අපි කියපු කතාව හරියටම හරි
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දක්ෂ විමර්ශන නිලධාරීන් 19 දෙනෙකුට හදිසියේම ලබාදුන් ස්ථාන මාරුවීම කැබිනට් සංශෝධනයක් දක්වා උඩු දුවන බව මෙම තීරුවෙන් ඉකුත් සතියේදී හෙළිකළාක් මෙන් මේ වන විට එම සංශෝධනය සිදුව හමාරය. ඒ මහජන ආරක්ෂක අමාත්‍යාංශය නමින් නව අමාත්‍යාංශයක් ස්ථාපිත කරමින් එම අමාත්‍යාංශයේ විෂය පථයට පොලීසිය ඇතුළත් කර එම අමාත්‍යාංශය අද්මිරාල් සරත් වීරසේකරට පවරමිනි. මෙයට පෙර පොලීසිය පැවැතියේ චමල් රාජපක්ෂ අමාත්‍යවරයා යටතේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 19 දෙනාගේ ස්ථාන මාරුවීම සිදුව ඇත්තේ ඔහුගේ අනුදැනුමකින් තොරවය. ඒ ගැන කලකිරීමකට ලක්වන ඇමතිවරයා නැවතත් මෙවැනි දේවල් සිදුනොවන්නට කළ යෝජනාවකට අනුව පොලීසිය වෙනම අමාත්‍යාංශයක් යටතට පත්කරමින් ඊට වෙනම ලේකම්වරයෙක් පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පියවර ගත් බව සඳහන්ය. ඒ අනුව නව අමත්‍යාංශයේ ලේකම් වන්නේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ආරක්ෂක ලේකම් ලෙස ගෝඨාභය රාජපක්ෂ කටයුතු කරමින් සිටියදී එම අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙක් ලෙස කටයුතු කළ හෙට්ටිආරච්චි මහතාය. යහපාලන ආණ්ඩුව පැවැති සමයේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ධුරයද හොබවන ලද්දේ ඔහුය.
නව අමත්‍යාංශයේ ලේකම් හෙට්ටිආරච්චි පත්කිරීමට පෙර යෝජනා වන්නේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම්. වික්‍රමරත්නගේ නමය. ජනාධිපති කාර්යාලයේ ඔම්බුස්මන්වරයා ලෙස මේ වන විට සේවයේ නිරතව සිටින එස්.එම්. වික්‍රමසිංහ මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරය දරමින් සිටියදී ඔහුගේ ආරක්ෂක අංශයභාරව සිටි පොලිස් ප්‍රධානියා විය. එසේම ආණ්ඩු පෙරළියෙන් පසු යහපාලන ආණ්ඩුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ආරක්ෂක අංශභාර පොලිස් ප්‍රධානියා වූයේද ඔහුය. එසේ ජනාධිපතිවරුන් දෙදෙනෙකුගේ ආරක්ෂාව භාර පොලිස් ප්‍රධානියා ලෙස මෙයට පෙර කිසිදු නිලධාරියෙක් සේවය කර නැත. ඒ අවස්ථාව ඔහුට හිමිවන්නේ එම ජනාධිපතිවරුන් දෙදෙනාටම ඔහු යම් හිතෛෂිකමක් පැවැති නිසා වන්නට පුළුවනි. නැති නම් එම ජනාධිපතිවරුන් දෙදෙනාටම ඔහු විශ්වාසවන්තයන් වූ නිසා යැයි කියා අනුමාන කරන්නටද පුළුවනි.
ශ්‍රී ලංකා පොලීසියේ 34 වැනි පොලිස්පතිවරයා ලෙස පූජිත් ජයසුන්දර පත්වන විට පූජිත්ට වඩා ජේ්‍යෂ්ඨත්වයෙන් ඉහළින්ම සිටියේ එස්.එම්. වික්‍රමසිංහය. ඒ තැන ඔහුට හිමි නොවන්නේ එවකට සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට පොලිස්පතිවරයා තෝරන ව්‍යාවස්ථා සභාවට පොලිස්පති ධුරයට නම් තුනක් යොමු කරමින් ඒ තිදෙනොගෙන් එක් අයෙක් නම් කරන්නට යැයි දැනුම් දීම නිසාය. එස්.එම්.ට පොලිස්පතිධුරය ලබාදීමට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට අවශ්‍යතාවක් තිබුණේ නම් නිලධාරීන් තිදෙනෙකුගේ නම් ව්‍යවස්ථා සභාවට යොමුකරන්නට අවශ්‍යතාවක් නොවීය.
