අමෙරිකාවෙන් එන්නෝ
කෝටි ගණන් අල්ලස් ගැනීම්, අත්අඩංගුවට පත්වීම්, පාර්ලිමේන්තුව ඇතුළේ විරෝධතා, සෙංකෝලය ඔසවාගෙන යෑමට උත්සාහ කිරීම් ආදී එකී නොකී දේශපාලන හුටපට අස්සේ ඒවාට යටවී කවුරුත් නොදන්නා සුවිශේෂ දේශපාලන සිදුවීම් රැසක්ද තිරය පිටුපස සිදුවෙමින් පවතින ආකාරයක් මේ දිනවල දැකගැනීමට පුළුවන. නමුත් රටේ ජනතාවගේ අවධානය එළිපිට සිදුවන මෙවැනි සිදුවීම්වලට යොමුවී තිබෙනවා විනා තිරය පිටුපස සිදුවන අතිශය තීරණාත්මක සිදුවීම් පිළිබඳ හෝ ඒ පිළිබඳ විවරණයක යෙදෙන්නට ඔවුන්ගේ උනන්දුවක් ඇති බවක් දැකගන්නට නැත. නමුත් ජනතාව නොදන්නා, මාධ්‍ය මගින් එළියට නොඑන තිරය පිටුපස සිදුවන අතිශය සංවේදී සහ විශේෂ සිදුවීම් පිළිබඳ අලුත්ම අලුත් තොරතුරු සතිපතා ජනතාව හමුවට ගෙන එන ‘රාජ්‍ය රහස්’ තීරය මෙවරද සූදානම් වන්නේ කවුරුත් නොදැන තිරය පිටුපස සිදුවන එවැනි අලුත්ම සිදුවීම් පෙළක තොරතුරු රටට පළමු වතාවට හෙළිදරව් කරන්නටය.Sri Lanka Latest News
පසුගිය වතාවකදී ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අප විශේෂ අනාවරණයක් කරමින් ඇමෙරිකාව මෙරට අතිසංවේදී ආර්ථික මර්මස්ථානවල ආයෝජනය කිරීමට සැලසුම් කරමින් සිටින ආකාරය පිළිබඳ තොරතුරු වාර්තා කිරීමට කටයුතු කළෙමු. එහිදී දකුණු හා මධ්‍යම ආසියානු කලාප භාර ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිතයා මෙන්ම ඉන්දියාවේ අමෙරිකානු තානාපතිවරයාද වන සර්ජියෝ ගෝර් මීට මාස කිහිපයකට ඉහතදී ලංකාවට පැමිණ ජනාධිපතිවරයා හමුවූ ආකාරයත්, එම හමුවෙන් පසු කෙළින්ම කොළඹ වරායේ බටහිර පර්යන්තයට ගොස් එහි නිරීක්ෂණ චාරිකාවක නිරත වූ ආකාරයත් ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ වාර්තා කිරීමට අපි කටයුතු කළෙමු. මීට අමතරව දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම්වරයා වූ පෝල් කපූර් ඇමෙරිකානු සෙනට් සභාව ඉදිරියේ ලංකාවේ ඇති වැදගත්කම පිළිබඳ විශේෂ තොරතුරු රැසක් ඉදිරිපත් කළ ආකාරයත් පසුගිය පෙබරවාරියේදී අපි වාර්තා කර සිටියෙමු. කපූර් ලංකාව ගැන සෙනෙට් මණ්ඩලයට කී කතාව එදා ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අප වාර්තා කර සිටියේ මෙසේය.
අපි විතරයි හෙළිකළේ..
‘පසුගිය සතියේ ඇමෙරිකානු සෙනෙට් මණ්ඩලයේ විදේශ සබඳතා කමිටුවේ රැස්වීමක් පැවැති අතර, ඊට දකුණු සහ මධ්‍යම ආසියානු කලාපය භාර සහකාර ලේකම් පෝල් කපූර් මහතාද එක්ව සිටි ආකාරයක් දැකගත හැකි විය. එහිදී සාකච්ඡාව කේන්ද්‍ර වී තිබුණේ දකුණු ආසියානු කලාපය තුළ ඇමෙරිකානු විදේශ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සහ ඊට අදාළ උපාය උපක්‍රම තේරීම සම්බන්ධයෙන්ය. මෙම සාකච්ඡාවේදී කිසිවකුත් නොසිතූ ආකාරයට ලංකාව සම්බන්ධයෙන් අතිශය වැදගත් කතාවක් මේ පෝල් කපූර්ගෙන් එළියට පැමිණියේය. එහිදී ඇමෙරිකානු බලධාරීන් ඉන්දීය සාගර කලාපය ඇතුළත දියත් කළ යුතු ඉදිරි සැලසුම් මොනවාද යන්න පිළිබඳ විමසද්දී පෝල් කපූර් ලංකාව සම්බන්ධයෙන් අතිශය වැදගත් කරුණු කීපයක් අනාවරණ කිරීමට පියවර ගත්තේය.
මේ වෙද්දි ලංකාව ඉන්දියන් සාගරයේ සහ දකුණු ආසියානු කලාපයේ තියෙන වැදගත්ම මුහුදු මාර්ගය බවට පත්වෙලා අවසානයි. මැදපෙරදිග තෙල් නැව් විතරක් නෙවෙයි ආනයන අපනයන සිදුකරන ප්‍රධාන මුහුදු මාර්ගයන් වැටිලා තියෙන්නේ ලංකාව ආසන්නයෙන්. පහුගිය කාලෙදි වොෂින්ටන් මැප් එකේ ලංකාවටයි, ලංකාවේ මුහුදු තීරයටයි ලොකු අවධානයක් යොමුවෙලා නොතිබුණත්, මේ වෙද්දී මතුවෙලා තියෙන තත්ත්වය අනුව ලංකාව තවත් දකුණු ආසියාවේ සාමාන්‍ය රටක් විදියට පිළිගන්න බෑ. මේක කල්තියා තේරුම් අරගෙන වෙන්න ඇති චීනය බරපතළ විදියට ලංකාව ඇතුළේ බලය අත්පත් කරගන්න හදන්නේ. ඔවුන් දැනටමත් හම්බන්තොට වරාය අත්පත් කරගෙන අවසන්. ඒක ඔවුන්ට විශාල හයියක්. ඒ වගේම 2022 චීන පර්යේෂණ නෞකාවේ ලංකා ගමනත් අතිශය භයානකයි. ඒක අපිට දීපු ලොකු සංඥාවක්. ඒ නිසා මින් ඉදිරියට ඇමෙරිකාවටයි ඉන්දියාවටයි මේ ගැන ඉතා සමීපව ඇහැ ගහගෙන ඉන්න වෙනවා..‘ යැයි කී කපූර් තවත් පුදුමසහගත ප්‍රකාශයක් කිරීමට මෙහිදී පියවර ගත්තේය. ඒ, චීනය මුල්කරගෙන මතුවී ඇති ඉන්දු-පැසිෆික් කලාපයේ ගැටුම දෙස ඇමෙරිකාව ඉතා සමීපව නිරීක්ෂණය කළ යුතු බවකි.
මොකද කරන්න ඕනෑ
ඒ අනුව සෙනට් කමිටුව කපූර්ගෙන් නැවතත් ප්‍රශ්න කර සිටියේ එසේ නම් ලංකාව නැවතත් ඇමෙරිකාව දෙසට හරවා ගැනීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ගයන් මොනවාදැයි කියාය. ඊට කපූර් දුන්නේ මෙවැනි පිළිතුරකි.
