• About us
  • Contact us
Sunday, July 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අමරපුර මහා නිකායේ රාජ්‍ය මහෝත්සවයට ආ අනුර කතා නොකරම උත්සවය මැදදී නැගිට ගියේ ඇයි? අස්සජි හිමියන් කරපු කතාවට හිත රිදිලද? රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

July 12, 2026
in Exclusive, Rajya Rahas
Reading Time: 12 mins read
A A
Share on WhatsAppShare on Facebook

උතුරෙන් තමිල්නාඩුවට

තමිල්නාඩුවේ මහජන විප්ලවයකින් බලය අල්ලා මහඇමැති ධුරයට පත්වූ සුපිරි නළු තලපති විජේ දිවුරුම් දෙන විටදී අප ‘රාජ්‍ය රහස්’ තීරයේ විශේෂ අනාවරණයක් කරමින් කියා සිටියේ ඉදිරි කාල වකවානුවේදී ලංකාවේ දේශපාලනය සම්බන්ධයෙන් තලපති විජේ තීරණාත්මක චරිතයක් වනු ඇති බවය. එහිදී අප වැඩිදුරටත් කියා සිටියේ තලපති විජේගේ දේශපාලන ආගමනයත් සමග ලංකාවට බරපතළ සිදුවීම් ගණනාවකට මුහුණ දීමට සිදුවනු ඇති බවකි. අප කළ එම අනාවරණය මුල් අදියරේදීම තහවුරු කරමින් බලයට පත්වී සති දෙකකට පමණ පසු උතුරේ ජනතාව වෙල්ලමුල්ලි වයික්කාල්හි පැවැති අවසන් සටනේදී මියගිය එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් සිහි කරමින් පැවැත්වූ මහ විරු සැමරුම් දිනය නිමිති කොටගෙන තලපති විජේ විශේෂ නිවේදනයක් නිකුත් කිරීමට පියවර ගත්තේය. සිය නිවේදනය මගින් ඔහු මහ විරු සැමරුමට පක්ෂපාතී අයුරින් අදහස් දක්වා තිබූ ආකාරයක් දැකගත හැකි විය.Sri Lanka Latest News

ඒ සමගම කිසිවකුත් බලාපොරොත්තු නොවූ ආකාරයේ තවත් සිදුවීමක් සිදුවිය. ඒ, උතුරේ මන්ත්‍රීවරයකු ලෙස පළමු වරට පාර්ලිමේන්තුවට තේරීපත් වූ ආන්දෝලනාත්මක චරිතයක් වන අර්චුනා රාමනාදන් හදිසියේම චෙන්නායි නුවරට ගොස් තලපති විජේ හමුවීමට උත්සාහ කිරීමය. සාමාන්‍යයෙන් අර්චුනා සැලකෙන්නේ පාර්ලිමේන්තුවෙන් පිටතදී පමණක් නොව, පාර්ලිමේන්තුව තුළදීත් එල්.ටී.ටී.ඊ. සංවිධානයට සහ එහි නායක ප්‍රභාකරන්ට පක්ෂපාතී ආකාරයට අදහස් දක්වන මන්ත්‍රීවරයෙක් ලෙසටය. තලපති විජේද එල්.ටී.ටී.ඊ. සංවිධානයට සහ ප්‍රභාකරන්ට අතිශය සමීප පුද්ගලයකු ලෙස සැලකේ. ඒ අනුව බොහෝ දෙනා අර්චුනා සහ තලපති විජේ අතර හමුවක් සිදුවනු ඇති බව සිතා සිටියත් එවැන්නක් සිදු නොවීම විශේෂ සිද්ධියක් විය. ඊට හේතු වූයේ අර්චුනා තලපති විජේ හමුවීමේ අදහසින් චෙන්නායිහි රැඳී සිටියද ඒ සඳහා කාලවේලාව වෙන් කිරීමට තලපති විජේ කටයුතු නොකිරීමය. ඒ අනුව සියල්ලන්ටම පැහැදිලි වූ කරුණක් වූයේ එල්.ටී.ටී.ඊ. හිතවාදී වූවා කියා තලපති විජේගෙන් කිසිවකුට පිළිගැනීමක් නොලැබෙන බවය. එමෙන්ම ඉන් තලපති විජේ ලබාදුන් සංඥාව වූයේ නිකන් ආවාට ගියාට හිටිහැටියේ උතුරෙන් මතුවන දේශපාලන චරිතවලට තලපති විජේගෙන් පිළිගැනීමක් නොලැබෙන බවය. ඒ අනුව බොහෝ දෙනා සිතා සිටියේ අමුඅමුවේ ප්‍රභාකරන් ගැන කතා කරන, අමුඅමුවේ ඊළාම් රාජ්‍යයක් ගැන කතා කරන අර්චුනා වැන්නෙකුට පවා තලපති විජේගෙන් කිසිදු අවස්ථාවක් නොලැබෙන වාතාවරණයක් යටතේ තලපති විජේ අනෙක් දේශපාලනඥයන් මෙන්ම බලයට පැමිණි පසු ලංකාව සම්බන්ධයෙන් කතා කිරීම සහ ප්‍රතිචාර දැක්වීම අතහැර දමා ඇතැයි කියාය.

නමුත් අර්චුනාගේ ඉල්ලීමට ප්‍රතිචාර නොදැක්වූ තලපති විජේ, පසුගිය සතියේ සිය සිනමාපටවල වේදිකාවට පිවිසෙන ප්‍රධාන නළුවා මෙන් සියල්ලන්ටම බරපතළ සංඥාවක් ලබාදෙමින් ලංකාවේ දේශපාලන ගේමට නැවත වතාවක් එන්ටර් වූ ආකාරයක් දැකගත හැකි විය. ඒ තලපති විජේ ඉකුත් ජූලි මස 03 වැනි දින, දෙමළ ඊළාම්වාදයට සහ එල්.ටී.ටී.ඊ. සංවිධානයට අතිශය පක්ෂපාතීව කටයුතු කළ දෙමළ දේශපාලන නායකයකු වූ කුමාර් පොන්නම්බලම්ගේ පුත්‍රයා වන පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රන් පොන්නම්බලම් හමුවීමට පියවර ගැනීමත් සමගය. මෙම හමුව සිදුවූයේ ගජේන්ද්‍රන් තලපති විජේ බලයට පත්වීමෙන් පසු උතුරේ දේශපාලන ප්‍රශ්නය සම්බන්ධයෙන් සහ උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අවශ්‍ය බව දැනුම් දෙමින් කර තිබූ ඉල්ලීමකට අනුවය. ඒ අනුව, ගජේන්ද්‍රන් පොන්නම්බලම් තවත් උතුරේ දේශපාලන නායකයන් කිහිප දෙනකු සමග චෙන්නායි බලා කිසිදු ප්‍රසිද්ධියකින් තොරවම පිටත්ව යෑමට කටයුතු කොට තිබිණි.

ගමන ලීක් වෙයි

කෙසේ වෙතත් කිසිදු ප්‍රසිද්ධියකින් තොරව ගජේන්ද්‍රන් ඇතුළු කණ්ඩායම තලපති විජේ හමුවීමට චෙන්නායි බලා පිටත්ව ගියද, විජේ සහ ගජේන්ද්‍රන් අතර සාකච්ඡාවක් පැවැත්වීම තලපති විජේගේ කාර්යාලය මගින් තහවුරු කරද්දීම ඒ සම්බන්ධයෙන් වූ තොරතුර තමිල්නාඩුවේ චෙන්නායි නුවර සිටින ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය මහකොමසාරිස්වරයා වූ ආචාර්ය ගනේෂනාදන් කේතීෂ්වරන් මහතාටද දැනගන්නට ලැබිණි. එම තොරතුර වාර්තා වීමත් සමග තලපති විජේ සහ ගජේන්ද්‍රන් අතර හමුවට දින 3ක් තබා, එනම් ජූලි 01 වැනි දින ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය මහකොමසාරිස් ගනේෂනාදන් මහතා නිල වශයෙන් තලපති විජේ හමුවීමට පියවර ගත්තේය. එය මාධ්‍යයට නිකුත් වූයේ තලපති විජේගේ ජයග්‍රහණයට සුබ පැතීම සඳහා ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය මහකොමසාරිස්වරයා ඔහුව හමුවූ බවකි. නමුත් අපට ඇති තොරතුරුවලින් නම් කියැවෙන්නේ තලපති විජේගේ කාර්යාලය මගින් ගජේන්ද්‍රන්ලාගේ රැස්වීම තහවුරු කිරීමත් සමග කලබලයට පත්වූ චෙන්නායිහි පිහිටි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් මෙසේ තලපති විජේව හමුවීමට හදිසියේම ගොස් ඇති බවකි.

