යුග දිවිය යනු කෙනකුගේ ජීවිතයේ සුවිශේෂ අවස්ථාවක් සහ ජීවිතයක හැරවුම් ලක්ෂ්‍යයක් ලෙස පෙන්වා දිය හැකිය. යම් කෙනකුගේ අනාගතය සුබ වේද, අසුබ වේද යන්න ගැන නිසි තීරණයක් ගැනීමටත් විවාහය ප්‍රධාන හේතු කාරණාවක් වෙයි. එය මතුපිටින් බලා තීරණය කිරීමේ හැකියාවක් නැතත් නිසි පරිදි කේන්දරය පරීක්ෂා කළහොත් ඔවුනොවුන් කොතරම් දුරට ගැළපේද යන්න අවබෝධ කරගත හැකිය. එසේම යම් කෙනකුගේ ජීවිතයේ ඉදිරි කාලය ධනයෙන් බලයෙන් පිරිපුන් කරන්නට අනෙකාගේ කේන්දරයේ බලවත් බවද උපකාර වෙයි. එහිදී විශේෂයෙන්ම සැමියාගේ ජීවිතයේ සාර්ථකභාවයට හේතු පාදක සපයන ප්‍රධාන සාධකයක් ලෙස බිරියගේ කේන්දරයට විශේෂ තැනක් හිමිවේ. එහෙයින් අඹුසැමි කේන්දරවල එවැනි පිහිටීම් කෙසේද යන්න විමසා බලමු.
විවාහයේදී මුලින්ම පරීක්ෂා කර බැලිය යුත්තේ කේන්දරයේ ග්‍රහයන්ගේ හැසිරීම පිළිබඳවයි. වාසනාවන්ත ග්‍රහ ශක්තියෙන් ප්‍රබල තලයේ සිටින කාන්තාවක් සමග යුගදිවියට ඇතුළු වීමෙන් සාර්ථකම විවාහයක් ගෙන යෑමට හැකිවේ.
විවාහ වී කෙටි කලක් යන විට දෙකොන විලක්කුව බැඳගත්තා මෙන් වුවහොත් සිදුවන්නේ කුමක්ද කියා අමුතුවෙන් කියන්නට ඕනෑ නැත.
සියලු සැප සම්පත්වලින් යුතුව සිටි සමහර පිරිමි විවාහ වූවාට පසුව සිදුවෙන්නට ඇති සියලු දේවල් සිදුවී කරකියාගත හැකි කිසිවක් නොමැතිව ජීවිතය පාවෙන තත්ත්වයට පත්වුණු අවස්ථා අප කොපමණ දැක ඇද්ද?
ඉතා දියුණු තත්ත්වයේ සිට එක්තරා තරුණ වෙළෙඳ ව්‍යාපාරිකයෙක් අද වන විට යනඑන මං නැතිව සිටී. ඔහුගේ කේන්දරයේ ග්‍රහ හැසිරීම යහපත්ය. සිදුව ඇති අවුල් නිසා බිරියගේ ජන්ම පත්‍රය පරීක්ෂා කර බලන විටදී සැමියාගේ සම්පත් විනාශ වන ක්‍රමයක් ඇගේ කේන්දරය තුළ සැඟවී ඇති බැව් පැහැදිලි විය. මෙය උභතෝකෝටික ප්‍රශ්නයක් වුවද ව්‍යාපාරිකයා තම බිරියට අවංකවම ආදරය කරන කෙනෙකි. බිරිය නැතිව ඔහු එක් දිනක්වත් ජීවිතය නොගෙවන බවද පැහැදිලිවම පෙනිණි. බිරියගේ කේන්දරයේ ග්‍රහ පිහිටීම අසුබ යැයි පැවැසුවහොත් කිසියම් ප්‍රශ්නයක්ද පැනනැඟීමට බැරි නැත.
ව්‍යාපාරිකයා කේන්දර ගැන එතරම්ම විශ්වාසයක්ද නැත. ඔහුට ජ්‍යොතිෂ විද්‍යාත්මක පැත්තෙන් කරුණු අවබෝධ කිරීමටද අපහසුය. නමුත් දැන හෝ නොදැන අද වන විට ඔහුගේ ව්‍යාපාරික ලෝකය ඇදවැටී තිබේ.
අපි දැන් මේ කාන්තා කේන්දරයේ ග්‍රහ හැසිරීම පිළිබඳ විමසා බලමු.
මකර ලග්නය 7 වැන්නේ කුජ, ශුක්‍ර, රාහු, රවි ඇති සඳු ලග්නගතව ඇත්තේය. විවාහයේ ඇතුළු පැත්ත සම්පූර්ණයෙන්ම කඩාබිඳ වැටෙන තත්ත්වයක තිබේ. සැමියාට ඔරොත්තු නොදෙන අති කාමභෝගී චරිතයකි. අයථා සබඳතාවක් නිසා විවාහය තුළ ස්ථාවරත්වයක් නොමැති විය.
ඇය රූමත්ය. ඇගේ බාහිර පෙනුම නිසා අන්‍යයන් වශී කරගැනීමට සමත්ය. මුලදී ඉතා ඉහළ තත්ත්වයේ තිබුණු මොහුගේ ව්‍යාපාර කටයුතු ශීඝ්‍රයෙන් පහතට ඇදවැටිණි. කළ යුතු කිසිවක්ම නැති නිසා මේ ව්‍යාපාරිකයා වෙනත් විවාහයකට යොමු විය. ඇයද මුලදී විවාහයක් වී සැමියාගෙන් සිදුවන අඬදබර හා වධ හිංසා විඳදරා ගැනීමට නොහැකි වූ නිසා ඔහුගෙන් දික්කසාද වී තිබිණි. මෙම කේන්දර දෙක ගැඹුරින් පරීක්ෂා කර බැලීමේදී දෙදෙනාගේම ග්‍රහ හැසිරීම් රටාව ඉහළම තත්ත්වයේ සුබව ධනාත්මකව ඇත. ග්‍රහ පොරොන්දම ඉතා සුබයි. මේ වන විට මේ ව්‍යාපාරිකයා විශාල දියුණුවක් පෙරටත් වඩා ලබා ඇති අතර විදේශ වෙළෙඳපොළ සමගද ගනුදෙනු කරනු ලබයි. ජීවිතවල මෙවැනි සිදුවීම්වලට තුඩුදෙන බැව් පැහැදිලිය. අඹුසැමි දෙදෙනකු එක වහලක් යට ජීවත් වන විට සාර්ථක සැමියකු පිටුපස වාසනාවන්ත දිරිය බිරියක් සිටින්නීය යන්න පූර්ණ සත්‍යයකි.
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී දේශබන්දු ටී. හෙන්රි බෙම්මුල්ල











