සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ. පසුගිය දිනක කරන්දෙණිය මඩකුඹුර ප්‍රදේශයේ තරුණයෙකුගේ සියදිවි හානිකර ගැනීමත්, ඒ පිළිබඳ සමාජ මාධ්‍ය තුළ පැතිර ගිය විවිධ කතාන්දරත් ඊට හොඳ උදාහරණයකි. Sri Lanka Latest News
තම අවසන් මොහොත සජීවී වීඩියෝවක් ලෙස විකාශය කරමින් ජීවිතයට සමුදුන් දිනේෂ්ගේ මරණය රටම කම්පනයට පත්කළ සිදුවීමක් විය. එහෙත් ඒ කම්පනයටත් වඩා වේදනාකාරී වූයේ සත්‍යය නොදැන ඔහුගේ මවටත්, පවුලේ අයටත් එල්ල වූ අභූත චෝදනාය. ‘ඉඩම ලොකු පුතාට ලියා දුන්නා’, ‘කෝටි ගණනක ණය තිබුණා’ වැනි කිසිදු සාක්ෂියක් නොමැති කතා සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් පැතිර ගියා. ඒ වචනවලින් දරුවා අහිමි වූ මවකගේ හදවත තවත් වරක් කැඩී බිඳී ගියා.
මේ අතර තවත් සිදුවීමක්ද සමාජ මාධ්‍යයේ දැඩි ආන්දෝලනයකට ලක්විය. ජාත්‍යන්තර රූ රැජින තරගයකට බිකිනියකින් සැරසී පසුගියදා ඉදිරිපත් වූ කාන්තාව ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ පාසලක ගුරුවරියක් බවටත්, ඒ හේතුවෙන් ඇයට විනය ක්‍රියාමාර්ග ගන්නා බවටත් සමාජ මාධ්‍යයේ පළවිය. පසුව අනාවරණ වූයේ එම ඡායාරූපයේ සිටියේ ශ්‍රී ලාංකික ගුරුවරියක් නොව, ගෝතමාලාවේ නිරූපිකාවක් වන ජෙමි ස්ටෙෆනි බවයි.
මෙම සිදුවීම් දෙකම අපට කියා දෙන්නේ එකම පාඩමකි. ඒ, සමාජ මාධ්‍යයේ පළවන සෑම දෙයක්ම සත්‍ය නොවන බවයි. සත්‍යය සොයාබැලීමට පෙර තීන්දු දීමෙන් අහිංසක මිනිසුන්ට ජීවිත කාලය පුරාම මකාදැමිය නොහැකි වේදනාවක් ඉතිරි කළ හැකිය.
දිනේෂ්ගේ අවසන් මොහොතේ ඔහුගේ අම්මා පැමිණ දිනේෂ්ගේ සිරුර බදාගෙන වැළපෙනවා. ඒ වැළපීම කාගේත් හදවත් රිදුමකට ලක්කළා. දිනේෂ්ගේ මිතුරන් මේ සජීවී වීඩියෝව දැක අලුයම 12.30ට පමණ එම නිවසට පැමිණ දිනේෂ්ගේ ජංගම දුරකතනය හරහා සජීවීව ප්‍රචාරය වෙමින් තිබූ වීඩියෝව නතර කර දැමුවා. ඒ වනවිට සියල්ල සිදුවී හමාරව තිබුණා. එම සිදුවීමෙන් බොහෝ දෙනෙක් කම්පනයට පත්ව තිබුණා.
පසුව දිනේෂ්ගේ මව මාධ්‍ය හමුවේ කඳුළු සලමින් කියූ වචන සෑම මවකගේම හදවතෙන් නැගෙන හඬක් විය. ඇය පැවසුවේ තම පුතා අහිංසක, අවංක දරුවෙකු බවත්, ඔහු තම දරුවන් තිදෙනාගෙන් වැඩිමහල් පුතා බවත්ය. ඔහුගේ ජීවිතය තුළ රැකියා, විදේශ ගමන්, විවාහ ජීවිතය සහ පෞද්ගලික අභියෝග රැසක් තිබූ බවත්, ඒවා නිසා ඔහු මානසිකව බිඳවැටී සිටි බවත් ඇය පැහැදිලි කළාය. තමන් කුරුඳු තළා හෝ මුදල් සොයා දී ඔහුගේ අනාගතය ගොඩනගන්නට සූදානමින් සිටි බවත්, තම දරුවන් තිදෙනාටම එක ලෙස ආදරය දැක්වූ බවත් ඇය කියා සිටියාය.
