ජාත්‍යන්තරය ඉදිරියේ අපේ රටට කළු පැල්ලමක් එක්කළා වූ වැලිකඩ බන්ධනාගාර කැරැල්ලට හරියටම වසර 08ක් ගෙවී ගියේ ඉකුත් නොවැම්බර් 09 වෙනිදාය. එදා ඒ කැරැල්ලෙන් බන්ධනාගාර රැඳවූවන් 27 දෙනෙක් ඝාතනය විය. බොහෝ දෙනෙක් ඝාතනය වන්නේ පළායාමට ගොස් ආරක්ෂක අංශ සමග වෙඩි හුවමාරුවේදීය. ඒ අතර චෝදනාවක් එල්ලවූයේ හඳුනාගත් සිරකරුවන් පෝලිම්කර ආරක්ෂක අංශ විසින් වෙඩි තැබූ බවටය. ඒ ගැන අධිකරණමය ක්‍රියා මාර්ග මේ වන විටත් සිදුවෙමින් ඇති බැවින් එහි ඇත්ත නැත්ත අධිකරණයම තීන්දු කරනු ඇත.
වැලිකඩ වෙච්ච දේ
වැලිකඩ බන්ධනාගාර කැරැල්ලට පෙර සිරකරුවන් කැරලි ගැසුවේ මැගසින් බන්ධනාගරය තුළය. බන්ධනාගාරයේ දේපොළ වලට හානි කරමින් ඒ අය ඉල්ලා සිටියේ නිදහසය. වැලිකඩ බන්ධනාගාරය තුළ කැරැල්ලට මුල පිරෙන්නේ බන්ධනාගාරගතව සිටින අපරාධකරුවන් ජංගම දුරකථන භාවිතා කරමින් කරන අපරාධ වැළැක්වීමට බන්ධනාගාර තුළ විශේෂ කාර්ය බළකාය යොදා කළ සෝදිසියකට විරෝධය පාමිනි. එදා ඒ විරෝධය උඩු දුවන්නේ රැඳවූවන් සිර මැදිරි බිඳගෙන බන්ධනාගාර නිලධාරීන් ප්‍රාණ ඇපයටද ගෙන කැරැල්ලක් දියත් කරමිනි. කැරැල්ලට නායකත්වය දුන්නේ බන්ධනාගාරගතව සිටි ප්‍රබල අපරාධකරුවන්ය. බන්ධනාගාරයේ සිට ව්‍යාපාරිකයන්ට දුරකතන ඇමතුම් දෙමින් මරණීය තර්ජන එල්ලකරමින් කප්පම් ගත්තේ ඔවුන්ය. ජංගම දුරකථනයෙන් සිය ගෝලබාලයින් මෙහෙයවමින් මත්කුඩු ජාවාරම මෙහෙයැවූයේද ඔවුන්මය. එවකට සිටි ආරක්ෂක ලේකම්වරයා වූ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අණින් විශේෂ කාර්ය බළකාය එදා බන්ධනාගාරයට ඇතුළු වන්නේ එම අපරාධ මැඩලීමට බන්ධනාගාර රැඳවූවන් සතු වූ ජංගම දුරකථන සොයාය. සිය ගණනින් ජංගම දුරකථන සිරමැරිවලින් හමුවන විට ඒ අය ප්‍රචණ්ඩ වූයේ එම සෝදිසිවලට එරෙහිව බන්ධනාගාරයේ දේපොළවලටද හානි කරමිනි. අවසානයේදී ඔවුන් බන්ධනාගාරයේ අවි ගබඩාවද බිඳ ගිනි අවි අතට ගෙන ඔවුන්ව පාලනය කිරීමට පැමිණි ආරක්ෂක අංශ නිලධාරීන්ට පවා වෙඩි තැබුවේය. එදා පොලිස් විශේෂ කාර්ය බළකායේ සේනාවිධායකවරයාව සිටි නියෝජ්‍ය පොලිස්පති රණවණටද ඒ එක් වෙඩිල්ලක් වැදී තිබුණේය. අදටත් ඔහු ඒ වෙඩිල්ලේ පල විපාක භුක්ති විඳිමින් සිටින්නේ සදාකාලික රෝගියෙක් බවට පත්වය.
එදා ඒ කැරැල්ල සිදුවන්නේ රාජපක්ෂ ආණ්ඩුව සමයේදීය. එදා ආරක්ෂක ලේකම්වරයාව සිටි ගෝඨාභය රාජපක්ෂ අද ජනාධිපතිවරයාය. අදත් රටේ ඇත්තේ රාජපක්ෂ ආණ්ඩුවකි. ඒ නිසාමදෝ වැලිකඩ කැරැල්ලට වසර අටක් ගෙවීයන විට තවත් කැරැල්ලක පෙරනිමිති නොවැම්බරය ආරම්භයේ සිටම පෙනෙන්නට ගත්තේය. ඒ ආණ්ඩුවට එරෙහිව බන්ධනාගාර රැදවූවන් උසි ගන්වමින් සංවිධානාත්මකව සිදුවූවක්ද නැතිනම් හුදෙකලා සිදුවීමක්දැයි කියන්නට තරම් තවමත් කල් වැඩිය. කෙසේ වෙතත් ඒ ගැන යම් සැකයක් මතුවන්නේ වැලිකඩ බන්ධනාගාරයේ කැරැල්ල වෙනුවෙන් ගෙවීගිය අට වසර තුළම පෙනී සිටි පිරිසක් විසින් මාධ්‍ය හමු පවත්වමින් කළ කී දෑ අධ්‍යනයේදීය. බෝගම්බර බන්ධනාගාරයේ රැඳවූවන් පිරිසක් බන්ධනාගාරයෙන් පළායන්නට ගොසින් වෙඩි කන්නේත් එක් රැඳවූවෙක් මිය යන්නේත් ඒ අතරතුරදීය. වැලිකඩ, මැගසින් ආදී බන්ධනාගාර කිහිපයකම රැඳවූවන් බන්ධනාගාර වහලවල් මත නැගී උද්ඝෝෂණ කරන්නට ගන්නේද, මේ වකවානුවේමය. ඒ අයගේ ඉල්ලීම් වන්නේ නඩු කටයුතු ඉක්මන් කරන ලෙසය. ඒ වෙන කිසිවක් නිසා නොව, බන්ධනාගර ආශ්‍රීතව කොවිඞ් 19 වෛරස ව්‍යාප්තියක් සිදුවෙමින් පැවැති බැවින් ඇප මත නිදහස පතාය. ඒ ආකාරයට බන්ධනාගාර රැඳවූවන් උද්ඝෝෂණයකට පෙළඹෙන්නේ ඒ අයගේම උවමනාවටම යැයි කියන්නට බැරිය. ඒ පිටුපස යම් බලවේගයක් නැතැයි කියන්නටත් බැරිය.
මහර පසුපස කතන්දරය
බන්ධනාගාර තුළ ඇති අධික තදබදය හේතුවෙන් කොවිඞ් වෛරසයට බන්ධනාගාර පද්ධතියට මුහුණ දීමට අසීරු කරුණක් බව ඒ බලධාරීන් දන්නා නිසා ඔවුන් මේ පිටුපස සිටියා වන්නටද පුළුවන. එවකට බන්ධනාගාර භාර ඇමතිනිය වූ සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේට තදබදය විසඳීමට බන්ධනාගාර බලධාරීන් විවිධ යෝජනා ඉදිරිපත් කරන්නේද එබැවිනි. ඒ අයගේ සහ නීතිපති දෙපාර්තමේන්තුවේ සොයා බැලීමට අනුව බන්ධනාගාර පද්ධතියේ වැඩිම රැඳවූවන් පිරිසක් සිටින්නේ රිමාන්ඞ් සිරකරුවන් ලෙසිනි. ඒ අයගෙන් වැඩි දෙනෙක් මත්ද්‍රව්‍ය වැරදි සදහා බන්ධනාගාර ගතවූවන්ය. ඔවුන්ගෙන් සියයට 90කට වැඩි පිරිසක් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් නොව, මත්කුඩු පානයට ඇබ්බැහිවූවන්ය. ඒ අය ඇප නොමැතිව දීර්ඝ කාලයක් තිස්සේ බන්ධනාගාර තුළ රඳවා සිටින්නේ රස පරීක්ෂණ වාර්තා ප්‍රමාද වීමෙනි. ඒ සම්බන්ධයෙන් ඇමතිවරිය රස පරීක්ෂක කාර්යාලයේ නිලධාරීන් සමගද යම් අදහස් හුවමාරුවක නිරත වන්නේ කොවිඞ් වෛරසය බන්ධනාගාර පද්ධතියට ඇතුළුවීමට පෙර ගන්නට හැකි ආරක්ෂකම පියවරයන් ගැනීමට සිරකරුවන් හැකි ප්‍රමාණයක් ඇප මත නිදහස් කර බන්ධනාගර තදබදය අවම කර ගැනීමටය.
නීතිපති දෙපාර්තමේන්තුවෙන් සහ පොලිස් දෙපර්තමේන්තුවෙන් මෙන්ම අධිකරණ අමාත්‍යාංශයෙන් ඊට සහයක් ලැබුණද රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ සහය නොලැබීම හේතුවෙන් බන්ධනාගාර පද්ධතියේ ධාරිතාව 10,000කින් අඩු කිරීමට තිබූ අවස්ථාව ඇහිරී ගියේය. ඊට විකල්පයන් ලෙස සුළු දඩ ගෙවා ගැනීමට නොහැකි සහ සුළු වැරදි සදහා බන්ධනාගාරගත කර සිටින සිරකරුවන්ට පොදු සමාව යටතේ නිදහස ලබාදීමටද යම් වැඩ පිළිවෙලක් රජය විසින් දියත් කරනු ලැබීය. එහෙත් බන්ධනාගාර තදබදය අවම කිරීමට එය කිසිසේත්ම ප්‍රමාණවත් නොවීය.