පූජිත් ආ හැටි
එදා පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළින්ම සිටි එස්.එම්. වික්‍රමසිංහගේ නාමයද සමග ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පොලිස්පතිවරයෙක් තෝරාගැනීමට ඉදිරිපත් කරන සෙසු නාමයන් වන්නේ පූජිත් ජයසුන්දර සහ සී.ඩී. වික්‍රමරත්නය. මේ තිදෙනාගෙන් මාධ්‍ය ඔස්සේ ජනප්‍රිය චරිතයක් බවට පත්ව සිටියේ පූජිත් ජයසුන්දරය. එස්.එම් සහ සී.ඩී. කියන්නේ කවුරුන්දැයි කියාවත් ජනතාව දැන සිටියේ නැත. පූජිත් ජනප්‍රිය චරිතයක් වූවද ඔහුට වඩා පොලිසියේ වැඩවලදී එස්.එම්. සහ සී.ඩී. ඉදිරියෙන්ම සිටි බව පොලීසිය ඇතුළේ කොයි කවුරුත් දැන සිටියේය. ජනප්‍රියත්වය නිසාම පූජිත්ට පොලිස්පති ධුරය හිමිවන විට වැඩි කල් යන්නට මත්තෙන් පූජිත් ඇනගන්නවා යැයි පොලීසියේ කොයි කවුරුත් දැන සිටියේය. ඒ වගේම ඔහු පොලිස්පති පුටුවට පත්වූ මොහොතේ සිට ඇනගත්තේය. එස්.එම්.ගේ වටිනාකම මෛත්‍රීපාල සිරිසේනට වැටහෙන්නේද එවිටය. ඒ වන විට මෛත්‍රීපාල ජනාධිපතිවරයා ප්‍රමාදය. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිවරයාට පැවැති බලතල කප්පාදු වී තිබීමත් ජනාධිපති සහ අගමැතිවරයා අතර පැවැති විරසකයත් පූජිත්ට වාසි ගෙන දුන්නේය. ඒ නිසාම ජනාධිපතිවරයාට පූජිත්ව පොලිස්පති පුටුවෙන් හොලවන්නට පවා විදිහක් නැති විය. එදා ජනාධිපතිවරයාට පූජිත්ව පොලීසියෙන් එලවන්නට බලයක් තිබුණේ නම් එස්.එම්. වික්‍රමසිංහ පොලිස් සේවයෙන් විශ්‍රාම යන්නේ දවසකට හෝ පොලිස්පති පුටුවේ අසුන් ගෙනය. පාස්කු ප්‍රහාරයෙන් පසු වගකීම් භාරගනිමින් පූජිත්ට පොලිස්පති ධුරයන් ඉල්ලා අස්වන්නට යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බලකරද්දී පවා පූජිත් එම අණට කීකරු නොවුණේ පැවැති දේශපාලන වියවුල් භාවය දැන සිටින නිසාය. කෙසේ වෙතත් අවසානයේදී පූජිත්ව අනිවාර්ය නිවාඩු යැවීමත් සමග පොලිස්පති ධුරයේ වැඩ බලන්නට මෛත්‍රීපාල ජනාධිපතිවරයා විසින් පත්කරන්නට සූදානම් වන්නේ එස්.එම්.වය. ඊට 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මෛත්‍රීට හරහට හිටියේය. ඒ 19 වැනි සංශෝධනය හරහා වයස අවුරුදු 60 පැන්න කිසිදු නිලධාරියෙකුට පොලිස්පති ධුරය හොබවන්නට කිසිදු ඉඩක් නොමැති බැවිනි. ඒ 2019 අප්‍රේල් 21 වෙනිදා පාස්කු ප්‍රහාරය එල්ලවන විට එස්.එම්.ගේ වයස හරියටම අවුරුදු 60 පැන තිබුණු බැවිනි. එදා නියමිත ජ්‍යෙෂ්ඨත්වයට අනුව එස්.එම්.ට පොලිස්පති ධුරය ලැබී තිබුණි නම් ඔහු පොලිස්පතිවරයෙක් ලෙස පොලිස් සේවයෙන් පාස්කු ප්‍රහාරයට පෙර දින අනිවාර්යෙන්ම විශ්‍රාම යා යුත්තේය. එසේ නම් 21 වෙනිදා පොලිස්පතිධුරයේ වැඩ භාර ගන්නට තිබුණේ පූජිත්ය. එදා ඔහු වැඩ භාරගන්නා අවස්ථාවේදී පාස්කු ප්‍රහාරය එල්ලවූයේ නම් පූජිත් එම වගකීමෙන් නිදහස්ය.
එදා එස්.එම්.ගේ වයස අවුරුදු 60 සම්පූර්ණ වූවත් පොලිස්පතිවරයෙක් නොවූ බැවින් තවදුරටත් ඔහුගේ සේවය පොලීසියට ලබාගැනීමට හැකියාව පැවැති බැවින් සේවා දිගුවක් ලබාදෙමින් ඔහුගේ සේවය තවත් මාස කිහිපයක්ම ලබා ගත්තේය. ඒ කාලය තුළ එස්.එම්.ට සිදුවන්නේ සී.ඩී. යටතේ සේවය කරන්නටය. ඒ වැඩ බලන පොලිස්පතිවරයා ලෙස සී.ඩී. කටයුතු කිරීම හේතුවෙනි.
එස්.එම්.ට වූ දේ
වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ආරක්ෂක අමාත්‍යාංශය ඔහු යටතේ තබා ගැනීමට ඇවැසි වූවත් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ඊට නීතිමය අවකාශයක් නොවීය. එබැවින් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය නිල වශයෙන් පැවැතියේ චමල් රාජපක්ෂ ඇමතිවරයා යටතේය. පොලිස් දෙපාර්තමේන්තුවද පැවැතියේ ආරක්ෂක අමාත්‍යාංශයේ විෂය පථයේය. ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කමල් ගුණරත්න පත්වන විට ඔහු යටතේ පොලීසිය විෂය භාර අතිරේක ලේකම්වරයා ලෙස පත් කිරීමට සැලසුම් වන්නේ එස්.එම්.වය. එහෙත් ඊට පොලීසිය ඇතුළෙන්ම යම් කණ්ඩායමක් විරෝධ පෑවේය. එස්.එම්. වික්‍රමරත්න පොලීසිය විෂයභාර අතිරේක ලේකම් ලෙස පත්කරමින් ආරක්ෂක අමාත්‍යාංශය විසින් සකස් කළ ලියැවිල්ලට ඒ නිසාම චමල් රාජපක්ෂ ඇමතිවරයාගේ අත්සන නොමැති විය. ඒ නිසා එස්.එම්.ට පොලීසිය භාර අතිරේක ලේකම් ධුරයද අහිමි විය. මෙවරත් එස්.එම්.ට සිදුවන්නේ ඒ දේමය. අලුත් අමාත්‍යාංශයේ ලේකම් ලෙස ඔහුව පත් කිරීමට සැලසුම් කෙරන විට ඊට එරෙහිව දැවැන්ත විරෝධයක් පොලීසිය පැත්තෙන් ගොඩ නැගෙන්නට ගත්තේය. ඒ පොලිස්පතිවරු දෙදෙනෙක් පොලිස් දෙපාර්තමේන්තුවට අනවශ්‍ය බවට වූ සටන් පාඨය ඉදිරියට දමාය. එම සටන අප්‍රසිද්ධියේ ගෙන ගිය එකකි. එම සටනේ බලවත්කම නිසාම එස්.එම්ට. එම අවස්ථාවද අහිමිව ගියේය.
