්ම කාර්යක්‍ෂම, දක්‍ෂ ආරක්‍ෂක ලේකම්වරයකු පත්කර තිබෙනවා. ඔහු ඉතාමත්ම පළපුරුදු දැඩි කැපවීමක් සිදුකර ඇති නිලධාරියෙක්. ඔහුට මෙම විෂය ගැන හොඳ අවබෝධයක් තිබෙනවා. මම ඔහුට උපදෙස් ලබාදී තිබෙනවා මෙම බුද්ධි අංශ තම තමන්ගේ දෙපාර්තමේන්තු තුළ හුදකලා නොකර ඒවා එකට සමූහයක් වශයෙන් ගෙන සම්බන්ධීකරණය කරන්න කියලා. ඔහු එම මෙහෙවර නිසිලෙස ඉටුකරාවි.
ඔව්. ඒක නිවැරැදියි. එසේම ඔබ විශ්වාස කරනවද ඔහුට මේ කර්තව්‍ය සඳහා යාබද රටවල සහාය අවශ්‍යයි කියලා. නිදසුනක් ලෙස ඉන්දියාව හෝ වෙනත් යාබද දේශයන්, සමහර විට බටහිර රටවල් පවා අවශ්‍ය වේවි. අද ලෝකයේ බුද්ධි තොරතුරු බෙදාහදා ගැනීමත් වැදගත් වෙනවා නේද?
ඔව්. බුද්ධි තොරතුරු බෙදාගැනීම අත්‍යාවශ්‍ය දෙයක්. එල්.ටී.ටී.ඊ. කොටි ත්‍රස්තවාදය වගේ නෙවෙයි, ඒත් ඔවුන්ට බාහිර සංවිධානවලින්ද සහාය ලැබුණා. එසේම එල්.ටී.ටී.ඊ. කියන්නේ ජාත්‍යන්තර සංවිධානයක්ද නෙවෙයි. විදෙස් රටවල්වලින් අපේ රටට සහාය ලැබෙනවා. ඒ මොකද මේ ප්‍රශ්නයෙන් රටවල් ගණනාවක් පීඩා විඳිනවා. ඉන්දියාවත්, අනේ රටවල් ගණනාවකුත් එයට අයිතියි. මෙම රටවල් බොහොමයකට හොඳ සම්පත් මෙන්ම හොඳ තාක්‍ෂණයක්ද තිබෙනවා. එසේම ඉස්ලාමික ත්‍රස්තවාදය ගැන ඔවුන්ට හොඳ අවබෝධයක්ද තිබෙනවා. ඒ නිසා එම දැනුම අපිත් ලබාගන්ට ඕනෑ.
ආර්ථිකය ගැන යමක් අහන්නට පෙර තවත් එක් ප්‍රශ්නයක් ආරක්‍ෂාව ගැන අසන්නට අවශ්‍යයි. පසුගිය වසර 10ක් පුරා මේ ගැන විවේචන එල්ලවී තිබෙනවා. 2009 වසරේදී ඔබ රටේ යුද්ධය නිමා කළා. ඒත් ඉන් පසුවත් මේ තරම් විශාල හමුදාවක් රටට අවශ්‍යද?
එය රටේ නායකයන් සහ හමුදාව විසින් තීරණය කළයුතු දෙයක්. තර්ජනය එල්ල වන ප්‍රමාණයේ ආකාරයෙන් හමුදාව ශක්තිමත් කළ යුතුයි. එය විශ්ලේෂණය කර අප එම කටයුතු සිදුකරනවා. යුද සමයේදී අපි හමුදාවේ ශක්තිය ඉතාමත් තර කළා. එහෙත් පසුගිය වසර 10ක කාලය තුළදී හමුදාවට විශාල පිරිසක් බඳවාගෙන නැහැ. යුද කායේදී තරම් පසුගිය කාලයේ හමුදාවේ බඳවාගැණීම් සිදුකළේ නැහැ. විදේශීය හමුදාවන් පවා මේ කාලයේදී තමන්ගේ රටවල ජාතික සංවර්ධනයට යොමුවී තිබෙනවා. ඇමෙරිකානු හමුදාව පවා එසේ සිදුකරනවා. හමුදාවේ අයට වඩා අපගේ බුද්ධි අංශ නිලධාරීන් ප්‍රමාණය වැඩිකළ යුතුයි.