උද්ඝෝෂණ පසුපස නිලධාරීන්?
මේ අතර සිදුවන්නේ කොවිඞ් 19 වෛරසය බන්ධනාගාර පද්ධතියට කඩා වැදීමය. එය පාලනයෙන් තොරව බන්ධනාගාර තුළ ව්‍යාප්ත වන්නේ නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපැදීමට තරම් ඉඩකඩක් බන්ධනාගාර පද්ධතිය තුළ නොවීම හේතුවෙනි. කොවිඞ් 19 වෛරස ආසාදිත බව පී.සී.ආර්. පරීක්ෂණවලින් තහවුරු වන රැඳවූවන් සෙසු රැඳවූවන්ගෙන් වෙන්කර තබා ගැනීම පවා බන්ධනාගාර බලධාරීන්ට අභියෝගයක් විය. ඒ අභියෝගය ජය ගැනීමට විවිධ උපක්‍රම භාවිතා කළද ඒ සියල්ලක්ම ගඟට කැපූ ඉනි බවට පත්වන්නේ බන්ධනාගාර පද්ධතියේ අධික සිරකරු ගනත්වය හේතුවෙනි. මේ නිසාම කොවිඞ් 19 වෛරසය ඇතුළු නොවූ බන්ධනාගාරයක් සොයා ගැනීම පවා කළු නික සොයා යාමක් බඳු විය. මේ තත්වය මත බන්ධනාගාර නිලධාරීන්ද මානසිකව ඇද වැටෙන්නේ ඒ අයට සිය නිවෙස් වෙත ගොස් දරුමල්ලන් සමග සිටීමට ඇති අවස්ථාවන්ද අහිමිව යන්නට වූ බැවිනි. බන්ධනාගාර නිලධාරීන් ද සැළකිය යුතු පිරිසක් ආසාදිතයන් බවට පත්වන විට බන්ධනාගාර පාලනයද තරමක් ගිලිහී යන්නට වූයේ සිරකරුවන් සමග මිත්‍රශීලී ගනුදෙනුවකට යමිනි. වහලවල් මත උද්ඝෝෂණයේ නිරත වන රැඳවූවන් බලය යොදා වහලවල් මතින් බිමට බැස්සවීමට නිලධාරීන් උත්සහයක් නොගන්නේ එබැවිනි. ඒ අයටද උවමනා වූයේ බන්ධනාගාර තදබදය ගැන බලධාරීන්ගේ ඇස් කන් ඒ ආකාරයට වූවත් හැරවීමටය. මේ සියල්ලක්ම සිදුවන්නේ නොවැම්බරයේය.
ශානි අනූනවයෙන් බේරෙයි
මහර බන්ධනාගාරය මෙතෙක් කලක් පැවැතියේ මෙකී උද්ඝෝෂණ රැල්ලෙන් හුදෙකලා වූ බන්ධනාගාරයක් ලෙසිනි. එම උද්ඝෝෂණ රැල්ල මහරට හමා එන්නේ වැලිකඩ බන්ධනාගාරයෙන් හිටි හැටියේම රැදවූවන් 100කට වැඩි පිරිසක් ගෙන ඒමත් සමගිනි. දහසකට ඉඩකඩ ඇති මහර බන්ධනාගාරයේ පමණක් ඒ වන විට රැඳවූවන් 3000කට ආසන්න පිරිසක් රදවා සිටියෝය. මහර බන්ධනාගාර පද්ධතියට එම ප්‍රමාණය දරා ගැනීමට නොහැකි තත්වයක් පැවැතියදී වැලිකඩින් තවත් පිරිසක් ගෙන ඒමත් සමග කොවිඞ් 19 වෛරස භීතිය මහර බන්ධනාගාර රැඳවූවන් අතරද පැතිරෙන්නට ගත්තේය. ඒ වැලිකඩ බන්ධනාගාරය තුළ ඒ වන විටත් කොවිඞ් 19 වෛරසය වේගයෙන් ව්‍යාප්තව තිබුණු බැවිනි. මහර බන්ධනාගාරයේද කෙරුණු පී.සී.ආර්. පරීක්ෂාවලදී කොවිඞ් 19 ආසාදිත රැදවියන් එකා දෙන්නා හමුවන්නට ගන්නේද මේ අතරතුරදීය. ඒ අය අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරද සිටියේය. කොවිඞ් 19 වෛරසය ආසාදිත වූ බොහෝ රැදවූන්ට වෛරසය ඇඟේ තබාගෙන ඔවුන් රැඳී සිටින බන්ධනාගාරයේම සිටින්නට සිදුවූවත් ශානි අබේසේකර ප්‍රතිකාර සදහා රෝහල් ගත කෙරෙන්නේ සිවිල් සංවිධාන ඇතුළු විපක්ෂයේ දේශපාලනඥයන් ඔහු වෙනුවෙන් හඬක් නැගීම නිසාය.
මහර බන්ධනාගාරය තුළ රැඳවූවන් අතර යම් නොසන්සුන් තත්වයක් හටගන්නේ ශානි අබේසේකර ප්‍රතිකාර සදහා රෝහල්ගත කර දින කිහිපයකට පසුවය. ඒ හරියටම නොවැම්බර් 29 වෙනිදාය.
ඇතුළ නොසන්සුන් වෙයි
එදා සවස බන්ධනාගාරය පැත්තෙන් සඳහන් කරන්නේ රැඳවූවන් කිහිප දෙනෙක් පළා යාමට උත්සාහ දැරීමේදී කළ වෙඩි තැබීමකින් එක් රැඳවූවෙක් මියගොස් සිව් දෙනෙක් තුවාල ලබා සිටින බවය. එදින රාත්‍රිය වන විට තත්වය හාත්පසින්ම වෙනස් විය. මිය ගිය ගණන 04 දක්වා ඉහළ ගියේය. තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාවද වැඩි වන්නේ බන්ධනාගාරය තුළ දැඩි නොසන්සුන් තත්වයක් නිර්මාණය වෙමිනි. එදා වැලිකඩ ගැටුම සිදුවන්නේ රැඳවූවන් සහ ආරක්ෂක අංශ අතරය. එහෙත් මෙවර ඒ ගැටුම රැඳවූවන් අතරය. බන්ධනාගාරයේ පිරිපාලන ගොඩනැගිල්ල ඇතුළු ගොඩනැගිලි රැසකට ගිනි තබමින් හානි කළේය. ඊට එරෙහි වූ තවත් පිරිසක් ඒ අය සමග ගැටුණේය. ඒත් සමග රැදවූවන් දෙපැත්තකට බෙදී ගහ මරා ගන්නට ගත්තේ පොලු මුගුරුවලිනි.
කුස්සියේ පිහිවලින් කපා කොටා ගනී
ඒ අතර බන්ධනාගාර පරිපාලන ගොඩනැගිල්ලෙහි තිබුණු නිලධාරීන්ගේ කඩු කිහිපයක්ද මුළුතැන්ගෙයි තිබුණු පිහි කිහිපයක්ද රැඳවූවන් සියතට ගෙන එකිනෙකා කපා කොටා ගත්තේය. මේ අය නිලධාරීන් 11 දෙනෙක් ප්‍රාණ ඇපකරුවන් ලෙස තබාගත්තද ඒ කිසිවෙකුටත් හානියක් නොකර මුලින්ම 09 දෙනෙක්ද පසුව සෙසු දෙදෙනාවද නිදහස් කරනු ලැබුවේ ගැටුම ඇත්තේ බන්ධනාගාර නිලධාරීන් සමග නොවන බැවින් විය හැකිය. වැලිකඩ කැරැල්ලේදී මෙන් මහර රැඳවූවන් බන්ධනාගාර අවි ගබඩාවට අත තබන්නට ගියේ නැත. එසේ වී නම් තත්වය මෙයට වඩා වෙනස්ය. ඒ තුළින් පෙනි යන්නේ රැඳවූවන් යම් සැලසුමකට අනුව කටයුතු කර ඇති බව යැයි සැක කළ හැකිය.
පසුදා පහන්වන විට ගිනියම් වූ බන්ධනාගාරයේ බොහෝ ගොඩනැගිලි අළු ගොඩවල් බවට පත්ව තිබුණත් ගිනිගත් රැදවූවන් නිවී සිටියේ නැත. ඔවුන් සිටියේ උණුසුම්වය.කඩු පොලු ඇතැතිවය. ඒ වන විටත් රැඳවූවන් 11 දෙනෙකුගේ සිරුරු රාගම රෝහලේ ගොඩ ගැසී තිබුණේය. එසේම රැඳවූවන් 106 දෙනෙක් රෝහල්ගත කර සිටියේ තුවාල සදහා ප්‍රතිකාර සඳහාය.
විමල්ගේ රිවස් පෙත්ත
විමල් වීරවංශ ඇමතිවරයා මහර සිදුවීම ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් යැයි කියන්නේ මේ අතරය. ඔහු පාර්ලිමේන්තුවේදී දීර්ඝ කථාවක් කරමින් වැලිකඩින් මහරට ගිය රැඳවූවන් ගැන මෙන්ම මානසික රෝගීන්ට ලබාදෙන රිවස් නමින් මත්කුඩු ලෝලීන් අතර ප්‍රසිද්ධ පෙත්තක් ගැනද කීවේය. බන්ධනාගාර ඹෟෂධ ගබඩාවේ එම පෙති විශාල තොගයක් ගබඩාකර තිබී ඇති බවත්, එම පෙති පානය කර සිරකරුවන් මානසිකව වියවුල් වී එකිනෙකා මරාගත් බවත් ඔහු සදහන් කළේය. රිවස් නම් වූ’එම පෙති පානය කිරීමෙන් පසු ලේ දැකීමේ ආශාවක් ඇති වන බවත් බන්ධනාගාරය තුළ සිදුවූයේ එය බවත් විමල් වීරවංශගේ පැහැදිලි කිරීම අතර විය.