එම විරෝධය ගොඩනැගූවන් සඳහන් කරන ආකාරයට අනුව දැන් ශ්‍රී ලංකා පොලීසියේ සිටින්නේ එක් පොලිස්පතිවරයෙක් පමණි. ඒ සී.ඩී. පමණි. සී.ඩී. පොලිස්පති ධුරයට තරග කරන්නට ගිය නිලධාරියෙක් නොවේ. එහෙත් ඔහුව කපාගෙන ඔහුට වඩා ජේ්‍යෂ්ඨත්වයෙන් පහළින් සිටින ඇතැමුන් පොලිස්පතිවන්නට නම් නොකළ සටනක් නොමැති බව පොලීසියේ මේ වන විට ප්‍රසිද්ධ රහසකි. සී.ඩී.ව කපාගෙන පොලිස්පතිවන්නට දැගලූ ඒ අය අතර මිතුරු වෙසින් සී.ඩී. ට කිට්ටුවී සිටියවුන්ද නැතුවාම නොවේ.
ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ දීර්ඝ කාලයක්ම වැඩ බලන පොලිස්පතිවරයා ලෙස සේවයේ නිරත වූයේ සී.ඩී.ය. පාස්කු ප්‍රහාරයෙන් පසු පූජිත් ජයසුන්දර පොලිස්පතිවරයාව අනිවාර්ය නිවාඩු ගැන්වීමෙන් අනතුරුව ඉකුත් සතිය වන තුරුම ශ්‍රී ලංකා පොලීසියේ වැඩ බැලුවේ සී.ඩී.ය. ආණ්ඩුවේ මැති ඇමතිවරු පසුගිය කාලයේ කළ කී දෑවලට අනුව මෙතරම් කාලයක් සී.ඩී.ට වැඩ බලන්නට සිදුවන්නේ 19 වන අණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ තිබුණු දෝෂ සහගත තත්වයන් නිසාය. ඒ අනිවාර්ය නිවාඩු යැවූ පූජිත් වෙනුවට අලුත් පොලිස්පතිවරයෙක් පත්කරන්නට 19 යෙන් බලයක් නොමැති වූ බැවිනි. එහෙත් 19න් පොලිස්පතිවරයෙක් විශ්‍රාම යන වයසක් නිශ්චිතවම සඳහන්ව තිබුණි. ඒ අනුව පූජිත්ගේ වයස අවුරුදු 60 සම්පූර්ණ වූයේ ඉකුත් මාර්තු මස 14 වෙනිදාය. මාර්තු 15 වෙනිදා සිට නව පොලිස්පතිවරයෙක් පත් කිරීමට හැකියාවත් තිබුණද ඉකුත් සති අන්තය වන තුරුම සී.ඩී.ට වසරකුත් මාස 07ක පමණ කාලයක් පොලිස්පති ධුරයේ වැඩ බලන්නට සිදුවූයේ එම තනතුර ඩැහැ ගැනීමට මාන බලමින් සිටියවුන් කකුලෙන් අදින්නට වූ බැවිනි. ඒ කවුරුන්දැයි පොලිස් නිලධාරීන් අතර නම් රහසක් නොවන බව පැහැදිලිය.
