යුතුකම් පැහැර හැරීම බරපතළ පාපයකි. යුතුකමක් කියන්නේ යම් කිසිවකු වෙනුවෙන් තවත් කිසිවකු කරන්නට නියම වූ කිසියම් මෙහෙවරකි. නිදසුනක් විදියට ගත්තොත් තමන්ව මෙලොවට බිහිකොට හදාවඩා, උස් මහත් කළ මවුපියන් මහලු වූ කල බලාකියා ගැනීම යුතුමක් විදියට ගත හැකිය. අන්න ඒ වාගේ යුතුකමක් පැහැර හැරීම දෙවියන් හමුවේ දඬුවම් ලැබිය හැකි අපරාධයකි. බෞදධ දර්ශනයට අනුවද එවැනි යුතුකමක් පැහැර හැරීම දිට්ඨ ධම්මවේදනීය කර්මයට අනුවද පෙරළා විපාක ලැබෙන පාපයකි. ඒ පාපය කොයි මට්ටමින් සිදුවුවද එවැනි යුතුකමක් පැහැර හැරීම වෙනුවෙන් නඩුවක් ගොනුකරන අවස්ථාවන් හෝ නඩු කියන අවස්ථාවන් දකින්නට නැත. නඩු ගොනුවන්නේ සහ දිගින් දිගට නඩු කියැවෙන්නේ වගකීම් හෝ වගවීම් පැහැර හැරිය අයටය. වගකීමක් සේම වගවීමක් පැහැර හැරීම යුතුමක් පැහැර හරිනවාට වඩා බරපතළම කාරණයකි. යුතුකම් පැහැර හැරිය අයට දඬුවම් ලැබෙන්නේ ස්වභාව ධර්මයෙන් වුවද වගකීම් සහ වගවීම් පැහැර හරින්නන්ට දඬුවම් කරන්නේ අධිකරණයෙනි. (Sri Lanka Latest News)
කලා ක්ෂේත්රය තුළ නිර්මාණකරණයේදී ගෙවියයුතු කර්තෘභාගය නොගෙවා සිටීමද වගකීම් සහ වගවීම් පැහැර හැරීමකි. ඒවාට නඩු ගොනුවුවහොත් දඬුවම් ලැබීම ඒකාන්තය. ශ්‍රී ලාංකේය සංගීත කලාවේ එවැනි සංසිද්ධීන් කිහිපයක්ම සිදුවිය. ප්‍රවීණ ගායක සහ සංගීත ශිල්පී ක්ලැරන්ස් විජේවර්ධනගේ බිරිය තම සැමියාගේ ගීත පරිහරණය කරන්නන් ඒවාට හිමිවිය යුතු කර්තෘභාග නොගෙවන බවත්, එය තමාට ලැබෙන්නට සලස්වන ලෙසත් ඉල්ලමින් සිය කන්නලව්ව ශ්‍රේෂ්ඨාධිකරණයට යොමුකොට තිබිණි. එසේම ප්‍රවීණ කලා ශිල්පී විජේරත්න වරකාගොඩ තමා ගැයූ ‘රඟහල දැන් ඇත අඩ අඳුරේ’ නම් ගීතය ජනප්‍රිය සංගීත ශිල්පී සංගීත් විජේසූරිය විසින් රීමික්ස් කර තම අවසරයකින් නැතිව හිතුමතේට ගායනා කරන බවට නඩු දමා ලක්ෂ විස්සක වන්දියක් ලබාගත්තේ දශක කිහිපයකට පමණ පෙරය. කර්තෘ භාග ගැන අලුත්ම කතන්දරය වන්නේ තරුණ තරුණියන්ගේ වාගෙම වැඩිහිටි සිත්සතන් තුළද විශාල උන්මාදයක් ඇතිකළ ප්‍රවීණ සංගීත ශිල්පී සේනක බටගොඩ හේතුවෙන් අසාධාරණයට ලක්වූ බව කියන ප්‍රවීණ සංගීත ශිල්පී ජනිත් කුලතිලකගේ සිදුවීමය. ඒ කර්තෘභාගය සහ වගකීම් වගවීම් පැහැර හැරීම නිසා බටගොඩට සිදුවූයේ ලක්ෂ ගණනක් මුදලින් ගෙවනවාට වැඩිය ලොකු පාඩුවකි. බටගොඩ වැඩිපුරම ප්‍රිය කරන, බටගොඩගේ හඬට උමතු වී සිටින සංගීත ලෝලීන් වැඩිපුරම ප්‍රිය කරන ලස්සනම සින්දු 7ක් ගායනා කිරීමේ අයිතිය ඔහුට අහිමිව ගියේය. දඬුවම ඉතා දරුණු වුවද ඒ දඬුවම ඔහුට ලැබුණේ සිය වගකීම් සහ වගවීම් පැහැර හැරිය නිසාය. කොයික කෙසේ වුවද ගෞරවනීය අධිකරණ තීන්දුවලට අප හිස නැමිය යුතුය. ඒ හින්දා ඒ කතාව පැත්තකින් තියමු.