කෙසේ වෙතත් මෙම සාකච්ඡාවේදී ලංකාවේ දේශපාලනයට සම්බන්ධ කිසිදු සාකච්ඡාවක් සිදුව නැති බවද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය මහකොමසාරිස්වරයා තලපති විජේ මුණගැසී මුලින්ම සිය සුබපැතුම් එක්කොට, පසුව ලංකා ආණ්ඩුව එවා තිබූ විශේෂ සුබපැතුම් පණිවුඩය තලපති විජේටත්, තමිල්නාඩු ආණ්ඩුවටත් ලබාදීමට පියවර ගෙන තිබිණි. මීට අමතරව තමිල්නාඩුව සහ ලංකාව අතර දේශපාලන නොවන සබඳතා වැඩිදියුණු කරගන්නා ආකාරය පිළිබඳවද මේ දෙදෙනා අතර අදහස් හුවමාරු වී තිබූ බවක් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. කෙසේ වෙතත් මෙම හදිසි හමුවීම හරහා තලපති විජේ සහ ගජේන්ද්‍රන්ලාගේ හමුව සම්බන්ධයෙන් ආණ්ඩුවේ පිරිස් කිසියම් කලබලයට පත්ව තිබූ ආකාරයක් දැකගත හැකි විය.

ඉන් අනතුරුව පසුගිය 03 වැනිදා පැවැති තලපති විජේ සහ ගජේන්ද්‍රන් අතර වූ සාකච්ඡාවට ඉහළ ප්‍රසිද්ධියක් ලබාදීමට ඉන්දීය මාධ්‍ය කටයුතු කර තිබූ ආකාරයක් දැකගත හැකි විය. එය තමිල්නාඩු මහඇමැතිවරයා ලෙස තලපති විජේ බලයට පත්වීමෙන් පසු ශ්‍රී ලංකාවේ දේශපාලන නායකයකු සමග පැවැත්වූ පළමු දේශපාලන සාකච්ඡාව ලෙස වාර්තා පොත් අතරට එක්විය. මෙහිදී පළමු වතාවට තලපති විජේ සහ ගජේන්ද්‍රන් අතර ලංකාවේ තත්ත්වය පිළිබඳ විශේෂ අදහස් හුවමාරුවක් සිදුවූ ආකාරයක් දැකගත හැකි විය.

ඒ අනුව තලපති විජේ සහ ගජේන්ද්‍රන් ඇතුළු උතුරෙන් ගිය දේශපාලන නායකයන් අතර සාකච්ඡාවට ලක්වූයේ මොනවාද? ඒ සම්බන්ධයෙන් සොයා බලද්දී අප හට දැනගන්නට ලැබුණේ මෙහිදී උතුරු නැගෙනහිර සම්බන්ධයෙන් බරපතළ කරුණු ගණනාවක් දෙපාර්ශ්වය අතර සාකච්ඡාවට ලක්ව ඇති බවකි.

මෙහිදී පළමුවෙන්ම සාකච්ඡාවට ලක්ව ඇත්තේ උතුරු නැගෙනහිර ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝනය වීම් සම්බන්ධයෙනි. පසුගිය කාලවකවානුවේ පමණක් නොව, යුද්ධය පැවැති කාලසීමාවේදී සිදුවූ මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ සිදුවීම් සම්බන්ධයෙන්ද එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති බවක් ආරංචිය.

සාකච්ඡාවේ බරපතළම මාතෘකාව සංවාදයට ලක්ව ඇත්තේ ඉන් අනතුරුවය. එහිදී තලපති විජේට ගජේන්ද්‍රන් දැනුම්දී ඇත්තේ සිය පියා වූ කුමාර් පොන්නම්බලම්ලාගේ කාලයේ සිටම උතුරු නැගෙනහිර වාර්ගික ප්‍රශ්නයට විසඳුමක් ලෙස ෆෙඩරල් පාලන ක්‍රමයක් බිහිකිරීම අරමුණු කොටගෙන තිබූ බවය. ඒකීය රාජ්‍යයක් යටතේ කිසිදු දිනෙක උතුරු නැගෙනහිර වාර්ගික ප්‍රශ්නයට විසඳුමක් සෙවිය නොහැකි බව මෙහිදී තලපති විජේට පෙන්වා දුන් ගජේන්ද්‍රන්, උතුරු නැගෙනහිර ජනතාවට සියලු කෙනහිලිකම් සිදුවන්නේ දැනට ඇති ඒකීය ව්‍යවස්ථාව හේතුකොට ගෙන බවද පෙන්වා දුන්නේය. ඒ අනුව, උතුරු නැගෙනහිර ප්‍රශ්නයට විසඳුම ඊළාම් රාජ්‍යයක් බිහිකිරීම නොවන්නේ නම් ඊට ඇති හොඳම විසඳුම ෆෙඩරල් රාජ්‍ය සංකල්පය බව තලපති විජේට පෙන්වා දුන් ගජේන්ද්‍රන් එය ජාත්‍යන්තරය පවා මේ වනවිට පිළිගෙන ඇති බවත් විජේට පෙන්වා දුන්නේය. ඒ හරහා උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් සහ ස්වෛරීත්වය තහවුරු කළ හැකි බවද ගජේන්ද්‍රන් එහිදී තලපති විජේට දැනුම් දී සිටියේය.

ඉන් අනතුරුව සාකච්ඡාවේ වැඩි වේලාවක් වෙන්වූයේ වෙල්ලමුල්ලි වයික්කාල් අවසන් සටන පිළිබඳ සාකච්ඡා කිරීමටය. මෙහිදී ගජේන්ද්‍රන් ඇතුළු කණ්ඩායම කල් තියාම ලකලෑස්ති වී සාකච්ඡාවට ප්‍රවිශ්ට වී තිබූ ආකාරයක් දැකගත හැකි වූයේ වෙල්ලමුල්ලි වයික්කාල් අවසන් සටනේදී මෙතෙක් අනාවරණ වී නොතිබුණු සාක්ෂි රැසක්ද තලපති විජේට ලබාදීමට ගජේන්ද්‍රන් ඇතුළු කණ්ඩායම කටයුතු කිරීමත් සමගය. එහිදී විශාල මිනිස් සංහාරයක් සිදුවූ බවත්, එය මේ වනවිට ජාත්‍යන්තරය පවා පිළිගෙන ඇති බවත් තලපති විජේට පෙන්වා දුන් ගජෙන්ද්‍රන් පොන්නම්බලම්, අද වනවිට උතුරු නැගෙනහිර දෙමළ ජනතාවට සිදුවන අසාධාරණකම් පිළිබඳ ජාත්‍යන්තරය තුළ හඬක් නැගීමට හරිහමන් දෙමළ නායකත්වයක් නොමැති බවත්, එම නිසා ඊට නායකත්වය ලබාදෙන ලෙසත් තලපති විජේගෙන් ඉල්ලා සිටීමට පියවර ගත්තේය. එහිදී ගජේන්ද්‍රන් විශේෂයෙන් තලපති විජේගෙන් ඉල්ලා සිටියේ වෙල්ලමුල්ලි වයික්කාල් අවසන් සටන සම්බන්ධයෙන් ජාත්‍යන්තර මැදිහත් වීමෙන් ස්වාධීන පරීක්ෂණයක් සිදුකිරීම අත්‍යාවශ්‍ය බවත්, සමස්ත දෙමළ ජනතාව එම ස්ථාවරයේ සිටින බවත්ය. ඒ සඳහා තලපති විජේගේ නායකත්වය, දායකත්වය, මෙහෙයවීම අත්‍යාවශ්‍ය බවද මෙහිදී ගජේන්ද්‍රන් ඇතුළු පිරිස තලපති විජේට දැනුම් දී සිටියහ.