සී.ඩී.ට එරෙහිව ගහපු ගේම්
කොවිඞ් 19 වෛරසයේ දෙවැනි ව්‍යාප්තියේදී පොලීසියේ නිලධාරීන් අතර කොවිඞ් 19 වෛරසය ව්‍යාප්ත වෙමින් පවතින විට පොලිස් පොකුරක් නිර්මාණය වන්නට ඉඩ හැර ඒ තුළින් බලධාරීන්ගේ දෝෂදර්ශනයට සී.ඩී.ව ලක්කර පොලිස්පති ධුරය ඔහුට ලැබීම වළකන්නට පවා සියුම් වැඩ පිළිවෙළක් දියත්ව තිබුණු බවට මේ වන විටත් පොලිස් මූලස්ථානයට තොරතුරු ගලා එමින් තිබෙන බව පොලිස් තොරතුරු අනාවරණය කළේය. ඒ බුද්ධි තොරතුරුද සමගිනි. කොවිඞ් 19 වෛරස ආසාදිත පොලිස් නිලධාරීන්ගේ සමීපත ආශ්‍රිතයන් වන පොලිස් නිලධාරීන් නිරෝධායනය කිරීමට යොමු කරනවා වෙනුවට ඒ අය සෙසු නිලධාරීන් සමග බැරක්කවල තබා රාජකාරියේ යෙදවීම් කර ඇති බව ඒ අතර සඳහන්ය. එසේම කොවිඞ් 19 වෛරස ආසාදිත පොලිස් නිලධාරීන් හදුනා ගැනීමේ පී.සී.ආර්. පරීක්ෂණ සිදු කිරීමට පවා බාධා එල්ල කර ඇති බව සඳහන්ය. එසේම පොලිස් රාජකාරි නොවන කටයුතු සදහා පොලිස් නිලධාරීන් යෙදවීමෙන් ඒ තුළින්ද පොලිස් නිලධාරීන්ට කොවිඞ් ආසාදනය වීමට ඉඩ හැරීමක් ගැනද පොලීසියේ නිලධාරීන් අතර යම් කථාබහක් මේ වන විට ගොඩ නැගී ඇත. පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය ඔස්සේ කොවිඞ් 19 වෛරසය පැතිර යමින් තිබියදී පොලිස් කෂේත්‍ර බළකා මූලස්ථානය තුළටද රිංගා ගත් කොවිඞ් 19 වෛරසයෙන් නිලධාරීන් බේරා ගැනීමට එහි ප්‍රධානීන් වග බලා ගත්තේ ගත හැකි ආරක්ෂක පියවරයන් සියල්ලක්ම අනුගමනය කරමිනි. 2000කට ආසන්න නිලධාරීන් පිරිසක් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේ සේවයේ නිරතව සිටින අතර ඒ අයට කොවිඞ් 19 වෛරසය ආසාදනය වුවහොත් පොලීසියේ පැත්තක්ම කඩා වැටීමකට ලක්වනු ඇත. එබැවින් එම නිලධාරීන් ආහාර ගැනීමේ ආපන ශාලාවේ සිට බොහෝ ස්ථාන ආරක්ෂක උපක්‍රම අනුගමනය කරමින් පවත්වාගෙන යාමට පියවර ගත්තද ඇතැම් ඉහළ නිලධාරීන්ගේ ක්‍රියා කලාප හේතුවෙන් නැවතත් ක්ෂේත්‍ර බළකා මූලස්ථානය තුළ නැවතත් කොවිඞ් 19 වෛරස ආසාදිත නිලධාරීන් සිව් දෙනෙක් ඉකුත් සතියේ හමුවන්නේ ක්ෂේත්‍ර බලකා මූලස්ථානය හුදෙකලා කරමිනි.
කොවිඩිවලින් බැරිවූ තැන සී.ඩී. පොලිස්පති වීම අවසාන මොහොතේත් වළක්වාලන්නට උත්සහ දරා ඇතැයි සඳහන් වන්නේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මත්කුඩු ජාවාරමක නිරතවීම සම්බන්ධයෙන් වූ සිදුවීම නැවත මතුකරමිනි. ඒ එම සිදුවීම වන්නේ සී.ඩී. වික්‍රමරත්න වැඩ බලන පොලිස්පතිවරයාව සිටියදී බැවින් ඔහුගේ පරිපාලන දුර්වලතාවය හේතුවෙන් එය සිදුව ඇති බැවින් ඊට ඔහුද වගකිව යුතු බවට මතයක් ගොඩ නගිමිනි. මේ මතය ගොඩ නැගීම පිටුපස එම පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන්ව ඒ තැනට පත්කරන ලද අයද සිටීම විශේෂිතය. මෙවැනි දුෂ්ඨ වැඩ තුළින් සී.ඩී. පොලිස්පතිවීම වළකන්නටත් වෙනත් නිලධාරියෙක් පොලිස්පති බවට පත්වන්නටත් කළ උත්සහයන් සියල්ලක්ම පරයා යමින් සී.ඩී. පොලිස්පති ධුරයට පත්වන්නේ එම තනතුරට ඔහු කිසිදු සටනක නිරත නොවී සිටියදී වීමද විශේෂිතය.
සී.ඩී. යන පුස් චරිතයක් නොව. උපාධිධාරියෙකි. පළමු උපාධිය කොළඹ විශ්ව විද්‍යාලයෙන් හිමි වන්නේ භෞතික විද්‍යාව සම්බන්ධයෙනි. පසුව ඔහු විද්‍යාපති උපාධිය සම්පූර්ණ කරන්නේ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයෙනි. එසේම ඔහු පශ්චාත් උපාධි ඩිප්ලෝමාව සම්පූර්ණ කරන්නේ එක්සත් රාජධානියේ බැක්ෆර්ඞ් විශ්ව විද්‍යාලයේදීය. ඒ අර්බුද කළමනාකරණය සම්බන්ධයෙනි. ත්‍රස්තවාදය, බුද්ධි අංශ, මහජන පොලීසිය, මුදල් විශුද්ධිකරණය, මත්ද්‍රව්‍ය ආදී විෂයයන් සම්බන්ධයෙන් වූ පාඨමාලා මෙන්ම තුන්වැනි ලෝකයේ රටවල් සංවර්ධනය හැකියාව දියුණු කිරීම සම්බන්ධයෙන් වූ පාඨමාලාවක් ඔහු හදාරා ඇත්තේය. එම පාඨමාලාව හාවර්ඞ් විශ්ව විද්‍යාලයෙන් හදාරා ඇති අතර සෙසු පාඨමාලා එක්සත් රාජධානිය, ජපානය, සිංගප්පූරුව, බ්‍රසීලය, මියන්මාරය යන රටවලදී හදාරා තිබේ.