ඒ කතාව වෙනුවට තව කතාවක් අද කියන්නට ලියන්නට තියෙනවාය. ඉහත කියාපු කතාව මේ කතාවට ඈඳා ගත්තේ හිතට තදින් දැනෙන ආරම්භයක් ගැනීමටය. ඒ ආරම්භය එහෙම හෙව්වේ ඒ කතාවට මේ කියන්නට යන කතාව වක්‍රව සම්බන්ධ වන නිසාය. හැබැයි ඒ කතාවේ තිබුණු කර්තෘභාග හබ, නඩුහබ සහ චෝදනා මේ කතාවේ කොහෙත්ම නැත. කෙටියෙන් කියනවා නම් මෙය මානුෂීය වූ සංවේදී කතාවකි. කතාව සෝෂල් මීඩියාවල සහ අනෙකුත් මාධ්‍යවල දිගට හරහට ප්‍රසිද්ධ වෙන්න ගත්තේ හදිසියේ යන්න ගිය හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ අකල් මරණයත් සමගය.
වැඩිහරියක් දෙනා මරණය කියන වචනයට මඳක් තිගැස්සුණද ලොකුවට බය වුවද පාලිත තෙවරප්පෙරුම තම මරණය ගැන සහ මරණයෙන් පසුව කළ යුතු දේ ගැනද සිනාමුසුව කතා කළේය. තම දේහය කනත්තට ගෙන යන විට කිවයුතු සින්දුවක් ගැනද ඔහු තමා අසල සිටින පවුලේ උදවියව දැනුවත් කර තිබිණි. මාධ්‍ය හරහාද එය කිහිප වතාවක්ම කීවේය. ඒ සින්දුවට නම තැබුණේ ‘හමාර බණවර’ කියාය. ගීතයක අයිතිය තියෙන්නේ පදවැල සහ තනුව නිර්මාණය කළ නිර්මාණකරුවන්ටය. හමාර බණවර සින්දුවේ සංවේදී වචන එකතුව අපූරුවට රචනා කළේ ප්‍රවීණ සංගීත ශිල්පිනී ඉරේෂා හේමමාලිය. ඒ පදවැල් ගෙතීම හරහා ගැඹුරු හඬින් එය ගායනා කිරීමේ අයිතිය තිබුණේ රවී රොයිස්ටර් නම් තරුණ සංගීත ශිල්පියාටය. පාලිත තෙවරප්පෙරුම ‘හමාර බණවර’ සින්දුවට තදින්ම ඇලුම් කළේය. විශේෂයෙන් ලොකු පුතාගේ කම්පාසහත අකල් මරණයෙන් පස්සේ පාලිත ඒ සින්දුවට වෙනදාටත් වැඩිය සමීප විය. කොයි තරම් සමීප වුණාද කියනවා නම් එහි පදවැල් වෙනස් කර තමාට ඕනෑ හැටියට හදාගෙන තම මරණයේ ගායනය එය යැයි කියන හැඟීම මත ඔහු එම ගීතය ගැන නිතර කතා කළේය. රූපවාහිනී වැඩසටහන්වලට වගේම ගුවන්විදුලි වැඩසටහන්වලටද ආවාම මුළු රටටම ඇහෙන්න,
‘මේ හමාර බණවර සින්දුවට මගේ හිතේ තියෙන්නේ පුදුම ආසාවක්. කවදා හරි මේ සින්දුව මම මැරුණු දවසක මගේ අවමඟුල් පෙරහැරේදී ගැයෙන්න ඕනෑ. හැබැයි මම මේක මට ඕනෑ තාලෙට වෙන වෙන වචන දාලා හැදුවා. ඔන්න අහගන්න. මම ඒක කියනවා හැමෝටම ඇහෙන්න. මගේ අවමඟුල් පෙරහැරේදී කියන්න ඕනෙත් මට වුවමනා විදියට වචන වෙනස් කරපු මේ සින්දුව තමයි. අයිති කට්ටියගෙන් නම් අවසර ගත්තේ නැහැ. ඒකට අමනාප වෙන්න එපා, කියනවා ඕං…’