ඔබගේ නව පාලනය යටතේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඉතා වැදගත් එකක් වෙනවා. පසුගිය වසර කිහිපය තුළදී ඔබගේ රටේ ආර්ථිකය පවා යම් පීඩනයකට ලක්වුණා. ආයෝජනයට මෙන්ම සංචාරක ව්‍යාපාරයටද එය තදින් බලපෑවා. එහෙත් දැන් ඔබ ජනාධිපතිවරයා වූ පසුව යම් විශ්වාසයක් ගොඩනැඟෙනවා නේද මෙම තත්ත්වයෙන් රට ගොඩ ගැනීමට. මේ සඳහා ඔබ විසින් කුමන සැලසුමක් යොදනවාද?
ආර්ථිකයට අදාළ එම කඩාවැටුණු ක්‍ෂේත්‍රයන් පිළිබඳව අපි දැන් හඳුනාගෙන තිබෙනවා. නව රජය එම කටයුතු නැවැත නඟාසිටුවීමට කටයුතු කරනවා. රටේ කෘෂිකර්මාන්තය සහ වැවිලි කර්මාන්තය යන ක්‍ෂේත්‍රයන් ඉතාමත් වැදගත්. අදටත් අපේ රටේ ජනගහනයෙන් තුනෙන් එකක් කෘෂිකර්මාන්තයේ නිරතව සිටිනවා. ඒ නිසා ප්‍රධාන වශයෙන් කෘෂිකර්මාන්තය කෙරෙහි අපගේ අවධානය යොමු කරනවා. විදේශීය උපදේශකයන් අපට කියා සිටීවි විවිධ කරුණු, කාරණා ගැන අවධානය යොමු කරන්නට කියලා. එහෙත් අපේ රටට හොඳ ඉතිහාසයක් සහ සංස්කෘතියක් තියෙනවා. ඒ නිසා අපට හිතූමනාපේ කටයුතු කරන්න බැහැ. ආහාර සුරක්‍ෂිතතාව ලෝකයේ රටවලට අත්‍යාවශ්‍ය දෙයක්. ඒ නිසා අපට වෙනත් බාහිර ලෝකයක් මත යැපෙන්න බැහැ. අපගේ කෘෂිකර්මාන්තය අපි දියුණු කරගත යුතුයි.”
කෘෂිකර්මාන්තයට කොපමණ සැලසුම් යෙදුවත් ගොවියා ඉන් සෑහීමකට පත්වී තිබෙනවාද?
ඔව්. රජයන් ගණනාවක්ම කෘෂිකර්මාන්තය සඳහා විවිධ සැලසුම් යෙදුවා. එහෙත් තවමත් ගොවියා දුප්පත්. මේ තත්ත්වය ඉතාමත් නරක දෙයක්. මේ නිසා ඔවුන්ගේ දරුවෝ ගොවිතැන සඳහා යොමුවන්නේ නැහැ. ඔවුන් දකිනවා තමන්ගේ මවුපියන් බොහෝ දුප්පත් ලෙස ජීවත් වෙනවා. ඒ නිසයි කෘෂිකර්මාන්තය බොහෝ ක්‍රමානුකූලව වෙනස් කළ යුත්තේ. අද ලෝකයේ නූතන කෘෂිකර්මාන්ත තාක්‍ෂණයක් තිබෙනවා. ඉතා අඩු වියදමකින් වැඩි ඵලප්‍රයෝජනයක් ලබාගත හැකි නව තාක්‍ෂණයක් තිබෙනවා. පොහොර කළමනාකරණය, නූතන වාරිමාර්ග පද්ධති, කාබනික පොහොර භාවිතය, හරිතාගාර භාවිතය, උසස් ඇට සහ පැළ භාවිතය ආදී විවිධ නූතන කෘෂි තාක්‍ෂණ ක්‍රම තිබෙනවා. එසේම නව පර්යේෂණයන් සහ ව්‍යාපෘති කටයුතුද සිදුකළ යුතුයි. මෙම කටයුතු ගොවියා වෙත සිදුකර දියයුත්තේ රජය විසිනුයි. මේ සඳහා අපේ නව රජයට සැලසුම් තිබෙනවා. ගොවියා සැබෑ ව්‍යවසායකයකු කිරීම මගේ බලාපොරොත්තුවයි.