බාධක හමුවේ පොලිස්පති ධුරයට පත්වූ සී.ඩී.ට මෙම තනතුරේ වයස අවුරුදු 60 වන තුරුම රැඳී සිටීමට හැකියාව ඇත්තේය. ඔහුගේ වයස අවුරුදු 60 සම්පූර්ණ වන්නේ 2023 වසරේ මාර්තු 25 වෙනිදාය. සී.ඩී විශ්‍රාම ගන්නා විට මේ වන විට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිධුරයන් දරණ ඔහුගේ සමකාලීනයන් ඇතුළුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 07 දෙනෙක්ම සිටින්නේ විශ්‍රාම ගොසිනි. ඒ ජගත් අබේසිරි ගුණවර්ධන, නන්දන මුණසිංහ, රවී විජේගුණවර්ධන, ෆෑන්ක්ලි ප්‍රනාන්දු, රොෂාන් ප්‍රනාන්දු සහ රොහාන් සිල්වා යන නිලධාරීන්ය.
සී.ඩී.ගෙන් පස්සේ පොලිසිය කාටද
මෙම නිලධාරීන් අතරින් ෆ්‍රෑන්ක්ලි ප්‍රනාන්දු සහකාර පොලිස් අධිකාරීවරයෙක් ලෙස පොලිස් සේවයට එක්වන්නේ 1986 වසරේ මැයි 05 වෙනිදාය. ඒ බුද්ධි අංශයටය. සී.ඩී. ද සහකාර පොලිස් අධිකාරීවරයෙක් ලෙස පොලිස් සේවයට එක්වන්නේ ද බුද්ධි අංශයේ නිලධාරියෙක් ලෙසිනි. ඒ ෆ්‍රෑන්ක්ලි ප්‍රනාන්දු පොලිස් සේවයට එක්ව මාසයකුත් දින 11කට පසුවය. එහෙත් සී.ඩී. පොලිස්පති වන වන විට ෆ්‍රෑන්ක්ලි සිටින්නේ ජේ්‍යෂ්ඨතා ලේඛනයේ 06 වැන්නා ලෙසිනි. දෙවැන්නා ලෙස සිටින්නේ ලලිත් ජයසිංහය. ඔහු පොලිස් සේවයට එක්වන්නේ 1987 වසරේ අගෝස්තු 01 වෙනිදාය. 1961 වසරේ ජුනි 30 වෙනිදා උපන් ඔහු පොලිස් සේවයෙන් විශ්‍රාම ගැනීමට නියමිතව සිටින්නේ 2021 වසරේදීය. යාපනයේ විද්‍යා දැරිවිය ඝාතනයේ සැකකරුවෙකුට රැකවරණය ලබාදීම සම්බන්ධයෙන් මේ වන විට ඔහු සිටින්නේ වැඩ තහනමට ලක්වය. ජගත් අබේසිරි ගුණවර්ධන, නන්දන මුණසිංහ, රවී විජේගුණවර්ධන යන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් පිළිවෙළින් සිටින්නේ තුන හතර පහ යන තැන්වලය. ජයසිංහ සමග මේ තිදෙනාම එකම දිනක සහකාර පොලිස් අධිකාරීවරුන් ලෙස පොලිස් සේවයට එක්වූවෝය. ජ්‍යෙෂ්ඨත්වයෙන් තෙවැන්නා ලෙස සිටින 1961 වසරේ ජුනි 17 වෙනිදා උපන් ජගත් අබේසිරිගුණවර්ධනද විශ්‍රාම ගැනීමට නියමිතව ඇත්තේ 2021 වසරේදීය. ජ්‍යෙෂ්ඨත්වයෙන් සිව් වැනි තැනේ සිටින නන්දන මුණසිංහ 1962 වසරේ පෙබරවාරි 02 වෙනිදා උපන්නෙකි. වයස අවුරුදු 60න් ඔහු විශ්‍රාම ගැනීමට නියමිතව සිටින්නේ 2022 දීය. ජ්‍යෙෂ්ඨත්වයෙන් පස්වැන්නා වන රවී විජේගුණවර්ධනත් 2021 දී පොලිස් සේවයෙන් විශ්‍රාම ගැනීමට සූදානමින් සිටින්නෙකි. ඔහු උපන්නේ 1961 වසරේ මාර්තු 09 වෙනිදා ය.
ජ්‍යෙෂ්ඨත්වයෙන් හය වැන්නාට සිටින ෆ්‍රෑන්ක්ලි ප්‍රනාන්දු 1962 වසරේ මැයි 17 වෙනිදා උපන් අයෙක් වන බැවින් ඔහු විශ්‍රාම ගැනීමට නියමිතව ඇත්තේ 2022 වර්ෂයේදී ය. ජ්‍යෙෂ්ඨතා ලේඛනයේ 07 වැන්නාට සිටින්නේ රොෂාන් ප්‍රනාන්දුය. 1982 වසරේ අප්‍රේල් 26 වෙනිදා උප පොලිස් පරීක්ෂකවරයෙක් ලෙස පොලිස් සේවයට එක්ව ඇති ඔහු ද පොලිස් සේවයෙන් විශ්‍රාම ගැනීමට නියමිතව සිටින්නේ 2021 මාර්තු 10 වෙනිදාය. ජ්‍යෙෂ්ඨතා ලේඛනයේ 11 වැන්නා ලෙස සිටින රොෂාන් සිල්වා 1961 වසරේ මැයි 11 වෙනිදා උපත ලබා ඇත්තේය. උප පොලිස් පරීක්ෂකවරයෙක් ලෙස 1982 වසරේ ජූලි 26 වෙනිදා පොලිස් සේවයට එක්වූ ඔහු 2021 වසරේදී විශ්‍රාම ගැනීමට නියමිතය.
පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න 2023 දී පොලිස් සේවයෙන් විශ්‍රාම ගන්නා විට මෙම නිලධාරීන් ද විශ්‍රාම ගොසිනි. ඒ අනුව 36 වැනි පොලිස්පතිධුරයට යම් තරගයක් ඇති වන්නේ නම් ඒ මෙම නිලධාරීන් හැරුණු කොට ඊළඟට ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළින්ම සිටින නිලධාරීන් අතරය. පොලීසියේ තොරතුරුවලට අනුව සී.ඩී. විශ්‍රාම ගන්නා විට ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළින්ම සිටින නිලධාරියා වන්නේ නිලන්ත ජයවර්ධනය. 1973 වසරේ මැයි 25 වෙනිදා උපන් නිලන්ත වයස අවුරුදු 60 සම්පූර්ණ වී පොලිස් සේවයෙන් විශ්‍රාම යන්නට නියමිතව ඇත්තේ 2033 වසරේදීය. නිලන්ත මේ වන විට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකි. ජ්‍යෙෂ්ඨතා ලේඛනයේ ඔහු රැදී සිටින්නේ 08 වෙනි තැනේය. 1998 වසරේ පෙබරවාරි 23 වෙනිදා ආධුනික සහකාර පොලිස් අධිකාරීවරයෙක් ලෙස පොලිස් සේවයට එක්වූ ඔහු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ලෙස උසස්වීම් ලබා ඇත්තේ 2019 වසරේ පෙබරවාරි 28 වෙනිදාය.
පොලිස්පති වෙන්න පුළුවන් දෙවැනිපෙළ
නිලන්තගෙන් පසු ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළින්ම සිටින්නේ ලලිත් පතිනායකය. ඔහුද නිලන්ත සමග එකට ආධුනික සහකාර පොලිස් අධිකාරීවරයෙක් ලෙස පොලිස් සේවයට එක්වූවෙකි. එම කණ්ඩායමේ තවත් ආධුනික සහකාර පොලිස් අධිකාරීවරයෙක් සිටියේය. ඔහු පොලිස් දෙපාර්තමේන්තුවේ මේ වන විට ජනප්‍රිය චරිතයක් වන දේශබන්දු තෙන්නකෝන්ය. ජ්‍යෙෂ්ඨත්වයෙන් ඔහු සිටින්නේ 10 වැනි තැනේය. පතිනායක 1972 වසරේ මාර්තු 07 වෙනිදා උපත ලබන විට දේශබන්දු උපත ලබන්නේ 1971 වසරේ මාර්තු 07 වෙනිදාය. මේ දෙදෙනා අතර පරතරය හරියටම අවුරුද්දකි. පතිනායක 2019 වසරේ සැත්තැම්බර් 20 වෙනිදා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිධුරයට උසස්වීම් ලබන විට දේශබන්දු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිධුරයට උසස්වීම් ලබන්නේ 2020 ජනවාරි 20 වෙනිදාය.
මේ තිදෙනා අතරින් ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළින්ම සිටින්නේ නිලන්ත ජයවර්ධන බැවින් සී.ඩී. විශ්‍රාම ගැනීමෙන් පසු ඔහුට පොලිස්පතිධුරය හිමි වුවහොත් වසර 10 ක්ම පොලිස්පතිධුරයේ රැඳී සිටීමට ඔහුට අවස්ථාවක් ඇත්තේය. එවිට පතිනායක සහ දේශබන්දුට පොලිස්පති ධුරය දරන්නට කිසිසේත්ම ඉඩක් නොලැබෙනු ඇත. යම් විටකින් එම අවස්ථාව පතිනායකට හිමිවුවහොත් දේශබන්දුට පොලිස්පති වන්නට අවස්තාවක් හිමි නොවන අතර ඔහුට වසර 09ක්ම පොලිස්පති ධුරය දරන්නට හැකිවනු ඇත. ඔහුගෙන් පසු නිලන්තට පොලිස්පති ධුරය වසරක පමණ කාලයක් දැරීමට අවස්ථාවක් හිමි වනු ඇත. යම් හෙයකින් මේ කණ්ඩායමේ තෙවැන්නා ලෙස සිටින දේශබන්දුට පොලිස්පති ධුරය හිමිවුවහොත් වසර 07 ක් ඔහුට පොලිස්පති ධුරය දැරීමට අවස්ථාව ලැබෙනු ඇත. ඔහුගෙන් පසු පතිනායකට සහ නිලන්තට වසර එක බැගින් පොලිස්පතිවන්නට අවස්ථාවද හිමිවනු ඇත.
මේ තිදෙනාටම මේ වන විට පාස්තු ප්‍රහාරය සම්බන්ධයෙන් අඩු වැඩි ඇතිව විවිධ චෝදනා පවා එල්ලවීද තිබේ. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ පවා මේ තිදෙනාම දීර්ඝ ලෙස සාක්ෂිද ලබාදී තිබේ. ඒ අනුව මේ නිලධාරීන් තිදෙනා සම්බන්ධයෙන් අනාගත අපේක්ෂාවන් සැබෑ ලෙසම පෙළ ගැස්වෙන්නේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වන ආකාරයට අනුවය. ඒ අනුව මේ තිදෙනා ඉහළින්ම සිටියත් පහළ නිලධාරියෙකුට පොලිස්පති තනතුර අනාගතයේ හිමි නොවී තිබෙනු ඇතැයි පුරෝකථනය කළ නොහැකිය. ඒ මෙම නිලධාරීන් තිදෙනාගෙන් කවුරුන් පොලිස්පති වූවත් ඒ සෑම නිලධාරියෙක්ම වසර පහකට වැඩි කාලයක් පොලිස්පති ධුරය දරන බැවින් එතරම් දීර්ඝ කාලයක් පොලිස්පති ධුරය එක් නිලධාරියෙකුට දැරීමට අවස්ථාවක් ලබාදෙනු ඇතැයි විශ්වාස කළ නොහැකි බැවිනි.
