සුපර්ස්ටාස්ලා අද දකින දකින හැම තැනම රජ කරනවා. සමහරු ගායනය පැත්තක දමලා නළුවො වෙලා. තවත් සමහරු සුපර්ස්ටාස්ලා කියලා ලේබල් ගහගෙන. හැබැයි ඒ සුපර්ස්ටාස්ලා අතරෙ හිටපු නියම සුපර්ස්ටාර් අද ඔබට අමතක වෙලා වගේ කියලා අපට හිතෙනවා. ඔහු තමයි අජිත් බණ්ඩාර. සද්දබද්ද නැතුව ඔහු ගහන ගේම ගැන අපි “මව්රට”ටම හෙළි කරන්නයි මේ සූදානම.
අජිත් මොකක්ද මේ අන්තර්ජාලයේ සැරිසරන කතාව?
අනේ ඔය බොරු. මම කියපු නැති දේවල් අමුණලා “යූ-ටියුබ්” චැනල් හිට් කරගන්න දාන දේවල් තමයි ඕවා. මම එහෙම කිසිම මාධ්‍ය ආයතනයකට බැණලා නැහැ. මගෙනුත් ගොඩ දෙනෙක් ඔය ගැන ඇහුවා. එයාලට මම කිවුවෙත් මේ කියපු ටිකම තමා.
ඇත්තටම සුපර්ස්ටාර් වෙලත් අජිත්ගේ නිර්මාණ සමහර නාලිකාවල දකින්න ලැබෙන්නෙ නැහැ නේද?
ඒක මට හිතාගන්නත් බැහැ. ඉතින් මම කාටවත් ඊර්ෂ්‍යා කරන්නැහැ. සිරස නාලිකාව මගේ මහගෙදර වගේ.
මගේ නිර්මාණ කරපු අධ්‍යක්ෂවරුත් නාලිකාවලට අරගෙන ගිහින් තියෙනවා. එතකොට තමයි කියලා තියෙන්නේ සිරස සුපර්ස්ටාර් ආපු අජිත් බණ්ඩාරගේ නේද කියලා. ඒ නිසා මගේ නිර්මාණ ප්‍රචාරය කරලා නැහැ. ඇයි මෙහෙම වර්ගීකරණයක් කරන්නේ? මේ දේ වෙන්නේ මට විතරද කියලා වෙලාවකට හිතෙනවා.
පසුගිය දවස්වල රටේ තිබුණු තත්ත්වය එක්ක ප්‍රසංග අඩුයි නේද?
ඔව්. ප්‍රසංගවලින් දහස් ගණනක් ජීවත් වුණා. බුලත්විට විකුණපු කෙනා පවා අද අසරණ වෙලා. මොකද සංවිධායකවරු ඉදිරිපත් වෙන්නැහැ ප්‍රසංග පැවැත්වීමටම. මොකද තවමත් විමසිලිමත්ව සියලුම දෙනා වැඩ කරන නිසා. පසුගියදා කුවේට් ප්‍රසංගයකට සහභාගි වෙලා මම ආවේ. ආර්ථික පැත්තෙන් අපි සියලුම දෙනා අසරණයි.
එක රැයකින් බිහිවෙන තරු අද රියැලිටි තරග විනිශ්චය කරනවා. ඒත් තවම අජිත් බණ්ඩාරව දැක්කෙ නැහැ?
ඇත්තටම මට සිරස නාලිකාවෙන් රියැලිටි වැඩසටහන් කිහිපයකටම ආරාධනා කළා. ඒත් මම සහභාගි වුණේ නැහැ. මගේ පෞද්ගලික හේතූන් මත මට ආරාධනා බාරගන්න බැරි වුණා. ඉදිරියේදී සම්බන්ධ වෙනවා.
තාත්තයි, දුවයි දැන් සුපර්ස්ටාර් කිරුල දිනාගෙන හමාරයි. හැබැයි දුවගේ කිරුළට වැඩිය අජිත් පේන්න හිටියෙ නැත්තේ ඇයි?
ඇත්තටම මට ඕනා කළේ මගේ දුවගේ දක්ෂතාවයෙන් ඉදිරියට යවන්න. මගේ දුව සත්සරි චංචලා හිරු සුපර් හීරෝ වැඩසටහනේ හොඳම නිළිය වුණා. එය මටත් සතුටක්. හැබැයි දුව තරගවලට සහභාගි වෙද්දි මම නොගියෙ ඊට පස්සෙ කියයි මගේ දැනහැඳුනුම්කමට මගේ දුව දිනුවා කියයි කියලා. ඉතින් මගේ බිරියව තමයි මම යොමු කළේ. අවසාන දවසේ තමයි මම සහභාගි වුණේ.
පසුගිය දවසක අජිත්ට රංගන වරම් හිමි වුණා කියලා ආරංචියි. සින්දු කියලා ඉවරද දැන්?
අපෝ පිස්සුද. මට රඟපාන්න බැහැ. මම කැමතිත් නැහැ. මට ටෙලි නාට්‍යයකින් ආරාධනාවක් ලැබුණා. මම කිව්වේ මට නම් බැහැ කැමති නම් දුව සම්බන්ධ කරන්නම් කියලා.
අජිත් බණ්ඩාර ගින්දර වැඩක් කරන්න යන කතාව මොකක්ද?
කාලෙක ඉඳලා මට නිර්මාණයක් කරන්න බැරි වුණා. ඉතින් මගේ නිර්මාණ ගොඩාක් තියෙනවා කරපුවා. සමහර නාලිකාවල මට දොර විවර කරන්නැහැ. මම අහසින් කඩාපාත් වුණේ නැහැ. මම ලොකු කට්ටක් කළා ආපු ගමනක් මේක. මගේ රසිකයෝ මට ආදරය කළා. ඔවුන් මට ශක්තියක් වුණා. ඉතින් මම හිතුවා ඔවුන් වෙනුවෙන් යමක් කරන්න. මගේ “යූ-ටියුබ්” නාලිකාවෙන් මගේ නිර්මාණ මම එළියට දාන්න තීරණය කළා.
වසන්ත විතාරණගේ