හඳහන්, නැකැත් බලන්නේ නැතිනම් අඩුම ගානේ රාහු කාලය මරු සිටින දිශාව මඟහැරලා හරි වැඩ කටයුතු කරන්නයි අපි පුරුදුවෙලා ඉන්නේ. එදිනෙදා සාමාන්‍ය ජීවිතයක් ගතකරන අය මෙන්ම ජීවිතය පුරා සුවිශේෂී කටයුතුවල යෙදෙන්නන් පවා ඒ විදියයි. චිත්‍රපට ක්‍ෂේත්‍රයේ දැවැන්ත නමක් සටහන් කරමින් අදටත් කා අතරත් ජනප්‍රිය ප්‍රීතිරාජ් වීරරත්නගේ ජීවිතයට ජ්‍යොතිෂය සම්බන්ධ කරගන්නෙ කොහොමද කියලා අපි අහලා බැලුවා. ඔහු නම් කියන්නේ ජ්‍යොතිෂය විශ්වාස කරන්නේ නැහැ කියලයි. ඒත් ඔහුට වෙනත් විශ්වාසයන් තිබෙන බවත් අපිත් එක්ක කිව්වා.
කවදාවත් ඔබ හඳහන් පරීක්ෂා කරලා නැද්ද?
නැහැ. ජ්‍යොතිෂය ගැන මගේ කිසිම විශ්වාසයක් නැහැ. හැබැයි අපේ අම්මලා නම් ඉස්සර මගේ හඳහන් පරීක්ෂා කරවලා ඇති.
විවාහයේදීවත් හඳහන් පරීක්ෂා කරලා නැකැත් බැලුවේ නැද්ද?
මම නම් ඒ දේවල් කළේ නෑ. වයිෆ්ගේ අම්මලා බැලුවා මං හිතන්නේ. මට ඒ දේවල් ගැන වුවමනාවක් නැහැ.
ඔබේ පුතා ඉරාජ්ගේ හඳහනවත් පරීක්ෂා කරලා නැද්ද?
එහෙම විශේෂයෙන් පරීක්ෂා කරලා නැහැ. ඉරාජ් ඉපදුණු කාලේ නම් පරීක්‍ෂා කළා. ඒ අවස්ථාවකදී නම් කිව්වා ඉරාජ් රටේ ජනප්‍රියම පුද්ගලයෙක් වෙනවා කියලා.
චිත්‍රපට අධ්‍යක්‍ෂණයේදීවත්, ජ්‍යොතිෂය හෝ ඒ ආශ්‍රිත විෂයන්ගේ සහාය ලබාගෙන නැද්ද?
මං හිතන්නේ මම වෙන්න ඇති එකම අධ්‍යක්‍ෂ මුහුරත් උළෙලක්වත් නොතියා චිත්‍රපට කරපු. මං කවදාවත් නැකැත් බලලා චිත්‍රපට පටන් අරගෙන නැහැ. චිත්‍රපට සඳහා බොහෝ විට නම දමද්දි ගණ පරීක්‍ෂා කරනවා. නමුත් මං කවදාවත් ගණ බලලා චිත්‍රපටවලට නම් දාලා නැහැ. මගේ විශ්වාසය ආත්ම විශ්වාසය විතරයි. ඒ නිසා ජ්‍යොතිෂ හෝ නැකැත් ගැන විශ්වාසයක් මට නැහැ.
හැබැයි මං චිත්‍රපට රූගතකිරීම් ආරම්භ කරද්දි මගේ සහාය අධ්‍යක්‍ෂ පොල් ගෙඩියක් ගහලයි වැඩ පටන් ගන්නේ. මං ඒ පොල් ගෙඩියට අත තියලා වඳිනවා විතරයි. මං නම් කවදාවත් පොල් ගහන්න යන්නේ නැහැ.
එතකොට ඔබේ චිත්‍රපට සාර්ථක වීමේ රහස පිටුපස නොපෙනෙන කිසිවක් ගැන විශ්වාසයක් නැද්ද?
