උතුරු කොනේ වන උයන…

අද අපි කැලෑ කොලමෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ රටේ ප්‍රසිද්ධ වන උයන්වලින් එකක් වන චුන්ඩිකුලම් ජාතික වනෝද්‍යානය පිළිබඳව. චුන්ඩිකුලම් ජාතික වනෝද්‍යානය පිහිටා තිබෙන්නේ උතුරු පළාතේ කිලිනොච්චි දිස්ත්‍රික්කයේ. කිලිනොච්චි නගරයේ සිට කි.මී. 12ක් පමණ ඈතින් පිහිටා ඇති මෙම වන උයනේ විශේෂත්වයක් වන්නේ කළපුව ආශ්‍රිත පරිසර පද්ධතියක පිහිටා තිබීමයි. රට රටවල සංචාරක පක්ෂීන් ගහනයකිනුත් මෙම උද්‍යානය අලංකාර වෙලා තිබෙනවා. චුන්ඩිකුලම් ජාතික වනෝද්‍යානය පාලනය වන්නේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේයි. අනෙකුත් වනෝද්‍යානවලට වඩා නැවුම් බවක් හා ආකර්ෂණීය බවක් මෙම වනාන්තරයේදී දැකගත හැකියි. චුන්ඩිකුලම් කළපුව ආශ්‍රිතව මෙම පරිසර පද්ධතිය 1938දී ගැසට්ටුවක් මගින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. සිවිල් යුද්ධයෙන් පසු මෙම ජාතික වනෝද්‍යානය 2015දී ජනතාව සඳහා නැවත විවෘත කරනු ලැබුවා.

සංචාරක පක්ෂීන් බහුල සුන්දර පරිසර කලාපයක් ලෙස චුන්ඩිකුලම් හඳුන්වා දෙන්නට පුළුවන්. ඔක්තෝබර් සිට පෙබරවාරි දක්වා මෙහි ඉතා වියළි දේශගුණයක් දක්නට ලැබෙනවා. ඉතා විශාල වශයෙන් සංචාරක පක්ෂීන්, රජසියක්කාරයන් පැමිණෙන තවත් එක් විශේෂිත ස්ථානයක් ලෙස චුන්ඩිකුලම් කළපුව හැඳින්විය හැකියි. දිවියන්, අලි ඇතුන්, වළසුන්, මුවන් වැනි ක්ෂීරපායී සතුන් මෙන්ම කිඹුලන් හා ලවණ මිශ්‍ර ජලයේ ජීවත් වන විශේෂිත කිඹුලන්ද චුන්ඩිකුලම්හි දක්නට ලැබෙනවා. කුරුලු පාරාදීසයක් වන මෙය පක්ෂි නිරීක්ෂකයන්ගේ සහ පර්යේෂකයන්ගේ එක් වැදගත් ස්ථානයකි. මෙම ජාතික උද්‍යානයේ පරිසරයට ආවේණික ගස්වැල් මෙන්ම ඉතා දුර්ලභ ඖෂධ ශාකද දැකගත හැකියි. හිමිදිරි පාන්දර සහ හිරු බැසයන සවස් යාමයට ඉතා මනරම් දසුන් මවන චුන්ඩිකුලම් වනජීවී ඡායාරූප ශිල්පීන්ගේ සහ පරිසරවේදීන්ගේ සිත් දිනාගත් ස්ථානයක් ලෙසද හඳුන්වා දිය හැකියි.

සංචාරකයන්ට සහ පර්යේෂකයන්ට නවාතැන් ගැනීම සඳහා වනජීවී දෙපාර්තමේන්තුව විසින් ඉදිකරන ලද වන නිවහනක්ද චුන්ඩිකුලම්හි පවතිනවා. වනජීවී දෙපාරත්මේන්තුවේ ප්‍රධාන කාර්යාලය හරහා එම වන නිවහන වෙන්කරගත හැකියි. පරිසර දූෂණයට මෙතෙක් ලක් නොවුණු මේ මාහැඟි පරිසර කලාපය ජාතියේ අනාගත පරපුරට දායාද කිරීම අප හැමගේ යුතුකමක් සේම වගකීමක් බවද සඳහන් කළ යුතුමය.



සමන් හල්ලොලුව

Exit mobile version