වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා බලයට පත්වීමත් සමඟ මහජනයාට දැනෙන ක්‍රියාමාර්ග දෙකක් ගත්තේ පසුගිය සතියේදීය. එනම් පසුගිය 2015 ආණ්ඩු පෙරළියත් සමඟ පරිසර දූෂණය ඇති කරමින් යළිත් වල්වැදුණු පරිසරය ජනතා ඇසට ප්‍රියමනාප තැනක් බවට පත්කිරීමේ පළමු වෙඩි මුරය තැබීමට ජනාධිපතිවරයා සමත් විය. මහින්ද රාජපක්‍ෂ මහතාගේ ආරක්‍ෂක ලේකම් සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් සිටි ගෝඨාභය රාජපක්‍ෂ මහතා එවකට පරිසරය අලංකාර කරමින් කොළඹ ඇවිදින මංතීරු සකස් කළේය.
කොළඹ නගරය ඉතාම ඉක්මනින් පිරිසුදු නගරයක් බවට පත්කරමින් බේරේ වැව අවට ප්‍රදේශය මෙන්ම කොළඹ පැල්පත්වාසීන් තට්ටු නිවාසවලට යැවීමේ සංකල්පයද ගෙන ආවේද ගෝඨාභයය.
එදා කුණු කඳු ගොඩගැසුණු කතාද අසන්නට නොලැබිණි. පරිසරය අලංකාර කිරීමේ මෙහෙයුමට හමුදාවද සම්බන්ධ කරගනිමින් මහමඟ බුලත් කෙළ පහරක් නොගසන තැනට, කොළ කැබැල්ලක් බිම නොදමන තැනට රට ලස්සන කිරීමට අත්පොත් තැබුවේද ගෝඨාභයය.
එදා එනම් 2010 වසරේදී ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව යටතේ දිවයිනේ පිහිටි පොලිස් ස්ථාන 500කට වෙනම පරිසර පොලිස් ඒකක පිහිටුවීමේ සංකල්පය හඳුන්වා දෙමින් පරිසරයට හානිකරන පුද්ගලයන් නීතිය හමුවට ගෙනයා හැකි අන්දමට ඒ ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කිරීමට ගෝඨාභය පියවර ගෙන තිබිණි.
2015 එවකට පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන රජය බිඳවැටීමත් සමඟ පත්වූ රජය යටතේ පරිසර පෙලිස් ඒකක පරිසර කමිටු අක්‍රිය වීමෙන් පරිසර දූෂණයද යළි හිස ඔසවන්නට විය. මහමඟ කුණු පාර්සල් දින ගණනක් කුණු වන ස්වභාවයක් දැකගන්නට ලැබිණි. නගර යළි දුගඳින් පිරී යනු දැකගන්නට ලැබිණි.
එහෙත් එම යුගයට යළි තිත තබමින් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා මුලින්ම අතගැසුවේ යළි පරිසරය සුද්ද කරන්නටය. ඒ මහතාගේ නියෝගය මුලින්ම ගියේ පරිසර පොලිස් පිහිටුවා ඇති පොලිස් දෙපාර්තමේන්තුව දෙසටය. ඒ නියෝගය ඔහු ලබාදී තිබුණේ පැයකට දෙකකට නොව පැය 24 තුළම ක්‍රියාත්මක විය යුතු මෙහෙයුමකටය. එම පරිසර මෙහෙයුම සම්බන්ධයෙන් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා දැක්වූයේ මෙවන් අදහසකි.
