ටෙලිනාට්‍ය කලාව ඉගෙන ගන්න පාසලක් නැති වුණත් දැන් ටෙලිනාට්‍ය රැල්ල පාසල් යන්න පටන් අරන්. සුදු ඇඳුමින් සැරසුණු චරිත පිරුණු පාසල් ටෙලිනාට්‍ය දිනපතා රාත්‍රියේ නිවෙස හැඩකරනවා. ඉතින් මේ පාසල් කතාවල ගුරුපත්වීම් කිහිප දෙනකුට ලැබුණා. ඒ ගුරුපත්වීම් ගැන ‘හාට්’ සමීක්ෂණයක් කළා. මේ, ඒ ටෙලි රැල්ලේ ගුරුවරියන් කියපු කතා.
සොනාලි ටීචර්
දෙවෙනි ඉනිම
ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍ය ඇහුවොත් ඔබ කවුරුත් පවසයි ‘දෙවෙනි ඉනිම’ කියලා. ඉතින් දෙවෙනි ඉනිම හරහා නවක ශිල්පීන් රැසක් ඔබට හඳුනාගන්න ලැබුණා. ඔබට මතක ඇති දෙවෙනි ඉනිමේ සොනාලි ටීචර්. ඇයත් දෙවෙනි ඉනිම හරහා ජනප්‍රිය වුණු කෙනෙක්. දෙවෙනි ඉනිම ටෙලිනාට්‍යයේ මම දැන් නැහැ, පාසල් දර්ශන නතර කරපු නිසා. හැබැයි වෙනස්ම විදියකට මම දෙවෙනි ඉනිමෙන් නැවත එනවා. ඒ ගැන දැන්ම කියන්න කැමැති නැහැ. හැමෝම සොනාලි ටීචර්ට ආදරය කළා. හොඳ ප්‍රතිචාර ලැබුණා. ගොඩක්ම ස්තුතියි සියලුම දෙනාට. ළඟදීම මාව වෙනස්ම විදියකින් දැකබලා ගන්න පුළුවන් ඔයාලාට.
අමායා ටීචර් – අහස් මාලිගා
‘අහස් මාලිගා’ ටෙලිනාට්‍යයේ අමායා චරිතය තමයි මම රඟපාන්නේ. ඇත්තටම අමායා ටීචර්ගේ චරිතය මගේ පෞද්ගලික ජීවිතයට සමානයි. මමත් පෞද්ගලික පාසලක නැටුම් ගුරුවරියක් විදියට කටයුතු කරන නිසා මගේ චරිතය ගොඩනඟා ගන්න ගොඩක් පහසු වුණා. මම අහස් මාලිගා ටෙලිනාට්‍යයේ පාසලට එකතු වෙන්නේ සිංහල ගුරුවරියක් විදියට. ඒත් මම නැටුම් ගුරුවරියක් ලෙස කටයුතු කරලා තිබෙන නිසා පසුකාලීනව විදුහල්පති මට ආරාධනා කරනවා ළමයින්ට නැටුම් පුහුණු කරන්න කියලා. ගුරුවරියකගේ චරිතය රඟපාපු පළමු අවස්ථාව මෙය වුණත් ඊට පෙර විවිධ චරිත මම රඟපාලා තිබෙනවා. ඉතින් අහස් මාලිගා ටෙලිනාට්‍යයේ පාසල් ජීවිතයට සම්බන්ධ වීමෙන් මගේ පාසල් කාලයට නැවත යන්න මට හැකියාව ලැබුණා.
ශාමි ටීචර් – හුස්මක් තරමට
අපි මීළඟට නතර වුණේ ශාමි ටීචර් ළඟයි. හැබැයි ‘හුස්මක් තරමට’ ටෙලිනාට්‍යයේ ඇය නපුරු වුණාට අප සමඟ සුහදව කතා කළා. මම මෙයට කලින් ටෙලිනාට්‍යයක සහ චිත්‍රපටයක රඟපෑවා. ඒත් ප්‍රේක්ෂකයන් අතරට යන්න ලැබුණු පළමු අවස්ථාව තමයි ‘හුස්මක් තරමට’ ටෙලිනාට්‍යය. ශාමි ටීචර්ට හැමෝම බණිනවා නපුරුයි කියලා. හැබැයි මම නපුරු වුණේ දරුවන් හදාගන්න. ඉතින් ළමයි හදාගන්න මට නපුරු වෙන්න සිද්ධ වුණා මගේ චරිතයෙ හැටියට. පාසලේ ළමයින් සමඟ කාලය ගෙවන කොට මගේ ජීවිතයට ළංවුණු ගුරු මාතාවන් මට සිහිපත් වුණා. මම පාසල් යන කාලේ අපේ නැටුම් මිස් අපට ළං වුණේ එයාලගේම දරුවන්ට වගේ. ඒ ආදරය මමත් ‘හුස්මක් තරමට’ ටෙලිනාට්‍යයේ නිරූපණය කළා.