ඒ කියන්නේ ගොවියකු වෙනුවට…
ඔව්. මට ඔහුව ව්‍යාපාරිකයකු කරන්න ඕනෑ. මේ ගොවි ජනතාවගේ නිෂ්පාදනය දැනට තිබෙන තත්ත්වය යටතේ 40%ක පමණ ප්‍රමාණයක් නිකරුණේ විනාශ වී යනවා. දුර්වල ගබඩාකරණය, ඇසුරුම්කරණය, ප්‍රවාහනය තුළින් මෙම තත්ත්වය ඇතිවී තිබෙනවා. මෙම තත්ත්වයන් සඳහා නිසි ක්‍රමවේදයක් සාදාගත්තොත් එවිට ස්වයංක්‍රීයවම ගොවියාගේ ආදායම ඉහළ යනවා. අද තක්කාලි වවන ගොවියා නිදසුනක් වශයෙන් ගන්න. ඔහුගේ ඵලදාව නිසිලෙස විකුණාගන්න බැහැ. එයින් බොහෝ ප්‍රමායක් විනාශ වී යනවා. ඇයි එම ඵලදාව “සෝස්” වර්ග නිෂ්පාදනය සඳහා භාවිත කරන්න බැරි.
ඒ කියන්නේ ඉදිරි සම්බන්ධකයන් තියෙන්න ඕනෑ කියන එකයි.
ඔව්. එතකොට අවබෝධ වනවා ඔබගේ නිෂ්පාදනය සඳහා නියමිත මිලක් තිබෙන බැව්.
ඔබ එවැනි කාරණා ගැන අවධානය යොමු කිරීම ගැන සතුටු වෙනවා. එසේම ඔබ ඔබගේ ශක්තිය යොදවා ගනිමින් විශාල යටිතල පහසුකම් ව්‍යාපෘති ඇරැඹීමට කටයුතු කරන්නේද?
ඔව්. යටිතල පහසුකම් යනු රටකට අත්‍යාවශ්‍ය දෙයක්. එය නැතිව සංවර්ධනය පිටතට ගෙන යන්නට බැහැ. අපගේ නිෂ්පාදනයන් සිදුකළ හැකි ප්‍රදේශ විශාල වශයෙන් තිබෙනවා. එම ප්‍රදේශවල අපගේ කෘෂිකර්මාන්ත සහ වැවිලි කර්මාන්තය සිදුකළ හැකියි. වසර සිය ගණනක සිට අපගේ රටේ ප්‍රධා ආදායම් මාර්ගයන්වී ඇත්තේ තේ, රබර් සහ පොල් භෝගයන්. එහෙත් මෑතක සිට දුර්වල කළමනාකරණයක් යටතේ මෙම භෝගයන්ගෙන් ලබන අස්වැන්න අඩුවෙලා ගිහින්, ආදායම් ඉතාම පහත බැහැලා. එසේ දැනට ආදායම පහත වැටී ඇති ගම්මිරිස්, කුරුඳු වැනි භෝගයන් ගැනත් අවධානය යොමු කරන්න ඕනෑ. එසේම තවත් කනගාටුවට පත්වන කරුණක් වන්නේ ශ්‍රී ලංකාව ඇතුළත ඇති භෝග වර්ග විදේශ රටවලින්ද ආනයනය කිරීමයි. මේවාට යන විදේශ විනිමය ජාතික අපරාධයක්. අපි එය වළක්වාගන්න ඕනෑ.
ඒ කියන්නේ එම කටයුතු නැවැත නවීකරණය වෙන්නට ඕනෑ.