‘ලංකාව මේ වෙද්දී විශාල ආර්ථික අර්බුදයකින් ගොඩ එමින් ඉන්නේ. නමුත් ඒ අයට මේ අර්බුදයට මුහුණ දෙන්න නිසි ආර්ථික සැලැස්මක් නැහැ. ඒ හින්දා අපි ඒ අයට ආර්ථික සැලැස්මක් හදන්න ඕනේ. ඒකට මූල්‍ය අරමුදලේ සහාය ලංකාවට අපි දෙන්න ඕනේ. ඒ වගේම ලංකාව විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රශ්නයක හිරවෙලයි ඉන්නේ. ආයෝජන ගලා ඒමේ ප්‍රශ්නයකත් ලංකාව හිර වෙලා ඉන්නවා. ඒ හින්දා අපි පුළුවන් තරම් ඉන්දියාවත් එක්ක සම්බන්ධය හදාගන්න ලංකාවට උදව් කරන්න ඕනේ. මේ වෙද්දී ලංකාව චීන ග්‍රහණයට අහුවෙලා ඉන්නේ. චීනයෙන් විශාල වශයෙන් ලංකාව ණය අරගෙන ඉන්නවා. ඒකෙන් නිදහස් වෙන්න ඔවුන්ට බැහැ. යටිතල පහසුකම්වලට විශාල වශයෙන් චීන ණය අරන් තියෙනවා. ඒ ගෙවන්න තියෙන ණය දැන් ටිකක් අඩු කරලයි තියෙන්නේ.’
‘ඒ වගේම ලංකාව එක්ක ඇමෙරිකාව යුදමය සහයෝගිතාව ශීඝ්‍රයෙන් වැඩි කරන්න ඕනේ. මම නම් කියන්නේ ඒකට ලංකාව ඇතුළේ ඇමෙරිකානු හමුදා කඳවුරක් හදනවට වඩා ඉන්දියාවත් එකතු කරගෙන නාවික ආරක්ෂාව සම්බන්ධයෙන් මෙහෙයුම් කරන්න ඕනේ කියලයි. ලංකාවට ඒකට අවශ්‍ය යුද උපකරණ ලබාදෙන්න ඕනේ…’ යනුවෙන් කපූර් එහිදී යෝජනා කර සිටියේය. ඒ හරහා කපූර් පෙන්වා දුන්නේ ඇමෙරිකානු කඳවුරක් ලංකාවේ ස්ථාපිත කරනවාට වඩා හමුදාමය පුහුණු මෙහෙයුම්, බුද්ධි සේවා, යුද උපකරණ සම්බන්ධයෙන් තවදුරටත් ලංකාව සමග ගිවිසුම්වලට එළඹිය යුතු බවකි. එමෙන්ම ඉන්දීය සාගරයේ සිදුකරන මත්ද්‍රව්‍ය ජාවාරම නිරීක්ෂණය කිරීම සඳහා ක්‍රමවේදයක් සකස් කළ යුතු බවද කපූර් මෙහිදී ඇමෙරිකානු සෙනට් කමිටුවට පෙන්වා දුන්නේය.
ඒ අනුව බැලීමේදී කපූර්ගේ මේ ප්‍රකාශය හරහා එක්තරා ආකාරයකට ලංකාවට පැහැදිලි වාසිසහගත තත්ත්වයක් ගොඩනැගී තිබේ. විශේෂයෙන්ම ලංකාවට ආයෝජන ලබාගැනීම සහ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා දැවැන්ත සහායක් කපූර්ගේ මෙම ප්‍රකාශය හරහා උදාකර ගැනීමේ අවස්ථාවක් උදාවී ඇති ආකාරයක් දැකගත හැකිය.
- 2022 පෙබරවාරි 22 (රාජ්‍ය රහස්)
ෂ්නයිඩර්ගේ ලංකා ගමන
ඒ අනුව අප පසුගිය සතියේ විශේෂ අනාවරණයක් කරමින් කියා සිටියේ මේ පෝල් කපූර් ලංකාවට පැමිණීමට නියමිත බවත්, හෙතෙම ජනාධිපතිවරයා හමුවීමට නියමිත බවත්, ඉන් අනතුරුව කොළඹ වරායේ සංචාරය කිරීමට නියමිත බවත්ය. මේ පෝල් කපූර් යනු නාවික හමුදා පසුබිමක් සහිත පුද්ගලයෙකි. ඒ අනුව සිය අත්දැකීම් නිසාම නාවික කටයුතුවල වැදගත්කම සහ නාවික කටයුතු සම්බන්ධයෙන් පෝල් කපූර්ට ඇත්තේ දැනුම් සම්භාරයකි.
කෙසේ වෙතත් පෝල් කපූර් ලංකාවට පැමිණිමට දින දෙක තුනකට පෙරාතුව තවත් විශේෂ ඇමෙරිකානු නියෝජිතයකු ලංකාවට පැමිණියේය. ඒ, ආසියානු පැසිෆික් කලාපය භාර අණ දෙන මධ්‍යස්ථානයේ ගුවන් හමුදා ප්‍රධානී ජනරාල් කෙවින් ෂ්නයිඩර් මහතාය. වැඩි සද්ද බද්දයකින් තොරව ලංකාවට පැමිණි ජනරාල් කෙවින් ෂ්නයිඩර් ඊට පෙරාතුව ඉන්දියාවේද දින කිහිපයක සංචාරයක නිරතව සිටියේය. ඒ අනුව ඉන්දියාවේ සිටින ඇමෙරිකානු විශේෂ නියෝජිතයා වන සර්ජියෝ ගෝර් හමුවී ජනරාල් කෙවින් ෂ්නයිඩර් සාකච්ඡා කළ බවට කිසිදු සැකයක් නැත. මේ සියලු සිදුවීම් එකින් එක සිදුවූයේ පසුගියදා තාවකාලිකව අවසන් වූ ඇමෙරිකා ඉරාන යුද්ධය ආරම්භ වීමෙන් අනතුරුවය.
ප්‍රංශයත් කොළඹට එනවා
සිය ලංකා සංචාරයේදී සර්ජියෝ ගෝර් වරායට ගොස් නිරීක්ෂණය කළේ බටහිර පර්යන්තයේ තත්ත්වයය. ඒ අනුව එහි ඇමෙරිකානු ආයෝජනයක් ලෙස නව පර්යන්තයක් ඉදිකිරීම ඇමෙරිකාවේ සැලසුම වී තිබිණි. නමුත් මේ වනවිට එය වෙනත් පැත්තකට පෙරළෙන ආකාරයක් දැකගන්නට ඇත්තේ හදිසියේම ප්‍රංශ සමාගමක්ද කොළඹ වරායේ ආයෝජනය කිරීම සඳහා සිය අභිලාශය ඉදිරිපත් කිරීමත් සමගය. ඒ අනුව පසුගිය සතියේ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රංශයේ දැවැන්ත සමාගමක් වන සී.එම්.ඒ. -සී.ජී.එම්. සමාගම කියා සිටියේ තමන් කොළඹ වරායේ ආයෝජන කටයුතු කිරීම සඳහා සූදානමින් සිටින බවකි. මේ තොරතුරු එළියට පැමිණියේ වරාය අමාත්‍ය අනුර කරුණාතිලක මහතා හා ප්‍රංශ තානාපතිවරයා අතර පැවැති සාකච්ඡාවක් අතරතුරදීය.
එම සාකච්ඡාවේදී ලෝකයේ ප්‍රමුඛ නාවික ප්‍රවාහන සමාගමක් වන සී.එම්.ඒ. සී.ජී.එම්. ආයතනයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී රොඩොල්ෆ් සාදේ මහතා සමග ජනාධිපතිවරයා හමුවක් පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති රෙමි ලැම්බර්ට් මහතා ප්‍රකාශ කළේය. ඒ අනුව ලබන 13 වැනිදා ජනාධිපතිවරයා ප්‍රංශයේ නිල සංචාරයක නිරත වීමට නියමිතව තිබේ. එමෙන්ම ප්‍රංශ ආයෝජකයන් ශ්‍රී ලංකාව වෙත ගෙන්වා ගැනීමට දැඩි උනන්දුවක් පවතින බවද තානාපතිවරයා සඳහන් කළේය.