ඉන් අනතුරුව තලපති විජේ ඉන්දියාවටත්, ශ්‍රී ලංකාවටත් බලපාන තවත් අතිශය වැදගත් කාරණාවක් පිළිබඳ ගජේන්ද්‍රන් ඇතුළු කණ්ඩායම සමග සාකච්ඡා කිරීමට පියවර ගත්තේය. ඒ, තමිල්නාඩුවට බලපාන ධීවරයන්ගේ ප්‍රශ්නය පිළිබඳවය. එහිදී තලපති විජේ දීර්ඝ වශයෙන් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ අතර, උතුරේ ධීවරයන්ගේ ප්‍රශ්නයටද එහිදී විශේෂ අවධානයක් යොමුවිය.
අවසන් වශයෙන් දෙපාර්ශ්වය අතර සාකච්ඡාවට ලක්වූයේ පසුගිය යුද සමයේදී ලංකාවෙන් පලාගොස් තමිල්නාඩුවේ සරණාගතයන් වශයෙන් ජීවත් වන උතුරු නැගෙනහිර දෙමළ ජනතාව සම්බන්ධයෙනි. මේ වනවිට යුද්ධය අවසන් වී වසර 18කට ආසන්න කාලයක් ගතවී ඇති බැවින් මෙම දෙමළ ජනතාව නැවත උතුරු නැගෙනහිර සිය ගම්බිම්වල පදිංචි කරවීමට පියවර ගතයුතු බවද මෙහිදී ගජේන්ද්‍රන් ඇතුළු කණ්ඩායම තලපති විජේට දැනුම් දී සිටියේය. ඒ සම්බන්ධයෙන් තමන් සිය අවධානය යොමුකරන බවද මෙහිදී තලපති විජේ ගජේන්ද්‍රන් ඇතුළු කණ්ඩායමට පොරොන්දුවක් දී තිබිණි. ඒ අනුව, ගජේන්ද්‍රන් ඇතුළු කණ්ඩායම නැවත ලංකාවට පැමිණියේ තලපති විජේ හමුවූ ලංකාවේ පළමු පක්ෂ නායකයන් ලෙසට වාර්තාවක් තබමිනි. ඒ අනුව මෙම සාකච්ඡාව සම්බන්ධයෙන් තලපති විජේ දක්වන ප්‍රතිචාරය කුමක් වනු ඇද්ද යන්න දැනගැනීමට තවත් ටික කාලයක් බලා සිටීමට සිදුවනු ඇත.

සජිත් නීතීඥ සංගමයට ලියයි

විවිධ දේශපාලන කාරණා මුල්කරගෙන මේ වනවිට ලංකාවේ දේශපාලනය සතියෙන් සතිය උණුසුම් වන ආකාරයක් දැකගැනීමට පුළුවන. ඒ අනුව මේ වනවිට ලංකා දේශපාලනයේ ඉහළින්ම කතාවෙන අංක එකේ දේශපාලන මාතෘකාව බවට පත්ව ඇත්තේ අගවිනිසුරුවරයා ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම ගැනීමේ වයස් සීමාව තවත් අවුරුදු දෙකකින් ඉහළ නැංවීමට ආණ්ඩුව ගෙන ඇතැයි කියන යෝජනාවය. මෙම යෝජනාවට මේ වනවිට විපක්ෂයේ දේශපාලන පක්ෂ පමණක් නොව, ශ්‍රී ලංකා නීතිඥ සංගමය, මහෙස්ත්‍රාත් සහ මහාධිකරණවල රාජකාරි කරන විනිසුරු සංගම්, ආසියානු නීතීඥ සංගමය සිය විරෝධය ප්‍රසිද්ධියේම පළකිරීමට කටයුතු කොට ඇති ආකාරයක් දැකගැනීමට පුළුවන. එපමණක් නොව අප පසුගිය සතියේ විශේෂ අනාවරණයක් කරමින් කියා සිටියේ ජවිපෙ නීතිඥවරුන්ද මේ සම්බන්ධයෙන් වූ සිය විරෝධය ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කොට ඇති බවකි. ජවිපෙ නීතිඥවරුන් සිය විරෝධය ප්‍රසිද්ධියේ පළකිරීමට කටයුතු නොකළ නමුත්, පෞද්ගලිකවම ජනාධිපතිවරයා හමුවී ඒ සම්බන්ධයෙන් සිය විරෝධය පළකිරීමට කටයුතු කළ ආකාරය ඉකුත් සතියේ ‘රාජ්‍ය රහස්’ තීරයේ වාර්තා කිරීමට අපි පියවර ගත්තෙමු.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය සිය විරෝධය නිල වශයෙන් ආණ්ඩුවට පළකිරීමත් සමග එතෙක් පාර්ලිමේන්තුව ඇතුළේ සහ පාර්ලිමේන්තුවෙන් පිටත ආණ්ඩුවේ මෙම උත්සාහයට විරෝධය පළකරමින් කටයුතු කළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද තවත් පියවරක් ඉදිරියට තැබීමට පියවර ගත්තේය. මීට සති කිහිපයකට ඉහතදී ශ්‍රී ලංකා නීතිඥ සංගමයට ලිපියක් යැවූ විපක්ෂ නායකවරයා ආණ්ඩුවේ මෙම උත්සාහයට විරුද්ධව කටයුතු කරන සියලු පාර්ශ්වයන් ඒකරාශී කරගෙන විශේෂ සංවාදයක් පැවැත්වීමට කටයුතු කරන ලෙසත්, තමන් සහ සජබයද එම සංවාදයට එක්වීමට සූදානම් බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ප්‍රධානීන්ට දැනුම් දී සිටියේය. සජිත් විසින් කරනු ලැබූ මෙම ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය පසුගිය සෙනසුරාදා දිනයේ පදනම් ආයතනයේදී මේ සම්බන්ධයෙන් විශේෂ හමුවක් කැඳවීමට පියවර ගෙන තිබිණි. ඊට දේශපාලන නියෝජිතයන්ට පමණක් නොව, සිවිල් සංවිධාන නියෝජිතයන්ටද, නීතිඥවරුන්ටද, මේ සම්බන්ධයෙන් උනන්දුවෙන් පසුවන කණ්ඩායම්වලටද ආරාධනා කිරීමට නීතිඥ සංගමය කටයුතු කොට තිබිණි. ඒ අනුව, ඊට විශාල පිරිසක් එක්ව සිටි ආකාරයක්ද දැකගත හැකි විය.

මෙහිදී විවිධ පාර්ශ්වවලින් විවිධ අදහස් මේ සම්බන්ධයෙන් මතුවූ නමුත්, පොදුවේ ගත්කල අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව දීර්ඝ කිරීම මේ අවස්ථාවේ නොකළ යුතු එකක් බව අතිබහුතරයකගේ අදහස වී තිබිණි. නමුත් ඊට පක්ෂවද මෙහිදී යම් යම් අදහස් සහ මතිමතාන්තර පළ නොවූවා නොවේ. නමුත් එහිදීද කාලය දීර්ඝ කිරීමේ උත්සාහයට වඩා එය දේශපාලනයට ඈඳා ගැනීම සම්බන්ධයෙන් යම් විරෝධයක් සියලු දෙනාගේම අදහස්වල තිබූ ආකාරයක් දැකගත හැකි විය.

මෙම හමුවෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ සජිත් ඇතුළු සියලු දෙනා ආණ්ඩුවේ මෙම උත්සාහයට විරෝධය පළකරමින් එය පරාජයට පත්කිරීම සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නා බව ප්‍රකාශ කළ ආකාරයක් දැකගත හැකි විය. මෙහිදී දේශපාලන පක්ෂ නායකයකු ලෙස සහ විපක්ෂ නායකවරයා ලෙස සජිත් මුල සිටම ආණ්ඩුවේ මෙම උත්සාහයට එරෙහිව මහජන මතයක් නිර්මාණය කිරීමට කටයුතු කළේ ක්‍රමානුකූලව පියවරෙන් පියවරය. මුලින්ම සජිත් ආණ්ඩුවේ මෙම උත්සාහය පිළිබඳ පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතදීත් අදහස් දක්වමින් ඒ සම්බන්ධයෙන් ජනතාව අතර මතයක් ඇතිකිරීමට පියවර ගත්තේය. ඉන් අනතුරුව සජිත් පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කරන සියලු පක්ෂ සමග ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පියවර ගත්තේය. ඊට එරෙහිව ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කළේය. ඉන් අනතුරුව විපක්ෂ නායකවරයා සිවිල් සංවිධාන නියෝජිතයන් සමගද මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පියවර ගත්තේය. සජිත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය සමග ප්‍රසිද්ධ හමුවකට එක්වූයේ මේ ආකාරයට ඊට අවශ්‍ය පෙළගැස්ම පියවරෙන් පියවර සකස් කිරීමෙන් අනතුරුවය. එපමණක් නොව සිකුරාදා දිනයේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා කල්තැබීමේ විවාදයක් පාර්ලිමේන්තුවේදී ඉල්ලා කතානායකවරයා වෙත විශේෂ ලිපියක් භාරදීමටද සජිත් ඇතුළු සජබය කටයුතු කළේය.