විමල් වීරවංශ ඇමතිවරයාගේ එම ප්‍රකාශය පොලිස් මාධ්‍ය ප්‍රකශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ විසින් පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවකදීද එදිනම තහවුරු වූයේය. අජිත් රෝහණ මහර බන්ධනාගාරයේ නොසන්සුන් තත්වයට ඇගිල්ල දිගු කරන්නට වූයේ බන්ධනාගාර වෛද්‍යවරයෙක් වෙතය. ඒ එම වෛද්‍යවරයා විසින් දින කිහිපයක් තිස්සේම රැඳවූවන් අතර නොසන්සුන් මානසික තත්වයක් ගොඩනැගීමට කටයුතු කර ඇතැයි බුද්ධි අංශ සදහන් කරන බව කියමිනි. එම වෛද්‍යවරයා රැදවූවන් අතර නොසන්සුන් තත්ත්වය ඇතිකරලීමට කටයුතු කළේ යැයි කියන්නේ බන්ධනාගාරය තුළ කොරෝනා පැතිරීමේ අවදානමක් ගැන සඳහන් කරමිනි. අජිත් රෝහණ පවසන්නේ රැඳවූවන්ගේ මනසේ යම් භීතියක් ඔහු ඇති කිරීම මෙම තත්වයට මුල්වී ඇති බවය. එසේම මානසික රෝගීන්ට ලබාදෙන පෙති 25 000 ක් පමණ බන්ධනාගරය තුළ තිබී ඇති බවත්, රැඳවූවන් ඒවා පානය කර මේ ආකාරයට කලහාකාරී ලෙස හැසිරී ඇති බවත් ඔහු සදහන් කරයි. මෙතරම් පෙති තොගයක් බන්ධනාගාරය තබා ගැනීම ගැනද යම් විමර්ශනයක් කෙරෙන බව අජිත් රෝහණ එහිදී සදහන් කළේය.
බන්ධනාගාරේ නිල ප්‍රකාශය
එම මාධ්‍ය සාකච්ඡාව ඒකාබද්ධ මාධ්‍ය සාකච්ඡාවකි. ඊට බන්ධනාගාරය පැත්තේද නියෝජනයක් විය. ඒ පැත්තෙන් අදහස් දක්වන්නට වූයේ පාලන අංශයේ බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායකය. “රිමාණ්ඞ් භාරයේ සිටින සැකකරුවන් තමයි මෙම සිද්ධියට මුහුණ දුන්නේ ආහාර ලබාදෙමින් සිටින අවස්ථාවක එකතු වෙච්ච 1600 ක පමණ පිරිසක් සිරමැදිරිවල දොරවල් කඩාගෙන එළියට ඇවිල්ලා බන්ධනාගාරයේ ඉස්සරහා ගේට්ටුව ඉදිරිපිට රැස්වුණා. ඒ අය එතැන ඉඳගෙන උද්ඝෝෂණයක් කරමින් ඉල්ලා සිටියේ පී.සී.ආර්. පරීක්ෂණයන්ට තමන්ව ලක්කරන ලෙසයි. ඒ අවස්ථාවේදී පළායාමට උත්සහ ගත්තු කිහිප දෙනෙකුට රබර් වෙඩි උණ්ඩ වලින් වෙඩි තැබුවා.“ බන්ධනාගාරය පැත්තේ නිල ප්‍රකාශය ඉදිරිපත් වන්නේ එසේය.
දොස්තර ෆේස්බුක් එකෙන් චෝදනා ප්‍රතික්ෂේප කරයි
මහර බන්ධනාගාරය තුළ සිදුවූ නොසන්සුන් තත්වය සම්බන්ධයෙන් මෙසේ බන්ධනාගාර රෝහල් වෛද්‍යවරයෙකුට සෑම පැත්තකින්ම චෝදනා එල්ලවෙමින් තිබියදී එකී වෛද්‍යවරයාද නිහඬව සිටියේ නැත. සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ ඔහු ඊට ප්‍රතිචාර දක්වන්නට වූයේ ඒක පාර්ශවීයව කෙරන චෝදනාවලට ඔහුට පිළිතුරු දෙන්නට අවස්ථාවක් නොමැති වූ තැනය. ඔහු ඉන්ද්‍රජිත් පනාවැන්නය. මහර බන්ධනාගාරයේ ප්‍රධාන වෛද්‍යවරයාය. ඔහු පෙන්වා දෙන්නේ සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් වෙනත් බන්ධනාගාරයකින් මහර බන්ධනාගාරයට මාරුකරන සිරකරුවන් පී.සී.ආර්. සදහා යොමු කිරීම හේතුවෙන් තමාට මේ චෝදනාව එල්ලවී ඇති බවය. රැදවූවන් 3000 කට මාස හතරක් සදහා මානසික වෛද්‍යවරුන්ගේ සහ භාහිර රෝගී අංශයේ වෛද්‍යවරුන්ගේ නිර්දේශ මත ලබාදී තිබුණු ඹෟෂධ තොග දත්ත ඉදිරිපත් කරමින් තමන් වැරදිකරුවෙක් කිරීමට සැරසෙන බවද වෛද්‍ය පනාවැන්න සිය ෆේස්බුක් ගිණුමේ පැහැදිලිවම සඳහන් කර ඇත්තේ සියල්ලම තමාගේ පිට දමා අවසන් කිරීමට සැරසෙන බවට වූ’ඉගියක්ද පළකරමිනි.
මේ අතර ශ්‍රී ලංකා විශේෂඥ මනෝ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයද යම් ප්‍රකාශයක් සිදු කළේය. ඒ මානසික රෝගීන්ට නිර්දේශ කරන කිසිදු ඹෟෂධයක් පුද්ගලයන්ගේ මනස සංසුන් කිරීමට මිස ආවේගශීලී තත්වයන්ට පත්නොවන බව සදහන් කරමිනි.
මොකද්ද මේ පෙත්ත
කෙසේ වෙතත් මේ වන විට සමාජයේ දැඩි කථාබහකට පත්ව ඇති මෙම පෙත්ත ඇල්පෙනෙත්තේ හිස කොටසේ තරමේ කුඩා පෙත්තකි. නිල් පැහැයට සමාන පැහැයක් ගන්නා මෙම පෙත්තට මත්කුඩු ලෝලීන් නම් තබා ඇත්තේ නිල්ල සොයා යනුවෙනි. රිවස් පෙත්ත යැයිද ඇතැමුන් එය හදුන්වනු ලබයි. මෙම පෙති මානසික රෝගීන්ට වරකට ලබාදෙන්නේ එකක් හෝ දෙකක් පමණි. ඹෟෂධ හල්වලින් මෙම පෙති වර්ගය වෛද්‍යවරයෙකු අනුමත කළ වට්ටෝරුවකින් පිට ලබාදෙන්නේ නැත. මෙම පෙති වර්ගය එතරම් මිල අධිකද නොවේ. ඒ නිසාම මත්කුඩු භාවිතයට ඇබ්බැහි වූවන් මත්කුඩු හිඟ වකවානු වල ආදේශකයක් ලෙස භාවිතාකරන්නේ මෙම පෙතිය. ඒ වරකට විසිසක තිහක අහුරක් ගිල දමමිනි.
මෙවැනි පෙති අපේ රටේ බන්ධනාගාර රෝහල්වල ඇත්තේ ගොඩ ගසාය. ඒ බන්ධනාගාර රැදවූවන් නිරන්තරයෙන්ම විවිධ මානසික ගැටලුවලට මුහුණ දෙන බැවිනි. ඒවා බන්ධනාගාර තුළ ගබඩා කෙරෙන්නේත් රැඳවූවන්ට ලබාදෙන්නේත් යම් ක්‍රමවේදයකට අනුවය. හිතු මතේට රැදවූවන්ට එම පෙති නිකුත් කරන්නේ නැත.
අපේ රටේ මෑත ඉතිහාසයේ මෙයට පෙර බන්ධනාගාර ආශ්‍රිතව පැවැති ප්‍රධාන කැරලි දෙක සිදුවන්නේ වැලිකඩ සහ මැගසින් බන්ධනාගාර අශ්‍රිතවය. ඒ කැරලි දෙකම සිදුවන්නේ 2012 වසරේදීය. එම කැරලිවලින් ජීවිත හානි හා දේපොළ හානිද වාර්තා විය. ඒ සම්බන්ධයෙන් කෙරුණු විමර්ශන වලින්ද හෙළිවන්නේ බන්ධනාගාර ඹෟෂධ ගබඩාවල තිබුණු මෙම ඹෟෂධය රැඳවූවන් අධිමාත්‍රාවෙන් භාවිතා කර ගැටුම් ඇතිකර ගත් බවය. ඒ අනුව මහර බන්ධනාගාරයේ ඇතිවුණු නොසන්සුන් තත්වයටද මෙම පෙති වර්ගය හේතුනොවූයේ යැයි කියා බැහැර කරන්නට බැරිය. ඒ තුවාල ලබා සිටින රැදවූවන්ගෙන් වැඩි දෙනෙක් කැපුම් තුවාල ලබා සිටින බැවිනි.