ආයෝජක කණ්ඩායමේ ප්‍රධානත්වය දැරූ සී.එම්.ඒ. සී.ජී.එම්. ආයතනයේ ප්‍රධාන නියෝජ්‍ය සභාපතිනි ක්‍රිස්ටීන් කැබෝ මහත්මිය සඳහන් කළේ, තම සමාගම ලෝකයේ ප්‍රධාන වරායන්හි බහාලුම් පර්යන්ත 65කට වැඩි සංඛ්‍යාවක හිමිකාරීත්වය දරන ප්‍රමුඛ පෙළේ පර්යන්ත මෙහෙයුම් සමාගමක් බවයි. කොළඹ වරායේ උපායමාර්ගික පිහිටීම හේතුවෙන් බහාලුම් ප්‍රතිඅපනයන කටයුතු පුළුල් කිරීමට විශාල හැකියාවක් පවතින බවත්, හවුල් ව්‍යාපාර ආයෝජන හරහා බහාලුම් ප්‍රවාහන පරිමාව වැඩි කිරීමට අවධානය යොමුකරන බවත් ඇය පැවසුවාය. කොළඹ වරායේ බටහිර පර්යන්තයේ දෙවැනි අදියර ව්‍යාපෘතිය පිළිබඳවද තම සමාගම අධ්‍යයනය කරමින් සිටින බව ඇය එහිදී අදහස් දක්වමින් කියා සිටියාය.
මීට අමතරව පසුගිය සතියේ ලෝක බැංකුවද කොළඹ වරාය සම්බන්ධයෙන් අතිශය වැදගත් නිවේදනයක් නිකුත් කිරීමට පියවර ගෙන තිබිණි. කොළඹ වරායේ ඇති වැදගත්කමත්, එහි සිදුකළ යුතු ආයෝජනයන් සම්බන්ධයෙනුත් මෙහිදී ලෝක බැංකුව විශේෂ ප්‍රකාශයක් සිය නිවේදනය මගින් ප්‍රකාශ කොට තිබිණි. ඒ අනුව සර්ජියෝ ගෝර්ගේ ලංකා සංචාරයත්, පෝල් කපූර්ගේ ලංකා සංචාරයත්, ප්‍රංශයේ ප්‍රධාන නාවික සමාගමක් මගින් කොළඹ වරාය පිළිබඳ නිවේදනයක් නිකුත් කිරීමත්, ලෝක බැංකුව මගින් කොළඹ වරාය පිළිබඳ නිවේදනයක් නිකුත් කිරීමත් එක දම්වැලක ඇමිණුනු පුරුක් ලෙස හඳුනාගත යුතු බව බොහෝ දෙනාගේ අදහස වී තිබිණි.
වරාය නියෝජිතයන් සජිත් හමුවෙයි
මෙවැනි වාතාවරණයක් පැවැතියදී පසුගිය සතියේ වරායේ වෘත්තීය සමිති නියෝජිතයන් කිහිප දෙනකු හදිසියේම විපක්ෂ නායක කාර්යාලයට පැමිණ කොළඹ වරාය සම්බන්ධයෙන් අතිවිශේෂ හෙළිදරව්වක් විපක්ෂ නායකවරයා වෙත සිදුකිරීමට පියවර ගෙන තිබිණි. මෙහිදී පළමුවෙන්ම සිය දුක්ගැනවිලි ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වරායේ නියෝජිතයන් කියා සිටියේ වරායේ දැනට පවතින විශාලම සම්පත වන නැගෙනහිර පර්යන්තයේ වැඩ අවසන් කොට ලබන වසරේදී එහි මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට නියමිතව ඇති නමුත්, මේ වනවිට ආණ්ඩුව නැගෙනහිර පර්යන්තය විදෙස් සමාගමකට විකුණා දැමීමට පිඹුරුපත් සකස් කරමින් සිටින බවකි.
සාමාන්‍යයෙන් වරාය සැලකෙන්නේ ආණ්ඩු පෙරළියකදී පළමුවෙන් එළියට බහින වෘත්තීය සමිති ලෙසය. පසුගිය ආණ්ඩු කිහිපයක්ම විවිධ හේතු මත බිඳවැටුණද ඒවාට අවශ්‍ය මූල බීජයන් පළමුව සපයා දී තිබුණේ වරාය වෘත්තීය සමිති මගිනි. ඒ අනුව සජිත් හමුවූ වරායේ මේ වෘත්තීය සමිති නායකයන්ද සජිත්ට දැනුම් දී තිබුණේ ආණ්ඩුව යම් හෙයකින් රන් බිජු දමන වරායේ කිකිළිය වූ නැගෙනහිර පර්යන්තය විකුණා දැමීමට උත්සාහ කරන්නේ නම් ඊට එරෙහිව ජීවිත පරිත්‍යාගයෙන් හෝ කටයුතු කිරීමට තමන් සූදානම් බවකි. ඒ අනුව විපක්ෂ නායකවරයාද වරාය නියෝජිතයන්ගේ මෙම හෙළිදරව්වෙන් පසුව පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ආණ්ඩුව වරායේ නැගෙනහිර පර්යන්තය විකුණා දැමීමේ සූදානමකින් පසුවන බව රටට දැනුම් දීමට පියවර ගත්තේය.
මේ සියලු කරුණු දෙස සියුම්ව බැලිමේදී පෙනී යන විශේෂ කරුණක් වන්නේ ඉරානය සමග පැවැත්වූ මාස 2ක් වැනි කෙටිකාලීන යුද්ධයකින් පසු ඇමෙරිකාවට කොළඹ වරාය සහ ලංකාවේ අනෙකුත් වරායන් සහ ආර්ථික මර්මස්ථාන අතිශයින් වැදගත් වී ඇති බවකි. විශේෂයෙන්ම යුද්ධයෙන් පසු චීනය දැවැන්ත ආර්ථික වර්ධනයක් හිමිකර ගැනීමේ ලකුණු පහළ කිරීමත් සමග ඇමෙරිකාව මේ වනවිට සැලසුම් කරමින් සිටින්නේ දැවැන්ත ආයෝජන රැගෙන එමින් ලංකාවේ මර්මස්ථානවලට පිවිසීමටය. ඒ අනුව දැනටමත් ලොව ප්‍රධාන ඇමෙරිකානු සමාගමක් වන මර්ක් ආයතනය කොළඹ වරායේ බටහිර පර්යන්තයේ නව දියකඩනයක් සමග වරායක් ඉදිකිරීමට සිය අභිලාශය පළකොට ඇති ආකාරයක් දැනගන්නට ඇත. එසේ තිබියදී ඇමෙරිකානු රජයටම කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයට ඇතුළු වීමට අසීරු නිසා ප්‍රංශය වැනි රටක් ඊට ඉදිරිපත් කිරීම හරහා එහි බලය තහවුරු කරගැනීමට ඇමෙරිකාව උත්සාහ දරන බවට සැකයක්ද බොහෝ දෙනා තුළ මතුව තිබේ.
