ජීවිතය ජයගන්න ඒ අරමුණු ඉටුකරගන්න, ගැටලු ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙනවා. මහා සාගරයේ රළ ලස්සනට වෙරළ සිපගත්තට මහ මුහුද මැද තියෙන කුණාටුව ගැන අපි කවුරුවත් දන්නේ නැහැ. ඒ වගේ තමයි මිනිස්සුන්ගේ ගමන ලස්සන වුණාට ඒ ගමන පිටුපස සැඟවුණු වේදනාකාරී අතීත කතාව අපිට පේන්නේ නැහැ. අද අපි ‘හාට්’ පිටුවේ කාපු කට්ට තුළින් ඔබට හඳුන්වා දෙන්නේ එවැනි අභියෝග රැසක් ජයගෙන කලා ලොවේ නමක් තබන්නට සමත් වුණු ටෙලිනාට්‍ය සහාය අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කරන නලින්ද ධර්මසිරි. ‘මව්රට’ පුවත්පත සමග ඔහු ප්‍රථම වතාවට සම්මුඛ වුණේ මේ විදියට.Sri Lanka Latest News
අපි කැමැතියි මුලින්ම නලින්ද ගැන දැනගන්න?
මම නලින්ද ධර්මසිරි. මගේ ගම පොළොන්නරුව මැදිරිගිරිය. පාසල් ගියේ මණ්ඩලගිරිය මහා විද්‍යාලයට. මගේ පවුලේ විස්තර කිව්වොත් අම්මා, තාත්තා සහ අයියලා හතර දෙනෙක් වගේම අක්කා කෙනෙක් ඉන්නවා. මම පවුලේ බාලයා. මම විවාහ වෙලා ඉන්නේ. මට පෙරපාසල් යන වයසේ පුතෙක් ඉන්නවා.
පාසල් කාලේ දැකපු හීනයක්ද මේ?
පාසල් කාලේ මම හිතුවා කවදා හරි දවසක කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වෙනවා කියලා. උසස් අධ්‍යධාපනය අවසන් කරලා මට මුලින්ම අවස්ථාවක් ලැබුණා රවීන්ද්‍ර විජේරත්න අධ්‍යක්ෂණය කළ ‘පවනි’ ටෙලිනාට්‍යයේ සුළු චරිතයක් කරන්න. පසුකාලීනව ‘සකුන පියාපත්’ ටෙලිනාට්‍යයේ ‘මංජු’ චරිතය රඟපෑවා. ඔය විදියට මම ටෙලිනාට්‍ය කිහිපයකට සම්බන්ධ වුණා.
ඔබ වෘත්තියක් ලෙසට මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්නේ කොහොමද?
මම සම්බන්ධ වුණු නිර්මාණවලදී කිහිප දෙනකු හඳුනා ගත්තා. ප්‍රියන්ත රත්නසිරි මගේ දෙවැනි අයියා. ඔහු මේ වනවිට කලා අධ්‍යක්ෂවරයකු ලෙස වැඩ කරනවා. අයියාගේ දැන හැඳුනුම්කම මත අජිත් හත්වැල්ල කලා අධ්‍යක්ෂවරයා මම හඳුනා ගත්තා. ඔහු සමග මම සහාය කලා අධ්‍යක්ෂවරයකු ලෙස අවුරුදු දෙකක් විතර වැඩ කළා.
‘සිහින සක්මන’ නලින්දගේ ගමන වෙනස් කළා?
‘සිහින සක්මන’ ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂ චමින්ද වෙල්ලාලගේ අයියාගේ මගපෙන්වීම යටතේ මම ටෙලිනාට්‍ය සහාය අධ්‍යක්ෂවරයකු ලෙස පටන්ගත්ත ගමන තුළින් මේ වනවිට ටෙලිනාට්‍ය 40ක විතර සහාය අධ්‍යක්ෂවරයකු ලෙස වැඩ කරන්න මට අවස්ථාව ලැබුණා. ඒ පටන්ගත්ත ගමන නිසා අද දක්වා ලස්සන ගමනක් යන්න මට පුළුවන් වුණා.
මේ තැනට එන්න එතරම් පහසු වුණේ නැහැ නේද?
ඒක තමයි ලොකුම කට්ට. දැන් සැහැල්ලුවෙන් හිටියට. මම පොළොන්නරුවේ ඉඳලා කොළඹට ආවේ මේ ක්ෂේත්‍රය ගැන කිසිම දෙයක් නොදැන. දැන් වගේ නෙවෙයි ඒ කාලේ අපිට මුදලක් ඉල්ලගෙන වැඩකට යන්න බැහැ. සමහර දවස්වල මම ෂූටින්වලට යන්නේ අතේ බස් වියදම විතරක් තියාගෙන. එහෙම ගිහින් අද ලොකේෂන් එකට එන්න කියනවා. ඉතකොට එතැනට වීල් එකක යන්නවත් සල්ලි නැහැ. මම එතකොට කරන්නේ කිලෝමීටර් ගණන් පයින් ඇවිදගෙන යන එක. ඉගෙනගන්න ඕනෙ නිසා ඒ කටු කෑවා හොඳට. සමහර නිර්මාණවල මාස එකහමාරක් විතර එක දිගට වැඩ. ඒ වැඩ අවසන් කරලා අතට ලැබෙන මුදල දකිනකොට මට මාරම වේදනාවක් දැනුණා. එහෙම වෙලාවට හිතෙනවා ගමට ගිහින් කුඹුරක් කෙටුවා නම් හොඳයි කියලා.
මේ ගමනෙදී ඔබව රැකගත්ත පිරිසකුත් ඇති?
මගේ ප්‍රශ්නයක් කියන්න කවුරුත් නැහැ. චමින්ද ගුණතිලක අයියා තමයි මගේ හිත හැදුවේ. චමින්ද අයියා මට නිතරම කිව්වේ උඹට ගේමක් ගහන්න නම් ඉවසන්නම වෙනවා කියලා. ඔහු මගේ හිත නිරන්තරයෙන් හැදුවා. ඔහු මේ වනවිට ජනප්‍රිය ටෙලිනාට්‍ය රැසක් නිෂ්පාදනය කරපු නිෂ්පාදකවරයෙක්. වලවිට්ටුවා, රජගෙදර, මගේ ඉපැරැණි පෙම්වතී ඔහුගේ නිර්මාණ. ඔහුට අමතරව ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු, ලක්ෂ්මන් පුෂ්පකුමාර, ඉන්දික ධර්මතිලක, ධනුෂ්ක එන්. පෙරේරා මට හමුවුණු සොඳුරු මිනිස්සු.
අනාගත සැලසුම් මොනවද?
ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය කරන්න තමයි බලාපොරොත්තුව. කිහිප දෙනෙක් මට කතා කළා කරමු කියලා. ඒත් මම කැමැති නැහැ නිකම් කරන්නම් වාලේ නිර්මාණ කරන්න. එයින් අපහසුතාවට පත්වෙන්නේ නිෂ්පාදකවරයා. ඔවුන් රැකගන්න ඕනේ. ඒ නිසා තවත් අත්දැකීම් ටිකක් එකතු කරගෙන සැලසුමක් ඇතිව ටෙලිනාට්‍යයක් යම් දවසක මම නිර්මාණය කරනවා.
වසන්ත විතාරණගේ