11 තීරණාත්මකයි

ඒ අනුව, සජිත් ක්‍රමානුකූලව ඉදිරියට රැගෙන ආ මෙම සංවාදය මේ මස 11 වැනිදා අතිශය තීරණාත්මක තැනකට පත්වීමට නියමිතය. ඒ, ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමයේ මහාසභා රැස්වීම පැවැත්වීම එදිනට නියම කොට තිබීම හේතුකොට ගෙනය. ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය ඉතා ප්‍රබල ආයතනයක් වන අතර, එය අධිකරණ නිලධාරීන්, දිසා විනිසුරුවරුන්, මහෙස්ත්‍රාත්වරුන් ඇතුළු අධිකරණවල විනිසුරුවරුන්ගෙන් සමන්විත අතිශය ප්‍රබල ආයතනයකි. ඒ අනුව, අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් එළියේ දැවැන්ත සාකච්ඡාවක් පැවැත්වෙන මොහොතක විනිසුරුවරුන්ගේ නියෝජිතත්වය ඇති ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය මෙම රැස්වීම දෙස නීති ක්ෂේත්‍රයේ සියලු පාර්ශ්වයන්ගේ දැඩි අවධානය යොමුව ඇති බවක් දැකගැනීමට පුළුවන. ඒ අනුව, එහි මහා සභා රැස්වීමේදී ආණ්ඩුවේ මෙම උත්සාහය සම්බන්ධයෙන් කුමන මතයක් ප්‍රකාශ වනු ඇද්ද, ඊට පක්ෂව අදහස් පළවනු ඇද්ද, ඊට විරුද්ධව අදහස් පළවනු ඇද්ද, යම් යෝජනාවක් එහිදී සම්මත වනු ඇද්ද යන්න සම්බන්ධයෙන් බොහෝ දෙනා තුළ පවතින්නේ විශාල උනන්දුවකි. කෙසේ වෙතත් කිසිදු ප්‍රසිද්ධියක් නොමැති යම් යම් නිර්නාමික සමාජ මාධ්‍ය පිටු ඔස්සේ මෙය කඩාකප්පල් කිරීම සඳහා විවිධ කණ්ඩායම් විසින් මෙහෙයුම් දියත් කරමින් ඇති ආකාරයක් දැකගන්නට ඇති අතර, එහිදී ඇතැමුන්ගේ නම්ගම් පවා සඳහන් කරමින් ඒවායේ යම් යම් අදහස් පළකර ඇති ආකාරයක් මේ වනවිට දැකගැනීමට පුළුවන. ඒ අනුව ලබන 11 දා පැවැත්වෙන මෙම රැස්වීම අතිශය තීරණාත්මක රැස්වීමක් වනු ඇති බවක් මෙහිදී සඳහන් කළ යුතුව ඇත.

සජිත්ට පහර දෙන තැන

මේ අතර අප පසුගිය කාලසීමාව පුරා ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ ඡන්දයක් ජයග්‍රහණය කිරීමට නොහැකි, විවිධ පක්ෂ සහ පුද්ගලයන්, අවුරුදු 80 ඉක්මවා තිබියදීත් තවදුරටත් දේශපාලනයේ යෙදී සිටින පරාජිත සහ පජාත දේශපාලන නායකයන්, ජනතාව ප්‍රතික්ෂේප කළ යම් යම් කොටස් සහ කණ්ඩායම් කිසියම් කලබලයකට පත්ව විවිධ දේශපාලන හමු, මාධ්‍ය සාකච්ඡා, සම්මන්ත්‍රණ පැවැත්වීමට කටයුතු කරමින් සිටින ආකාරයක් වාර්තා කළෙමු. මෙහිදී මෙසේ කලබලයට පත්ව විවිධ අගුපිල්වල දේශපාලන සාකච්ඡා, සම්මන්ත්‍රණ, මාධ්‍ය හමු පවත්වන්නේ පසුගිය කාලසීමාවේ විවිධ තනතුරු දැරූ සහ විවිධ අක්‍රමිකතා, දූෂණ, අල්ලස් ගැනීම් සහ දේශපාලන බලය අවභාවිත කිරීම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති සහ විමර්ශන පැවැත්වෙන පුද්ගලයන් සහ කල්ලි කණ්ඩායම් බවද අප එහිදී අනාවරණ කළෙමු. ඔවුන් එම සාකච්ඡා, සම්මන්ත්‍රණ සඳහා විවිධ බලපෑම් එල්ල කරමින් විපක්ෂ නායක සජිත්වත්, සමගි ජන බලවේගයත් ඊට එක්කර ගැනීම සඳහා විවිධ උපක්‍රම යොදමින් සිටින ආකාරය පිළිබඳවත් අප මෙම තීරයෙන් පෙන්වා දුන්නෙමු. කෙසේ වෙතත් කුමන බලපෑම් පැමිණියද දූෂිත ගනුදෙනුවලට සම්බන්ධ සහ දූෂණ චෝදනා එල්ල වී ඇති පුද්ගලයන් සම්බන්ධයෙන් කිසිසේත්ම පෙනී නොසිටින බව සජිත් අවස්ථා කිහිපයකදීම සජබයටත්, එහි ජ්‍යෙෂ්ඨයන්ටත් දැනුම් දී තිබූ බවද අප මෙම තීරයෙන් අනාවරණ කළෙමු. එය සජබ ප්‍රතිපත්තිය බව එහිදී සජිත් අවධාරණය කළ බවක්ද අපි පෙන්වා දුන්නෙමු.

කෙසේ වෙතත් විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීමේ ආණ්ඩුවේ වැඩපිළිවෙළේදී සජිත් ඊට එරෙහිව ක්‍රමානුකූලව පියවරෙන් පියවර ඉදිරියට යද්දී දූෂණ චෝදනා එල්ල වී ඇති විවිධ පුද්ගලයන්ට සහ කණ්ඩායම්වලට සජිත් සහ සජබය පාරට ගැනීමේ අවශ්‍යතාව මතුව තිබූ ආකාරයක් පසුගිය කාලයේදී දැකගන්නට ලැබිණි. ඊට හේතුවී තිබුණේ එසේ සජිත් සහ සජබය ආණ්ඩුවට එරෙහිව පාරට ගෙන තමන්ට එල්ල වී ඇති දූෂණ චෝදනා සහ විමර්ශන කෙසේ හෝ යටපත් කරගැනීමට ඔවුන් දැරූ උත්සාහයය. ඒ අනුව සජිත්ව මෙසේ ආණ්ඩුවට එරෙහිව පාරට ගැනීම සඳහා රනිල්ගේ පාර්ශ්වයෙනුත්, විවිධ කල්ලි කණ්ඩායම්වලිනුත් සජිත් ඉලක්ක කොටගෙන දැවැන්ත මාධ්‍ය මෙහෙයුමක් දියත් කළ ආකාරයක් පසුගිය සතිය වනවිට දැකගන්නට ලැබිණි. ඒ අනුව, සමාජ මාධ්‍ය ඔස්සේ මේ කණ්ඩායම්වල අනුග්‍රහයෙන් ‘සජිත් ආණ්ඩුවත් එක්ක ඩීල් එකක’, ‘සජිත් විපක්ෂයේ කාර්යභාරය හරියට කරන්නේ නෑ’, ‘සජිත්ට පණ නෑ’ ආදී ව ශයෙන් කියමින් මාධ්‍ය මෙහෙයුමක් දියත් කර තිබූ ආකාරයක් දැකගත හැකි විය. මේ වනවිට සජබ ප්‍රධානීන්ට මතුව ඇති සැකයක් වී ඇත්තේ සජබය ඇතුළේ සිටින රනිල් හිතවාදී සුළු කණ්ඩායමක්ද එම මාධ්‍ය මෙහෙයුමට රනිල්වාදීන් විසින් එක්කොට ගෙන ඇති බවය. විශේෂයෙන්ම රනිල් ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ කාලසීමාවේදී රනිල් සමග ඩීල් දමමින් බාර් ලයිසන් ලබාගත්, විවිධ කොන්ත්‍රාත් ලබාගත්, මන්ත්‍රී ප්‍රතිපාදන ලබාගත්, මත්පැන් නිෂ්පාදනය කිරීමේ බලපත්‍ර ලබාගත් සජබ මන්ත්‍රීවරුන් හත්අට දෙනකු තවමත් සජබයේ නැතුවාම නොවේ. ඔවුන්ගෙන්ද කිහිප දෙනකු සජිත්ට සහ සජබයට ප්‍රහාර එල්ල කිරීම සඳහා යොදාගැනීමේ උත්සාහයක් පවතින බවට තොරතුරු වාර්තා වීමත් සමග සජිත් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් සමග පසුගිය සතියේදී මේ සම්බන්ධයෙන් දීර්ඝ සාකච්ඡාවක් සිදුකිරීමට පියවර ගත්තේය. එහිදී සජිත් මේ සියලු දෙනාටම මෙම ප්‍රහාරය එල්ල වන්නේ කොතැනින්ද, එය මෙහෙයවන්නේ කවුද, ඊට සහාය දෙන්නේ කවුද, ඒ සඳහා අවශ්‍ය මුදල් පොම්ප කරන්නේ කවුද යනාදිය සම්බන්ධයෙන් සියලු තොරතුරු හෙළිදරව් කිරීමට සජිත් පියවර ගත්තේය. එමෙන්ම අපට ඇති තොරතුරුවලින්ද කියැවෙන්නේ ගොඩනැගෙමින් පවතින සජබ – එජාප එකමුතුව කඩාකප්පල් කිරීම සඳහා රනිල් හා රනිල් වටා සිටින භූතයන් දෙතුන් දෙනකු සජිත්ට එරෙහි මෙම මාධ්‍ය මෙහෙයුම පසුපස සිටින බවකි.