“ශ්‍රී ලංකා පොලිසියේ පාරිසරික දිසාව නැවැත ප්‍රතිසංවිධානය කිරීම ආරම්භ වුණා. පාරිසරික දිසාව භාර නියොජ්‍ය පොලිස්පතිවරයකු යටතේ පාරිසරික කොට්ඨාස භාර අධ්‍යක්‍ෂවරයකු යටතේත් එය ක්‍රියාත්මක වෙනවා. සෑම පොලිස් ස්ථානයකම තිබෙන පාරිසරික ඒකකද ප්‍රතිසංවිධානය කිරීම ආරම්භ කළා. ඒ අනුව පොලිස් ස්ථානයන්හි ස්ථාපිත පාරිසරික ඒකක අධීක්‍ෂණය කිරීමට සහකාර පොලිස් අධිකාරීවරුන් සිවු දෙනකු පත්කිරීමට පියවර ගෙන තියෙනවා. පසුගිය 22 වැනි දින මෙම ක්‍රියාවලිය එනම් පරිසර ආරක්‍ෂණ ක්‍රියාවලිය මූලිකව ආරම්භ කළා. දැනට කොළඹ නගරයේ පවිත්‍රතා කොන්ත්‍රාත්තුව සිදුකරන පෞද්ගලික ආයතන දෙකෙහි සියලුම කළමනාකරුවන් පාරිසරික කොට්ඨාසය වෙත කැඳවූවා. ඔවුන්ට උපදෙස් දුන්නේ දිනපතා අලුයම 5.30 වන විට පවිත්‍රතා කටයුතු ආරම්භ කළ යුතු බවයි. ඉන් අනතුරුව පැය 24 පුරාම සේවකයන් යොදවා එම තත්ත්වය පවත්වාගෙන යායුතු බවට උපදෙස් දී තිබෙනවා.
මීට අමතරව පොලිස් ස්ථාන පරිසර ඒකකයන්හි නිලධාරීන් සෑම මාර්ගයකම යොදවමින් (කොළඹ මෙන්ම දිවයිනේ අනෙකුත් ප්‍රදේශයන්හි) පරිසරයට හානිවන ස්ථාන සහ ක්‍රියාවන් නිරීක්‍ෂණය කරනවා. තවද එහිදී එම නිලධාරීන් පරිසරය සුරැකීමට අදාළව මහජනයාට අවශ්‍ය උපදෙස් ලබාදෙන අතරම පරිසර ආරක්‍ෂණය සඳහා වැදගත්වන අනෙකුත් ආයතන (පළාත් පාලන ආයතන වැනි) සම්බන්ධීකරණය කිරීමද සිදුකරනු ලබනවා. විශේෂයෙන් රටපුරා තැනින් තැන අලවා ඇති පෝස්ටර්, බැනර් සියල්ල ඉවත්කර පරිසරය ලස්සන කිරීමද පොලිස් මෙහෙයුමේ තවත් පියවරකි. පරිසර ආරක්‍ෂාව වෙනුවෙන් ක්‍රියාත්මක කළ හැකි නීතිමය ප්‍රතිපාදන රැසක්ද ඇති බව පොලිසිය මෙහිදී පෙන්වා දුන්නේය.
පරිසර පනත් මෙන්න
දණ්ඩනීති සංග්‍රහය, ජාතික මංමාවත් පනත, පොලිස් ආඥා පනත, ජාතික පාරිසරික පනත, ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ පනත, ගොවිජන සංවර්ධන පනත, මහනගර සභා ආඥාපනත, වෙරළ සංරක්‍ෂණ පනත යන පනත් යටතේ පවතින නීති-රීති අනු පරිසර නීතිරීති කඩකරන පුද්ගලයන්ට විරුද්ධව ක්‍රියා කළ හැකි වන නමුදු, පළමුව මෙම පනත් සම්බන්ධයෙන් මහජනයා දැනුවත් කර දෙවනුව නීතිය තදින් ක්‍රියාත්මක කරන බවයි පොලිසිය පැවැසුවේ. මූලිකව බලාපොරොත්තු වන්නේ බලධාරී ආයතන සම්බන්ධීකරණය කරගනිමින් මහජනතාවට අවශ්‍ය උපදෙස් ලබාදෙමින් සාමූහිකව පරිසරය සුරක්‍ෂා කිරීම සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.