ඔව්. එතකොට නිසිලෙස වෙළෙඳපොළෙක් සොයාගැනීමටත් හැකි වෙනවා. දැන් බලන්න ලෝකයේ හොඳම තේ තියෙන්නේ ශ්‍රී ලංකාවේ. එහෙත් දැන් ඒ වෙළෙඳපොළ තවත් රටවල් ආක්‍රමණය කරලා. මේ තත්ත්වය අපි වෙනස්කර ගන්නට ඕනෑ.
නවීකරණය තුළින් ආර්ථිකය ගෙඩනැඟීම ගැන ඔබ කතාවෙනවා. ඔබ එහෙම අදහස් ප්‍රකාශ කිරීම සතුටට කරුණක්.
ඔව්. 21 වැනි ශත වර්ෂය කියන්නේ නවීන දැනුම පදනම් වුණු කාලවකවානුවක්. ඒ අනුව අපිත් හැඩගැසෙන්නට ඕනෑ. අපේ රට කුඩා දේශයක්. අපිට විශාල කර්මාන්ත නැහැ. එසේම අපිට තෙල්, ගෑස්, රත්තරං, රිදී වගේ ස්වාභාවික සම්පත් ඇත්තේත් නැහැ. එහෙත් අපට බොහෝ කාර්යශීලී දක්‍ෂ මානව සම්පතක් තිබෙනවා. අප අවධානය යොමුකළ යුත්තේ ඒ කෙරෙහි. අප ඉන්දියාවෙන් පටන්ගත්තොත් සිංගප්පූරුව, මැලේසියාව, ඉන්දුනීසියාව, වියට්නාමය, ජපානය, චීනය වැනි රටවල් පවා තමන්ගේ නවීන තාක්‍ෂණය හරහා දියුණුවට පත්ව තිබෙනවා. තොරතුරු තාක්‍ෂණය සහ ඩිජිටල් තාක්‍ෂණය අද ලෝකයේ දියුණුව සඳහා බහුලව භාවිත කරනවා. අපේ කුඩා රටත් මෙයට අනුගත විය යුතුයි.
ශ්‍රී ලංකාව ස්වභාවික ඉතාමත් මනස්කාන්ත දේශයක් නේද?
ඔව්. මේ රටේ බහුලව සිදුකළ හැකි සංචාරක කර්මාන්තය තවත් දියුණු කරන්නට ඕනෑ. එසේම විදෙස් ආයෝජනයන්ද අපි ව්‍යාප්ත කරගැනීමට අවශ්‍යයි. ඒ සඳහා මා විදෙස් රටවලට ආරාධනය කර සිටිනවා.
ඔබගේ රජයේ විදේශ ප්‍රතිපත්තිය ගැන යමක් අහන්නට අත්‍යාවශ්‍යයි. ඔබ ජනාධිපති ධුරයට පත්වූ පසුව ඔබගේ කතාවකින් ප්‍රකාශ කළා කලාපයේ සෑම බලයක් හා සමදුරකින් අප සිටින බවත්, එහෙත් ඔබ දේශය නිරන්තරයෙන්ම පවතිනු ඇත්තේ අපක්‍ෂපාත, මධ්‍යස්ථ දේශයක් ලෙසටත්ය. ජාතික ආරක්‍ෂාව ඔබගේ ප්‍රමුඛස්ථානය බවටත්, ප්‍රකාශ කළා. එහිදී ඔබ බැඳී සිටින්නේ කවුරුන් සමඟ දැයි යන්නත් සෙවීම අත්‍යවශ්‍ය වුණා. එවැනි වටාපිටාවක් යටතේදී මෙම පැනය ඔබගෙන් ඇසිය යුතුමයි. චීනයට එරෙහි ඉන්දියාවද, ශ්‍රී ලංකාව තුළ තිබෙන්නේ?