උපන් ගෙයි ලෙඩක්

කෙසේ වෙතත් පසුගිය කාලසීමාවේදී එළිපිටම රනිල්ද මෙම මෙහෙයුමට සම්බන්ධ වී සිටි නමුත්, මේ වනවිට රනිල් එළියට එන්නේ නැතිව වෙනත් ක්‍රමවලින් සජිත්ට සහ සජබයට පහරදීමට කටයුතු කරමින් සිටින ආකාරයක් දැකගන්නට පුළුවන. සාමාන්‍යයෙන් මෙය සැලකෙන්නේ උත්පත්තියේ සිට රනිල්ගේ ඇඟේ ඇති දේශපාලන ලෙඩක් ලෙසටය. මුදල් අවභාවිත කිරීමේ චෝදනාව මත රනිල් අත්අඩංගුවට පත්වූ පසු ඇප ලබාගැනීම සඳහා රනිල්ට ඇති ලෙඩ රෝග ගණනාවක් පිළිබඳව අධිකරණයේදී තොරතුරු හෙළිදරව් කෙරුණු නමුත් රනිල්ගේ දේශපාලන උත්පත්තියේ සිටම පැවැත එන ‘නිවුස් ප්ලාන්ට් කිරීමේ රෝගය’ පිළිබඳ ‘රාජ්‍ය රහස්’ තීරය විසින් රටට අනාවරණ කරන තෙක්ම වෙනත් කිසිදු ආකාරයකින් තොරතුරු එළියට ආවේ නැත. පසුගිය කාලය පුරාම රනිල් සහ රනිල්ට හිතවත් මාධ්‍යවේදීන් කිහිප දෙනකු සජබය ඇතුළේ ප්‍රශ්න ඇතිකිරීම සඳහාත්, සජිත්ව දේශපාලන වශයෙන් විනාශ කිරීම සඳහාත් තම පවුලට අයත් මාධ්‍ය ඔස්සේත් වෙනත් මාධ්‍ය ඔස්සේත් බොරු නිවුස් ප්ලාන්ට් කිරීමේ මෙහෙයුමක් දියත් කොට තිබිණි. විශේෂයෙන්ම රනිල් අත්අඩංගුවට පත්වූ අවස්ථාවේදී පරණ දේශපාලන තරහමරහා අමතක කළ සජිත්, අවංකවම රනිල් බේරාගැනීම සඳහා ඉදිරියට පැමිණියේය. දිනපතාම පාහේ රනිල්ගේ සුවදුක් විමසීම සඳහා වැලිකඩ බන්ධනාගාරයටත්, කොළඹ ජාතික රෝහලටත් ගියේය. අවසානයේදී රනිල් වෙනුවෙන් සජබයද පාරට අරන් ආවේය. නමුත් ඊට රනිල් ප්‍රතිචාර දැක්වූයේ ජාතික රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටියදීම සජිත්ව අත්අඩංගුවට ගැනීමට නියමිත බව සඳහන් කරමින් තමන්ගේ පවුලේ මාධ්‍යවල සජිත්ට එරෙහිව බොරු පුවත් පැළ කිරීම හරහාය. නමුත් අප ඒ සම්බන්ධයෙන් සියලු තොරතුරු රටට අනාවරණ කිරීම හේතුකොට ගෙන රනිල්ගේ එම මාධ්‍ය මෙහෙයුම ආපසු කැරකී ගියේය.

ඉන් අනතුරුව ඒ සියල්ලද අමතක කොට පක්ෂ දෙක එකමුතු කිරීම වෙනුවෙන් නැවත වතාවක් රනිල් සමග මුහුණට මුහුණ සාකච්ඡාවක් පැවැත්වීමට සජිත් තීරණය කළේය. ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, පක්ෂ සභාපති කබීර් හෂීම් යන මන්ත්‍රීවරුන් රනිල්ගේ පෞද්ගලික නිවසට යැවීමටද සජිත් පියවර ගත්තේය. එපමණක් නොව අවසානයේදී තමන්ද කොල්ලුපිටියේ පස්වැනි පටුමගේ පිහිටි රනිල්ගේ නිවසට ගොස් ඔහු සමග සාකච්ඡා කිරීමට සජිත් කටයුතු කළේය. එසේ තිබියදීත් සුපුරුදු පරිදි සජිත් ඉලක්ක කොටගෙන නැවත වතාවක් මාධ්‍ය හරහා ප්‍රහාර මාලාවක් එල්ල කිරීමට රනිල්ගේ පාර්ශ්වය සහ එජාපයට අරක් ගෙන සිටින භූතයන් කටයුතු කරමින් සිටින ආකාරයක් දැකගන්නට පුළුවන. ඒ අනුව සජබ ප්‍රධානීන් සමග පැවැති සාකච්ඡාවේදී සජිත් තමන්ට එල්ල කරන මෙම ප්‍රහාර පිළිබඳවත්, ඒවාට සම්බන්ධ පිරිස් පිළිබඳවත්, සජබයෙන්ද ඊට උල්පන්දම් දෙන මන්ත්‍රීවරුන් කිහිප දෙනකු පිළිබඳවත් හෙළිදරව් කිරීමට පියවර ගෙන තිබිණි. ඒ කෙසේ වෙතත් සජිත් එහිදී ඉතා දැඩි ප්‍රකාශයක් සිදුකිරීමටද පියවර ගත්තේය. ඒ තමන් හෝ සජබය කිසිදු අවස්ථාවක දූෂිතයන් වෙනුවෙන් පෙනී නොසිටින බව ප්‍රකාශ කරමින්ය.

‘මම දන්නවා මට මේ විදියට ගහන්නේ කවුද කියලා. ඒවා කරන අයයි, ඒවා කරන විදියයි ගැන මම හොඳට දන්නවා. අපේම සමහර මන්ත්‍රීවරුත් ඒවට සම්බන්ධ වෙලා ඉන්න විදිය ගැනත් මම දන්නවා. හැබැයි මට ඔහොම නෙවෙයි කොහොම ගැහුවත් කිසිම දවසක මම මේ දූෂිතයන් වෙනුවෙන්වත්, දූෂණ චෝදනා එල්ල වෙලා තියෙන අය වෙනුවෙන්වත්, දූෂිත ගනුදෙනු කරපු අය වෙනුවෙන්වත් පෙනී ඉන්නේ නෑ. ඒ වගේම කිසිම වෙලාවක සජබයවත් ඔය දූෂිතයන් වෙනුවෙන් පෙනී ඉන්න තැනට මම පත් කරන්නේ නෑ…’ යනුවෙන් සජිත් එහිදී ඍජු ප්‍රකාශයක් කිරීමට කටයුතු කළ ආකාරයක් දැකගත හැකි විය.

ඉන් අනතුරුව පිරිස අතර සාකච්ඡාවට ලක්වූයේ අල්ලස් චෝදනාවකට අත්අඩංගුවට ගෙන ඇති චරිත් අබේසිංහ සම්බන්ධයෙනි. එහිදී ඇතැමුන් කියා සිටියේ නිර්නාමික චෝදනාවක් එල්ල වූ පමණින් චරිත් අබේසිංහව පක්ෂයෙන් ඉවත් කිරීම වැරැදි යැයි කියාය. ඊට සජිත් දුන්නේ මෙවැනි පිළිතුරකි.