පැය විසිහතර පුරා ක්‍රියාත්මක වන මෙම වැඩපිළිවෙළ අනුව ඉකුත් 24 දින බස්නාහිර පළාතේ සෑම පොලිස් ස්ථානයකම පරිසර ඒකකවල ස්ථානාධිපතිවරුන් කොළඹට කැඳවා ඉදිරි කාලය තුළදී පාරිසරික ආරක්‍ෂාව පිළිබඳව ගතයුතු ක්‍රියාමාර්ග ගැන උපදෙස් ලබාදීමක්ද සිදුකර තිබේ. එහිදී පාරිසරික නිලධාරීන් නිල ඇඳුමට පැලැඳිය යුතු ජැකැට්ටු බෙදා දීමක්ද සිදුව තිබිණි.
පොලිස් පරිසර ආරක්‍ෂණ අංශයේ නියෝජ්‍ය පොලිස්පති එස්. ජේ. පෙරේරා මහතා පවසන්නේ දිවයින පුරා මංමාවත් පරිසර දූෂණයෙන් තොරව පවත්වාගෙන යෑම පිළිබඳවත් ඒ හා සම්බන්ධ නීති කඩකරන පුද්ගලයන්ට විරුද්ධව පනවා ඇති නීතිරීති ඉදිරියේදී ක්‍රියාත්මක කරන බවයි. 1866 එනම් දැනට අවුරුදු 153කට පෙර පැවැති සුදු අධිරාජ්‍යවාදීන්ගේ පාලන සමයේ පැවැති පොලිස් අක්‍රමිකතා යටතේ පවා මහාමාර්ගවලට කසළ බැහැර කිරීම හෝ මාර්ගයක් ආසන්නයේ සතකු මරා දැමීම නීති විරෝධී කරමින් පරිසර නීති ක්‍රියාත්මක කර තිබූ බව හෙතෙම පෙන්වා දුන්නේය.
ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ දෙවැනි ඇස කඩිනමින් යොමුවුණේ පිටස්තර ප්‍රදේශවල සිට කොළඹ කාර්යාලවලට රාජකාරි සඳහා පැමිණෙන රාජ්‍ය හා පෞද්ගලික සේවකයන් වෙතයි. පොදු ප්‍රවාහන සේවාවන්වල මෙන්ම තමන්ගේම පෞද්ගලික වාහනවල නගරයට පැමිණෙන රාජ්‍ය – පෞද්ගලික සේවකයන් මාර්ගවල පවතින වාහන තදබදය නිසා වාහන තුළ පැය ගණනක් දුක්විඳින ආකාරය ජනාධිපතිවරයා අත්දැක ඇත්තේද ඔහු එම මහාමාර්ගවල ගමන් කරමින් ලබාගත් අත්දැකීම් අනුවය. කොළඹ රෝහල් කරා පැමිණෙන රෝගීන්ටද පොදු ප්‍රවාහන සේවාවන්හි පවතින වාහන තදබදය නිසා ඇති වී තිබෙන දුක්ගැහැට ගැන අවධානය යොමු කළ ජනාධිපතිවරයා පසුගිය සතියේත් රටපුරා වාහ තදබදය සම්පූර්ණයෙන්ම ප්‍රධාන නගරවලින් ඉවත් කිරීමේ මෙහෙයුමද පොලිසියට භාර දීමට කටයුතු කළේය. ඒ අනුව පොලිසිය කොළඹ වාහන තදබදය ඉවත් කිරීමේ මෙහෙයුම් ආරම්භ කළේ කොටස් දෙකකට බෙදාගෙනය. උදේ 6.00 සිට සවස 2.00 දක්වා රථවාහන පොලිසිවල පොලිස් කණ්ඩායම් රථවාහන ගමනාගමනය කඩිනම් කිරීමට පියවර ගෙන තිබූ අතර, තවත් පොලිස් කණ්ඩායමක් දහවල් 12.00 සිට සවස 