වෙඩි වැදී නැද්ද
මෙම ගැටුමත් සමග එතෙක් බන්ධනාගාර භාරව සිටි ඇමති සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ ඉවත්කර ඒ වෙනුවට අලුතින් බන්ධනාගාර භාරව පත් කෙරන ලොහාන් රත්වත්තේ ඇමතිවරයා සදහන් කරන්නේ මරුමුවට පත්ව සිටින රැඳවූවන් 11 දෙනාම මියගොස් ඇත්තේ කැපුම් කෙටුම් වලින් බවය. ඒ අනුව පළායාමට ගොස් බන්ධනාගාර නිලධරීන්ගේ වෙඩි තැබීම්වලට ලක්වූ කිසිදු රැඳවූවෙක් මියගොස් නැත. එසේ නම් සිදුව ඇත්තේ රැඳවූවන් අතර ඇතිවූ ගැටුම්වලින් ඒ අය මිය යාමය. එසේම ඒ මියගිය රැඳවූවන්ගෙන් 09 දෙනෙකුටම කොවිඞ්ය. ඒ අනුව ඔවුන්ගේ සිරුරු භුමදානයක් සිදුවන්නේ නැත. අධිකරණ වෛද්‍ය පරීක්ෂණ සිදුකර ඒවා වාර්තාගත කර මළ සිරුරු ආදාහනය වනු ඇත. බන්ධනාගාරයේ ගැටුමේ තත්වය එතැනින් හමාර වූවත් ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනම විමර්ශනයක් සිදුකරමින් පවතින්නේ ගැටුමේ සුළමුළ අපරාධමය විමර්ශනයකින් හෙළිකර ගෙන ඊට සම්බන්ධවූවන්ට නීතිමය පියවර ගන්නටය. ඒ අතර බන්ධනාගාර කොමසාරිස් ජනරාල් උපුල්දෙණිය සදහන් කරන්නේ ගැටුමට නායකත්වය දුන් රැඳවූවන් 25 දෙනෙක් සහ ඒ අය සමග ගැටුමට ඝෘජුවම සම්බන්ධ වූ 125 දෙනෙක් හදුනාගෙන සිටින බවය. බන්ධනාගාරයේ දේපොළවලට හානිකරන්නට නායකත්වය දෙන්නේ ඒ අය බැවින් ඔවුන්ට එරෙහිව නඩු පවරන බවද ඔහු පවසන්නේ තවදුරටත් රැඳවූවන්ට මේ ආකාරයේ හැසිරෙන්නට ඉඩ නොදෙන බව නොකියා කියමිනි.
සමයංගේ සැබෑ මිනීමරුවා කොටුවෙයි
මහර බන්ධනාරයේ ගැටුමේ උණුසුම අස්සේ කළුතර එතනමඩලේදී බන්ධනාගාර බස් රථයකට 2017 වසරේ පෙබරවාරි 27 වෙනිදා ප්‍රහාරයක් එල්ලකරමින් පාතාලයේ සමයං ඇතුළු හත් දෙනෙක් එක පොදියට ඝාතනය කිරීමේ මෙතෙක් හෙළි නොවූ අභිරහස් ගොන්නක්ද හෙළි වන්නට විය. ඒ එම පාතාලයේ ප්‍රහාරයේ ප්‍රධාන වෙඩික්කරුවෙක් වූ මධුරංග නැමැත්තා අත්අඩංගුවට ගැනීමට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් සමත් වීමත් සමගිනි. එම වෙඩික්කරුවාගේ අතුරුගිරියේ පිහිටි නිවසේ තිබී මයික්‍රෝවර්ගයේ ගිනි අවියක කොටස් කිහිපයක්ද විමර්ශකයෝ සොයා ගත්හ.
මධුරංග නැමැති මෙම වෙඩික්කරුව අත්අඩංගුවට ගන්නේ කල්පිටියේදීය. බන්ධනාගාර බස් රථ ප්‍රහාරය එල්ල කළ දිනම ඔහු තවත් වෙඩික්කරුවෙක් වූ අංගොඩ ලොක්කාගේ ගෝලයෙක් වන ලැටා සමගින් කල්පිටියෙන් ධිවර බෝට්ටුවක නැගී ඉන්දියාවට පළා ගොස් අත්අඩංගුවට පත්වීමට සති දෙකක් වන තුරුම රැඳී සිට ඇත්තේ ඉන්දියාවේය. ඉන්දියාවේ සිට ඔහු මෙරටට පැමිණ තවත් ඝාතනයකට සූදානමින් මාළු වාඩියක රැදී සිටියදී ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් ඔහුව අත්අඩංගුවට ගන්නේ ඉකුත් 28 වෙනිදාය. ඒ කල්තියා ඒ ගැන ලද තොරතුරකට අනුවය.
හැමදේම බලාගත්තේ අංගොඩ ලොක්කා
මධුරංග වසර තුනකුත් මාස නවයක්ම රැඳී සිටියේ ඉන්දියාවේ තමිල්නාඩුවේය. ඒ ලැටා සමගිනි. බන්ධනාගාර ප්‍රහාරයෙන් පසු අංගොඩ ලොක්කාද ඔහුගේ ප්‍රධාන ගෝලයා සමග බෝට්ටුවක නැගී පළාවිත් රැඳී සිටියේ ඉන්දියාවේමය. ඉන්න හිටින්නටත් කන්න බොන්නටත් සියලු විය හියදම් දැරුවේ අංගොඩ ලොක්කාය. මධුරංගටත් ලැටාටත් සිදුවූයේ කකා බිබී විනෝද වෙමින් තමිල්නාඩුවේ ගත කරන්නටය. අංගොඩ ලොක්කාගේ මරණය සිදුවීමෙන් පසු ඔවුන් ගැන සොයා බලා ඇත්තේ ලඩියාය.
දීර්ඝ ප්‍රශ්න කිරීමේ හමුවේ මධුරංග විමර්ශකයන් හමුවේ පවසා ඇත්තේ එදා බන්ධනාගාර බස් රථ ප්‍රහාරයට 09 දෙනෙකුගේ කණ්ඩායමක් සම්බන්ධ වී සිටි බවය. ඊට නායකත්වය දී ඇත්තේ අංගොඩ ලොක්කාය. ටී 56 ගිනි අවි 06 ක්ද පිස්තෝල 02 ක්ද තිබී ඇත. 09 දෙනාගෙන් 06 දෙනෙක්ම නම් ගම් ඇතිව මධුරංග දන්නා කියන අයය. තිදෙනෙක් ගැන අදටත් ඔහු කිසිවක් දන්නේ නැත. දෙමළ කථාකළ ඔවුන්ව එදා එම ප්‍රහාරයට යොදවා ඇතැයි කියන්නේ එකළ ඩුබායි හී රැඳී සිටිමින් මෙරට අපරාධවල නිරතව සිටි මාකඳුරේ මධුෂ්ය. මධුරංග පවසන්නේ ඔවුන් එල්.ටී.ටී.ඊ.යේ හිටපු සාමාජිකයන් විය හැකි බවය. ඒ ගැන බුද්ධි අංශ පවා මෙයට පෙර විවිධ තොරතුරු ලබාදී තිබුණේය. මාකදුරේ මධුෂ් සතුව එල්.ටී.ටී.ඊ.යේ සිටි කුලී ඝාතකයන් සිටින බව කාලයක් තිස්සේ ආරක්ෂක අංශ නිලධාරීන් අතර පැවැති සංවාදයකි. මධුරංගගේ යම් යම් හෙළි කිරීම් ඔස්සේ මේ වන විට එය සනාථ වී හමාරය.
සෙට් වුණේ මිලේනියම් සිටි ගෙදරකදී
මධුරංග සඳහන් කරන ආකාරයට අනුව ප්‍රහාරයේ සියලු සැලසුම් මාකදුරේ මධුෂ්ගේ සහ අංගොඩ ලොක්කාගේය.
මධුරංග සදහන් කරන ආකාරයට අනුව එදා කළුතර ප්‍රහාරයට යන සියලු දෙනාම මුණ ගැසී ඇත්තේ අතුරුගිරිය මිලේනියම් සිටි නිවාස සංකීර්ණයේ පිහිටි නිවසක් තුළදීය. එල්.ටී.ටී.ඊ.යේ වෙඩික්කරුවන් බව කියන දෙමළ ජාතිකයන් තිදෙනාද පැමිණ ඇත්තේ එතැනටය. ප්‍රහාරයට අවශ්‍ය ගිනි අවි සියල්ලක්ම රැගෙනවිත් ඇත්තේ අංගොඩ ලොක්කාය. ප්‍රහාරයෙන් පසු එම ගිනි අවි සියල්ලක්ම අංගොඩ ලොක්කා එතැනදීම එකතු කරගත් බව මධුරංග පවසයි. ගිනි අවිවලට අමතරව යුද හමුදා ඇදුම්වලට සමාන ඇදුම් සහ පොලිස් නිල ඇදුම් රැසක්ද අංගොඩ ලොක්කා රැගෙන විත් තිබී ඇත. හමුදා ඇඳුම්වලට සමාන ඇඳුම් දෙමළ ජාතිකයින් තිදෙනා වෙනුවෙනි. ඔවුන් තිදෙනා අතට ටී 56 තුනක්ද ලබා දී තිබුණේය. අංගොඩ ලොක්කා පොලිස් පරීක්ෂකවරයෙකුගේ නිල ඇඳුම ඇඟලා ගන්නා අතර මධුරංග ඇතුළු සෙසු අය එහි තිබුණු සෙසු පොලිස් ඇදුම් ඇඟලා ගෙන ඇත්තේ පොලිස් නිලධාරීන් ගේ චරිතයට පණ පොවමිනි. අංගොඩ ලොක්කා රැගෙන පැමිණි ඉතිරි ටී 56 අවිවලින් එකක් මධුරංග අතටද පත්ව තිබුණි. සෙසු දෙක බෙදා ගන්නේ ලැටාට සහ චමියාටය. ඉතිරිවන එකම අවිය වන්නේ පිස්තෝලයකි. එය බත්තරමුල්ලේ බන්ටි සිය අතට ගෙන තිබුණේය. මේ කණ්ඩායමේ ලඩියාද සිටියේය. මේ කණ්ඩායම මිලේනියම් සිටි නිවාස සංකීර්ණයේදී මුණ ගැසෙන්නේ 26 වෙනිදා රාත්‍රීයේදීය. වීඩියෝ දුරකථන ඇමතුමකින් මධුෂ්ද මේ අයට සම්බන්ධවී තිබුණේය. ප්‍රහාරයෙන් පසු මේ සියළු දෙනාටම කල්පිටියෙන් බෝට්ටුවල නැගී ඉන්දියාවට පළායන්නට සියලු පහසුකම් ඒ වන විටත් සකස්කර තිබුණේය.