තෙල් ටැංකිවලටත් යෝජනාවක්
මීට අමතරව සර්ජියෝ ගෝර් ලංකාවට පැමිණි අවස්ථාවේ තවත් යෝජනාවක් ඉදිරිපත් කරමින් ත්‍රිකුණාමලයේ පිහිටි තෙල් ටැංකි සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් යෝජනාවක් ලංකාවට ඉදිරිපත් කළ බවද අප මීට පෙර රාජ්‍ය රහස් තීරයේ වාර්තා කළෙමු. දැනටමත් එම තෙල් ටැංකිවලින් කොටසක් ඉන්දියාවට ලබාදී තිබීම හේතුවෙන් දැනට එහි ඉතිරිව ඇත්තේ අබලන් වූ තෙල් ටැංකි හැට ගණනකට ආසන්න ප්‍රමාණයක් පමණි. නමුත් ගෝර් ඉදිරිපත් කළ එම යෝජනාව ඒ අවස්ථාවේදී වැඩිදුර ඉදිරියට ගියේ නැත. කෙසේ වුවත් පසුගිය දිනෙක ලංකාවට පැමිණි ආසියා පැසිෆික් අණ දෙන මධ්‍යස්ථානයේ ගුවන් හමුදා ප්‍රධානී ජෙනරාල් කෙවින් ෂ්නයිඩර් නැවත වතාවක් මෙම යෝජනාව ලංකාවට ඉදිරිපත් කර ඇති බවක්ද ආරංචිය. විශේෂයෙන්ම එහිදී ඔවුන් පෙන්වා දී ඇත්තේ මෙම තෙල් ටැංකි භාවිත කිරීම මගින් ඇමෙරිකානු නෞකා බලඇණියට විශාල වාසියක් අත්පත් කරගත හැකි බවකි. නමුත් මෙම කලාපයේ ගමන් කරන ඇමෙරිකානු නෞකා ප්‍රමාණය ගත් විට මෙම තෙල් ටැංකි 60 කිසිසේත්ම ප්‍රමාණවත් නොවීම නිසා සම්පූර්ණ තෙල් ටැංකි ප්‍රමාණයම ඇමෙරිකාවට ලබාගැනීම සම්බන්ධයෙන් වූ යෝජනාවක්ද එහිදී ඉදිරිපත්ව ඇති බවක් දැනගන්නට ඇත. ඒ සඳහා විශාල ආයෝජනයක් සිදුකිරීමටද ඇමෙරිකාව පැත්තෙන් යෝජනා වී ඇති බවක් වාර්තා වේ. නමුත් ඊට ලංකාව පැත්තෙන් තවමත් නිශ්චිත ප්‍රතිචාරයක් ලැබී නොමැති අතර, එවැනි යෝජනාවක් නිල වශයෙන් සාකච්ඡාවට ගතහොත් ඉන්දියාව සහ චීනය ඊට කුමන ප්‍රතිචාරයක් දක්වනු ඇද්ද යන්න සම්බන්ධයෙන්ද ඇත්තේ බරපතළ ප්‍රශ්නාර්ථයකි.
මත්තලටත් ලොකු ආයෝජනයක්
මේ ආකාරයට කොළඹ වරායේ බටහිර පර්යන්තය, නැගෙනහිර පර්යන්තය සහ ත්‍රිකුණාමල තෙල් ටැංකි පිළිබඳ අවධානය යොමුකොට ඇති ඇමෙරිකාව මේ වනවිට මත්තල ගුවන් තොටුපළ ඉලක්ක කොට ගෙනද විශේෂ ආයෝජන ව්‍යාපෘතියක් යෝජනා කොට ඇති බවක් දැනගන්නට තිබේ. ඒ, මත්තල ගුවන් තොටුපළේ බෝයිං යානා නියමුවන් පුහුණ කිරීමේ මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමටය. ඒ අනුව ඇමෙරිකාව මේ වනවිට සූදානම් වන්නේ ලංකාවේ ප්‍රධාන මර්මස්ථානවලට අතිදැවැන්ත ආයෝජන රැගෙන එමින් එම තැන්වල ස්ථානගත වන්නටද යන්න පිළිබඳව විශාල සැකයක් බොහෝ දෙනා තුළ මතුව තිබේ. එය තහවුරු වන්නේ ලිපිය ආරම්භයේදී අප මීට පෙර අනාවරණ කළ පරිදි පෝල් කපූර් ඇමෙරිකානු සෙනට් මණ්ඩලය හමුවේ කළ ප්‍රකාශයටය. මෙම යෝජනා පසුගිය කාලයේද ඉදිරිපත් වුවත් මේ වනවිට ඇමෙරිකා – ඉරාන යුද්ධය හේතුකොට ගෙන එම යෝජනා ඉතා සක්‍රීය ලෙස නැවත වතාවක් කරළියට පැමිණ ඇති ආකාරයක් දැකගන්නට පුළුවන.
ජනපති ජවිපෙ නීතීඥයන් හමුවේ
මේ ආකාරයට ඇමෙරිකාව ලංකාවට මහා පරිමාණයෙන් ඇතුළු වීමට උත්සාහ දරද්දී පසුගිය සතියේ ආණ්ඩුව සිටියේ දේශපාලන වශයෙන් විපක්ෂය විසින් එල්ල කරනු ලැබූ චෝදනා රැසක සිරවය. ඉන් ප්‍රධානම එකක් වූයේ ජනාධිපතිවරයා විසින් මාස 6ක් තිස්සේ පුරප්පාඩුව පවතින උපරිමාධිකරණ විනිසුරු ධුර 8ක් පිරවීමට කටයුතු නොකිරීමය. මීට අමතරව අගවිනිසුරු සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමට ජනාධිපතිවරයා ගෙන ඇති තීන්දුව පිළිබඳවද විපක්ෂය පසුගිය සතියේ ආණ්ඩුවට එල්ල කර තිබුණේ විශාල විරෝධයකි. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා පසුගිය සතියේ සජබය ප්‍රමුඛ විපක්ෂයේ සියලු පක්ෂ ලිපියකට අත්සන් තැබීමටද කටයුතු කොට තිබිණ.
විපක්ෂය විසින් මතුකළ මෙම විරෝධය කෙතරම් ප්‍රබල වූවාද කියනවා නම් එහි උණුසුම ආණ්ඩුව ඇතුළටත් නොදැනුණා නොවේ. ඒ අනුව පසුගිය සතියේ ජවිපෙ පමණක් නියෝජනය කරන නීතිඥවරුන් කණ්ඩායමක් හමුවී මෙම යෝජනා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබූ බවක් ආරංචිය. ඒ, ජවිපෙ නීතිඥවරුන් විසින් කාලයක් තිස්සේ ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් අවශ්‍ය බවට පැලවත්ත පක්ෂ මූලස්ථානයට කර තිබූ දැනුම්දීම්වලට අනුවය. මෙම නීතිඥවරුන් ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් ඉල්ලා තිබුණේද අධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට ජනාධිපතිවරයා ගෙන ඇතැයි කියන තීන්දුවට විරෝධය පළකිරීම සඳහාය. ජවිපෙ නමගිය නීතිඥවරුන් විශාල පිරිසක් එම තීන්දුවට පක්ෂය ඇතුළේ විරෝධය පළකොට තිබුණද, ඔවුන් කිසිදු අවස්ථාවක එය එළියට පැමිණ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරිමට කටයුතු කොට නොතිබිණි.
මොකද්ද හේතුව?
ඒ අනුව පැවැති මෙම සාකච්ඡාවේදී ජවිපෙ නීතිඥවරු කෙළින්ම ජනාධිපතිවරයාට විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීමට ගෙන ඇති තීන්දුවට විරෝධය පළකරමින් අදහස් දැක්වීමට කටයුතු කළහ. නමුත් එහිදී ජනාධිපතිවරයා එම තීන්දුව ගන්නේ නම් ඊට බලපාන හේතු රැසක් නීතිඥවරුන් හමුවේ තැබීමට කටයුතු කළේය. එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ මෙය කිසිසේත්ම ආණ්ඩුවට ප්‍රචාරක වාසි හෝ ඡන්ද වාසි හෝ වෙනයම් වාසියක් ලබාගැනීමේ අරමුණකින් සිදුකරන එකක් නොවන බවකි. කෙසේ වෙතත් එහිදී ජනාධිපතිවරයා පෙරළා ජවිපෙ නීතිඥවරුන්ගෙන්ද එක ප්‍රශ්නයක් ඇසීමට පියවර ගත්තේය. ඒ, එවැනි යෝජනාවකට විරෝධය පළකිරීමට ජවිපෙ නීතිඥවරුන්ට ඇති හේතුව කුමක්දැයි කියාය. එහිදී බොහෝ දෙනා ජනාධිපතිවරයාට පෙන්වා දී තිබුණේ නඩු විභාගවල දින ලබාදීම සම්බන්ධයෙන් මෙතෙක් පැවැති සම්ප්‍රදාය අහෝසි වීම මේ හරහා සිදුවනවා යැයි කියාය. නමුත් එහිදී ජනාධිපතිවරයා සිනාසෙමින් කියා සිටියේ ‘ඉතින් හොඳයිනේ. නඩු මාස හය, හත, අවුරුද්ද කල් දදා ඉන්නවට වඩා ටක් ටක් ගාලා අහලා ඉවර කරන එක කොච්චර හොඳයිද? රටේ මිනිස්සුත් ඒකටනේ කැමැති? ඉතින් ඒක ඔබතුමාලා කියන්නේ හොඳ නෑ කියලද?’ යැයි කියාය.