2.00 දක්වා පාසල් ළමයින්ගේ ප්‍රවාහනය කඩිනමින් කොළඹින් සහ පිටස්තර නගරවලින් පිටමංකර යැවීමේ මෙහෙයුමක්ද ආරම්භ කර තිබිණි. තවත් කණ්ඩායමක් සවස 2.00 සිට රාත්‍රි 10.00 දක්වා කාලය තුළදී පාරට බැස ඇත්තේ ජනාධිපති නියමයෙන් සිදුකෙරෙන රථවාහන පාලනයටය. දිවයින පුරා පිහිටි රථවාහන පොලිසි භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා එම රථවාහන මෙහෙයුම් සිදුකරන අන්දම ගැන කොළඹ සිට අධීක්‍ෂණය කරමින් උපදෙස් දෙමින් සිටී. රථවාහන තදබදය වැළැක්වීම සඳහා පසුගිය සතියේ සිට ක්‍රියාත්මක කර ඇති පොලිස් මෙහෙයුම සම්බන්ධයෙන් “මව්රට”ට අදහස් දැක්වූ රථවාහන පොලිසි භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා දැක්වූයේ මෙවන් අදහසකි.
“අපේ රථවාහන පොලිසි මෙම මෙහෙයුම ක්‍රියාත්මක කරන්නේ වාහන තදබදය පවතින වේලාවල් අධීක්‍ෂණය කරමිනුයි. පසුගිය 24දා සිට රට පුරා ක්‍රියාත්මක කර ඇති මෙම මෙහෙයුම සාර්ථක අන්දමින් සිදු කෙරෙනවා. මෙම මෙහෙයුමේදී රිය අනතුරු අවම කිරීමද වැදගත්. ඒ නිසා රථවාහන පොලිස් ඒකකවල නිලධාරීන් වගේම ප්‍රජා පොලිස් කොට්ඨාසයේ නිලධාරීන් රථවාහන අංශයේ නිලධාරීන්ද සමඟ එක්වෙලයි මේ මෙහෙයුම ක්‍රියාත්මක කර තියෙන්නෙ. පළමුවෙන්ම අපේ රථවාහන පොලිසිවල නිලධාරීන් ත්‍රිරෝද රථ රියැදුරන්, යතුරුපැදිකරුවන්, පාපැදිකරුවන් සහ පදිකයන් සිදුකෙරෙන වැරැද හඳුනාගෙන ඒ අයව දැනුවත් කිරීම් සිදුකරනවා. අපි ලබන ජනවාරි මාසය දක්වා දැනුවත් කිරීම් සිදුකර ඊට පසුව නීති කඩකරන පුද්ගලයන්ට නීතිමඟින් දැඩිව කටයුතු කරනවා. වැඩි වශයෙන් රිය අනතුරුවලට ලක්වන්නේ එම පාර්ශ්වයන් බැවින් මෙලෙස එම පාර්ශ්වයන් ඉලක්ක කරගෙන මෙම වැඩමුළු දිවයින පුරාම පැවැත්වෙනවා.
මාර්ග නීති ආරක්‍ෂා කිරීමේ වැදගත්කම, නිසි පරිදි මාර්ගය භාවිත කළ යුතු ආකාරය සහ විශේෂයෙන්ම පදිකයන් මාර්ගයේ ගමන් කිරීමේදී සහ මාර්ගය මාරු වන විට අනතුරුවලට ලක්වන ප්‍රමාණයන් අවමකර ගැනීම සඳහා නිසි උපදෙස් දීමද මේ දිනවල සිදුකරගෙන යනවා. එමඟින් සුරක්‍ෂිත රටක් බිහිකිරීම සඳහා සහාය වන ලෙසයි මහජනතාවගෙන් රථවාහන පොලිසිය ඉල්ලා සිටින්නේ.
