බොහොමයක් දෙනා තමන්ගෙ සුබ වැඩවලදි වගේම දවසේ වැඩවලදි රාහු කාලය ගැන දෙසැරයක් සිතන ස්වභාවයක් තිබෙනවා. හැබැයි පිරිසක් එහෙම කරද්දි තවත් පිරිසක් රාහු කාලෙ කියන්නෙ මොකක්ද, රාහු කාලෙ හොඳද නරකද කියලාවත් නොදැන ගණන් නොගෙන වැඩ කරන ස්වභාවයකුත් තියෙනවා. ඇත්තටම රාහු කාලය කියන්නේ මොකක්ද? මේ කාලය දැනගැනීමෙන් හෝ එය මඟහැර වැඩකිරීමෙන් ඇති සෙතේ මොකක්ද කියලා කෙනකුට ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. ඇතැම් විට රාහු කාලය බලා වැඩ කරන, රාහු කාලය මඟහරින ගොඩක් දෙනෙක් රාහු කාලය කියන්නේ මොකක්ද කියලා නොදන්නවා වෙන්න පුළුවන්. කොහොම වුණත් රාහු කාලය පිළිබඳ යම් අවබෝධයක් ලබා සිටීම සෑම කෙනකුටම වැදගත් වෙන්න පුළුවන්.
රාහු කාලය දිවා රාත්‍රී දෙකෙහිම පවතිනවා. දිවා පැය එකහමාරකුත්, රාත්‍රී පැය එකහමාරකුත් ලෙස පැය තුනකට වැඩි කාලයක් දිනකට රාහු කාලය පවතිනවා. කෙසේ නමුත් රාහු කාලය තුළ අරඹන වැඩකටයුතු සාර්ථක නොවන බවට තීරණාත්මක මතවාදයක් සමාජය තුළ මුල්බැසගෙන තිබෙනවා. එහි සත්‍යතාවක් නැතැයි කියා තර්ක කිරීමටද හැකියාවක් නැහැ. එහෙත් යම් ජන්මියකුගේ උත්පත්ති ග්‍රහචාරය මෙන්ම ඒ ඒ කාලවල ගෙවන මහ දශා අතුරු දශා ආදිය හේතු කරගෙන රාහු කාලයේ ඵල විපාක යම් තරමකට වෙනස් විය හැකියි. කෙසේ නමුත් අලුතින් යමක් ඇරැඹීමේදී එදිනට අදාළ රාහු කාලය පිළිබඳ අවධානය යොමුකර එය මඟහැරීම තුළින් දිනයේ ඇති අසුබ තත්ත්වය මඟහැරෙන බවත් අරඹන කටයුත්ත ඉතා සුබ ආකාරයට සිදුකරගෙන යා හැකි බවත් පිළිගැනේ.
කෙසේ නමුත් රාහු කාලය මඟහැර කටයුතු කළ යුතුමයි කියා කිසිදු ආකාරයක බලපෑමක් හෝ ජ්‍යොතිෂමය මඟපෙන්වීමක් නැතත් ජීවිතය හා සම්බන්ධ විශේෂ කටයුතු රාහු කාලය මඟහැර සිදුකිරීම තමන්ට මානසික සහනය උදාකර දෙන්නකි.
එහිදී ආරම්භ කරන කටයුත්තේ සුබ ප්‍රතිඵල වඩාත් සුබ වීමටද මෙය පිටිවහලක් වෙයි. එනිසා යම් කෙනකු සුබ කටයුත්තක් සඳහා රාහු කාලය මඟහරිනවා සේම, එදින ඊට ගැළපෙන සුබම මුහුර්තය සොයාගෙන ඒ අනුව කටයුතු කිරීමෙන් මානසික ශක්තිය නමැති සඟවුණු බලයෙන් උපරිම ප්‍රයෝජන ගත හැකි බවත් සොයාගෙන ඇත.කෙසේ නමුත් රාහු කාලය පිළිබඳ කිසි විටෙකත් අනියත බියක් ඇතිකරගත යුතු නැති බවත් ජ්‍යොතිෂයේ විශ්වාසයයි. මන්ද රාහු කාලය පවතින වේලාවේදී සුබ මුහුර්ත පවතින බව රහසක් නොවන බැවිනි.