පැය ගණනක් මග රැකලා
මිලේනියම් සිටි නිවාස සංකීර්ණයේ සිට මේ කණ්ඩායම මෙහෙයුමකට සූදානමින් ගමන් කරන පොලිසියේ විශේෂ කණ්ඩායමක් සේ ගමන් කරන්නට වූයේ වෑන් රථයකින් සහ කැබ් රථයකිනි. කැබ් රථය පදවන ලද්දේ ලඩියාය. එම රථයේ ඉදිරිපස අසුනේ රැඳී සිටියේ අංගොඩ ලොක්කාය. එදා මේ කණ්ඩායම රැය පහන් කළේ කළුතර එතනමඩලේය. ඒ බන්ධනාගාර බස් රථයට ප්‍රහාරය එල්ලකිරීමට කල්තියා සැලසුම් කල ස්ථානයේය. එම ස්ථානයේ පස් කණ්ඩියකි. බස් රථය ගමන් කරන්නේ පස් කණ්ඩිය අසලිනි. මධුෂ්ගේ වෙඩික්කරුවන් තිදෙනා රැඳී සිටින්නේ එම පස් කණ්ඩිය මතය. ඔවුන් බිම දිගාවී පස් කණ්ඩිය මත රැඳී සිටියේ ටී 56 මාර්ගය දෙසට අමෝරාගෙනය. ඒ අය එක ඉරියව්වෙන්ම පැය ගණනක්ම රැඳී සිටියේ බස් රථය පැමිණෙන තුරුය. අංගොඩ ලොක්කා ඇතුළු සෙසු පිරිස ඒ අසල රැඳී සිටියේ පැමිණි වාහනවල නැගීය.
සමයංව රැගත් බස් රථය බන්ධනාගාරයෙන් පිටත්වන විටම ඒ ගැන තොරතුරු මධුෂ් හරහා අංගොඩ ලොක්කාට ලැබී තිබුණේය. මධුෂ් මෙරට නොසිටියත් ඩුබායි සිට දුරකතන ඔස්සේ මෙහෙයුමට සම්බන්ධව සිටි බව කියති. සමයං රැගත් බස් රථය එතනමඩලේ පස් කණ්ඩිය කිට්ටුවට ලංවනවාත් සමග කැබ් රථය පණගැන්වූ ලඩියා එය බන්ධනාගාර බස් රථය හරස්වන සේ නතර කළේය. ඒත් එක්කම පස් කණ්ඩිය මත සිටි තිදෙනාගේ ගිනි අවි ක්‍රියාත්මක වූයේ බස් රථයේ සිටි සමයං ඇතුළු සියලු දෙනාගේම ඉරණම විසඳමිනි. ඒ වෙන කිසිවෙකුටත් කරන්නට දෙයක් ඉතිරි නොකරමිණි. එහෙත් අංගොඩ ලොක්කා බස් රථයට ගොඩවී ආසනයක් යට ලේ විලක් මැද වැටී සිටි සමයංව ඇදගෙන බස් රථයේ තරප්පුවට රැගෙන විටත් තමා අත වූ පිස්තෝලයෙන් වෙඩි කිහිපයක් තබන්නේ සමයං සමග පැවැති ජම්මාන්තර වෛරය පිරිමසා ගනිමිනි. අනතුරුව හමුදා ඇදුම්වලට සමාන ඇදුම්වලින් සැරසී සිටි දෙමළ ජාතිකයින් එම ස්ථානයෙන් ඉවත්වන අතර ඒ අය ගැන අනතුරුව කිසිවෙකුත් කිසිවක් දැන සිටියේ නැත. අංගොඩ ලොක්කා මධුරංගටත් ලැටාටත් බන්ටිටත් චමියාටත් දැනුම් දෙන්නේ කෙලින්ම කල්පිටියට යන ලෙසිනි. ඒ ඔවුන් සිව් දෙනාට ඉන්දියාවට පළා යාමට සියල්ලක්ම ඒ වන විට සූදානම් කර ඇති බව කියමිනි.
කල්පිටියෙන් ඉන්දියාවට
එහෙත් බන්ටි සහ චමියා ඉන්දියාවට පළායන්නට එතරම් කැමැත්තක් නොවීය. එබැවින් ඉන්දියාවට යන්නට කල්පිටිය බලා යන්නේ මධුරංගත් ලැටියාත් පමණි. බන්ටියා පළාගොස් සැඟවෙන්නේ සෙල්ලකතරගම පැත්තේය. ඔහුට වැඩි කාලයක් එහි සැඟව සිටින්නට ඉඩක් නොවීය. 2017 මාර්තු 21 වෙනිදා ඔහුව අත්අඩංගුවට ගන්නේ විශේෂ කාර්ය බළකායට ලද තොරතුරකට අනුවය. ප්‍රශ්න කිරීම් හමුවේ කළුතර බස් රථ ප්‍රහාරය ගැන බොහෝ තොරතුරු බන්ටි හෙළි කළත් ඒ ගැන වැඩිදුර විමර්ශන පොලිස්පති නියමයෙන් පැවරෙන්නේ කොළඹ අපරාධ කොට්ඨාසයටය. එකල කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂකවරයා ලෙස සේවයේ නිරතව සිටින්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වත්මන් අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත සොයිසාය. බන්ටිගෙන් කෙරුණු ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව ඔහුගේ බත්තරමුල්ල රොබට් ගුණවර්ධන මාවතේ පිහිටි නිවසේ සඟවා තිබුණු ටී 56 වර්ගයේ ගිනි අවියක්ද සොයා ගත්තේය. කළුතර ප්‍රහාරයට යොදාගත් ගිනි අවියක් යැයි මුලින් එය හදුන්වනු ලැබුවත් පසුව හෙළීවන්නේ එය කළුතර ප්‍රහාරයට යොදා ගත්තක් නොවන බවකි. ඊට කෙටි කලකට පසු චමියාවද කළුතර බන්ධනාගාර බස් රථ ප්‍රහාරයට සැකපිට අත්අඩංගුවට ගත්තේය. සමයංට ඊට පෙර කඩුවෙල අධිකරණය තුළදී වෙඩි තබා ඝාතනය කරන්නට උත්සහයක් ගන්නේද ඔහුය. කළුතර බන්ධනාගාර බස් රථ ප්‍රහාරයට අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගතව සිට ඇප මත එළියට පැමිණි ඔහු ගතකරමින් සිටියේ සැගවුණු ජීවිතයකි. එහෙත් වැඩි කල් ඔහුට ජීවත්වන්නට ඉඩක් නොවීය.පොලිස් වෙඩි ප්‍රහාරයකට ලක්ව ඔහු මරුමුවට පත්වන්නේ මෙම වසරේදීය. ඒ ගම්පහ කළුපාලම ආසන්නයේදී ආයුධ පෙන්වන්නට ගොසිනි.
අංගොඩ ලොක්කා වෙනස් වෙයි
“කල්පිටියෙන් මමයි ලැටියායි එදා රෑම මාළු බෝට්ටුවකින් මුහුද මැදට ගියා. පස්සේ ඉන්දියානු මාළු බෝට්ටුවකට අපි දෙන්නව භාර දුන්නා. පැය ගාණක ගමනකින් පසුව අපිව ඉන්දියාවට රැගෙන ගියා. අපි ගොඩවුණේ තූත්තුකුඩියෙන් බව පස්සේ දැන ගත්තා. අපිට නවාතැන් ගන්න නිවසක් සූදානම් කරල තිබුණා. සිංහල කථාකරන්න පුළුවන් අයෙකුගේ සහය අපිට ලැබුණා. සුරේෂ් කියලයි එයාට කියන්නේ“ මධුරංග පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ ඉන්දියානු ගමන ගැන කියා තිබුණේ එවැන්නකි. අංගොඩ ලොක්කාත් ලඩියාත් ඉන්දියාවට පනින්නේ ඊට සතියකට දෙකකට පමණ පසුවය. ඒ මාර්තු මාසයේ 10ත් 11 යන දෙදිනෙන් එක් දිනකදීය.