මම නැවැතත් ප්‍රකාශ කරනවා මම මාගේ භාර ගැනීමේ කතාවේදී පැහැදිලිවම ප්‍රකාශ කළා අප අපක්‍ෂපාත, මධ්‍යස්ථ රටක් වශයෙන් සිටිය යුතුයි කියලා. එය කළ හැකියි. එයට ලෝකය වටා ඕනෑ තරම් නිදර්ශන තිබෙනවා. අද කලාපීය දේශපාලනය ගැන ඉන්දියානු සාගරය ප්‍රධාන භූමිකාවක් සිදුකරනවා. එහිදී අපේ රට පිහිටා තිබෙන්නේ බොහෝ උපායමාර්ගික පරිසරයකයි. භූගෝලීයව එසේ පිහිටා තිබීම හේතුවෙන් බොහෝ ප්‍රධාන නාවික මාර්ග පසුවන්නේ ශ්‍රී ලංකාවට ආසන්නයෙන්. ඔබට තේරෙනවා ඇති මෙම මුහුදු මාර්ගවල වැදගත්කම. ආසියාවම එයට සම්බන්ධයි. මේවා පාලනය කරන්න කිසිම රටකට අවශ්‍ය නැහැ. ඒවා මුළු ලෝකයටම විවෘත වන්නට ඕනෑ. ඒවායෙහි නිදහස සියල්ලන්ටම අයිතියි. එක් රටක් පමණක් එහි පාලනය නතුකරගන්න බැහැ. අපි කුඩා රටක්, අපි එක දේශයක් වෙත නතු වන්නට ගියොත් අපට රැකෙන්නට බැහැ. මහ බලවතුන්ගේ බල අරගලයට අපේ රට මැදිවෙන්න අවශ්‍යත් නැහැ. මූලික වශයෙන් අපට සියලුම රටවල සහාය අවශ්‍යයි. එසේම තවත් රටකට හානි වන යමක් සිදුකරන්නත් අපට අවශ්‍ය නැහැ. ඉන්දියාවේ ඕනෑ එපාකම් ගැන අපට හොඳ අවබෝධයක් තිබෙනවා. ඉන්දියාවේ ආරක්‍ෂාවට තර්ජනයක් සිදුවන කිසිවක් කරන්නට අපි පෙලඹෙන්නේ නැහැ. ඉන්දියාව විශාල බලයක් තිබෙන විශාල රාජ්‍යයක්. අප ශ්‍රී ලංකාව නිදහස් ස්වාධිපත්‍යයක් තිබෙන රටක් ලෙස පෙනී සිටින්නට අවශ්‍යයි. කිසිම දේශයක් සමඟ පැටලෙන්නට අපිට අවශ්‍ය නැහැ. අපට ඉන්දියාවේ සහාය මෙන්ම චීනයේද සහාය අවශ්‍යයි. එසේම ජපානය, සිංගප්පූරුව, මැලේසියාව, ඉන්දුනීසියාව වනි රටවලත් සහාය අපට හිමිවෙනවා. මහින්ද රාජපක්‍ෂ රජය සමයේ චීනය සමඟ සමීපව ගනුදෙනු කළා. ඒත් එය පිරිසුදුව, වාණිජමය මට්ටමකින් සිදුකළ එකක්. එහෙත් පසුගිය රජය හම්බන්තොට වරායේ පාලනය චීනයට දුන්නා. එය විශාල වැරැදීමක්.
ඔව්. ඉතාමත් අවාසනාවන්ත ලෙස පසුගිය රජය එහෙම කළා?