රාහු කාලය මෙන්ම සෑම පැයකම යෙදෙන පංචම කාල හෝරාව ගැනද අවබෝධයක් ලබා තිබිය යුතුය. එනම් ඕනෑම පැයක් තුළ මිනිත්තු 12 බැගින් වූ කාල හෝරා 5ක් වෙන්කොට ඇත. උදාහරණයක් ලෙස හිරු උදාව උදෑසන 6ට සිදුවනවා යැයි සිතා සඳුදා දිනයක් ගතහොත් සඳුදා රාහු කාලය යෙදී ඇත්තේ උදයේ හා රාත්‍රියේ 7.30ත් 9ත් අතර නම් සඳුදා දින උදය කාලයේ පැය 7-8 අතර ශනි හෝරාව හා 8-9 අතර ගුරු හෝරාව පවතී. එහිදී ගුරු හෝරාවේ පංචම කාල හෝරා වෙන්වන්නේ මෙලෙසිනි.
• 8.00ත් – 8.12ත් අතර ගරු
• 8.12ත් – 8.24ත් අතර ශුක්‍ර
• 8.24ත් – 8.36ත් අතර ශනි
• 8.36ත් – 8.48ත් අතර රවි
• 8.48ත් – 9.00ත් අතර චන්ද්‍ර
මෙම පංචම කාල හෝරාව තුළ 8.48-9.00 අතර චන්ද්‍ර පංචම කාල හෝරා කාලය විස හෝරාව හෙවත් අසුබ කාලය ලෙස දක්වා ඇත. මෙලෙස මිනිත්තු 12ක් තුළ යෙදෙන සූක්ෂ්ම කාල හෝරා ලෙස මිනිත්තු 4 බැගින් කාල හෝරා 3ක් දක්වා ඇත. එනම් 8.00-8.12 අතර ගුරු කාල හෝරාව තුළ යෙදෙන ගුරු පංචම කාල හෝරාව තුළ ඇතුළත් වන සූක්ෂ්ම කාල හෝරාව මෙසේ දැක්විය හැකිය.
• 8.00-8.04 ගුරු පංචම හෝරාවේ ගුරු සූක්ෂ්ම කාල හෝරාව.
• 8.04-8.08 ගුරු පංචම හෝරාවේ කුජ සූක්ෂ්ම කාල හෝරාව
• 8.08-8.12 ගුරු පංචම හෝරාවේ රවි සූක්ෂ්ම කාල හෝරාව.
දිනයේ සූර්ය උදාව අනුව මෙය වෙනස් කරගත හැකි අතර 8.00-8.04 අතර ගුරු හෝරාවේ ගුරු පංචමයේ ගුරු සූක්ෂ්ම කාල හෝරාව යෙදී ඇත. මෙම කාලය ගුරුට අයත් කටයුතු සිදුකිරීම ඉතා සුබ මුහුර්තයකි. ගුරුට සම්බන්ධ මැති ඇමැතිවරු හමුවීමට රථ වාහන මිලදී ගැනීමට, ගෙවල්වලට මුල්ගල් තැබීමට වැනි කාරණා ප්‍රධාන වෙයි. මේ ආකාරයට අනෙක් ග්‍රහයන් ප්‍රධානත්වය දරන කටයුතු මොනවාද, ඒ ඒ ග්‍රහයන්ට ඒ ඒ දිනට අයත් සුබ මුහුර්ත මොනවාද යන්න සොයාගෙන කටයුතු කළ හැකියි. මෙහිදී කාල හෝරාව මෙන්ම ඒ ඒ දිනවල පවතින නැකැත් සහ ඒ ඒ දිනවල විශේෂත්වයන්ද කේන්දරයේ ග්‍රහචාරයන්ද සැලකිල්ලට ගෙන ඉතා විශිෂ්ට වූ ප්‍රතිඵල අත්කර ගත හැකි බව අත්දුටු සත්‍යයකි.
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ජයශ්‍රී නන්ද කුමාර