“ලොක්කා ඉන්දියාවට ඇවිල්ල තිබුණෙත් අපි ආපු විදිහටමයි. එයා අපිව බලන්න අවා. අපි හිටපු තැනමයි ඒ දෙන්නත් නතර වුණේ. පස්සේ ඒ දෙන්නා ඩුබායි යන්න ගිහින් එයාපෝට් එකේදි හම්බවෙලා තිබුණා.“ යැයිද මධුරංග ප්‍රශ්න කිරීම් හමුවේ පවසා ඇත්තේය. අංගොඩ ලොක්කා සහ ලඩියා ඩුබායි යන්නට උත්සහ දරන්නේ 2017 වසරේ මැයි 20 වෙනිදාය. ඒ චෙන්නායි ගුවන් තොටුපොළෙනි. ඒ වෙනත් පුද්ගල නම්වලින් ඇති විදෙස් ගමන් බලපත්‍රවලිනි. අංගොඩ ලොක්කා පෙනී සිටින්නේ මාළඹේ පංසල පාරේ පදිංචිකරුවෙක් වන ඉලවලගේ සඳුන් නමිනි. ලඩියා පෙනී සිටින්නේ මීගොඩ පාරේ පදිංචිකරුවෙක් වන චානක දසනායක ලෙසිනි. මේ දෙන්නාව ගුවන් තොටුපොලේදී හසුවන්නේ ඔවුන් ඉන්දියාවට ඇතුළු වූ ආකාරයක් විදෙස් ගමන් බලපත්‍රවල නොවීම හේතුවෙනි. ඒ සම්බන්ධයෙන් මාසයකට ආසන්න කාලයක් චෙන්නායි හිර ගෙදර සිටි ඔවුන් දෙදෙනා ඇප මත නිදහස ලැබීමෙන් පසු දිගටම ඉන්දියාවේ රැඳී සිටීමට තීරණය කරනුයේ ඔවුන්ට ඉන්දියාව වඩාත් ආරක්ෂිත බව දැනෙන්නට වූ නිසා වන්නට පුළුවනි. මධුරංග හෙළිකර ඇති තොරතුරුවලට අනුව ඉන්දියාවේදී අංගොඩ ලොක්කා ඇතුළු කණ්ඩායම සහය දී ඇත්තේ එරට තරුණ නීතීඥවරියකි. ඇගේ පියා එල්.ටී.ටී.ඊ. හිතවාදියෙකි. ඇය විසින් අංගොඩ ලොක්කා ඇතුළු කණ්ඩායමටම එරට පුරවැසියන් ලෙසට ව්‍යාජ සහතික පවා සකස්කර දී ඇත. අංගොඩ ලොක්කා ව්‍යාපාරයක් ආරම්භකර ඇත්තේ එම ව්‍යාජ ලියකියවිලිවලිනි.
“ ටික කාලයක් යනකොට ලොක්කා වෙනස් වුණා. එයා සල්ලිවලට නොකරන දෙයක් නැති වුණා. ගෑණුන්ට පෙරේතයෙක් වුණා. ළඟම හිටපු ලඩියත් තරහා වුණා. අපිත් එක්කත් එතරම් හිතහොඳ කමක් තිබ්බෙ නැහැ. ඒත් අපිට ඉන්න කරන්න වියදම් සියල්ලක්ම ලොක්කාගෙන් ලැබුණා. ලොක්කා මරණෙ කිට්ටුකර ගත්තෙත් කට්ටිය එක්ක තරහා වුණු නිසයි. “ ප්‍රශ්න කිරීම් හමුවේ ලොක්කාගේ කල්ලිය කැඩී වෙන්වූ අයුරු මධුරංග පවසා ඇත්තේ එසේය.
අංගොඩ ලොක්කාගේ ඒ වෙනස සිදුව ඇත්තේ මාකදුරේ මධුෂ් ඩුබායි පොලීසියට 2019 වසරේ පෙබරවාරි 04 වෙනිදා හසුවීමෙන් අනතුරුවය. මධුෂ් ඩුබායි පොලීසියට කොටුවීමෙන් පසු ලොක්කාගේ සිහිනය වී ඇත්තේ මධුෂ්ගේ තැන ගැනීමය. එහෙත් ඔහු සිතූ ලෙස එය පහසු කටයුත්තක් නොවීය. පාතාලයේ ගෝඞ් ෆාදර් වීමේ වියරුවෙන් ඔහු තමාට කප්පම් නොදුන් ව්‍යාපාරිකයන් පමණක් නොව තමාට විශ්වාස නොවූ ගෝලබාලයින්ට පවා කුලී ඝාතකයින් යොදා කොකා ගස්සන්නට ගත්තේය. ඉන්දියාවේදී ඔහුගේ මරණය අමුතුම ආකාරයකට සිදුවන්නේ එබැවිනි. ඊට ඔහු ඉන්දියාවට ගෙන්වාගෙන සිටි අනියම් බිරිද පවා සහයක් දක්වා තිබුණු බව මධුරංග කියන්නට විය.
යළි ලංකාවට ආ හැටි
“මාස කිහිපයක් තිස්සේ මගේ ගෑණි ගැන තොරතුරක් නැහැ. ෆෝන් එක වැඩ කරන්නෙත් නැහැ. ගෑණි වෙන මිනිහෙක් එක්ක ගිහින් ද කියල මට සැකයක් ආවා. ඒ ගැන හොයල බැලුවත් තොරතුරු නැහැ. මට දරුවෙක් ඉන්නවා. ඒ දරුවට මම ආදරෙයි. අඩුම තරමෙන් දරුව එක්කවත් කථාකරන්න විධියක් නැති වුණා. ඒ අය ගැන තොරතුරක් නැති නිසාමයි මම ලංකාවට එන්න තීරණය කළේ.“ තුන්වසරකට පසු ලංකාවට එන්නට මුල්වූයේ කුමක්දැයි මධුරංග හෙළිකරන්නේ එසේය.
“ලෝයර් නෝන තමයි මට ලංකාවට එන්න බෝට්ටුවක් හොයල දුන්නේ. ලංකාවට ගිහින් ආපහු එන ක්‍රමයත් ලෝයර් නෝන සකස්කරල දුන්නා. ගියා වගේම මාළු බෝට්ටුවකින් කල්පිටියට ඇවිල්ල මාළු වාඩියක නතර වුණා. මගේ ගෑණි වෙන මිනිහෙක් එක්ක ගිහින් තිබුණොත් දෙන්නවම මරල ආයිමත් ඉන්දියාවට යන්න හිතාගෙනයි ආවේ. ඒත් ටික දවසක් ඉන්නකොට හිතුනා ලොක්කත් නැති එකේ උසාවියට භාර වෙලා ලංකාවෙම නතර වෙන්න. ඒත් ඊට ඉස්සරින් පොලීසියට මාව මාට්ටු වුණා.“ මධුරංග ඉන්දියාවේ සිට ලංකාවට පැමිණි ගමන ගැන අන්තිමට කීවේ එවන් කථාවකි.
ඇල්ටෝ ධර්මේ ඩුබායිහිදී කොටු වුණු හැටි
කළුතර ප්‍රහාරයේ සැඟවුණු අභිරහසක් එම ප්‍රහාරයේ වෙඩික්කරුවෙක් වසර තුනකුත් මාස නවයකට පසු අත්අඩංගුවට ගැනීමෙන් පසු හෙළිකරමින් සිටින විට තවත් මෙරට පාතාලයේ අපරාධකරුවෙක් අබුඩාබිහීදී එරට පොලීසියට හසුවන්නේ මේ අතරතුරදීය. ඔහු එල්ලවල ලියනගේ ධර්මසිරි පෙරේරා හෙවත් ඇල් ටෝ ධර්මේ ය. රත්මලාන ගොනා කෝවිලේ අංජු නැමැති පාතාලයේ ප්‍රබලයාගේ අපරාධ කළමනාකරු වන ඇල්ටෝ ධර්මේ 2018 වසරේ අග ජුනි මාසයේ සිට පාතාලයේ වැඩ පෙන්වූයේ ඩුබායි සිටය. පොලිස් වාර්තාවල සඳහන් වන ආකාරයට අනුව ධර්මේ ඩුබායි පනින්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනංජය සිල්වාගේ පියා වන රංජන්ද සිල්වා ඝාතනය කරමිනි. රංජන්ද සිල්වා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාගරික මන්ත්‍රීවරයෙකි. ඔහුගේ වැඩිමහල් පුතා සාවිත්‍රද සිල්වාය. ඔහු පොදු පෙරමුණේ හිටපු නාගරික මන්ත්‍රීවරයෙකි. එදා 2018 වසරේ මැයි 05 වෙනිදා රාත්‍රියේ රංජන්ද සිල්වා ඉලක්ක කරන්නේ සාවිත්‍රද සමගිනි. එම අවස්ථාවේදී සාවිත්‍රිගේ දිවි ගැලවෙන්නේ ඔහුගේ කකුල් දෙකට පිංසිදුවන්නට එම ස්ථානයෙන් දිවගොස් සැඟවීමෙනි. එදා ධනංජය සිල්වා විදෙස් තරගයකට සහභාගිවෙමින් සිටි බැවින් ඔහුගේ ජීවිතයට අනතුරක් නොවීය. එසේ නොවන්නට ධනංජය සිල්වාද වෙඩික්කරුවන්ගේ ඉලක්කයක් විය.
ධනංජය සිල්වාගේ පවුලේ සාමාජිකයින් ඉලක්කයක් බවට පත්වන්නේ ගොනා කෝවිලේ අංජුගේය. ඔහු ඇල්ටෝ ධර්මේගේ බොසාය. අංජුගේ ප්‍රධාන ප්‍රතිවාදියා වූ ගොනා කෝවිලේ රොහා සමග හිතවත්කම් පෑම ඊට මුල්විය. එම හිතවත්කම් පැවතුණේ ගමේ කමට මිස ධනංජයගේ පවුලේ සාමාජිකයින් පාතාලයේ අපරාධකරුවන් සමග සම්බන්ධකම් පැවැත්වීමක් නිසා නොවේ. එය වටහා නොගත් අංජු ඩුබායි සිටි ධනංජයගේ පවුලම ඝාතනය කිරීමේ වගකීම පවරන්නේ ඔහුගේ ප්‍රධාන ගෝලයා වන ඇල්ටෝ ධර්මෙටය. කුලී ඝාතකයින් යොදා එදා ධනංජය සිල්වාගේ පියාව ඝාතනය කරන ඇල්ටෝ ධර්මේ දින කිහිපයකට පසුව ඩුබායි බලා පිටත්ව යන්නේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළිනි. ධර්මේගේ නම පාතාල ලෝකයේ නිතර කියැවෙන නමක් බවට පත්වන්නේ අනතුරුවය.