‘අපි චරිත්ව අයින් කරලා නැහැ. චරිත්ට චෝදනාවක් එල්ල වෙලා තියෙන නිසා එයා ගැන පක්ෂයෙන් විමර්ශනයක් කරමින් ඉන්නේ. චරිත් ඒකෙන් නිදහස් වුණොත් අපිට එයාව ආයෙම දේශපාලනයට ගේන්න පුළුවන්. ඒ නිසා චරිත් වෙනුවෙන් පක්ෂයෙන් කරන දේවල් ඔබතුමාලා ඒ විදියටම කරගෙන යන්න…’ යන්න සජිත් එහිදී දී තිබූ පිළිතුර විය.

කෙසේ වෙතත් මේ වනවිටත් බන්ධනාගාරගතව සිටින චරිත්ගේ දුක සැප විමසීම සඳහා සජබ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු වැලිකඩ බන්ධනාගාරයට ගොස් තිබිණි. එමෙන්ම පසුගිය සතියේ සජබ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාරද වැලිකඩ බන්ධනාගාරයට ගොස් චරිත්ව හමුවීමට පියවර ගත්තේය. රංජිත් එසේ ගොස් තිබුණේ නිකන්ම නොව, සජිත්ගේ පණිවුඩයක්ද රැගෙනය. ඒ අනුව චරිත් වෙනුවෙන් පක්ෂය ගනු ලැබූ තීන්දුව පිළිබඳ චරිත්ව දැනුවත් කළ රංජිත් මද්දුමබණ්ඩාර එම තීන්දුව ගැනීමට බලපෑ හේතු මෙන්ම එළියේ පවතින දේශපාලන තත්ත්වය පිළිබඳවද චරිත්ව දැනුවත් කිරීමට පියවර ගෙන තිබිණි.

අනුර කතා නොකරම යයි

පසුගිය බ්‍රහස්පතින්දා දිනයේදී මහාවිහාරවංශික ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උපසම්පදා මහෝත්සවය රාජ්‍ය අනුග්‍රහයෙන් මහත් උත්සවශ්‍රීයෙන් යුතුව පැවැත්වීමට පියවර ගෙන තිබිණි. පවතින දේශපාලන අර්බුද සහ මතගැටුම් මැද්දේ මෙම උපසම්පදා උත්සවයට සියලු දෙනාගේම ඇස් යොමුවී තිබුණේ ජනාධිපතිවරයාත්, විපක්ෂ නායකවරයාත් මුහුණට මුහුණ හමුවන අවස්ථාවක් ලෙස මෙම උත්සවය දැකගන්නට ලැබීම නිසාය. ඒ අනුව නියමිත වේලාවට ජනාධිපතිවරයාත්, විපක්ෂ නායකවරයාත් උත්සවයට සහභාගි වූ අතර, ඔවුන්ට අමතරව සංස්කෘතික අමාත්‍ය සුනිල් සෙනෙවි මහතාත්, අමරපුර මහා නිකායේ නායක ස්වාමින්වහන්සේලා ප්‍රමුඛ විශාල පිරිසකුත් ඊට සහභාගි වී සිටි ආකාරයක් දැකගන්නට ලැබිණි.

කෙසේ වෙතත් උත්සව සභාවේ කාලසටහන සකස් වී තිබුණේ මුලින්ම අමරපුර නිකායේ නායක ස්වාමින්වහන්සේලාගේ කතාවලින් අනතුරුව සංස්කෘතික අමාත්‍යවරයාගේ කතාවත්, ඉන් අනතුරුව විපක්ෂ නායකවරයාගේ සහ ජනාධිපතිවරයාගේ කතාවත් ආදී වශයෙන් පෙළගස්වමිනි. නමුත් උත්සව සභාව ආරම්භ වී විනාඩි 40ක් පමණ ගිය පසු ජනාධිපතිවරයා හිටිහැටියේම කිසිවකුටත් කතා නොකර උත්සව සභාවෙන් පිටව යෑමට පියවර ගත් ආකාරයක් දැකගන්නට ලැබිණි. එහිදී ජනාධිපතිවරයා සිය ආසනයෙන් නැගිට කෙළින්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අසලට ගොස් ඔහුට අතට අත දී තමන් වෙනත් කටයුත්තකට යන බව කියමින් උත්සව සභාවෙන් පිටව යෑමට කටයුතු කර තිබිණි. නමුත් එම කටයුත්ත කුමක්ද යන්න පිළිබඳ හෝ වෙන යම් කාරණාවක් එහිදී ජනාධිපතිවරයා සජිත්ට දැනුම් දීමට කටයුතු කර තිබුණේ නැත.

කෙසේ වෙතත් මේ ආකාරයට සිය කතාවද නොකර රාජ්‍ය අනුග්‍රහය ලබාදී තිබූ උපසම්පදා කටයුත්තක් අතරතුර ජනාධිපතිවරයා හිටිහැටියේම පිටව යෑම ඒ අවස්ථාවේදී බොහෝ දෙනා තුළ ප්‍රශ්නාර්ථයක් මතුකොට තිබූ එකක් බව රැස්ව සිටි අයගේ මුහුණු දෙස බැලූ විට පැහැදිලිවම දැකගන්නට ලැබිණි. ඒ අනුව, රැස්ව සිටි ස්වාමින්වහන්සේලාත්, ප්‍රභූ පිරිසත් මේ සම්බන්ධයෙන් විවිධ කරුණු දැක්වීම් සිදුකළ ආකාරයක්ද දැකගන්නට ලැබිණි. එහිදී ඇතැමුන් කියා සිටියේ පූජ්‍ය ආචාර්ය මාදම්පාගම අස්සජි හිමියන් සිදුකළ කතාවෙන් පසු ජනාධිපතිවරයා මෙසේ උත්සව සභාවෙන් පිටව ගිය බවකි. සිය කතාවේදී මාදම්පාගම අස්සජි හිමියන් රාජ්‍ය නායකයාගේ ගුණ වර්ණනා කරන අතරවාරයේම වත්මන් පාලන සමයේදී විවිධ රාජ්‍ය නොවන කල්ලි, සංවිධාන මගින් බුද්ධ ශාසනයට එල්ල වී ඇති තර්ජන පිළිබඳ සඳහන් කිරීම හේතුවෙන් ජනාධිපතිවරයා යම් සිත් තැවුලකට පත්ව මෙසේ උත්සව සභාවෙන් පිටව ගිය බව ඇතැමුන් සඳහන් කරන ආකාරයක්ද පෙනෙන්නට තිබිණි. ඒ කෙසේ වෙතත් බොහෝ දෙනා එහිදී කියා සිටියේ එවැනි රාජ්‍ය අනුග්‍රහයක් ලබාදුන් ප්‍රධාන උත්සවයකදී සිය කතාව හෝ සිදු නොකොට ජනාධිපතිවරයා අතරමගදී නැගිට පිටව යෑම සුදුසු එකක් නොවන බවකි. කෙසේ වෙතත් ජනාධිපතිවරයා එසේ උත්සව සභාවෙන් පිටව ගියද විපක්ෂ නායකවරයා සිය කතාව අතරතුරදී බුද්ධ ශාසනයට එල්ල වී ඇති අභියෝග සහ කුමන්ත්‍රණ පිළිබඳ කළ අදහස් දැක්වීම සියලු හිමිවරුන්ගේ ප්‍රසාදයට ලක්වූ ආකාරයක් දැකගත හැකි විය.

නිවාස අඩස්සිය

නිලධාරීන් සහ රැඳවියන් 28 දෙනකුගේ ජීවිත අහිමි කරමින් අවසන් වූ මීගමුව බන්ධනාගාරයේ ගැටුම සම්බන්ධයෙන් මේ වනවිට විවිධ තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේත්, නිල මාධ්‍ය ඔස්සේත් හුවමාරු වන ආකාරයක් දැකගන්නට පුළුවන. ඒ සම්බන්ධයෙන් ඉදිරි විමර්ශනවලදී ආන්දෝලනාත්මක හෙළිදරව් වීම් රැසක් සිදුවීමට නියමිතව ඇති බවක් අපටද ලැබෙන තොරතුරුවලින් දැනගන්නට තිබේ. ඒ කෙසේ වෙතත් දැනට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ මෙම ගැටුමට බන්ධනාගාරවල ඇති තදබදයද ප්‍රධාන හේතුවක් වී ඇති බවය. මීගමුව බන්ධනාගාරයේ 600ක් රඳවා තැබීමේ පහසුකම් ඇති නමුත්, ගැටුම සිදුවන විට එහි 2,400ක පිරිසක් රඳවා තිබීම හේතුවෙන් සිරකරුවන් අතර තිබූ පීඩනයද ගැටුමට එක් හේතුවක් ලෙස දැක්විය හැකිය.