ඇයගේ ප්‍රකාශ සත්‍යයද අසත්‍යයද යන්න තීරණය කිරීම අධිකරණයට හා විමර්ශන අංශවලට අයත් කාර්යයකි. එහෙත් තහවුරු නොකළ චෝදනා සමාජ මාධ්‍යයේ පැතිරවීමෙන් පවුලකට සිදුවන හානිය නම් අප සැමට පැහැදිලිව දැකගත හැකිය.
මෙවැනි සිදුවීම්වල තවත් වැදගත් කරුණක් තිබේ. සියදිවි හානි සම්බන්ධයෙන් අනුමාන, චෝදනා හෝ සංවේදී වීඩියෝ බෙදාහැරීම තවත් පවුල්වලටත් අහිතකර විය හැකිය. දුකක් ඇති පවුලකට සහනයක් වෙනුවට තවත් වේදනාවක් එක් කිරීම කිසිසේත්ම මානුෂීය ක්‍රියාවක් නොවේ.
කවමදාවත් අම්මලා දරුවන්ගේ අයහපත වෙනුවෙන් වැඩ කරන්නේ නැහැ. නමුත් බොහෝ අය කිව්වේ එහෙම කතාවක් නොවෙයි. ඒ අම්මා ඉන්නේ තවමත් හැඬූ කඳුළෙන් සහ හදවතේ දැවෙන වේදනාවෙන්. මුහුණු පොතේ විවිධ පුද්ගලයන් මේ සම්බන්ධව විවිධ චෝදනා එල්ල කර තබුණු අතර, මේ සිදුවීම බොහෝ ආන්දෝලනයකට පත්වුණා. ඔවුන් චෝදනා කළේ දිනේෂ්ගේ පවුලේ අයටයි. නමුත් ඒ කතාව සත්‍යයක් නොවෙයි. දිනේෂ් සිය ජීවිතයේ අත්වැල අල්ලගෙන යන්න තෝරගත්තේ නොගැළපෙන තරුණියක් බව ඔහුගේ මව යූටියුබ් සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පවසා සිටියා. එහිදී ඒ අම්මා හදවතේ කැකෑරෙන වේදනාව පිටකළේ මෙලෙසයි.
‘ඒ ඔක්කොම පට්ටපල් බොරු මගේ පපුව පැලෙන්න එනවා. මම අද රටටම ඇත්ත කියනවා. මගේ පුතා කියන්නේ අහිංසක චරිතයක්. හරි අවංකයි. හරිම හොඳයි. හැම කෙනාටම එක හා සමානයි. මට දරුවෝ තුන්දෙනෙක් ඉන්නවා. දිනේෂ් කියන්නේ වැඩිමහල් දරුවා. මට වෙන ලොකු පුතාලා නැහැ. ඉන්නේ දුවෙක් සහ පොඩි පුතෙක් විතරයි. දිනේෂ් පහේ පන්තිය වෙනකල් මඩකුඹුරේ ඉස්කෝලේට ගියා. පස්සේ කරන්දෙණිය ඉස්කෝලෙට ගියා. උසස් පෙළට මාස 3ක් තියෙද්දි ආමි එකට යන්න ඕනේ කිව්වා ළමයි තුන්දෙනෙක් ගියා කියලා. ආමි එකට ගිහිල්ලා රැකියාව කළා ටික කාලයක්. ඊට පස්සේ ගාමන්ට් යන්න ඕනේ කිව්වා. පස්සේ ලෝන් දෙන කොම්පැනියක වැඩකළා. ඊට පස්සේ රට යන්න ඕනේ කියලා කොරියන් විභාගය කරලා පාස්වුණා. මේ 28 වැනිදාට ගිහිල්ලා අවුරුද්දයි. අවුරුද්දක් ඉඳලා ආවා. ආපහු සති දෙකක් ඉඳලා කොරියාවට ගියා. මිනෝලි කියලා හිඟුරක්ගොඩ පදිංචි කෙනෙක් සමග තමයි පුතා විවාහ වුණේ. පුතා කිව්වා එයා අසරණ වෙලා ඉන්නේ, එයාට පිහිට වෙන්න ඕනේ කියලා. කලින් විවාහ වෙච්ච කෙනා මැරිලා දරුවෙක් ඉන්න කෙනෙක්. අපි ඒ බව දන්නෙත් විවාහ වෙලා කල් ගියාට