ධර්මේගේ පැටිකිරිය මෙන්න
1978 වර්ෂයේ උපන්නෙක් වන ධර්මේ දම්පේ මඩපාත පදිංචිව සිටියෙකි. උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලැබූ ඔහු ඇගළුම් කර්මාන්ත ශාලාවක තත්ත්ව පරීක්ෂකවරයෙක් ලෙසද සේවය කළේය. ඔහුගේ විවාහය සිදුවන්නේද එකලය. එම විවාහයෙන් ඔහුට එක් දරුවෙක්ද සිටින්නේය. ධර්මේ මත්කුඩු භාවිතාවට ඇබ්බැහි වන්නේද ඇගළුම් කර්මාන්ත ශාලාවේ සේවයේ නිරතව සිටියදීය. රැකියාවෙන් උපයන වැටුප මත්කුඩු පානයට ප්‍රමාණවත් නොවූ බැවින් ඔහු සොරකම් සහ මංකොල්ලකෑම්වලටද පෙළඹුනේය. 2005 වසරේදී ඔහුව මිරිහාන විශේෂ අපරාධ විමර්ශක ඒකකය මගින්ද අත්අඩංගුවට ගන්නේ වාහන මංකොල්ලයකට සැකපිටය. ඇල්ටෝ ධර්මේ බවට ඔහු පත්වන්නේ එතැන් සිටය. ඇල්වතුරත් නිවා පානය කරන්නෙකුගේ චරිතය පොලිස් නිලධාරීන් ඉදිරියේ රඟ පෑම හේතුවෙන් ධර්මසිරිට ඇල්ටෝ ධර්මේ නාමය භෞතිස්ම කරන්නේ පොලීසියයි.
වාහන කොල්ලකෑම් සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත්ව රක්ෂිත බන්ධනාගාරගතවන ඇල්ටෝ ධර්මේ ඇප මත නිදහස ලබන විට ඇගළුම් කර්මාන්ත ශාලාවේ රැකියාව අහිමිව ගොස් තිබුණේය. එතැන් පටන් ඔහු නැනෝ වර්ගයේ කැබ් රථයක් කුලී ගමන් සදහා ධාවනය කරන්නට ගත්තේය. ගොනා කෝවිලේ අංජුව ඔහුට දැන හදුනා ගන්නට ලැබෙන්නේ එම වකවානුවේදීය. එකල අංජු ද නැනෝ කැබ් රථයක් කුලියට පැදෙව්වේය. පාතාලයේ එකල වැඩකරුවෙක් වූයේ අංජුගේ වැඩිමහල් සහෝදරයා වූ ලංසියාය. ඔහුට ධර්මේ කිට්ටුවන්නේ අංජු හරහාය. ලංසියා මත්කුඩු ජාවාරමේද නිරතවූවෙකි. ලංසියාගේ මත්කුඩු ධර්මේගේ නැනෝ කැබ් රථයෙන්ද බෙදා හරින්නට විය. ධර්මේගේ විවාහය දෙදරා යන්නේද මේ වකවානුවේදීමය. ඔහු තවත් ගැහැණියක් සොයා ගන්නේ රත්මලානෙනි. ඒ ලංසියාගේ රාජධානියෙනි. මත්කුඩු නඩුවකට පෙනී සිටීමට කඩවත පිහිටි අධිකරණයට ගොස් සිටියදී රොහාගේ වෙඩි ප්‍රහාරයකින් ලංසියා ඝාතනය වීමෙන් පසු අංජුට පාතාලයේ කිරුල පලදා ඔහුව ලංසියාගේ තැන තබන්නට මුල්වන්නේ ධර්මෙ ය. අංජු සියලු ගේම් ගැහුවේ ඩුබායි සිටය. දැන් ඔහු සිටින්නේ ප්‍රංශයේය. ඇතැම්හු කියන්නේ ඉතාලියේ ඔහු සිටින බවකි. ධනංජයගේ පියාගේ ඝාතනයෙන් පසු ධර්මේ ඩුබායි පනින විට අංජු සිටියේ ඩුබායිවලය. අංජුගේ අණින් ක්‍රියාත්මක වන සියලුම පාතාල අපරාධ සහ මත්කුඩු ජාවාරම සිදුවන්නේ ධර්මේගේ මෙහෙයැවීමෙනි. මිනුවන්ගොඩ පැත්තේ පොල් ඉඩමක පිහිටි පාළු නිවසක් තුළදී පසුගිය දා පොලිස් වෙඩි ප්‍රහාරයකින් ඝාතනය වූ ගොනා කෝවිලේ රොහාගේ ගෝලයෙක් බව ප්‍රසිද්ධ වූ අංජුගෙන් කැඩී ගිය පාතාලයේ අපරාධකරුවෙක් වූ ගොනා කෝවිලේ රාජා ගේත්, කොච්චිකඬේදී පොලිස් වෙඩි ප්‍රහාරයකින් ඝාතනය වූ ගොනා කෝවිලේ රොහාගේත් ඝාතනයන් සම්බන්ධයෙන් මෙතෙක් හෙළි නොවූ බොහෝ තොරතුරු දන්නේ ධර්මේය. ඒ අංජුගේ මත්කුඩු ජාවාරමේ කෝටි ගණනක මුදල් එහා මෙහා කලේ ධර්මේ වන බැවිනි. මේ දෙදෙනාට අංජු ඉව ඇල්ලුවේ වසර ගණනාවක් තිස්සේය. ඒ වෙනුවෙන් කුඩු සල්ලි අංජුගේ අතින් බෙදුවේ ධර්මේය. ඔහු ඒ සියල්ලක්ම සටහන් තබාගෙන සිටියේය. අපරාධ ලෝකයේ දේශපාලන සම්බන්ධකම් ගැන මෙන්ම පොලිස් සම්බන්ධකම්ද සාක්ෂි සහිතව ඇත්තේ ධර්මේ සතුවය. ඩුබායි පොලීසිය ඔහුව අත්අඩංගුවට ගන්නේ එරට සිදුවූ යම් අපරාධයක් හේතුවෙන් නොව ධනංජයගේ පියාගේ ඝාතනය ඇතුළුව ඔහු කළ අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පොලීසිය මගින් නිකුත්කර තිබුණු රතු වරෙන්තුවකට අනුවය.
අබුඩාබිය පිහිටා ඇත්තේ එක්සත් එමීර් රාජ්‍යය තුළය. ඩුබායි අයත් වන්නේද ඊටය. ඩුබායි හී පරිපාලන කටයුතු බොහොමයක් සිදුවන්නේද අබුඩාබි කේන්ද්‍රකරගනිමිනි. මාකදුරේ මධුෂ්ව ඩුබායි හීදී අත්අඩංගුවට පත්වීමත් සහග ඔහුව මෙරටට පිටුවහල්කර ගැනීමට රාජ්‍ය තාන්ත්‍රීක මෙහෙයුම් දියත් කරනුයේ අපේ රටේ විදේශකටයුතු ඇමතිවරයා ඇතුළු නීති ක්ෂේත්‍රය් නිලධාරීන් අබුඩාබි ගොසිනි. ඒ අනුව අබුඩාබිහීදී අත්අඩංගුවට පත්වුණු ධර්මේව මෙරටට පිටුවහල් කර ගැනීම එතරම් අපහසු කටයුත්තක් නොවනු ඇත. එහෙත් මාකදුරේ මධුෂ්ට සිදුවූ සිංසිද්ධිය මුල්කර ගනිමින් ධර්මේව අපේ රටට ලැබේවිදැයි ඇත්තේ අනපේක්ෂිත තත්වයකි. ඒ නිසාම මේ වන විටත් ඔහුව මෙරටට භාර ගැනීමට රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුමක් මේ වන විටත් ක්‍රියාත්මකය. එම මෙහෙයුම සාර්ථක වුවහොත් ධර්මේ නුදුරේම මෙරටට භාරදෙනු ඇත. එහිදී ධර්මේවත් රඳවාගෙන මාස ගණනක් කන්න බොන්නට දෙමින් අවසානයේදී මධුෂ්ට වූ දේම වන්නේ නම් පලක් නොවනු ඇත. ඒ මධුෂ්ගේ මරණයත් සමග බොහෝ දේවල් වැළලී ගිය බැවින් ධර්මේ සමගින් තවත් බොහෝ අපරාධ වැළලී යන්නට ඇති ඉඩ කඩ වැඩි බැවිනි.
යාපනේ අලුත්ම කොටි පිල්ලිය
රටින් පැන්න පාතාල අපරාධකරුවන් එකා දෙන්නා ඉකුත් සතියේදී පොලිස් අත්අඩංගුවට පත්වන විට ස්විට්සර්ලන්තයේ සිට මෙහෙයවන එල්.ටී.ටී.ඊ. පිල්ලියක් කොටුකර ගන්නට හමුදා බුද්ධි අංශය සමත් විය. ඒ යාපනයේ සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ මගී බස් රථයකින් ක්ලේමෝ බෝම්බයක් රැගෙන යමින් සිටි අඹුසැමි යුවලක් ඉකුත් 02 වෙනිදා අත්අඩංගුවට ගැනීමත් සමගිනි. එම යුවළ ගෙයින් ගෙට ගොස් බුමුතුරුණු අලෙවියේ නිරතවන්නන් වන අතර ක්ලේමෝ බෝම්බය තිබෙන්නේ එම බුමුතුරුණු තුළ සඟවාය. හමුදා බුද්ධි අංශයට කල්තියා ලද තොරතුරකට අනුව බස් රථය පරන්තන් ප්‍රද්ශයේදී නතර කර පොලීසිය සමග කළ පරීක්ෂාවේදී මෙම බෝම්බය හමුවන අතර ඒ අය බස් රථයට ගොඩවී ඇතැයි හෙළිවන්නේ අයියකච්චියෙනි. බෝම්බය ඔවුන්ට රැගෙන යාමට නියමිතව තිබී ඇත්තේද පරන්තන් ප්‍රදේශයටය. යුද හමුදා බුද්ධි අංශය විසින් සොයාගෙන ඇති තොරතුරුවලට අනුව බෝම්බය රැගෙන යාමට නියමිතව තිබී ඇත්තේ ත්‍රිකුණාමලයටය. ඒ සදහා ත්‍රිකුණාමලයේ සිට යම් පුද්ගලයෙක් පරන්තන් වෙත පැමිණිමටද නියමිතව තිබී ඇත. මේ යුවළ බෝම්බය සමග අත්අඩංගුවට පත්වන්නේ ඊට පෙරය. සැමියා සිංහරාසා දයානුජන්ය. ඔහු විසි නව වියැතිය. බිරිද දයානිජන් අම්බිකාය. ඇය තිස්පස් වියැතිය. තමාට වඩා වයසින් අඩු පිරිමියෙක් සමග අම්බිකාගේ විවාහය සිදුවන්නේ පළමු විවාහයෙන් පස් හැවිරිදි දියණියක්ද සිටියදීය. මේ දෙදෙනා අත්අඩංගුවට පත්වන විට ඇයද බස් රථයේ ගමන් කරමින් සිටියාය. ආරක්ෂක අංශ අඹු සැමි යුවළ පමණක් අත්අඩංගුවට ගන්නට එම අවස්ථාවේදී වග බලා ගන්නේ එම දියණිය මේ කිසිවක් නොදැන සිටි බැවිනි.