කෙසේ වෙතත් පසුගිය සතියේ ගැටුම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවැති උණුසුම් විවාදයේදී අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාගේ කටින් මීට අදාළ විශේෂ කාරණාවක් එළියට පැන්නේය. එහිදී හර්ෂණ කියා සිටියේ මෙම බන්ධනාගාර තදබදයට පිළියමක් වශයෙන් සුළු වැරැදි සම්බන්ධයෙන් බන්ධනාගාරගත කරන සිරකරුවන් නිවාස අඩස්සියේ තැබීමේ ක්‍රමවේදයක් හඳුන්වා දීමට කටයුතු කරමින් සිටින බවය.

‘රිමාන්ඩ් යන එක වැඩියි. අන්න ඒ හින්දා අපි මේ දවස්වල පත්කරලා තියනවා කමිටුවක් නිවාස අඩස්සි පනත ගැන කතාකරන්න. එහෙම නැත්තන් හිරේ යවනවා වෙනුවට ඔවුන්ව ගෙදර නිවාස අඩස්සියේ තබලා විද්‍යුත් අධීක්ෂණ ක්‍රමයක් සකස් කරන්න. මං මේ කරුණු කීපයක් පමණයි කිව්වේ. ඒක නිසා අපි උඩ බලාගෙන හිටියා නෙමෙයි…’ යනුවෙන් එහිදී හර්ෂණ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කොට තිබිණි.

නමුත් හර්ෂණ මේ කතාව කියද්දීම ඊට ප්‍රතිචාර දැක්වූ හිටපු අධිකරණ නියෝජ්‍ය අමාත්‍යවරයකු වන අනුරාධ ජයරත්න කියා සිටියේ මේ සම්බන්ධයෙන් හිටපු රජය කෙටුම්පත් පවා සකස් කොට එසේ නිවාස අඩස්සියේ තබන රැඳවියන්ට දැමීම සඳහා අවශ්‍ය වළලු (බැන්ගල්) පවා ගෙනැවිත් ඇති බවය.

ඒ අනුව අපද මේ නිවාස අඩස්සි කතාවේ ඉතිහාසය සොයාබැලීමට පියවර ගත්තෙමු. ඒ අනුව අපට දැනගන්නට ලැබුණේ රනිල්ගේ ආණ්ඩු සමයේදී හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින් 2023 වසරේ දෙසැම්බර් මාසයේදී ඊට අදාළ කැබිනට් පත්‍රිකාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කොට කැබිනට් අනුමැතිය ලබාගැනීමට කටයුතු කොට ඇති බවකි. ඒ අනුව ඊට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන සකස් කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත කමිටුවක්ද පත්කිරීමට විජයදාස කටයුතු කොට තිබිණි. ඒ අනුව ඊට අදාළ කමිටු වාර්තාව නීති කෙටුම්පත් සම්පාදක වෙත යොමුකිරීමටද එවක ආණ්ඩුව කටයුතු කොට තිබිණි. නමුත් මැතිවරණ උණුසුම සහ ජනාධිපතිවරණ පරාජයත් සමග එම කෙටුම්පත ඉන් ඉදිරියට ගියේ නැත.

ඒ අනුව, හර්ෂණ පාර්ලිමේන්තුවේදී අනාවරණ කළ මෙම නිවාස අඩස්සි පනත් කතාව මෙම කෙටුම්පතේ දිගුවක්ද කියන්න තවම තොරතුරු නැත. නමුත් හර්ෂණ කියා සිටියේ ඒ සම්බන්ධයෙන් අදාළ පියවර ගැනීම සඳහා මේ වනවිට කමිටුවක් පත්කොට ඇති බවය.

කෙසේ වෙතත් මෑත කාලයේ ජාත්‍යන්තරයෙන් එවැනි ආකාරයේ දේශපාලන නායකයන් නිවාස අඩස්සියේ තැබීම පිළිබඳ උදාහරණ ඕනෑ තරම් තිබේ. තායිලන්තයේ හිටපු අගමැති තක්ෂින් ෂිනවාත්‍රා නිවාස අඩස්සියේ සිටියේය. එමෙන්ම මියැන්මාරයේ හිටපු නායිකා අවුන්සාන් සුකී මේ වනවිටද සිටින්නේ නිවාස අඩස්සියට පත්කොටය. මීට අමතරව ප්‍රංශයේ හිටපු ජනාධිපති අපේක්ෂිකාවක වන මැරින් ඩි පෙන් මහත්මියද මේ වනවිට සිටින්නේ දූෂණ චෝදනාවලට වරදකාරිය වී නිවාස අඩස්සියට පත්කොටය.

එමෙන්ම දැනටමත් නිවාස අඩස්සි ක්‍රමය ක්‍රියාත්මක කරන බලවත් රටවල් කිහිපයක්ද තිබේ. ඉන් එක් රටක් වන්නේ ඇමෙරිකාවය. මීට අමතරව බි්‍රතාන්‍යය, කැනඩාව, ඔස්ටේ්‍රලියාවේ ඇතැම් ප්‍රාන්ත, නවසීලන්තය, ප්‍රංශය, ස්පාඤ්ඤය, බෙල්ජියම, නෙදර්ලන්තය, සිංගප්පූරුව, බ්‍රසීලය ආදී රටවල්ද මේ වනවිටත් නීතියක් ලෙස නිවාස අඩස්සියේ තැබීමේ ක්‍රමය ක්‍රියාත්මක කරමින් තිබේ. ඉන්දියාවද නීතිගත කොට නොතිබුණද යම් යම් අධිකරණවලට පුද්ගලයන් නිවාස අඩස්සියේ තැබීමේ බලය පැවරී ඇති ආකාරයක් දැකගත හැකිය.

කෙසේ වෙතත් මෙ වනවිට මතුව ඇති ප්‍රශ්නය වන්නේ ලංකාවේ මේ නීතිය ගෙන එන්නේ කවුරුන් වෙනුවෙන්දැයි කියාය. මන්ද යත් මේ වනවිට හිටපු දේශපාලනඥයන් රැසකට එරෙහිව අධිකරණ කටයුතු ක්‍රියාත්මක කරමින් පවතින අතර, ඉන් කිහිප දෙනකුම දැනටමත් බන්ධනාගාරගත කිරීමට පියවර ගෙන ඇත. එමෙන්ම ඉදිරි කාලවකවානුවේදී තවත් බොහෝ දේශපාලනඥයන් ප්‍රමාණයක් බන්ධනාගාරගත කිරීමට නියමිතව ඇති බවක් සිදුවන සිදුවීම්වලින් පැහැදිලිවම දැකගන්නට තිබේ. ඒ අනුව මෙසේ සිරගත කිරීමට නියමිතව සිටින දේශපාලනඥයන් නිවාස අඩස්සියේ තැබීමට මෙවැනි නීතියක් ගෙනෙනවාද, එසේත් නැත්නම් බන්ධනාගාරගත වන අපරාධකරුවන් නිවාස අඩස්සියේ තැබීමට මෙවැනි නීතියක් ගෙනෙනවාද යන්න සම්බන්ධයෙන් දැනගැනීමට සියල්ලන්ටම තව ටික කාලයක් බලා සිටීමට සිදුවනු ඇත.

නාමල් සජිත්ට ලියයි

මේ සියල්ල අතරවාරයේ පසුගිය සතියේ පොහොට්ටුවේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා හදිසියේම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හට ලිපියක් එවීමට කටයුතු කොට තිබිණි. එම ලිපියේ සඳහන් වූයේ අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස වසර 2කින් දීර්ඝ කිරීමට ආණ්ඩුව දරණ උත්සාහයට එරෙහිව ප්‍රබල මැදිහත් වීමක් කරන ලෙසට සජිත්ගෙන් කරනු ලැබ තිබූ ඉල්ලීමකි. කෙසේ වෙතත් මෙම ලිපිය දුටු සැණින් සජබ බොහෝ දෙනාගේ ඔළුවට ඇවිත් තිබුණේ මෙය නාමල්ගේ වුවමනාවට ලියා තිබූ එකකටත් වඩා පාර්ලිමේන්තුවෙන් පිටත විපක්ෂය යැයි තමන් විසින් හඳුන්වා ගන්නා, නඩුහබ ඇති යම් යම් කල්ලි කණ්ඩායම්වල වුවමනාවකට අනුව නාමල් විසින් එවා තිබූ එකක් බවකි. ඒ අනුව ලිපිය ලැබුණු සැණින් සජිත් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් කැඳවා මෙම ලිපිය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට පියවර ගත්තේය. එහිදී ඔවුන් පෙන්වා දුන්නේ මේ වනවිටත් සජිත් පාර්ලිමේන්තුවේත්, ඉන් පිටතත් මේ පිළිබඳ අදහස් දක්වමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවා හමුවී දැවැන්ත වැඩපිළිවෙළකට යෑමට සූදානම් වන මේ මොහොතේ නාමල් විසින් මෙවැනි ලිපියක් එවා තිබීම පිළිගත නොහැකි යැයි කියාය. ඒ අනුව එම ලිපියට ප්‍රතිචාර දැක්විය යුතු නැති බව සජබ ප්‍රධානීන්ගේ අදහස වී තිබිණි.

