ලෝකයේ පැරැණිම ශිෂ්ටාචාර ගැන කතා කරද්දී ඉත්තා යන නාමය මුලින්ම කියැවෙන වචනයක් බවට පත්ව තිබේ. පුරාවිiාඥයන්ගේ මතයට අනුව ඉන්කා ශිෂ්ටාචාරය ලෝකයේ පැවැති ප්‍රබල සහ බලසම්පන්න ශිෂ්ටාචාරයකි. ඇමෙරිකාවේ අන්දීස් කඳු පන්ති ආශ්‍රිතව බලවත් අධිරාජ්‍යයක් ගොඩනඟාගෙන සිටි ඉන්කාවරුන්ට එවකට ඉතාමත් ප්‍රබල තත්ත්වයක පසුවූ බවයි වාර්තා වෙන්නේ. එම අධිරාජ්‍ය දකුණු ඇමෙරිකාවේ ඉක්වදෝර්, පීරූ, බොලිවියා හා චිලී දක්වා පැතිර තිබුණු අතර එය ක්‍රි.පූ. 1200 සිට 16 වැනි සියවස දක්වා ඉදිරියට පැවැති බවටත් වාර්තා වෙනවා.
එවකට ඉන්කා අධිරාජ්‍යයේ ප්‍රධාන නගරය වූයේ කපුස්කෝ නගරයයි. එය වර්තමාන පේරූ රාජ්‍ය අසල පිහිටා තිබූ අතර, ඉන්කා ජනතාව අන්දීස් කඳුවැටියේ ඉහළ මුදුන්වල නිවාස ඉදිකරගෙන සිය ජීවිකාව පවත්වාගෙන ගිය අතර ඔවුන්ගේ ප්‍රධාන ජීවිකාව වූයේ ගොවිතැනයි.
කුලගෝත්‍ර ප්‍රශ්නය ඉතා ඉහළින් සැලකූ ඉන්කාවරුන් ප්‍රධාන වශයෙන් ගෝත්‍ර තුනකට බෙදී සිටි බවයි පැවසෙන්නේ. ඒ අනුව උසස් යැයි සම්මත පන්තිය ප්‍රභූවරුන්ගෙන් සමන්විත වුණා. පහත් යැයි සම්මත පන්තිය වහලුන් ලෙසත්, යුද සිරකරුවන් සහ වහලුන්ගේ දරුවන්ද වහල් කුලයටම අයත් වූ අතර, ඉන්කාවරුන් අතර තවත් විශේෂ කාරණාවක් දක්නට තිබුණා. එනම් යම් විශේෂ ක්‍රියාවක් හෝ හපන්කමක් කරන යුද සෙබළුන්ට, කලාකරුවන්ට ඉන්කා ප්‍රභූ පන්තියට ඇතුළත් වීමට අවස්ථාව ලැබුණා. ඊට අමතරව ප්‍රභූභාවය ලැබීමට හැකි තවත් ක්‍රමයක් ලෙස සැලකුවේ සිය කැමැත්තෙන්ම අධිරාජ්‍ය නීතියට එකඟව ගම් ප්‍රධානී තනතුරක් ලබා ගැනීමයි. ඒ අනුව එම පුද්ලගයාගේ පවුලේ සමීපතමයන්ටත් ප්‍රභූභාවය හිමි වන නමුත් ඔවුන්ට ලේ උරුමයෙන් ප්‍රභූභාවය ලැබූවන්ට ලැබෙන සියලු වරප්‍රසාද භුක්ති විඳීමට අවස්ථාවක් ලැබුණේ නැහැ. ඊළඟට වැදගත්ම කාරණය වන්නේ ඔවුනොවුන් අතර විවාහ කටයුතු සිදු නොකිරීමටත් ඉන්කාවරුන් ඉතා කල්පනාකාරී වුණා.
ඉන්කා රාජධානියේ අධිරාජ්‍ය හැඳින්වූයේ ඉන්කා හෝ සෆා ඉන්කා යන නම්වලින්. ඔහුට ඉතා ඉහළ ගෞරව සැලකිලි මෙන්ම වරප්‍රසාදත් හිමි වුණා. ඒ අතර විශේෂිත දේවල් ලෙස රන් භාජනයක ආහාර ගැනීමට ලැබුණු අතර, එක ඇඳුමක් එක් වරක් පමණක් ඇඳීමත් ඔහුගේ සම්ප්‍රදායක්. සිය සහෝදරියම බිරිය ලෙස තෝරා ගැනීමේ ක්‍රමයකුත් අධිරාජ්‍යයාට තිබූ බවත් පැවසෙනවා. රාජධානියේ ප්‍රධාන නගරයේ සිට පාලන කටයුතු කිරීමට පුරුදුව සිටි අධිරාජ්‍යයාට සියලු වැසියන් ඉතා බය පක්‍ෂපාතීව සැලකූ බවටත් ඉතිහාස කතාවල සඳහන් වෙනවා.
ඉන්කා රාජධානියේ ජනතාවගේ ප්‍රධාන ජීවිකාව වී ඇත්තේ ගොවිතැනයි. ඇඳුම් පැලඳුම් සහ බොහෝමයක් අත්‍යවශ්‍ය දේ තමන් විසින්ම පිළියෙල කරගැනීමේ හැකියාවක් සහ දක්‍ෂතාවක් ඉන්කා ජනතාව සතු වුණා. ඉරිඟු, තක්කාලි, අල, පලතුරු ආදිය ඔවුන්ගේ වගාවන් අතර ප්‍රධාන වූ අතර ඌරන්, තාරාවන් හා බල්ලන් ඇති කිරීමේ පුරුද්දක්ද ඉන්කා ජනතාව අතර බහුලව දක්නට ලැබුණු දෙයක්.
මේ සියලු කටයුතු සඳහා ඉන්කාවරුන්ට ප්‍රබල සහයක් දැක්වූ ඉල්මා නම් සත්ව කොට්ඨාසය ඔවුන්ගේ භාණ්ඩ ප්‍රවාහනයට සහාය ලබාදෙන ගමන්ම, ලොම් සහ කිරි ලබා දීමෙන්ද ප්‍රමුඛ තැනක් ගත්තා.
මේ සියල්ල අතරේ ඉන්කාවරුන්ගේ මනා හැකියාවනුත් දක්‍ෂතාවයනුත් ලෝකය හමුවේ කතාබහට ලක්වූයේ ඔවුන්ගේ ඉදිකිරීම් තාක්‍ෂණය හරහායි. ඉතා ඉහළ අති නවීන යන්ත්‍ර සූත්‍රවලට පවා පහසුවෙන් කළ නොහැකි ආකාරයේ ශෛලමය ඉදිකිරීම් ඉන්කා රාජ්‍යයේ අභිමානය ලෝකයට කියාපෑවා.
එය දැනට සොයාගෙන ඇති ඉන්කා රාජධානියේ ගොඩනැඟිලි ඉදිකිරීම්වල ඇති තියුණු සහ මනා නිමාවෙන් පැහැදිලි වෙනවා. දැවැන්ත ගොඩනැඟිලි මහා මාර්ග මෙන්ම කඳු මුදුන් යාකර ඉදිකර ඇති පාලම්ද විස්මිත නටබුන් අතර නොනැසී පවතිනවා. ඒ අතර ඉන්කාවරුන් නිම කළ අලංකාර කැටයම් යෙදූ විවිධ උපකරණ පුරාවිiාඥයන් සහ ලෝකවාසීන් මවිතයට පත්කළ දේවල්. ඉන්කා කාන්තාවන් අත්කම් ගෙත්තම් ආදිය හසළ නිපුණත්වයක් තිබූ අය බවයි පැවසෙන්නේ.
අදටත් ප්‍රධාන නගරයේ විශාල ගල් පවුරු අංශුමාත්‍රයකින් හෝ වෙනසක් නොමැතිව පවතින අතර ඒවායේ ගල්කුට්ටි ඉතා සියුම් ලෙස එකට පුරුද්දා ඇති අයුරුත් දක්නට ලැබෙනවා. අතිවිශාල බරකින් යුතු ගල්කුට්ටි මෙසේ පවුරු සකස් කිරීමට යොදාගෙන ඇති අතර ඒවා ඉතා සූක්‍ෂ්මව මනාලෙස කපා ඇති අයුරුත් විස්මයජනකයි.
ලෝහ කර්මාන්තයේ ඉතා ඉහළ දක්‍ෂතා ඇති ඉන්කාවරුන් අවි ආයුධ නිපදවා ඇති අතර ඒවා ගෝත්‍ර අතර සටන්වලදී භාවිතයට ගන්නට ඇතැයි විශ්වාස කෙරෙනවා. 12 වැනි සියවසේ සිට අතීතයට දිව යන ඉන්කා ශිෂ්ටාචාරය වරින්වර අධිරාජ්‍යයන් 13 දෙනකු යටතේ පාලනය වී ඇති අතර පුරාවෘත්තවලට අනුව මේ අධිරාජ්‍යය ආරම්භ කර ඇත්තේ පකාරිටම්පු නම් ප්‍රදේශයේ සිට එහි පැමිණි සොහොයුරන් හතරදෙනකු විසිනි.
ඉන්කාවරුන් ස්වභාවධර්මයා දේවත්වයෙන් සැලකූ අතර හිරුට – සඳුට තරුවලටත් දේවත්වයෙන් සලකා ඇත.
එසේම මේඝ ගර්ජන නම් බල සහිත දෙවියකු උදෙසාත් පුදපූජා පවත්වා තිබෙනවා. ගුප්ත දේ ගැන නොපෙනෙන බලවේග ගැන අසීමිත විශ්වාසයකින් කටයුතු කළ ඉන්කාවරුන් සිය හැකියාවන් සහ නිපුණතාවයන් සඳහාත් එවැනි ගුප්ත බලයන් භාවිත කළාද යන්න සැකසහිතය. ඇතැම් විට ඔවුන් සතුව එවැනි නොපෙනෙන ශක්තීන් තිබුණාදැයි සැක කිරීමට සාධාරණ හේතු නැතුවාම නොවේ.
කෙසේ නමුත් මිනිස් බිලි පූජා පැවැත්වීම කෙරේ වැඩි ප්‍රමුඛතාවයක් ලබාදෙන ඉන්කාවරුන්ට ඒ සඳහා වැඩිපුරම තෝරා ගන්නේ ළමයින් සහ කන්‍යාවන්ය.
මේ සියලු කාරණා සමගින් ඉන්කාවරුන් සිය අනන්‍යතාවයත් අභිමානයත් ගොඩනඟමින් අදටත් නොනැසී පවතින විස්මිත රාජධානියක නටබුන් ඉතිරිකර ගොස් ඇති අතර එම ඇතැම් නිර්මාණ කෙසේ කළාදැයි අදටත් අබිරහසකි.
කුමාර රත්නායක