කොළඹ රථවාහන මූලස්ථානයේ සියලුම රථවාහන පොලිසි භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික හපුගොඩ මහතා දැක්වූයේ මෙවන් අදහසකි.
“දිනකට පිටපළාත්වල සිට කොළඹට රථවාහන ලක්‍ෂ තුනක් පමණ ඇතුළු වෙනවා. එමඟින් සිදුවන රථවාහන තදබදය නිසා සිදුවන මාර්ග අවහිරය නැති කිරීමට පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාගේ නියෝග මත දැනටත් පියවර අරගෙනයි තියෙන්නේ. කොළඹ වර්ණ සංඥා අසල මාර්ගවල වාහන තදබදයක් ඇති වුණහොත් වර්ණ සංඥා ක්‍රියාවිරහිත කොට වාහන තදබදය ඉවත් කරනවා. ඒ මෙහෙයුම දැනටමත් ක්‍රියාත්මක කරන්න රථවාහන පොලීසිවල පොලිස් නිලධාරීන් 8,000කට අධික සංඛ්‍යාවක් දිවයින පුරා යොදවා තිබෙනවා. එහෙම යොදවා ඇති නිලධාරී සංඛ්‍යාවකගේ අඩුවක් වේ නම් ඒ සඳහා පොලිසිවල සිටින පැමිණිලි අංශ වැනි වෙනත් අංශවල නිලධාරීන්ද රථවාහන තදබදය පවතින අවස්ථාවල මහමඟ රාජකාරියේ යෙදවීමට සැලසුම් කර තියෙනවා. රථවාහන තදබදයක් පවතින වේලාවන් රථවාහන පොලිසිය විසින් සිදුකරන ලද සමීක්‍ෂණයකදී හෙළිකරගෙන තිබෙනවා. කොහොම නමුත් උදේ 6.00 සිට සවස 2.00 දක්වාත්, සවස 2.00 සිට රාත්‍රි 10.00 දක්වා කොළඹ ඇතුළු ප්‍රධාන නගරවල පොලිස් නිලධාරීන් වැඩි පිරිසක් යොදවා රථවාහන පාලනය කරන්නේ මහජනතාවට සිදුවන අපහසුතා මඟහැරවීමටයි. ඒ දේ කරන්න කියල තමයි අපිට උපදෙස් ලැබී තියෙන්නේ. රථවාහන පාලනයට යොදා ඇති වර්ණ සංඥා පුවරු අසලදීත් වාහන තදබදයක් ඇති වුවහොත් විකල්ප මාර්ග ඔස්සේ ඔවුන්ව යායුතු ස්ථානවලට වාහන හරවා යැවීමේ වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක කරනවා. නමුත් වැඩි වශයෙන් සිදුකරන්නේ එවැනි අවස්ථාවලදී මාර්ගයේ ඇති වර්ණ සංඥා ක්‍රියාවිරහිත කොට වාහන ඉදිරියට ඇදී යෑම වේගවත් කිරීමයි. කොළඹ ඇතුළු ප්‍රධාන නගරවලත්, දහවල් පාසල් ඇරෙන වේලාවල්හිදීද විශේෂ රථවාහන මෙහෙයුමක් ක්‍රියාත්මක වෙනවා.”
මහජනයාට කෙළින්ම බලපා ඇති ප්‍රධාන ප්‍රශ්න දෙකකට අතතබා ඒවාට කඩිනම් විසඳුම් ලබාදීමට ජනාධිපතිවරයා ගෙන ඇති මෙම කඩිනම් ක්‍රියාමාර්ගවලින් පසු තවත් මහජන හිතසුව පිණිස ඇරැඹෙන ක්‍රියාදාමයන් කිහිපයක් ඉදිරි දිනවලදී ප්‍රකාශයට පත්කරනු ඇති බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.
ප්‍රේමලාල් විජේරත්න