පස්සේ. මිනෝලිව කොරියාවට ගත්තේ අපේ පුතා. අවුරුදු එකහමාරක් විතර ඇති. කවදාවත් ඒ දෙන්නා සතුටෙන් හිටියේ නැහැ. අම්මේ මට ගැළපෙන්නේ නැහැ කියලත් කිව්වා විවාහ වුණාට පස්සේ. දිනේෂ්ගේ තාත්තාත් මීට අවුරුදු දෙකකට කලින් මියගියා. පුතා කොරියාවේ හිරෙත් හිටියා. මිනෝලි නම් කිව්වේ පුතා හිරේ ගියේ කොම්පැනියේ කෝටි දෙකහමාරක් විතර හොරකම් කරලා ඉඩම් විකුණලා ඒක ගෙවන්න කියලා. දිනේෂ් කිව්වා සිර දඬුවම් විඳින්න සිද්ධ වුණෙත් මිනෝලි හින්දා කියලා. දිනේෂ් අවුරුද්දක් සිර දඬුවම් විඳලා ලංකාවට ආවාම කිව්වේ මගේ මුළු ජීවිතේම මිනෝලි නිසා නැතිවුණා කියලායි. කට්ට කපටි ගෑනියෙක් අම්මත් කතා කරන්න එපා කියලා මට කිව්වා. මම ලස්සනට හිටියා මෙයා ගෙනිච්චාත් හරි මගේ මුළු ජීවිතේම විනාශ වුණා කියලා දිනේෂ් මානසිකව වැටිලා හිටියේ. දිනේෂ්ව කොරියාවෙන් පිටුවහල් කළා මිනෝලි නිසා.’
‘ඊට පස්සේ දිනේෂ් කිව්වා අම්මේ මට ජපන් යන්න ඕනේ කියලා. ඒත් ජපන් යන්න කෝස් කරන්න සල්ලි ඕනේ, සල්ලි නැති නිසා කුරුඳු තළලා මම සල්ලි හොයලා දෙන්න හිටියේ. මුහුණු පොතේ තිබුණා වැඩිමහල් සහෝදරයෙකුට ගේ ලිව්ව නිසා දිනේෂ් දිවි නසාගත්තා කියලා. ඒක සම්පුර්ණ බොරුවක්. ඒකත් මිනෝලි හදපු කතාවක්. මේ ගෙදර ඔප්පුවක්වත් මම දැකලා නැහැ. මේකේ අයිතිකාරයෝ ලොකු තාත්තාලා. බාල සහෝදරයෝ වුණත් අයියා මේවා දුන්නොත් විතරක් ගනී. මම වුණත් එහෙම කරන්න දෙන්නේ නැහැ. එයා දුක් මහන්සියෙන් හම්බකරගත්ත සල්ලි එයාට දෙනවා මිසක් මම වෙන අයට දෙන්නේ නැහැ. මට මගේ දරුවෝ තුන්දෙනා පණ වගේ. මිනෝලි රට ඉන්නකල් විතරයි චාටු කතාබස් කළේ. ආවාට පස්සේ වෙස් පෙරළුණා වගේ වුණා. මගේ පුතාට ඕනෙ වුණේ මටයි සහෝදර සහෝදරියන්ටයි සැප දෙන්න. මං යතුරු කැරලි පහම මිනෝලිට දුන්නා. සමහර දවසට ගෙදරින් එළියට අපි ගියොත් පැය ගානක් එළියේ ඉන්නවා ගෙදරට යන්න බැරිව. මම අද වෙනකල් වචනයක් කියලා නැහැ එයාට. මගේ අහිංසක දරුවගේ මනස අවුල් වුණා. පුදුම ලස්සනට තිබුණු පවුලක් අපේ පවුල. අන්තිම දවස වුණේ ජූලි 12 වැනිදා උදේ දිනේෂ්ගේ කොරියාවේ හිටිය හොඳම යාළුවා තමයි දිනේෂ්ගේ බිරිඳ සමග සම්බන්ධකමක් පවත්වන්නේ. මම දැන් මැරි මැරී ජීවත් වෙන්නෙ…’
දිනේෂ්ගේ හොඳම මිතුරා වූ ඉන්දික ප්‍රභාත් අවසන් මොහොතේ පැමිණ මේ සජීවී වීඩියෝව විසන්ධි කර තිබුණා. ඔහු ඒ මොහොත විස්තර කළේ මෙලෙසයි.