චීනය කියන්නේ අපේ රටේ හොඳ මිත්‍රයෙක්. ඒ වගේම සංවර්ධනය සඳහා අපට චීනයේ සහාය අවශ්‍යයි. එහෙත් හම්බන්තොට වරාය 99 අවුරුද්දකට බදුදීම පසුගිය රජය සිදුකළ බලවත් වරදක්. ඒ ගැන කතා කරන්න මා බිය වන්නේ නැහැ. ඒ වගේම ඒ ගිවිසුම ගැන නැවැත සාකච්ඡා කර අපට සහාය වන නව ගිවිසුමකට එමු යැයි මා චීනයට යෝජනා කරනවා. අපේ රටේ ජනතාව මේ ගිවිසුම ගැන සතුටු නැහැ. අපිට අවුරුද්දක්, දෙකක් හෝ පහක් ගැන හිතන්න පුළුවන්. එහෙත් මේ බදුදීම දීර්ඝ කාලයකට වෙලා තියෙන්නේ. අපි අපේ රටේ අනාගතය ගැන සිතන්න ඕනෑ. ආයෝජනය සඳහා පොඩි ඉඩමක් ලබාදීම වෙනස් දෙයක්. එසේම හෝටලයක් හෝ වාණිජ දේපොළක් හෝ සංවර්ධනය කිරීම ප්‍රශ්නයක් නෙවෙයි. උපායමාර්ගික ලෙස සහ ආර්ථික ලෙස ඉතා වැදගත් වන හම්බන්තොට වරාය එසේ ලබාදීම පිළිගන්න බැහැ. අපිට ඒ ගැන නැවැත සාකච්ඡා කරන්න අවශ්‍යයි. මෙහෙයුම් කටයුතු සඳහා යම් පර්යන්තයක් ලබාදීම වැනි දෙයක් නම් කමක් නැහැ. එහෙත් මෙවැනි වැදගත් ස්ථානයක පාලනය පවරාදීම අපට පිළිගන්න බැහැ. හම්බන්තොට වරාය ගැන මගේ මතය ඒකයි.
අපි චීනය සමඟ වගේම ඉන්දියාවත් සමඟ සමීපව කටයුතු කරන්න ඕනෑ. රාජ්‍ය තාන්ත්‍රික සහ ආර්ථික සබඳතා හැමතැනම තියෙනවා. ඉන්දියාව, චීනය සමඟ ඉතා සමීපව වැඩකරනවා. ඉන්දියාවේ ආයෝජන චීනයේ තිබෙනවා. චීනයේ ආයෝජන ඉන්දියාවේ තිබෙනවා. ඒ වගේම අපටත් ඒ සහාය අවශ්‍යයි. එහෙත් ඒ වෙනුවෙන් අපි ඕනෑම දෙයක් කරන්න ලැහැස්ති නැහැ. ඒ වගේම හමුදා සහ භූ දේශපාලනික තරගයකට සම්බන්ධ වෙන්න අපට අවශ්‍යයත් නැහැ. ඉන්දියාව, සිංගප්පූරුව, ජපානය, ඕස්ටේ්‍රලියාව ආදී ලෝක බලවතුන්ට මම යමක් කියන්න කැමැතියි. ඔබ දන්නවා ඔවුන් චීන මැදිහත්වීමට බයයි. ඒක තමයි ඇත්ත. එහෙත් චීන මැදිහත්වීම වාණිජ එකක්. අපි පුංචි රටක්. අපට ආයෝජන අවශ්‍යයි. ඉන්දියාව සහ අනෙකුත් රටවලට ලංකාවට පැමිණ ආයෝජනය කරන්න යැයි මම ඉල්ලා සිටිනවා. චීනයට විතරක් ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන්න ඉඩ දෙන්න එපා යැයි මම එම රටවලින් ඉල්ලා සිටිනවා. චීනයට විතරක් ඒක කරන්න ඉඩදීලා පස්සේ අවලාද නඟමින් කෙඳිරිගාන්න එපා කියලත් මම ඉල්ලා සිටිනවා. අපට පීඩනය එල්ල නොකර අපිව තේරුම් අරගෙන සංවර්ධනයට එකතු වෙන්න.
ඔබ ඉදිරි සතියේ ඉන්දියාවේ විශේෂ නිල සංචාරයක් සඳහා සහභාගි වෙනවා. එහිදී ඔබ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන ප්‍රධාන මතෘකාවන් මොනවාද?
මම ඉන්දියාවට සහතික වෙනවා අපි මිත්‍ර දේශයක් ලෙස ඔවුන් සමඟ කටයුතු කරන බවට. ඉන්දියාවේ ආරක්‍ෂක ඕනෑ එපාකම්වලට හානි වන කිසිදු දෙයක් අපි සිදුකරන්නේ නැහැ. මම ඉන්දියාවෙන් ඉල්ලා සිටිනවා අපේ රටේ ආයෝජනය කරන්න කියලා. ඒ අතරම ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍ෂේත්‍රය, තාක්‍ෂණ ක්‍ෂේත්‍රය දියුණු කිරීම සඳහා ආධාර, උපකාර කරන්නත් කියලා ඉල්ලා සිටිනවා. වර්තමාන ඉන්දියානු රජය මෙන්ම අගමැති නරේන්ද්‍ර මෝදි යාබද දේශයන් සමඟ හිතවත්කම් පවත්වා ගැනීමට කටයුතු කරන නායකයෙක්.
