මේ අපූරු සුන්දර අතීතය මට තවම හොඳින් මතකය. එනම් මෙම කාලවකවානුව වසර 50කට පෙර අතීතයක් කරා දිවයයි. හරියටම කිවහොත් එම කාලය 70 දශකය ලෙසින් හැඳින්විය හැකිය. හැටේ දශකයේ අවසානයේත්, හැත්තෑව දශකයේ ආරම්භයේදීත් ශ්‍රී ලංකාවේ තිබුණු එක්තරා ගොඩනැගිල්ලක කතාව මෙම අපූරු රසබර පුවත විය. එම සුවිශේෂ කතාන්දරය නම් එකල මෙරට තිබුණු උසම ගොඩනැගිල්ලේ පුවතයි. එනම් මෙයට හරියටම දශක 5කට (වසර 50ක්) පෙර මෙරට තිබුණු උසම ගොඩනැගිල්ල වූයේ කොළඹ කොටුවේ පිහිටා තිබෙන සෙලින්කෝ ගොඩනැගිල්ලයි. එවිට එහි උස ප්‍රමාණය තට්ටු 12ක් විය. එකල ජනතාව මෙම ගොඩනැගිල්ල දුටු විට තම දෙනෙත් විස්මයෙන් හා අදහාගත නොහැකි ආකාරයෙන් බලා සිටියෝය. වසරේ දින දෙකක් රාත්රියේදී මෙම සෙලින්කෝ ගොඩනැගිල්ල තුළට පොදු ජනතාවට පිවිසීමට අවස්ථාව ලබාදී තිබිණි. එම විශේෂිත දින දෙක නම් වාර්ෂික වෙසක් උත්සවයට අදාළ වන දින දෙක වෙයි. එම දින දෙකේදී මෙම ගොඩනැගිල්ල අසල යුද පිටියක ස්වරූපයක් ගත්තේය. (Sri Lanka Latest News)
මෙම කියන කාලයේදී මම වයස අවුරුදු 12-15ක පමණ පාසල් සිසුවකුව සිටියෙමි. එකල සෑම වසරකදීම වෙසක් උත්සව දින දෙකේදී සෙලින්කෝ ගොඩනැගිල්ලේ ඉහළම 12 වැනි තට්ටුවට නැගීමට එම ව්‍යාපාර පාලනාධිකාරිය විසින් පොදු ජනතාවට අවසර ලබාදුන්නේය. එකල සිටි ජනහිතකාමී වෙළෙඳ ව්‍යාපාරිකයකු වූ ජස්ටින් කොතලාවල මහතා මෙම ගොඩනැගිල්ලේ අයිතිකරුවා විය. ඔහු දේශමාන්‍ය ලලිත් කොතලාවල මහතාගේ පියා විය. වෙසක් දින දෙකේදී සෙලින්කෝ ගොඩනැගිල්ල නැරැඹීමට එන ජනාතව සවස් යාමය වන විටදී එම ගොඩනැගිල්ල ඉදිරියේ පිළිවෙළට පෝලිම් ගැසී සිටිය යුතුය. මෙම අපූරු අවස්ථාව උදාකර ගැනීමට මටද හැකි විය. එනම් මාගේ පියා විසින් මමත් මාගේ නංගී සහ මල්ලීත් මෙම ගොඩනැගිල්ල නැරැඹීමට එක් වෙසක් දිනයක රැගෙන ගියේය. අපද ගොඩනැගිල්ල ඉදිරිපිට පෝලිමේ රැඳී සිටිමින් එම අවස්ථාව ලබාගත්තේය. එකල පවා මෙම ගොඩනැගිල්ල තුළ විදුලි සෝපානයන් සහ විදුලි තරප්පු පේළිද සවිකර තිබුණේය. ඉහළම 12 වැනි තට්ටුවේ විවෘත වූ විශාල සඳලුතලයකින් යුක්ත මහලක් විය. ජනතාව එය මතට පැමිණ වෙසක් දිනයේ විවිධ විදුලි බුබුළුවලින් සැරසී තිබෙන කොළඹ නගරයේ සිරි නරඹන්නට විය. වසර 50කට පෙර මම ලැබූ මෙම අත්දැකීම තවද මාගේ මනසින් නොමැකී පවතී.
අද ඔබට මෙවැනි සුන්දර අතීතයක වගතුග කියමින් මෙම කතාව ලියා තැබුවේ ඇයි? එයට හේතුවූයේ මෙයට දින කිහිපයකට පෙර වාර්තා වූ පුවතකි. පසුගියදා කොළඹ කොටුව ප්‍රදේශයේදී විවෘත කෙරුණු අතිසුඛෝපභෝගී දැවැන්ත සංචාරක හෝටලයක කතාන්දරය එය විය. එදා වසර 50කට පෙර තට්ටු 12ක ගොඩනැගිල්ල මෙරට තිබුණු උසම ගොඩනැගිල්ල වූවා සේම අද මෙරට තුළදී නව ගොඩනැගිලි අහස් කුස කරා යන්නේ දෙනෙත් අදහාගත නොහැකි ආකාරයෙනි. මෙලෙස තට්ටු පිට තට්ටු ගොඩනැගුණු සුවිශාල සුපිරි ගොඩනැගිලි රාශියක්ම අද ශ්‍රී ලංකාව තුළ දක්නට හැකිය. මේ ආකාරයේ අතිශය සුඛෝපභෝගී ගොඩනැගිල්ලක් මෙයට දින කිහිපයකට පෙරදීද විවෘත විය. මෙය සංචාරක හෝටල් සහ සුපිරි නිවස්න ගොඩනැගිල්ලකි. මෙම කතාව අප සොයා බලමු.
මෙයට දින කිහිපයකට ඉහතදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් විවෘත කෙරුණු මෙම සුපිරි හෝටල් සංකීර්ණයේ නාමය වන්නේ ‘අයි.ටී.සී. රත්නදීප’ යන්නය. 2014 වසරේදී ඉදිකිරීම ආරම්භ කරන ලද මෙම ගොඩනැගිල්ල වසර 10ක ඉදිකිරීමකින් පසුව දැන් ජනතාවගේ අයිතියට පවරා ඇත. තට්ටු 33කින් සමන්විත මෙම සුඛෝපභෝගී හෝටල් සංකීර්ණයේ උස මීටර් 140ක් (අඩි 460) බව ප්‍රකාශ වෙයි. මෙහි හෝටල් කාමර 352කින් සමන්විත ඉහත මීටර් 140 ගොඩනැගිල්ලට අමතරව එයට අනුබද්ධිතව තවත් මීටර් 224කින් (අඩි 735) උසකින් යුක්ත නිවාස සංකීර්ණ ගොඩනැගිල්ලක්ද වෙයි. මෙම අපූරු ගොඩනැගිලි නිර්මාණයෙහි අතිශය සුවිශේෂත්වය වන්නේ මෙම ගොඩනැගිලි දෙකම මීටර් 55ක් දිග (අඩි 180) අහස් පාලමකින් එකිනෙකට සම්බන්ධ වීමය. මෙම සුපිරි පාලම අවට පරිසරය පෙනෙන සේ වීදුරුවලින් නිර්මාණය වී තිබේ. මෙය ‘අහස වන්’ යන නාමයෙන් හඳුන්වා දී ඇත. මෙම සුවිශාල නවීන ගොඩනැගිල්ල පිහිටා තිබෙන්නේ කොළඹ කොටුව ප්‍රදේශයේ ගාලු මුවදොර පිටියට මුහුණපාමිනි. එනම් ගාලුමුවදොර මහා සාගරය ඉදිරිපස ඇති බිම්කඩකය. මෙහි එක් කුලුනක ඇති හෝටල් සංකීර්ණය තුළ කාමර 352ක් ඇති අතර, නවීන ආපනශාලා 12කින්ද සමන්විත වෙයි. දැන් එසේ නම් මෙම හෝටල් සංකීර්ණයේ අයිතිකරුවා කවරෙක්ද?
ඇමෙරිකානු ඩොලර් මිලියන 400ක වියදමින් ඉදිකළ අයි.ටී.සී. රත්නදීප හෝටල් සහ නිවාස සංකීර්ණයේ අයිතිකරුවා වන්නේ ඉන්දියානු සමාගමකි. එනම් එය අයි.ටී.සී. හොටෙල්ස් නමින් සඳහන් වන සමාගමකි. මෙහි අයි.ටී.සී. යනුවෙන් අර්ථවත් වන්නේ ඉන්දියා ටුබැකෝ කම්පනි (ඉන්දියානු දුම්කොළ සමාගම) යන අර්ථයයි. ඉන්දියාවේ දුම්කොළ කර්මාන්තයට අනුබද්ධිතව කටයුතු කළ එම සමාගම එරට වසර 113ක් පැරැණි සමාගමකි. එනම් එය ආරම්භ කර ඇත්තේ 1910 අගෝස්තු 24 දාය. එකල මෙම සමාගම ඉන්දියාව තුළ ආරම්භ කර ඇත්තේ මෙතෙක් ලොව ඇති පැරැණිතම දුම්කොළ නිෂ්පාදන සමාගම ලෙස සැලකෙන එංගලන්තයේ පිහිටි W.D. & H.O. Wills නමැති දැවැන්ත සමාගම විසිනි. මෙම බි්රතාන්ය සමාගම දැනට වසර 238ක් පැරැණි අතර, එය ආරම්භ කර ඇත්තේ 1786 වසරේදීය. ඉන්දියාව යනු දශක ගණනාවක් පුරා බි්රතාන්ය යටත්විජිත පාලනය යටතේ පැවැති රටකි. එහෙයින් එකල යටත්විජිත සමයේදී බි්රතාන්ය ජාතිකයන් විසින් ඉන්දියාව තුළ ඉන්දීය දුම්කොළ සමාගම ආරම්භ කර ඇත. ඒ ආකාරයට ඉන්දියාව තුළ ව්‍යාප්තවූ මෙම සමාගම පසුව දුම්කොළ ව්‍යාපාරය පමණක් නොව තවත් විවිධ වෙළෙඳ ක්ෂේත්‍ර වෙත තම ව්‍යාපාරය පුළුල් කරනු ලැබුවේය. ITC Hotels නමැති සමාගම බිහිවන්නේද ඒ අනුවය. කෙසේ හෝ මෙලෙස මෙම සමාගම ඉන්දියාව තුළ ආරම්භ වන්නේ 1975 වසරේදී වන අතර, එනම් දැනට එම සමාගම වසර 49ක් පැරැණිය. මෙම සමාගම මේ වනවිට ලෝකයේ රටවල් 70ක හෝටල් 100කට අධික ප්‍රමාණයක් ගොඩනගා පවත්වාගෙන යයි. අපගේ ශ්‍රී ලංකාවද ඉන් එක් රටක් වන අතර, රත්නදීප හෝටලය ඒ අනුව පසුගියදා විවෘත කෙරිණි. මෙම ඉන්දීය හෝටල් සමාගමෙහි 2023 දී පූර්ණ වත්කම් ඉන්දීය රුපියල් කෝටි 7,896ක් යැයි ප්‍රකාශ වෙයි.
ITC හෝටල් සංකීර්ණවල ඇති සුඛෝපභෝගී තත්ත්වය නිසා ලොව සිටින ඉහළම රාජ්‍ය නායකයන් සහ ධනකුවේරයන්ද මෙම හෝටල්වල ලැගුම් ගනිති. ඉන්දියාවේ කල්කටාහි තිබෙන ITC Royal හෝටලයෙහි එකල ඉන්දියාවට පැමිණි ඇමෙරිකානු ජනාධිපතිවරුන් වන ජෝර්ජ් බුෂ්, බැරැක් ඔබාමා, ඩොනල්ඩ් ට්‍රම්ප් යන අය මෙන්ම රුසියානු වත්මන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවා නවාතැන් ගෙන ඇත. මේ තත්ත්වය එම හෝටල් සඳහා ලැබෙන සුවිශේෂ වරප්රසාදයකි. මෙම අති සුපිරිITC Hotels සමාගමේ සභාපතිවරයා සහ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කරන්නේ ඉන්දියානු ජාතික සන්ජීව් පූරි වන අතර, ඔහු අතිදක්ෂ හෝටල් පරිපාලකයකු ලෙස ප්රකටය.
පසුගියදා මෙසේ විවෘත කෙරුණු සුපිරි ගොඩනැගිලි සංකීර්ණය මෙරට තිබෙන විශාලතම ගොඩනැගීම නොවේ. එනම් දැනට වාර්තා වන ලෙස මෙරට තිබෙන උසම ගොඩනැගිල්ල ලෙස සැලකෙන්නේ ‘ලෝටස් ටවර්’ නොහොත් ‘නෙලුම් කුලුන’ වෙයි. එය මීටර් 350ක උසකින් යුක්තය. එහෙත් එය හෝටල් සංකීර්ණයක් ලෙස සැලකෙන්නේ නැත. මෙරට තිබෙන විශාලතම හෝටල් සහ නිවාස සංකීර්ණය ලෙස සැලකෙන්නේ මීටර් 240ක උසින් සහ තට්ටු 68ක ප්‍රමාණයකින් යුත් ‘අල්ටයර්’ සුපිරි සංකීර්ණයයි. ‘අල්ටයර්’ සංකීර්ණය තට්ටු 68 සහ තට්ටු 64 කුලුනු දෙකකින් සමන්විත වෙයි. පසුගියදා විවෘත කෙරුණු නවතම සුපිරි ‘රත්නදීප’ හෝටලයට යාබදව ඇත්තේ ‘ෂැංග්‍රිලා’ හෝටල් සංකීර්ණයයි. එය චීන ජාතික ව්‍යාපෘතියක් වන අතර, ‘රත්නදීප’ ඉන්දීය ව්‍යාපෘතියකි. කෙසේ හෝ චීනයත්, ඉන්දියාවත් එකිනෙකට එරෙහි මතවාද ඇති විරුද්ධවාදී රටවල් දෙකකි. එහෙත් අද යාබද වතු දෙකක හෝටල් සාදාගෙන ඇත.
ප්‍රියන්ත හෙට්ටිගේ