‘දිනේෂ් මියගිය 12 වැනිදා උදේ ඉඳලා අපිත් එක්ක තමයි හිටියේ. එදා මැච් එකක් තිබුණා. මැච් එක ඉවර වෙලා බියර් එකක් බීලා රෑ මළගෙදරක යන්න සෙට් වුණා. ඒත් දිනේෂ් මළ ගෙදර ගියේ නැහැ. ලයිව් එක දැක්ක ගමන් යාළුවන්ට කතා කරලා දිනේෂ්ගේ ගෙදර එනකොට වෙන්න ඕනෙ දේ සිදුවෙලා හමාරයි. ජංගම දුරකතනයේ පාස්වර්ඩ් එක විදියට එයාගේ උපන් දිනේ දාලා තිබ්බේ. එදා පාස්වර්ඩ් එක වෙනස් කරලා තිබ්බා. ගෙදර බිත්තියේ ඒක ලියලා තිබ්බා. දිනේෂ් චුට්ටක් මිස් වෙච්ච ගමන් කේන්ති යනවා. මැයි 30 වැනිදාත් මේ විදියටම සිදුකරගන්න හදලා බිරිඳට යවලා තිබුණා. නමුත් එදා කොහොම හරි බේරුණා…’
අම්මා කිව්වේ මම කුරුඳු තළලා කොහොම හරි සල්ලි හොයලා දෙන්නම් ජපන් යන්න කියලා. ඒ තමයි අම්මලාගේ හැටි. කොයි තරම් පිට ගෑනු අකටයුතුකම් කළත් අම්මලා තමන්ගේ දරුවන් වෙනුවෙන් ඕනෑම දුකක් දරනවා, දුකක් විඳිනවා.
සමාජ මාධ්‍ය අපට තොරතුරු ඉක්මනින් ලබාදෙනවා සේම සත්‍ය තහවුරු නොකර පැතිරෙන අසත්‍ය නිසා ජීවිතවලට ගැඹුරු හානියක්ද සිදුකළ හැකියි. දිනේෂ්ගේ මරණය වටා පැතිර ගිය චෝදනා, තහවුරු නොකළ තොරතුරු ඒ පවුලේ අයට කොයි තරම් වේදනාකාරි වන්නට ඇද්ද? අපි යමක් සමාජ මාධ්‍යයේ බෙදාගන්නට පෙර ඒ ගැන දහස් වරක් සිතිය යුතුයි. එක් පෝස්ටුවක්, එක් කතාවක්, එක් වීඩියෝවක් නිසා කෙනෙකුගේ ජීවිතයේ මානසික සැනසීම සම්පූර්ණයෙන්ම බිඳවැටෙන්නට පුළුවන්. ඒ නිසා සමාජ මාධ්‍යයේ සංවේදී බව වගකීම සහ මනුෂ්‍යත්වය අමතක නොකළ යුතුයි.
කෙනකුගේ ජීවිතයක් ගැන පූර්ව නිගමනවලට පැමිණ ඒ පිළිබඳ ලියන්නට පෙර මොහොතක් සිතමු. තොරතුරු බෙදාහරින්නට පෙර සත්‍යය සොයමු. මන්ද එක් අසත්‍ය පණිවුඩයක් නිසා දැනටමත් බිඳුණු හදවතක් තවත් දහස් වරක් බිඳදැමිය හැකි නිසාවෙනි.

නිලන්ති රේණුකා