බලපෑමට හර්ෂ බයවුණාද?
පසුගිය සතියේ ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ සජබ මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා භාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක මුදලක් අතුරුදන් වීම සම්බන්ධයෙන් පෞද්ගලික රූපවාහිනී නාලිකාවකට පැමිණ කළ ප්‍රකාශයක් වාර්තා කිරීමට කටයුතු කළෙමු. එහිදී අප කියා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධව මුදල් අමාත්‍යාංශය ලබාදුන් වාර්තාව ප්‍රසිද්ධියට පත්කිරීමට මුදල් කාරකසභාවේ සභාපති හර්ෂ ද සිල්වා මහතා කටයුතු කිරීමට උත්සාහ කළහොත් ඒ මහතා සභාපති ධුරයෙන් ඉවත් කරන බවට ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් තර්ජනය කළ බවක් අජිත් පෙරේරා මන්ත්‍රීවරයා අනාවරණ කළ බවකි. නමුත් ඒ අවස්ථාවේදී අජිත් පෙරේරා එසේ හර්ෂට තර්ජනය කළ ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ගේ නම් සඳහන් කිරීමට කටයුතු කළේ නැත.
නමුත් මෙහි ගැටලුව ඇත්තේ එය නොව, එවැනි බරපතළ ආකාරයේ තර්ජනයක් කළේ නම් විපක්ෂයක් ලෙස ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් නොකළේ මන්ද යන්න පිළිබඳවය. පසුගිය සතියේ පාර්ලිමේන්තුව ආරම්භ වීමෙන් පසු විපක්ෂ ලොබියේ රැස්ව සිටි සජබ මන්ත්‍රීවරුන් පවා මේ සම්බන්ධයෙන් විවිධ අදහස් පළකරමින් කියා සිටියේ පක්ෂය මේ ගැන ප්‍රශ්න නොකර සිටීම සම්බන්ධයෙන් විශාල ගැටලුවක් මතුවනවා යැයි කියාය. අනෙක් අතට හර්ෂ ද මේ සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් නොකිරීම සම්බන්ධයෙන්ද ඔවුන්ට ඇත්තේ බරපතළ ප්‍රශ්නයකි. හර්ෂ ඒ පිළිබඳ ප්‍රකාශයක් නොකළා පමණක් නොව, අජිත් පෙරේරා කළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කිරීමට හෝ කටයුතු නොකිරීම විශේෂ සිදුවීමකි. හර්ෂම කියන ආකාරයට මුදල් බලය හිමිව ඇත්තේ පාර්ලිමේන්තුවට නම්, එම මුදල් බලය ක්‍රියාත්මක කිරීමේදී කිසියම් ගැටලුවක් පැනනගින්නේ නම් ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීම මුදල් කමිටුවේ සභාපතිවරයා වශයෙන් හර්ෂගේත්, පාර්ලිමේන්තුවේත් වගකීමකි. නමුත් මේ දක්වා කිසිවකුත් ඒ පිළිබඳ වචනයක් හෝ කතා නොකිරීම පිළිබඳ සජබ මන්ත්‍රීවරුන් තුළ පවා මේ වනවිට ඇත්තේ බරපතළ සැකයකි.
පාර්ලිමේන්තුවේ අනෙක් කමිටුවල මෙන් නොව මුදල් කමිටුවේ සභාපති ධුරය නිල බලයෙන්ම හිමිවන්නේ විපක්ෂයටය. ඒ අනුව වසර කිහිපයක් පුරා අඛණ්ඩව එහි සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ හර්ෂ ද සිල්වාය. වරක් රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු හර්ෂ ද සිල්වා මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට කටයුතු කොට තිබිණි. නමුත් එහිදී හර්ෂ වෙනුවෙන් පාර්ලිමේන්තුව ඇතුළේ දැවැන්ත සටනක් ගෙන ගියේ වෙන කවුරුවත් නොව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාය. රනිල් නැවත වතාවක් හර්ෂට මුදල් කමිටුවේ සභාපති ධුරය ලබාදෙන තෙක්ම සජිත් සිය සටන අත්හැරීමට කටයුතු කළේ නැත. ඒ අතරතුර කාලයේදී රනිල් මුදල් කමිටුවේ සභාපති ධුරය බලහත්කාරයෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට ලබාදී මුදල් පනත් කිහිපයක්ම සම්මත කරගැනීමට පවා පියවර ගෙන තිබුණේ තුට්ටු දෙකේ දේශපාලන සම්ප්‍රදාය පාර්ලිමේන්තුවටද රැගෙන එමිනි.
කෙසේ වෙතත් සජිත් එහිදී හර්ෂ වෙනුවෙන් ඍජුවම පෙනී සිටියද පසුගිය කාලයේ හර්ෂ කටයුතු කර තිබුණේ ඒ ආකාරයෙන් නම් නොවේ. පිටුපස සිට පිහියෙන් අනින්නාක් මෙන් තානාපති කාර්යාලවලට ගොස් හර්ෂ ගෙන ගොස් තිබුණේ පක්ෂ නායකත්වයට හානිකර ක්‍රියාකලාපයකි.
මුදල් කමිටුව වහයි
කෙසේ වෙතත් අජිත් පෙරේරා මෙම ප්‍රකාශය කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව රැස්වූ පළමු දිනයේම මුදල් කමිටුවට තවත් බරපතළ ප්‍රහාරයක් ආණ්ඩුව පාර්ශ්වයෙන් එල්ල විය. ඒ, මෙතෙක් මුදල් කමිටුවට ලබාදී තිබූ පාර්ලිමේන්තුවේ කමිටු කාමර අංක 5 කෝප් කමිටුවට ලබාදීමට ආණ්ඩුව පියවර ගැනීම හරහාය. ඒ සම්බන්ධයෙන් නම් හර්ෂ පාර්ලිමේන්තුවේදී දක්වා සිටියේ මෙවැනි අදහසකි.
‘මීට පස්සේ කමිටු කාමර පහ අඟහරුවාදා ඉඳලා සිකුරාදා වෙනකම් අටේ සිට පහ දක්වා කෝප් කමිටුවට දෙන්න නියෝගයක් කරලා. එහෙම ලියලා දීලා නැහැනේ. අපි ඒක බෙදාගෙන කළේ. ඊයේ පාර්ලිමේන්තුවේ කියවුණා මුදල් කාරක සභාවේ අවශ්‍යතාවක් නෑ කියලා. අපේ කමිටුව දහවැනි පාර්ලිමේන්තුවේදී අසූහත් පාරක් හම්බවෙලා තියෙනවා. කෝප් එක රැස්වෙලා තියෙන්නේ තිස්තුන් පාරයි. මේ දක්වාම අපි සියලු දෙනා ඒ කමිටු කාමරය බෙදාගෙන කටයුතු කළේ. අද අමුතු නියෝගයක් ඇවිල්ලා…’ යනුවෙන් හර්ෂ එහිදී කියා සිටියේය.
මීට අමතරව පසුගිය සතියේ හර්ෂගේ මුදල් කමිටුව සම්බන්ධයෙන්ද සභානායක බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකළේය. එහිදී බිමල් කියා සිටියේ පාර්ලිමේන්තුවට ගෙන එන සියලු මුදල් අණ පනත් මුදල් කාරක සභාවට යොමුකළ යුතු බවට ස්ථාවර නියෝගවල සඳහන් නොවන බවකි. ඊට ප්‍රතිචාර දක්වමින් හර්ෂ කියා තිබුණේ එසේ නම් මුදල් කමිටුවෙන් වැඩක් නැති බවත්, එය වසා දැමීමට කටයුතු කළ යුතු බවත්ය.
කසිප්පු ගොවියන්
මේ දිනවල ආණ්ඩුව මුහුණ දී සිටින ඊළඟ ප්‍රධානම ප්‍රශ්නය වී ඇත්තේ රට පුරාම සිටින ගොවීන් ඒ ඒ දිස්ත්‍රික්ක මට්ටමින් තැන් තැන්වල ආරම්භ කර ඇති උද්ඝෝෂණ ව්‍යාපාරය. විශේෂයෙන්ම සිය වී අස්වැන්නට සාධාරණ මිලක් ආණ්ඩුව ලබා නොදෙන බව කියමින් ගොවීන් විසින් සිදුකරන මෙම උද්ඝෝෂණ ව්‍යාපාරවලට විශාල ගොවි සහභාගිත්වයක් පවතින ආකාරයක්ද දැකගත හැකිය. කෙසේවෙතත් තත්ත්වය වඩාත් බරපතළ තැනකට පෙරළෙන ආකාරයක් දැකගන්නට ලැබුණේ ආණ්ඩුවේ වගකිව යුතු මැති ඇමැතිවරුන් ඊට දැක්වූ ප්‍රතිචාරයත් සමගය. විශේෂයෙන්ම වී මිල සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී, ලාල්කාන්ත මහතා සහ නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා තැන් තැන්වල කළ ප්‍රකාශයන් හේතුකොට ගෙන ගොවියන්ගේ කෝපය දෙගුණ තෙගුණ වී තිබූ ආකාරයක් දැකගත හැකි විය. එමෙන්ම රට පුරා සිටින ගොවි සංගම් නියෝජිතයන් යැයි කියමින් ජවිපෙට හිතවත් ගොවි සංවිධාන කිහිපයක් කෘෂිකර්ම අමාත්‍යාංශයට ගෙන්වා සාකච්ඡා කිරීමත්, පොළොන්නරුවේ නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් ගොවියන් කසිප්පුකාරයන් ලෙස හැඳින්වීමත්, මාලිමා මන්ත්‍රී අරුණ පනාගොඩ මේ උද්ඝෝෂණ කරන්නේ ‘ඔරිජිනල්‘ ගොවීන් නොව ‘ආටිෆිෂල්‘ ගොවියන් බවට කළ ප්‍රකාශයක් නිසා ගොවීන්ගේ කෝපය ඉහවහා ගොස් තිබිණි.
අනුර ලාල්කාන්තව මෙල්ල කරයිද?
සාමාන්‍යයෙන් ලාල්කාන්ත සැලකෙන්නේ කියන්න තියෙන දේ කෙළින්ම මුහුණටම කියන කිසිවකුටත් බය නැති නාහෙට අහන්නේ නැති අමාත්‍යවරයකු ලෙසටය. ඒ අනුව, ගොවි උද්ඝෝෂණ කෙතරම් තීව්‍ර වුවද තමන් කළ ප්‍රකාශයන් සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කිරිමට හෝ ඒවායේ සැර බාල කිරීමට ලාල්කාන්ත කටයුතු කළ බවක් පසුගිය කාලයේ දැකගන්නට නොතිබිණි. නමුත් ලාල්කාන්ත එසේ කළද ඔහු සහ ඇතැම් මැතිඇමැතිවරුන් කළ ප්‍රකාශ කරහා තත්ත්වය බරපතළ අතට පෙරළී ඇති බවක් ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ට පමණක් නොව ජනාධිපතිවරයාටද වැටහී ගොස් තිබිණි. ඒ අනුව ජනාධිපතිවරයා මේ වනවිට තීරණය කොට ඇත්තේ මෙම ප්‍රශ්නය පිළිබඳ ලාල්කාන්ත සහ නාමල් කරුණාරත්න ගෙන්වා සාකච්ඡා කිරීමටය. ලාල්කාන්ත මෙල්ල කිරීම ජනාධිපතිවරයාටද අපහසු කරුණක් වුවත් ජනාධිපතිවරයා මේ වනවිට එම ගනුදෙනුව ආරම්භ කොට ඇති ආකාරයක් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.
ඩේලි මිරර් බොරුව
ජනාධිපතිවරයා ක්‍රිකට් ආයතනය විසුරුවා හැර ඉරාන් වික්‍රමරත්න මහතාගේ සභාපතිත්වයෙන් ක්‍රිකට් අතුරු පාලක කමිටුවක් පත්කිරීමත් සමග මතුවූ තත්ත්වයන් එකින් එක පියවරෙන් පියවර ‘රාජ්‍ය රහස්’ තීරයේ වාර්තා කිරීමට පසුගිය මාස කිහිපය පුරාම අපි කටයුතු කළෙමු. පසුගිය සතියේද ඒ සම්බන්ධයෙන් විශේෂ සටහනක් තබමින් අප කියා සිටියේ මේ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ජේ ෂා මහතා ලංකාවට පැමිණිමට නියමිතව ඇති බවත්, හෙතෙම ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමට නියමිතව ඇති බවත්ය. එමෙන්ම මීට සති දෙකකට ඉහතදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් ජනාධිපතිවරයාට ලිපියක් යොමුකොට තිබූ බවත්, එහි තිබූ කරුණු ලංකාවට එතරම් යහපත් නොවන බවත් පසුගිය සතියේ අප ‘රාජ්‍ය රහස්’ තීරයේ වාර්තා කර තැබුවෙමු. එහිදී අප කියා සිටියේ මාස 3ක් ඇතුළත, එනම් ජූලි 31 වැනිදා වනවිට ක්‍රිකට් නිලවරණය පවත්වා අවසන් කිරීමට ආණ්ඩුව පියවර ගත යුතු බවටත්, එසේ නොමැති වුවහොත් බංග්ලාදේශයේ සිදුවූ ආකාරයට ක්‍රිකට් තහනමක් පැනවීමේ අවදානමක් මතුවනු ඇති බවටත් එහි සඳහන්ව තිබූ බවකි. මේ සම්බන්ධයෙන් විවිධ කටකතාද ඒ දිනවල ක්ෂේත්‍රයේ පැතිර ගිය ආකාරයක්ද දැකගන්නට ලැබිණි.
පසුගිය සතියේ ජේ ෂා ලංකාවට පැමිණ ජනාධිපතිවරයාත්, ක්‍රිකට් අතුරු කමිටුවේ ප්‍රධානීනුත් සමග සාකච්ඡා කළේ මෙවැනි පසුබිමක් යටතේය. වෙනදා නම් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරුන් ලංකාවට පැමිණ සාකච්ඡා කිරීම විශාල පුවතක් වුවත් මේ පුවතට ආණ්ඩුව පැත්තෙන් හෝ මාධ්‍යවලින් විශාල ප්‍රචාරයක් දුන් ආකාරයක් දැකගන්නට ලැබුණේ නැත. මාධ්‍යවලද ජනාධිපතිවරයා සහ ජේ ෂා හමුව සම්බන්ධයෙන් ඡායාරූපයක් පමණක් පළවුවද එහිදී දෙදෙනා අතර සාකච්ඡාවට ලක්වූයේ මොනවාද යන්න පිළිබඳ ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් හෝ වෙනත් නිල පාර්ශ්වයකින් කිසිදු තොරතුරක් වාර්තා වී තිබුණේ නැත.