ඒ වන විට හමුදා බුද්ධි අංශය විසින් බොහෝ තොරතුරු හෙළිකරගෙන තිබුණේය. ඊට අනුව මෙම බෝම්බය මෙම යුවළට භාරදෙන්නේ 2014 වසරේදී අප්‍රේල් 10 වෙනිදා නැදුන්කර්නි කැලෑවේදී හමුදා ප්‍රහාරයකින් මරුමුවට පත්වූ පොන්නයියා සෙල්වනායගම් නොහොත් ගෝබි නැතහොත් ගෝපි නැමැත්තාගේ මව විසිනි. කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ මරණයත් සමග අවසන් වූ ඊළාම් සිහිනය නැවත පණ ගන්වන්නට මෙරට නායකත්වය ලබාදීමට සූදානම් වූයේ ගෝපිය. ඒ ගැන ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට ඉව වැටී 2014 වසරේ මාර්තු 13 වෙනිදා ගෝපි සැඟවී සිටියේ යැයි කියනු ලබන ධර්මපුරම් හී පිහිටි නිවසක් පරීක්ෂා කිරීමට යාමේදී එහි රැඳී සිටි ගෝපි ඇතුළු පිරිසක් පළා යන්නේ ත්‍රස්ත විමර්ශන නිලධාරීන්ට වෙඩි තබාය. අනතුරුව යුද හමුදාව විසින් ගෝපි සොයා මොහෙයුමක් දියත් කරන්නේ ඔහු සිය කල්ලිය සමගින් කැලෑවැදී සිටීම නිසාය. 2014 වසරේ අප්‍රේල් 10 වෙනිදා හමුදා ප්‍රහාරයෙන් ඔහු සමග තවත් දෙදෙනක් මරුමුවට පත්වන්නේ එම මෙහෙයුමේ ප්‍රතිඵලයක් ලෙසිනි.
ස්විට්සර්ලන්තයේ තේවියන්
ගෝපි සම්බන්ධයෙන් එකල කෙරුණු වැඩිදුර විමර්ශනවලින් හෙළිවන්නේ ඔහුගේ සහෝදරයා වන තේවියන් ප්‍රංශයේ සහ නෝර්වේ හී විටෙන් විට රැඳී සිටිමින් සිය සහෝදරයා ඇතුළු පිරිස මෙහෙයවමින් මිය ගිය කොටින්ට පණ දෙන්නට උත්සහ දරමින් සිටි බවය. තේවියන් අවසන් සටනේදීද කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් සමග සිටියෙකි. ප්‍රභාකරන්ගේ බිරිඳගේ පුද්ගලික ආරක්ෂකයා ලෙසද කටයුතු කර ඇති ඔහු අවසන් මොහොත්දී පවා උත්සහ දරා ඇත්තේ ප්‍රභාකරන්ව ගුවනින් හෝ පන්නන්නටය. ඒ වෙනුවෙන් එකල සැලසුමක්ද ක්‍රියාත්මකව තිබී ඇත. යුද්ධය නිමාවීමත් සමග කැළෑවැදී සිටි තේවියන් මන්නාරමෙන් ඉන්දියාවට පැන ගන්නේ ධීවර බෝට්ටුවකිනි. ඉන්දියාවේ සිට නෝර්වේ සිටි නෙදියවන් සමග සම්බන්ධකම් ගොඩනගා ගත් ඔහු යුරෝපයට පැන ගන්නේ ඉදිරි සැලසුම් දියත් කිරීමටය. අනතුරුව ඔහු ප්‍රංශය, නෝර්වේ සහ ස්විට්සර්ලන්තය ඇතුළු යුරෝපීය රටවල් රැසක සංචාරයේ නිරත වෙමින් නැවත එල්.ටී.ටී.ඊ.යට පණ දෙන්නට නොගන්නා වෙහෙසක් නැති තරම්ය. මෙවරත් කියැවෙන්නේ ඔහුගේ නමය. මෙවර ඔහු සිය මෙහෙයුම දියත්කර ඇත්තේ ස්විට්සර්ලන්තය කේන්ද්‍රකර ගනිමිනි. උතුරු – නැගෙනහිර පළාත් ආශ්‍රීතව ඔහු නියෝජිතයින්ද සූදානම්කරගෙන සිටින බව පෙනී ගොස් ඇත. ක්ලේමෝ බෝම්බය රැගෙන යාමට ත්‍රිකුණාමලයේ සිට පැමිණිමට නියමිතව සිට ඇත්තේ එවන් නියෝජිතයෙකි. එසේම ටික දිනකට පෙර මේ ආකාරයෙන්ම අයියකච්චියේ සිට මේ යුවළ යාපනයටද බෝම්බයක් රැගෙන ගොස් යම් පුද්ගලයෙකුට භාර දී ඇත්තේය. එයද සිදුව ඇත්තේ ස්විට්සර්ලන්තයේ සිට තේවියන් විසින් ලබාදුන් උපදෙස්වලට අනුවය.මේ අකාරයට බෝම්බ ප්‍රවාහනය කළ යුවල පදිංචිව සිටින්නේ අයියකච්චි ප්‍රෙද්ශයේය. ගෝපිගේ මව වන සෙල්වනායගම් රාසමලන් පදිංචිව සිටින්නේද අයියකච්චිවලය. ඇය හැටහත් වියැතිය. බෝම්බය සමග අත්අඩංගුවට ගත් අඹුසැමි යුවළ විසින් හෙළිකරන ලද තොරතුරුවලට අනුව විමර්ශකයින් ඇයවද අත්අඩංගුවට ගත්තේය. අනතුරුව ඇගේ තොරතුරු මත අසල වත්තක වළදමා තිබී අත්බෝම්බ දෙකක් සහ ටී 56 පතොරම් රැසක්ද සොයා ගත්තේය. ඒ අනුව එම ගෙවත්තේ හිමිකාරිනියද අත්අඩංගුවට ගන්නට විමර්ශකයන් වග බලා ගත්තේය. ඇය කුලසිංහම් කුගනේෂ්වරීය. හැට දෙහැවිරදි ඇයව අත්අඩංගුවට ගන්නේ බෝම්බ වළදැමීම සිදුව ඇත්තේ ඇගේ අනුදැනුම මත සිදුව ඇතැයි හෙළිවන්නට වූ බැවිනි.
ගෝපිගේ මව සදහන් කරන ආකාරයට අනුව පරන්තන් වෙත රැගෙන ගිය ක්ලේමෝ බෝම්බයත් යාපනයට රැගෙන ගිය බෝම්බයත් ඇය විසින් ගොඩගෙන ඇත්තේ වළදමා තිබියදීය. ස්විටර්ලන්තයේ සිටින සිය වැඩිමහල් පුතා වන තේවියන් එම බෝම්බ ඇති ස්ථාන ගැන දුරකතනයෙන් සඳහන් කළ විට ඒවා ගොඩගෙන ඔහු පැවැසූ ආකාරයට බෙදා දෙන්නේ ඇයය. ඒ වෙනුවට බෝම්බ ප්‍රවාහනය කරන්නන්ට යම් දීමනාවක්ද හිමිවනු ඇත. පරන්තන්හීදී අල්ලාගත් අඹුසැමි යුවලට ලැබී ඇති දීමනාව රුපියල් 50000 කි. ඒ අයට මාසයක් පුරාවට බුමුතුරුණු අලෙවිකර ඒ මුදල සොයා ගන්නට බැරිය. බෝම්බ ප්‍රවාහනය කිරීමේ කොන්ත්‍රාත්තුව භාර ගන්නේ එබැවිනි.
බෝම්බයේ අකුරු සිංහලෙන්
වළදමා තිබුණු ක්ලේමෝ බෝම්බ මේ අකාරයට ගොඩ ගනිමින් තැන තැන රැගෙන යන්නේ සෙල්ලම් කරන්නට නොවන බව පැහැදිලිය. ඒ තුළ ගැබ්ව ඇත්තේ අනතුරු ඇඟවීමකි. සොයාගත් ක්ලේමෝ බෝම්බයද මේ වන විට විමර්ශකයන්ට ගැටලු ගොන්නක්ද මතුකර අවසන්ය. ඒ එල්.ටී.ටී.ඊ.ය භාවිතා කළ ක්ලේමෝ බෝම්බය පුපුරායන පැත්ත දෙමළෙන් සටහන් කර තිබුණත් මෙම ක්ලේමෝ බෝම්බයේ පුපුරන පැත්ත “ සතුරාට ඉදිරියට“ යැයි සිංහලෙන් සඳහන් වී තිබීම නිසාය.
රුවන් වෙඩිවර්ධන