එක දෙයක් තියෙනවා. මං අංක විද්‍යාව හොඳින්ම විශ්වාස කරනවා. හැබැයි ඒකත් මංම හදාගත්ත අංක විද්‍යාවක්. මගේ ජීවිතයේ වාසනාවන්තම අංකය අංක 17. මං අධ්‍යක්‍ෂණය කරපු “නොම්මර 17” චිත්‍රපටය සුපර් හිට් එකක් වුණා. මගේ උපන් දිනයත් ජූලි 17 වැනිදා. මගේ පශ්චාත් උපාධියේ සමත්වීම ලැබුණෙත් දෙසැම්බර් 17 වැනිදාවක. මගේ සහතික සියල්ලම අංක 17ත් එක්ක සම්බන්ධකමක් දක්වනවා. ඒ නිසා මං අධ්‍යක්‍ෂණය කරන සියලුම චිත්‍රපට ඇග්‍රිමන්ට සයින් කරන්නේ 17 වැනිදාවක උදේ 9.17ට. හැබැයි මට සමහරු කියලා තියෙනවා “නොම්මර 17” චිත්‍රපටයේ ඒ නමේ ගණ සුබ නැහැ කියලා. ඉතින් ඒ කතාව කොහොමද පිළිගන්නේ චිත්‍රපටය දුවපු දිවිල්ලෙ හැටියට. මගේ සියලුම චිත්‍රපට තිරගත කළෙත් 17 වැනි දවස්වල තමයි.
අංක විද්‍යාව ගැන ඒ තියෙන විශ්වාසය පළුදු වෙලා නැද්ද කවදාවත්?
නැහැ. කවදාවත් එහෙම වෙලා නැහැ.
එතකොට අපල සඳහා මුදු පලඳින්නෙවත් නැද්ද?
කවදාවත් නැහැ. මුදු, හක්ගෙඩි ඒ කිසිම දෙයක් ගැන මට විශ්වාසයක් නැහැ.
දෙවියන් ගැන තියෙන විශ්වාසය කොහොමද?
දෙවියන් ගැන විශ්වාසයක් තියෙනවා. විෂ්ණු, කතරගම, ගණ ආදී වශයෙන් දෙවියන්ට පූජා තියලා තියෙනවා. කතරගම ගිහින් පූජා වට්ටියක් තියනවා. එවැනි දෙයක් මිස ලොකුවට වියදම් කරලා දෙවියන්ගෙන් කිසි දෙයක් ඉල්ලන්නෙත් නැහැ. හැබැයි හැමදාම උදේට දෙවියන්ට මං පින්දෙනවා. මෙවැනි තත්ත්වයක ජීවත් වෙන්න මට වාසනාව ලබාදීම වෙනුවෙන්.
ආගම – දහමට නැඹුරුවක් තියෙනවාද?
ඔව්. අනිවාර්යයෙන්ම. මං සිංහල බෞද්ධ. ඒ වුණාට කතෝලික පල්ලි යනවා. ජේසුට ගරු කරනවා. මුස්ලිම් පල්ලිත් ගිහින් තියෙනවා. අල්ලාටත් ගරු කරනවා. හැම ආගමක් ගැනම ගෞරවයක් තියෙනවා. ඒ වගේම බෞද්ධාගම වෙනුවෙන් බොහෝ කටයුතු මං කරනවා. දිවුලපිටියේ අක්කර 4ක වීරරත්න සේනාසනය ඉදිකළේ මම. දෙව්රම් වෙහෙර ඝණ්ටාරය ඉන්දියාවෙන් ලෝහ ගෙනත් ඉදිකළේ මම. කන්දෙ විහාරයේ විෂ්ණු දේවාලයේ බුද්ධ ප්‍රතිමාවට මුල්ම ආධාරය ලබාදුන්නේ මම. ඒ විදියට බොහෝ පින්කම් කරලා තියෙනවා බෞද්ධාගම වෙනුවෙන්.