ඔව්. ඔබගේ පැමිණීම ඉන්දියාව අගය කරනවා. මා හිතන්නේ ඉන්දීය අගමැතිවරයා සමඟ කතා කරන්න බොහෝ කරුණු තිබේවි. මට ඔබගෙන් අහන්න විශේෂ පැනයක් තිබෙනවා. ජනාධිපතිවරණයේදී ඔබට ඡන්දය හිමිවූ ආකාරය ගැන අධ්‍යයනය කළයුතුයි. ඔබත් පැහැදිලිවම මුලදී දමිළ සහ මුස්ලිම් ජාතීන්ට කියා සිටියා ඔබට ඡන්ද දෙන්න කියලා. ඔබ දැන් ජනාධිපති ලෙස පත්වුණා. ඉදිරියේදී සුළුජාතීන් සමඟ ඔබගේ සංහිඳියා වැඩපිළිවෙළ කෙසේ විය හැකිද?
මෙයට හොඳම විසඳුම තමයි සංවර්ධනය. පසුගිය දීර්ඝ කාලයක් පුරාම දමිළ දෙශපාලකයන් මෙන්ම සිංහල දේශපාලකයන්ද තමන්ගේ ජනතාවට බොරු පොරොන්දු දුන්නා. ඔවුන් කතා කළේ ප්‍රායෝගිකව සිදුකරන්න බැරි දේවල්. මේ ක්‍රියාවන් මඟින් ඔවුන් ජනතාව රැවටීමකට පත්කළා. මිනිස්සු මෝඩයන් බවට පත්කළා. අපට ජනතාව වෙනුවෙන් කරන්න පුළුවන් දේ ගැන අපි අවබෝධ කරගන්න ඕනෑ. ජනතාව වෙනුවෙන් ලබාදෙන්නට ඕනෑ ඒ දේයි. සෑම ජාතියකම පුරවැසියකුට ශ්‍රී ලංකාව තුළ හොඳින් ජීවත් වීමේ පරිසරය උදාකර දෙන්නට ඕනෑ. හොඳ ජීවන රටාවක්, අධ්‍යාපනයක්, රැකියාවක් ඒ අයට ලබා දෙන්න ඕනෑ. ගරුත්වයක් ඇතිව ජීවත්වීමේ පරිසරයක් ඔවුන්ට ඇති කරන්න ඕනෑ. මම මගේ පාලනය යටතේ එම වට පිටාව ඇතිකර දෙනවා. දේශපාලනික හේතු පැත්තකින් තියමු. අප මින් පෙරත් එම සුළු ජන කොටස්වලට හොඳින් සලකලා තිබෙනවා. වෙනසක් කරලා නැහැ. ඔවුන් වෙසෙන ප්‍රදේශ සංවර්ධනය කිරීමටත් කටයුතු කරනවා. එම ජාතීන්ටත් සම අයිතිවාසිකම් ලබාදීම මාගේ ප්‍රයත්නයක් වෙනවා. දමිළ හෝ මුස්ලිම් කියා ඔවුන් පැත්තකට දැමීම මාගේ ක්‍රියාවලියක් නෙවෙයි. සෑම ජාතිකයකුම ශ්‍රී ලාංකිකයකු ලෙස සැලකීම මගේ ප්‍රතිපත්තියයි.
මෙය ඔබගෙන් විශේෂයෙන් ඇසිය යුතු පැනයක් වනවා. ඔබ බලයට පත්වීමෙන් පසුව රටේ මුස්ලිම් ජනතාව දැඩි බියකට පත්ව තිබෙනවා. ඔබ ජාතිවාදී නායකයකු ලෙසටයි සමහර පාර්ශ්වයන් සලකන්නේ. මුස්ලිම්වරුන්ගේ විශ්වාසය යළි තහවුරු කරන්නට ඔබ කරන්නේ කුමක්ද?