එමෙන්ම මෙහිදී ඒකාබද්ධව සටන් කළ යුතු බවට නාමල් දක්වා ඇති අදහස පිළිබඳවද පිරිස අතර දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්විය. එහිදීද සජබ ජ්‍යෙෂ්ඨයන් දැඩිව කියා සිටියේ මතුවන යම් යම් ගැටලුකාරී තත්ත්වයන්වලදී ඒකාබද්ධව ආණ්ඩුවට විරෝධය පළකළද පොහොට්ටුව සමග පෙරමුණුවලට යෑමට හෝ සන්ධානගත වීමකට කිසිසේත්ම කටයුතු නොකළ යුතු බවකි. සජබ ප්‍රතිපත්තිය හමුවේ කිසිම අවස්ථාවක පොහොට්ටුව සමග එක දේශපාලන වේදිකාවක කටයුතු කළ නොහැකි බවද මෙහිදී සජබ ජ්‍යෙෂ්ඨයන්ගේ අදහස වී තිබිණි.

පහත දැක්වෙන්නේ උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීමට ආණ්ඩුව දරන උත්සාහය සම්බන්ධයෙන් කරුණු දක්වමින් නාමල් විසින් සජිත් වෙත එවා තිබූ ලිපියය.

ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමා
ශ්‍රී ලංකා පර්ලිමේන්තුවේ විපක්ෂ නායක,
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව,
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ.

ගරු විපක්ෂ නායකතුමනි,
2026.07.07

හිතුවක්කාර අයුරින් ඉහළ අධිකරණ විනිසුරුවන්ගේ ධුර කාලය දීර්ඝ කිරීමට උත්සාහ දරමින් නීතියේ ආධිපත්‍ය බිඳදැමීමට එරෙහිව සමස්ථ ප්‍රජාතන්ත්‍රවාදය අගයන පක්ෂවල නැගී සිටීමේ අවශ්‍යතාව.

ආණ්ඩුව මේ වනවිට කිසිදු පිළිගත හැකි සාධාරණ හේතුවකින් තොරව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට උත්සහ දරණ බව අපගේ විශ්වාසයයි. මෙම ක්‍රියාව නීතියේ ආධිපත්‍යයට දැඩි බලපෑමක් ඇති කළ හැකි තත්වයක් වන අතරම එමගින් අප මවුබිමේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයට දැඩි බලපෑමක් එල්ල කිරීමට උත්සාහ දරන බව පෙනී යයි.
දැනටමත් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය, ආසියානු නීතිඥ සංගමය හා පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය සිය අප්‍රසාදය සහ/හෝ විරෝධය පළකර ඇති තත්ත්වයක් යටතේ ශ්‍රී ලංකාවේ නීතියේ ආධිපත්‍ය මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියලු පක්ෂ එකමුතුව මෙයට දැඩි ලෙස විරෝධය පළකිරීම කළ යුතු බව අපි අදහස් කරමු.

මේ අනුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා වශයෙන් සියලු ප්‍රජාතන්ත්‍රවාදය අගයන පක්ෂ මෙම පත්ව ඇති බැරෑරුම් තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා කැඳවීමක් කරන මෙන් මෙයින් ඔබතුමන්ගෙන් ඉල්ලා සිටිමි.

තවද මේ සඳහා මේ වනතෙක් පාර්ලිමේන්තුව නියෝජනය කල සියලු දේශපාලන පක්ෂවල නායකවරුන් හා අනෙකුත් සුදුසු යැයි හැඟෙන දේශපාලන පක්ෂ නායකයන් කැඳවීම සුදුසු බව අපගේ විශ්වාසයයි. මෙම වැදගත් කරුණ සම්බන්ධයෙන් ඔබතුමන්ගේ ඉක්මන් අවධානය යොමු වනු ඇතැයි අපේක්ෂා කරමි.
ස්තුතියි.

මෙයට – විශ්වාසි,
නාමල් රාජපක්ෂ (පා.ම)
ජාතික සංවිධායක

කපිල පුංචිමාන්නගේ

SendShareShare
Previous Post

විරෝධය හමුවේ ආණ්ඩුව අඩියක් පස්සට ගනී! උපරිමාධිකරණ විනිසුරුවන්ට විතරක් නැතිව සියලුම විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 2කින් දීර්ඝ කරන්න සූදානම් වෙයි! I Sri Lanka Latest News

Next Post

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

MORE NEWS

Exclusive

විරෝධය හමුවේ ආණ්ඩුව අඩියක් පස්සට ගනී! උපරිමාධිකරණ විනිසුරුවන්ට විතරක් නැතිව සියලුම විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 2කින් දීර්ඝ කරන්න සූදානම් වෙයි! I Sri Lanka Latest News

අනුර මාලෙට ගොඩබැස්සා! පිළිගත්තේ මාලදිවයින් ජනාධිපතිතුමා! PHOTOS I Sri Lanka Latest News
Exclusive

16 අනුර ප්‍රංශෙ යන්නෙ නෑ! I Sri Lanka Latest News

නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩු එනවා යනවා! නායකයෝ එනවා යනවා! ප්‍රතිපත්ති වෙනස් නොවිය යුතුයි! විනිසුරුවන්ගේ ධූර කාලය දීර්ඝ කිරීමේ ආණ්ඩුවේ උත්සාහයට එරෙහිව නීතීඥ සංගමයෙන් තවත් සම්මන්ත්‍රණයක්! VIDEO I Sri Lanka Latest News

එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News
Exclusive

එල්-නිනෝ ගැන බය හිතෙන කතාවක් කාලගුණෙන් එළියට දමයි! ඔක්තෝබර්-නොවැම්බර් භයානකයි!  I Sri Lanka Latest News

වහන් හිටපු හෝමුස් ඇරෙයි! අවුලක් නැතිව නැව් යනවා! බොරතෙල් මිලත් 16%කින් බැස්සා! මෙහේ තෙල් මිලත් දැන් තිබ්බ ගාණට අඩු වෙයිද? I Sri Lanka Latest News
Exclusive

ඉරානය හෝමුස් සම්පූර්ණයෙන්ම වහයි! තුන්වන ප්‍රහාර වටයට අමෙරිකාව ලකලෑස්ති වෙයි!  I Sri Lanka Latest News

අධිකරණ ඇමතිවරයා බන්ධනාගාර සිද්ධිය දකින්නේ ෆේස්බුක් එකේ! නාමල් රාජපක්ෂගෙන් ඇමැති හර්ෂණට ෂොට් එකක්!  I Sri Lanka Latest News
Exclusive

අධිකරණ ඇමතිවරයා බන්ධනාගාර සිද්ධිය දකින්නේ ෆේස්බුක් එකේ! නාමල් රාජපක්ෂගෙන් ඇමැති හර්ෂණට ෂොට් එකක්!  I Sri Lanka Latest News

Load More
මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News
Heart

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

කලාව අප කාටත් පොදු දෙයක්. සමහරුන්ට නටන්න, ගයන්න, සිතුවම් අඳින්න පුළුවන්. තවත් සමහරුන්ට මූර්ති, කැටයම් කලාව පුළුවන්. මේ සියලු දක්ෂතාවන්...

Read more
ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

අමරපුර මහා නිකායේ රාජ්‍ය මහෝත්සවයට ආ අනුර කතා නොකරම උත්සවය මැදදී නැගිට ගියේ ඇයි? අස්සජි හිමියන් කරපු කතාවට හිත රිදිලද? රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

විරෝධය හමුවේ ආණ්ඩුව අඩියක් පස්සට ගනී! උපරිමාධිකරණ විනිසුරුවන්ට විතරක් නැතිව සියලුම විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 2කින් දීර්ඝ කරන්න සූදානම් වෙයි! I Sri Lanka Latest News

අනුර මාලෙට ගොඩබැස්සා! පිළිගත්තේ මාලදිවයින් ජනාධිපතිතුමා! PHOTOS I Sri Lanka Latest News

16 අනුර ප්‍රංශෙ යන්නෙ නෑ! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.