මේ තිදෙනාට පසු ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළින්ම සිටින්නේ ප්‍රියන්ත වීරසූරියයි. 2020 පෙබරවාරි 13 වෙනිදා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ලෙස උසස් වීම් ලබන ප්‍රියන්ත පොලිස් සේවයේ මේ වන විට සිටින සුවිශේෂී චරිතයකි. ඒ පොලිස් කොස්තාපල්වරයෙක් ලෙස පොලිස් සේවයට එක්ව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුරය දක්වා මේ වන විට ඉහළට ගොස් සිටින එකම නිලධාරියා වන බැවිනි. කොස්තාපල්වරයෙක් ලෙස මුලින්ම පොලිස් සේවයට එක්වන ඔහු උප පොලිස් පරීක්ෂකවරයෙක් ලෙස නැවතත් පොලිස් සේවයට එක්වන්නේ කොස්තාපල්වරයෙක් ලෙස සිටියදීම එම තනතුරට ඉල්ලුම්පතක් යොමුකරමිනි.උප පොලිස් පරීක්ෂකවරයෙක් ලෙස සේවයේ නිරතවෙමින් සිටියදීම උපාධිය සම්පූර්ණ කරන ඔහු නැවතත් පොලිසීයට ඉල්ලුම් පතක් යොමු කරන්නේ සහකාර පොලිස් අධිකාරීවරුන් බඳවා ගැනීමේ තරග විභාගය හරහාය. ඒ අනුව 1999 වසරේ මාර්තු 05 වෙනිදා සහකාර පොලිස් අධිකාරීවරයෙක් ලෙස වීරසූරිය පොලිස් සේවයට නැවත එක්වන්නේ පොලිස්පතිවරයෙක් දක්වා වූ ගමනක ආරම්භයක් තබමිනි. එදා ඔහු සමග ආධුනික සහකාර පොලිස් අධිකාරීවරුන් ලෙස එක්වූ උපාධිධාරීන් 06 දෙනෙක් සිටිති. ජ්‍යෙෂ්ඨතා පිළිවෙලින් ඒ අය වන්නේ සංජීව ධර්මරත්න, සජීව මැදවත්ත, ජයලත්, රන්මල් කොඩිතුවක්තු නාලකද සිල්වා සහ දමින්ද යන නිලධාරීන්ය.
මෙම කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨයා වන ප්‍රියන්ත වීරසූරිය 1969 වසරේ පෙබරවාරි 09 වෙනිදා උපන්නෙකි. ඒ අනුව ඔහු වයස අවුරුදු 60 න් විශ්‍රාම යායුත්තේ 2029 වසරේදීය. දෙවැන්නාට සිටින්නේ සංජීව ධර්මරත්නය. 1972 වසරේ නොවැම්බර් 11 වෙනිදා උපන් ධර්මරත්න ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් වීම් ලබන්නේ 2020 අප්‍රේල් 10 වෙනිදාය. පොලිස් සේවයෙන් ඔහු විශ්‍රාම ගැනීමට නියමිතව ඇත්තේ 2032 වසරේදීය. තුන්වැන්නා සජීව මැදවත්තය. 1971 වසරේ ඔක්තෝම්බර් 05 වෙනිදා උපන් ඔහු විශ්‍රාම ගන්නේ 2031 වසරේදීය. ජයලත් සිටින්නේ මැදවත්තගෙන් පසුවය. 1970 වසරේ දෙසැම්බර් 09 වෙනිදා උපන් ඔහුට 2030 දක්වා පොලිස් සේවයේ නිරතව සිටින්නට අවස්ථාව ඇත්තේය. හිටපු පොලිස්පතිවරයෙක් වන ලකී කොඩිතුවක්කුගේ පුත් රන්මල් කොඩිතුවක්කු සිටින්නේ ඊට පසුවය. 1973 වසරේ ජුනි 12 වෙනිදා උපන් ඔහුට පොලිස් සේවයෙන් විශ්‍රාම යන්නට සිදුවන්නේ 2033 දීය. මේ කණ්ඩායමේ බාලයා නාලකද සිල්වාය. 1974 වසරේ ජුනි 22 වෙනිදා උපන් ඔහු විශ්‍රාම ගන්නට නියමිතව ඇත්තේ 2034 වසරේදීය. මේ වන විට ඔහු සිටින්නේ වැඩ තහනමකට ලක්වය. ඔහුට ඇති චෝදනාවලින් නිදහස් වුවහොත් නැවත පොලිස් සේවයට ඔහුට එන්නට හැකියාව ඇත්තේ උසස් වීම්ද සමගිනි. එසේම මෙම කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨතා ලේඛනයේ අවසානයට සිටින්නේ දමින්දය. 1973 වසරේ ජුනි 07 වෙනිදා උපන් ඔහුද පොලිස් සේවයෙන් විශ්‍රාම ගැනීමට නියමිතව සිටින්නේ 2033 දීය.