පෞද්ගලික රූපවාහිනී සේවාවකට තම දේශපාලන මිතුරකු සමග පැමිණි පාලිත ප්‍රසිද්ධියේම එහෙම කිව්වේ හැමෝටම ඇහෙන්නට ඉතාම මෑතකදීය. ඒ කියමනෙන් පසු ඔහු තමා මනාප විදියට හදාගත්ත හමාර බණවර ගීතය ගායනා කළේය. කිහිප වතාවක්ම තව තව රූපවාහිනී වැඩසටහන්වලද ගැයුවේය. යූටියුබ් ප්රෝග්රෑම්වලද ගැයුවේය. හැබැයි ඒ ගායනය ඒ පද රචනය වෙනස් කළාට එයට අවසර ගත්තේ නැතුව ගියාට පාලිත තෙවරප්පෙරුමට නඩු වැටුණේ නැත. චෝදනා කළේ නැත. ඉරේෂා හේමමාලිවත් රවී රොයිස්ටර්වත් කිසිම තැනක ඒ ගැන අවලාදයක් කීවේ නැත. සින්දුවක වචනයක් වැරැදුණත් සෝෂල් මීඩියාවලට ඇවිදින් ඒ වරද කළ අයට රටේ නැති නීතිත් පෙන්නලා කෑකෝ ගහන අය ඉන්න රටට ඉරේෂලා, රොයිස්ටර්ලා අපට දුන්න ආදර්ශය මොන තරම් වටිනවද?
ගරු කළ යුතුම තවත් කාරණයක් වේ. ඒ, රවී රොයිස්ටර් විසින් පාලිත තෙවරප්පෙරුමගේ අවමඟුල් පෙරහැර දින හමාර බණවර ගීතය ඉතා හැඟීම්බරව ගායනා කිරීම ගැනය. කාගෙත් හදවතේ ගැස්ම මොහොතකට නතර කර දැමූ ඒ හමාර බණවර ගීතයේ වූයේ පාලිත විසින් හිතුමතේට සකස් කළ ඔහුගේ හිතේ දුකට සමහර තැන් වෙනස් කර ලියූ පද රචනයය. ඉරේෂා හේමමාලිගෙන්වත් ඒ සංවේදී මෙහෙවර වෙනුවෙන් කිසිම ඇටෑක් එකක් ආවේද නැත. මුහුණු පොත පුරාම ඒ වෙනුවෙන් ඉරේෂාටත් රොයිස්ටර්ටත් බොහෝ ගුණ ගයන පෝස්ට් මුදාහැර තිබිණි. විශේෂයෙන් ඉරේෂා හේමමාලි ගැන එහි වර්ණනාත්මකව වැඩියෙන් ලියැවී තිබුණේය.
‘නිර්මාණ කියන්නේ නිර්මාණකරුවන්ට තමන්ගේ දරුවන් වාගේ දෙයක්. ඉතින් තමාගේ රසිකයෙක් තමන් ලියපු හමාර බණවර ගීතයේ වචන වෙනස් කරලා ගත්ත එකට. ඒ වගේම මුල් ගායකයා ලව්වා එය නැවත ගායනා කරවීම ගැන නිර්ලෝභීව එකඟතාව පළකිරීම ගැන එය රචනා කළ ඉරේෂා හේමමාලිට බොහොම ස්තුතියි. කාටවත් මහ ලොකුවට නොපෙනුණාට ඒක අද වාගේ සමාජයක සිදුවූ ගෞරවනීය පරිත්‍යාගයක්….’
මුහුණු පොතේ තැනුණු එක් පෝස්ටුවක හමාර බණවර සින්දුවේ වෙනස් කිරීම ගැන සහ එයට විරුද්ධ නොවීම ගැන එහෙම ලියැවී තිබිණි. ඒ පාමුල කමෙන්ට්ස් බොහොමයක් විය. ඒ එක් කමෙන්ටුවක මෙලෙස විය.
‘අපි හැමෝම මැරෙන බවත්, හැම දේම අනියත ලෝකේ මරණය විතරක් නියත බවත් ඇය තේරුම් අරගෙන ඇති. ඇත්තටම යථාර්ථය එයම නොවේද?’
කිව්වත් වාගේ ඒ පුංචි කමෙන්ටුව හරි වටින්නේය. ඉරේෂා හේමමාලි පාලිත තෙවරප්පෙරුමට දුන් ගෞරවය ඊට වඩා වටින්නේය.
ඉරේෂා හේමමාලි ඔබට ස්තුතියි. රොයිස්ටර් ඔබටත් එක්ක දෙන්නටම ස්තුතියි. ‘මව්රට’ අපේ ආචාරයත් පිළිගන්න.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු