ශ්‍රී ලංකාවේ ජල කළමනාකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන S-lon Lanka (පුද්.) සමාගම පසුගියදා COVID-19 සුරක්ෂිතතා කළමනාකරණ පද්ධති සහතිකකරණය හෙවත් SLS 1672:2020 සහතිකකරණය හිමිකර ගැනීමට සමත් විය. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ පැවති උත්සවයකදී එහි සභාපති නුෂාඩ් පෙරේරා මහතා විසින් මෙම සහතිකකරණය S-lon සමූහ අධ්‍යක්ෂ එස්.සී. වීරසේකර මහතා වෙත නිල වශයෙන් පිරිනමන ලදී. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සහ S-lon Lanka (පුද්.) සමාගමේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.
මෙම සහතිකකරණය හඳුන්වා දීමට බලපෑ හේතු පැහැදිලි කළ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපතිතුමන්, COVID-19 සම්බන්ධයෙන් අදාළ සියලුම විධිවිධාන හා මාර්ගෝපදේශ අනුගමනය කරමින් සිය සේවක සේවිකාවන් අතර මෙන්ම සමාජය තුළද වෛරසය පැතිර යාමේ අවදානම අවම කිරීම සඳහා S-lon ආයතනය දක්වන උනන්දුව අගය කළේය. මෙම ආරක්ෂක විධිවිධාන තම කර්මාන්තශාලා පරිශ්‍රයන් තුළ මෙන්ම කාර්යාලයීය පරිශ්‍රයන් තුළද ක්‍රියාත්මක කිරීමට S-lon ආයතනය කටයුතු කර ඇත.