හිටපු පොලිස්පතිවරු පත්වුණ හැටි
නිලන්ත ජයවර්ධන විශ්‍රාම ගන්නට පෙර පොලිස්පති ධුරයට පත්වුවහොත් මේ අයගෙන් පොලිස්පති ධුරයට යම් බලාපොරොත්තුවක් පවා තබා ගැනීමට හැකියාව ඇත්තේ රන්මල්ටත් නාලකටත් දමින්දටත් පමණි. කෙසේ වෙතත් මේ සියල්ල පවතින දේශපාලනික සහ සමාජීය වටාපිටාව මත වෙනස්වණු සුළුය. ශ්‍රී ලංකා පොලීසියේ 26 වැනි පොලිස්පතිවරයාව සිටි ලකී කොඩිතුවක්කුගෙන් පසු පොලිස්පතිවරයා වනු ඇතැයි අපේක්ෂා කළ කොටකදෙණියට ඒ තනතුර අහිමි වන්නේ කිසිසේත්ම පොලිස්පතිවරයෙක් වෙතැයි අපේක්ෂා නොකළ ආනන්ද රාජාට පොලිස්පතිධුරය හිමි වෙමිනි. ලකී කොඩිතුවක්කුද තමන් පොලිස්පතිවරයා වනු ඇතැයි සිහිනෙකින්වත් සිතූවෙක් නොවේ. ඔහු පොලීසිය අතහැර ගොස් වෙනත් රැකියාවකද නිරතවූවෙකි. 17 වසරක් පැවැති එජාප ආණ්ඩුව බලයෙන් පහකර චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමරතුංග ජනාධිපති ධුරයට පත්වීමත් සමග පොලිස් සේවයෙන් ඉවත්වගොස් සිටි ලකී කොඩිතුවක්කු නැවත පොලිස් සේවයට එක්ව පොලිස්පතිදක්වා දුර ගමනක් ගියේය.
ආනන්ද රාජාගෙන් පසු පොලිස්පති ධුරය හිමිවන්නේ ඉන්ද්‍රාද සිල්වාටය. ඒ ඔහුටද පොලිස්පති ධුරය හිමි වෙතැයි කිසිවෙකුත් අපේක්ෂාවක් නොමැති අවස්ථාවකදීය. අනතුරුව පොලිස්පති ධුරයට පත්වන්නේ චන්ද්‍රා ප්‍රනාන්දුය. ඔහුගෙන් පසු පොලිස්පති ධුරය පොලීසියේ ජනප්‍රිය චරිතයක් වූ බෝධි ලියනගේට ලැබෙනු ඇතැයි පුරෝකථනය කළේය. ඒ වන විට ජේ්‍යෂ්ඨත්වයෙන් ඉහළින්ම සිටියේ බෝධිය. එහෙත් එම තනතුර හිමි වූයේ පොලිස්පතිවරයෙක් වනු ඇතැයි කිසිසේත්ම පුරෝකථනය නොවූ වික්ටර් පෙරේරාටය. බෝධි ලියනගේට වඩා ජ්‍යෙෂ්ඨතා ලේඛනයේ පහළින් ඔහු සිටියත් මේ දෙදෙනාම එකම වකවානුවක පොලිස් සේවයට එක්වූවෝය. එකල ජනප්‍රිය චරිතයක් වූ’සිරිසේන හේරත් ද සිටියේ එම කණ්ඩායමේය. එදා රටේ එජාපයට බලය ඇති ආණ්ඩුවක් තිබුණේ නම් පොලිස්පති ධුරය හිමිවන්නේ වික්ටර් පෙරේරාට නොව, බෝධි ලියනගේටය. බෝධිගෙන් පසු ඒ තැන හිමිවන්නට තිබුණේ සිරිසේන හේරත්ටය.
31 වෙනි පොලිස්පතිවරයා වූ ජයන්ත වික්‍රමරත්නට නම් පොලිස්පති වන්නට කිසිදු බාධාවක් නොවීය. ඒ ඔහුට තරගකරුවන් කිසිවෙකුත් නොවූ බැවිනි. 32 වැනි පොලිස්පතිවරයා වූ මහින්ද බාලසූරියටත් එසේමය. ඒ ජ්‍යෙෂ්ඨත්වයෙන් ඔහුට කිට්ටු කරන්නට තරම් නිලධාරියෙක් නොසිටි බැවිනි. යෝජිත පුද්ගලික අංශයේ විශ්‍රාම වැටුප් පනතට එරෙහිව නිදහස් වෙළද කලාපයේ සේවක උද්ඝෝෂණයක් මැඩලීමට ගොස් පොලීසියෙන් වෙඩි වැදී තරුණයෙක් මිය යාමත් සමග බාලසූරියට පොලිස්පති ධුරයෙන් ඉල්ලා අස්වන්නට සිදුවන්නේ එම අවස්ථාව එන්.කේ. ඉලංගකෝන්ට ලබාදෙමිනි. එහෙත් ඒ වන විට පොලීසියේ ජනප්‍රිය චරිතයක් වූයේ ගාමිණී නවරත්නය. පොලිස්පති ධුරය හිමිවනු ඇතැයි අපේක්ෂා කළේ ඔහුට වූවත් පැවැති දේශපාලනික අර්බුදකාරීත්වය හමුවේ ඒ තැන ඉලංගකෝන්ට හිමි විය. ඉලංගකෝන් සිය අනුප්‍රාප්තිකයා බවට නම් කළේ වික්‍රමසිංහය. එහෙත් පූජිත් ඒ තැන ගත්තේය. පොලිස්පති ධුරය සම්බන්ධයෙන් ඉතිහාසයේ හැසිරීම එසේය. ඒ තුළින් කියා පාන්නේ බලහත්කාරයෙන් පොලිස්පතිධුරය ලබා ගැනීමට නොහැකි බවය. ඊට හැකියාව, දක්ෂතාවය, ජ්‍යෙෂ්ඨත්වය මෙන්ම වාසනාවද තිබිය යුතුය.
රුවන් වෙඩිවර්ධන