මෙය සම්පූර්ණයෙන්ම වැරැදි මතයක්. මම මුලින් කිව්වා වගේම මම ජාතිවාදියෙක් හෝ ඒකාධිපතියෙක් හෝ නෙවෙයි. මා කෙරෙහි ඉතාම වැරැදි හඳුනාගැනීමක් තමයි මෙයින් ප්‍රකාශ වන්නේ. විපක්‍ෂයේ පාර්ශ්වයන් තමයි මට එරෙහිව මේ චෝදනා ගෙන එන්නේ. දමිළ සහ මුස්ලිම් ජනතාවට මා කියන්නේ එන්න මා සමඟ එකට කටයුතු කරන්න. මම මේ කිසිදු ජාතියකට වෙනස්කමක් සිදුකරන කෙනෙක් නෙවෙයි. එම ජාතීන් සියල්ලන්ගේම විශ්වාසය මම තහවුරු කර සිටිනවා. ඒ අතරම මම මාධ්‍යයෙන් විශේෂයෙන් ඉල්ලා සිටිනවා අසත්‍ය ප්‍රචාරයන් මත තමන්ගේ මාධ්‍ය කටයුතු සිදුකිරීමෙන් වැළකී සිටින්නටත් කියලා.
යුද්ධයේ අවසාන සමයේදී ඔබටත්, ඔබගේ නිලධාරීන්ටත් මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ චෝදනා එල්ල වුණා. අද ඔබට ඒ ගැන කියන්නට ඇත්තේ කුමක්ද?
යුද්ධය කියන්නේ ප්‍රසන්න, සුබවාදී කාර්යයක් නොවෙයි. ලෝකයේ රටවල් ගණනාවක යුද්ධයන් පවතිනවා. මේවා අභ්‍යන්තරව හෝ පිටස්තරව ගොස් සිදුකරන යුද්ධයන් විය හැකියි. මොන වර්ගයේ යුද්ධයක් වුණත් එය ප්‍රසන්න එකක් නෙවෙයි. එහිදී යුද්ධයේ සෑම පියවරක්ම සුමුදු ලෙස සිදුකෙරෙන්නේ නැහැ. අපේ රට කුඩා දුප්පත් රටක්. ඒ නිසා යම් දෙයක් ගැන ඕනෑවට වඩා උලුප්පවා පෙන්වන්නට යමෙකුට හැකියාව තිබෙනවා. එහෙම කරනවානම් ඒක ඉතාමත් අසාධාරණයක්. මේවා බොහොමයක් පදනම් විරහිත චෝදනා. අපව හැම විටම විවේචනය කරමින් ඉන්නවාට වඩා මම දමිළ ඩයස්පෝරාවට ආරාධනය කරනවා අපිත් සමඟ එක්ව කටයුතු කරන්න කියලා. සුළු ජාතීන් අතරේ මිථ්‍යා ප්‍රචාර පතුරවන්න එපා කියලා මම ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිනවා. ශ්‍රී ලංකාවේ ඉපදුණු සියල්ලන්ම ශ්‍රී ලාංකිකයන් විතරයි. භේදයක් අවශ්‍ය නැහැ. ඒ අය සියල්ලන්ටම සම අයිතිවාසිකම් තිබෙනවා. මම ඉතා අවධාරණයෙන් කියන්නේ රට ගොඩනඟන්න මේ සියලුම ජනතාවට මා සමඟ එක්වන්න කියලා.
ශ්‍රී ලංකාවේ නව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප්‍රථම මාධ්‍ය සාකච්ඡාව මෙසේ ඉන්දියානු මාධ්‍ය සමඟ සිදුකළ අතර, ඔහුගේ ප්‍රථම විදෙස් නිල සංචාරයද සිදුකළේ ඉන්දියාවටය.
පරිවර්තනය ප්‍රියන්ත හෙට්ටිගේ