එසේ තිබියදීත් ‘ඩේලි මිරර්’ පුවත්පත ක්‍රිකට් ක්ෂේත්‍රයේ ගිය කටකතා සහ වෙනත් කතා පුවතක් ලෙස මහත් අතිශයෝක්තියකින් යුතුව පසුගිය සඳුදා (22) දිනයේදී සිය මුල් පුවත මගින්මHold SLC Elections or Get Blacklisted” ICC Informs President AKD යන සිරස්තලයෙන් වාර්තා කොට තිබුණේ ‘එක්කෝ ඡන්දය තියන්න, නැත්නම් අසාදු ලේඛනයට ඇතුළත් වන්න – අයි.සී.සී.ය ජනාධිපතිවරයාට දැනුම් දෙයි’ යනුවෙනි. මෙම පුවත ‘ඩේලි මිරර්’ පුවත්පත වාර්තා කොට පැය කිහිපයක් යෑමට මත්තෙන් වහාම ප්‍රතික්ෂේප කිරීමට ජනාධිපති මාධ්‍ය ඒකකය කටයුතු කිරීම විශේෂ සිදුවීමක් විය. නමුත් එම පුවත නිවැරැදි කිරීමේදීද යම් යම් කොටස් අත්හැර දමා පළකිරීමට ‘ඩේලි මිරර්’ පුවත්පත කටයුතු කොට තිබිණි. ඒ අනුව පාඨකයන්ගේ දැනගැනීම සඳහා ජනාධිපති මාධ්‍ය ඒකකය මගින් නිකුත් කළ නිවේදනය සම්පූර්ණයෙන් පළකිරීමට අප කටයුතු කරමු.
පහත දැක්වෙන්නේ එම නිවේදනයය.
Hold SLC Elections or Get Blacklisted” ICC Informs President AKD යන සිරස්තලයෙන් ‘ඩේලි මිරර්’ පුවත්පතේ මුල් පිටුවේ පළකර ඇති අසත්‍ය සහ නොමග යවනසුළු පුවත රජය දැඩි ලෙස ප්‍රතික්ෂේප කරයි.
මෙම වාර්තාවට කිසිදු සත්‍ය පදනමක් නොමැති අතර, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ජේ ෂා මහතා අතර ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැති හමුව සිතාමතාම විකෘති කර දැක්වීමකි.
මෙම සාකච්ඡාවේදී ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව, බිම් මට්ටමින් සහ තරුණ තරුණියන් සඳහා වන ක්‍රිකට් වැඩසටහන් මෙන්ම තරුණ ක්‍රීඩකයන් සඳහා අවස්ථා පුළුල් කිරීම පිළිබඳ අවධානය යොමු වූ බව ජනාධිපතිවරයා සහ අයි.සී.සී. සභාපතිවරයා යන දෙදෙනාම සිය ‘එක්ස්’ ගිණුම් ඔස්සේ නිල වශයෙන් තහවුරු කළහ. එහිදී කිසිදු අවසාන නිවේදනයක්, අසාදු ලේඛනයට ඇතුළත් කිරීමේ තර්ජනයක් හෝ නිලවරණයට අදාළ කරුණක් සාකච්ඡා නොවූ අතර, එවැනි කිසිදු අවසාන නිවේදනයක් නිකුත් කර නොමැත.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අයි.සී.සී. සභාපතිවරයා යන දෙදෙනාගේම නිල ප්‍රකාශයන් සෘජුවම පරිශීලනය කිරීමට පාඨකයන්ට අවස්ථාව තිබියදී, මෙවැනි ප්‍රබන්ධිත පුවතක් පළකිරීම අදාළ පුවත්පතේ විශ්වසනීයත්වය තවදුරටත් පළුදු කිරීමට හේතු වේ. එම අසත්‍ය පුවත සම්බන්ධයෙන් වන මෙම නිවේදනය ප්‍රසිද්ධියේ පළ කරන ලෙසත්, අදාළ පුවත මුද්‍රිත සහ අන්තර්ජාල සංස්කරණය යන දෙකෙන්ම ඉවත් කර ගැනීමට කටයුතු කරන ලෙසත් රජය ඩේලි මිරර් පුවත්පතෙන් ඉල්ලා සිටියි.
ජනාධිපති මාධ්‍ය අංශය
2026.06.22
ඇත්තටම වුණේ මොකද්ද?
එසේ නම් ඇත්තටම ජනාධිපතිවරයා සහ ජේ ෂා අතර මෙම හමුවේදී සාකච්ඡා වූයේ කුමක්ද? කිසිදු මාධ්‍යයකින් නිවැරැදිව වාර්තා නොකළ එම පුවත මෙවර ‘රාජ්‍ය රහස්’ තීරයේ නිවැරැදිව වාර්තා කිරීමට අප සූදානම්ය. අප මෙම තොරතුරු වාර්තා කරන්නේ සුපුරුදු පරිදි එක් පැත්තකින් තොරතුරු ගැනීමෙන් පමණක් නොව, පාර්ශ්ව කිහිපයකින්ම එම තොරතුරු ලබාගෙන, වරක් දෙවරක් නොව තුන්වරක්ම එම තොරතුරු තහවුරු කරගැනීමෙන් අනතුරුවය. ඒ අනුව ජනාධිපතිවරයා සහ ජේ ෂා අතර පැවැති සාකච්ඡාව ජනාධිපතිවරයා කිසිසේත්ම සතුටට පත්වූ සාකච්ඡාවක් නොවුණු බව නම් මෙහිදී පැහැදිලිවම සඳහන් කළ යුතුය. විනාඩි 17ක් පුරා පැවැති මෙම සාකච්ඡාවේදී ආරම්භයේ සිටම ජේ ෂා සියුම් රාජ්‍යතාන්ත්‍රික භාෂාවක් භාවිත කරමින් කටයුතු කිරීම විශේෂ සිදුවීමක් විය. එහිදී ඔහු පැහැදිලිවම ජනාධිපතිවරයාට පෙන්වා දුන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නීතිරීතිවලට අනුව කටයුතු කිරීමට ක්‍රිකට් ක්‍රීඩා කරන සාමාජික රටවල් බැඳී සිටින බවත්, සියලු රටවල් එම නීතිවලට අනුව කටයුතු කළ යුතු බවත්ය. විශේෂයෙන්ම මෑතකදී බංග්ලාදේශයද අතුරු කමිටුවක් පත්කිරීමට කටයුතු කළ අවස්ථාවේදී ඊට මාස 3ක කාලයක් පමණක් ලබාදීමට අයි.සී.සී.ය කටයුතු කළ ආකාරයත්, එම මාස 3ක කාලය ඇතුළත අනිවාර්යයෙන්ම නිලවරණයක් ඔස්සේ ව්‍යවස්ථානුකූලව ක්‍රිකට් කමිටුව පත්කර ගැනීමට බංග්ලාදේශය කටයුතු කළ බවත් ජේ ෂා ජනාධිපතිවරයාට පෙන්වා දුන්නේය. එසේ නොවුණහොත් අයි.සී.සී.යේ ප්‍රධාන කමිටුවට එම රටවල් ඇතුළත් කරගත නොහැකි බවද ජනාධිපතිවරයාට පෙන්වා දුන් ජේ ෂා, මෙවැනි තත්ත්වයක් ඇතිවුවහොත් මතුවිය හැකි අවාසිසහගත තත්ත්වයන්ද ජනාධිපතිවරයාට පෙන්වා දුන්නේය.
කෙසේ වෙතත් ජනාධිපතිවරයාද මෙහිදී තමන්ගේ පාර්ශ්වයෙන් කීමට ඇති කරුණු නිශ්චිත අයුරින් ජේ ෂාට දැනුම් දීමට පියවර ගත්තේය. එහිදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ක්‍රිකට් ආයතනය තුළ මේ වනවිට මතුව ඇති අර්බුදයන් නිරාකරණය කරගැනීම සඳහා මාස 3ක කාලයක් ප්‍රමාණවයත් නොවන බවය. අවම වශයෙන් එම අර්බුද නිරාකරණය කරගෙන නව ක්‍රිකට් ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා වසරක පමණ කාලයක් ගතවන බවද ජනාධිපතිවරයා ජේ ෂාට පෙන්වා දුන්නේය.
ඊට පැහැදිලි පිළිතුරක් ජේ ෂා ලබා නොදුන්නද එහිදී ඔහු කියා සිටියේ එසේ වන්නේ නම් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ රැස්වීම්වලට සහභාගි නොවී, කමිටුවෙන් පිට නිරීක්ෂකයකු ලෙස පමණක් කටයුතු කිරීමට සිදුවනු ඇතැයි කියාය. පසුගිය කාලයේදි බංග්ලාදේශයටද එවැනි තත්ත්වයකට මුහුණ දීමට සිදුවූ බව පෙන්වා දුන් ජේ ෂා බංග්ලාදේශය ක්‍රිකට් නිලවරණය පැවැත්වීමෙන් අනතුරුව ඔවුන්ට නිල තත්ත්වය ලැබුණු බවත්, ලංකාව එසේ ජූලි 31 වැනිදාට පෙරාතුව ඡන්දය පවත්වා ව්‍යවස්ථානුකූල අයුරින් කටයුතු කළ යුතු බවත් පෙන්වා දුන්නේය.
සැලසුම් දෙකක් අනුර අතේ
මීට පෙරාතුව වරක් අප ක්‍රිකට් සම්බන්ධයෙන් රාජ්‍ය රහස් තීරය ඔස්සේ තොරතුරු වාර්තා කරමින් පෙන්වා දුන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් මතුවිය හැකි ගැටලුවට මුහුණ දීම සඳහා සැලසුම් දෙකක් ජනාධිපතිවරයා සතුව පවතින බවකි. ඉන් පළමු සැලසුම ලෙස අප අනාවරණ කළේ අයි.සී.සී.යේ. අනුමැතිය සහිතව ක්‍රිකට් අතුරු කමිටුවේ කාලය වසරකට දීර්ඝ කරගැනීමට ජනාධිපතිවරයා උත්සාහ කරන බවකි. දෙවැන්න ලෙස අප අනාවරණ කළේ එසේ කරගැනීමට නොහැකි තත්ත්වයක් උදාවුවහොත් ආණ්ඩුවේ පාර්ශ්වයෙන් ශක්තිමත් කණ්ඩායමක් ඉදිරිපත් කොට ක්‍රිකට් නිලවරණය පැවැත්වීමේ සැලැස්මක් ජනාධිපතිවරයා සතුව ඇති බවකි. ඒ අනුව මෙම සාකච්ඡාවේදී ජේ ෂා දිගටම අයි.සී.සී. නීතිරීතිවලට අනුව ලංකාව කටයුතු කළ යුතු බවට දැනුම් දී සිටීම නිසා අවසානයේදී ජනාධිපතිවරයා කියා සිටියේ මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය වුවහොත් තමන් ඊටද සූදානම් යැයි කියාය. ඒ අනුව දූෂණයෙන් තොර පිරිසිදු කණ්ඩායමක් ක්‍රිකට් නිලවරණයට ඉදිරිපත් කිරීමට තමන් සූදානම් බවද ජනාධිපතිවරයා මෙහිදී ජේ ෂාට දැනුම් දී සිටියේය. ජනාධිපතිවරයා සහ ජේ ෂා අතර පැවැති විනාඩි 17ක හමුවේදී සත්‍ය වශයෙන්ම සිදුවූයේ මෙයය. ඊට පරිබාහිර අනෙකුත් සියලු කතා සම්පූර්ණයෙන්ම අසත්‍ය ඒවා බව ‘රාජ්‍ය රහස්’ වගකීමෙන් යුතුව වාර්තා කිරීමට සූදානම්ය.
පඩි ගෙවන්නත් සල්ලි නෑ
කෙසේ වෙතත් මේ වනවිට ක්‍රිකට් ආයතනය දැඩි මූල්‍ය අර්බුදයකටද මුහුණපා සිටින බවක් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. අපට ඇති ඇතැම් තොරතුරුවලින් කියැවෙන්නේ ලබන මාසයේ වැටුප් ගෙවීම පවා අසීරු වන තරමට ක්‍රිකට් ආයතනයේ මූල්‍ය තත්ත්වය පහත වැටී ඇති බවකි. ඒ බව තහවුරු කරමින් පසුගිය සතයේ පැවැති මාධ්‍ය හමුවකදී ක්‍රිකට් අතුරු කමිටුවේ සාමාජිකයකු වූ ප්‍රකාශ් ෂාෆ්ටර් කියා සිටියේ පසුගිය වසරේ ජනාධිපතිවරයා මුල්ගල තැබූ යාපනයේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉදිකිරීමට පවා අසීරු තත්ත්වයක් මතුව ඇති බවත්, ඒ සඳහා වැයකිරීමට ක්‍රිකට් ආයතනය සතුව මුදල් නොමැති බවත්ය. ඒ අනුව ක්‍රිකට් ආයතනය නැවතත් මුදල්වලින් පිරවීම සඳහා ජේ ෂා දැනුම් දුන් ආකාරයට ජූලි 31 වැනිදාට පෙරාතුව ක්‍රිකට් නිලවරණය පැවැත්වීමේ තත්ත්වයක් මේ වනවිට මතුව ඇති ආකාරයක් දැකගන්නට තිබේ. එසේ වුවහොත් ජනාධිපතිවරයා සූදානමින් සිටින්නේ ඉරාන් වික්‍රමරත්නගේ සභාපතිත්වයෙන් යුත් කණ්ඩායමක් ආණ්ඩුව පැත්තෙන් ක්‍රිකට් නිලවරණයට ඉදිරිපත් කිරීමටය.
පණිවුඩ දෙපැත්තටම යනවා
කෙසේ වෙතත් ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති ෂම්මි සිල්වාට ක්‍රිකට් ව්‍යවස්ථාවට අනුව නැවත වතාවක් සභාපති ධුරයට තරග වැදීමට නොහැකි නිසා බොහෝ දෙනා බලාපොරොත්තු වන්නේ ශම්මිගේ පාර්ශ්වයෙන් තවත් කණ්ඩායමක් ක්‍රිකට් නිලවරණයට ඉදිරිපත් කරනු ඇති බවටය. මන්ද යත් ක්‍රිකට් සංගම්වල වැඩි බලය ශම්මි ප්‍රමුඛ පාර්ශ්වයට හිමිව තිබීම නිසා ක්‍රිකට් ආයතනයේ යළි බලය ඇල්ලීම ඔවුන්ට අසීරු කාර්යයක් නොවේ. නමුත් ‘රාජ්‍ය රහස්’ තීරයට ඇති ආරංචිවලින් කියැවෙන්නේ අනුරගේ පාර්ශ්වයෙන් දැනටමත් ඉරාන්ගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමක් නිලවරණයට ඉදිරිපත් කරන බවට ශම්මිගේ පාර්ශ්වයට පණිවුඩයක් ලබාදී ඇති බවකි. එහිදී ශම්මිගේ පාර්ශ්වයෙන්ද ජනාධිපතිවරයාගේ පාර්ශ්වයට යවා ඇතැයි කියන පණිවුඩයකින් කියැවෙන්නේ ඉරාන්ගේ නායකත්වය පිළිගැනීමට සූදානම් නමුත්, කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස ශම්මිගේ පාර්ශ්වයෙන් නම් කිහිපයක් යෝජනා කිරීමට සූදානම් බවකි. නමුත් ඊට ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් කිසිදු එකඟතාවක් පළවී නොමැති බවක්ද දැනගන්නට තිබේ. ඒ අනුව මේ දිනවල ක්‍රිකට් නිලවරණය සම්බන්ධයෙන් සහ ඊට පත්කිරීමට නියමිත සාමාජිකයන් සම්බන්ධයෙන් දෙපැත්තට පණිවුඩ හුවමාරු වන ආකාරයක් දැකගන්නට පුළුවන. නමුත් අපට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ ආණ්ඩුව හොඳින් හෝ නරකින් ක්‍රිකට් පරිපාලනය සුද්ද කිරීම සඳහා අවශ්‍ය සියලු සැලසුම් සකස් කරමින් ඇති බවකි.










