එදා බමුණකු පැවැසූ නිමිත්තකින් කියැවුණේ දඹදිව දන්ත පුරයේ විසූ සිංහ කුමාර රජුගේ හා හංසවතී බිසවගේ දුව ඇගේ එක කුසේ උපන් වැඩිමහල් සොහොයුරා සමග සංවාසයේ යෙදෙන බවකි. මහත් සංවේගයට පත් රජු හා බිසව ඇයව වැඩිවිය පැමිණියාට පසු ගිරි ලෙනක රහසේ සඟවා තැබූහ. රූමත් කුඩා කුමරිය ලෙන තුළ වාසය කරන බැවින් ඇයට ගිරිදේවිය යන නම පටබැඳිණි. මනා රූසපුවකින් යුක්ත වූ ඇය ගැන සොහොයුරාට අසන්නට ලැබී ඇයගේ රුවට ලොබ බැඳ බොරු ලෙඩ ගෙන ඇය දකින්නට නොලැබුණහොත් තමා මියයන බව පැවැසුවේය. මේ ගැන මවුපියන්ට ඇසී අනුකම්පා කර ඔහුට කුමරිය හමුවීමට ඉඩ දෙන ලදී. එහි අවසන් ප්‍රතිඵලය වූයේ ඇය හා සංවාසයේ යෙදීමයි. මින් බලවත් සේ ඇය කම්පාවට පත්ව ගෙල වැලලා මියගියාය.
ඉපැරැණි කතාවක් අනුව මේ ගිරිදේවිය හා දළ කුමරු බුදුන්වහන්සේ හමුවී පින් කොට උපනූපන් ජාතිවල අඹුසැමියන් වන ලෙස පැතූහ. මේ ගැන ගිරිදේවි අස්න, උපත යන පොත්වල සඳහන් වී තිබේ.
ගෙල වැලලා මියගිය ඇගේ සිරුර සක් දෙවිඳු විසින් සැඟවූ නමුත් එය දළ කුමරු සොයාගත්තේය. දළ කුමරු සියදිවි නසාගෙන මියගොස් යකෙක්ව උපන්නේය. ගිරිදේවියද වරෙක දේවතාවියක්ද, යක්ෂණියක්ද ලෙස පෙනී සිටින්නීය. ගිරිදේවිය තමන් වගේ කාන්තාවන් රැසක් මවයි. අවතාර 12ක් තිබේ. කුඩා දරුවන්ට සෑදෙන බාලගිරි දෝෂයට අධිපතිනිය ගිරිදේවියයි. එය ජන වහරට එක්විය. කුඩා දරුවන්ට ලෙඩ කරන බව දැක්වේ. බාලගිරි (බාලග්‍රහ) නමින් දැක්වේ. ගිරිදේවිය සිහිකර පැරැණි ගැමියෝ දරුවකු උපන් විට උළුවස්සේ අඟුරු කෑල්ලකින් ‘බාලගිරි දෝෂය අද නෙවේ හෙට’ යනුවෙන් ලියති. අදටත් එම වැකිය ලියනු ඇත. ගිරිදේවිය නමින් දේවාල ඇත. හියුනෙවිල් සූරීන් කියන අන්දමට බුරුමයේ රැන්ගුන් නුවර යැයිද මතයකි. අනුරාධපුර ප්‍රදේශවාසීහු වැසි නැති ඉඩෝර කාලයේදී ඇය වෙනුවෙන් පුද පූජා පවත්වති. එහි විශේෂත්වය වනුයේ ගිරිදේවියගේ සහ දළ කුමරුගේ නිරුවත් රූප කිරිමැටි හා හුඹස් මැටියෙන් අඹා වැව් ඉස්මත්තේ තබා කවි ගායනා කරනු ලැබීමයි. මෙයින් පසුව මහ වැසි ඇදහැලෙන බවත්, අඹන ලද නිරුවත් මැටි රූප දෙක වැස්සට දියවී යන බවත් ජනශ්‍රැතියේ සඳහන්ව තිබේ.
බාලගිරි හෙවත් බාලග්‍රහ කුඩා බිළිඳුන්ට සෑදෙන රෝගයේ පුරාවෘත්තය නම් මෙම ගිරිදේවියයි.
අක් බඹ වරලස
උනාවැටිච්චී
නෙත් කඳුළෙන්
පියයුරු වෑවෙච්චී
අත් දෙක මල් දම් සේ එල්ලලෙච්චී
ගිරි කුමරිය
ගිරි දේවිය වෙච්චී
බැන්දූ වරලස
පීරා කොනකට
බින්දා පියයුරු
කැකුළු ළමැද පිට
කැන්දා කල් බැඳ
නගා සරණ කොට
නින්දා පවසති
මතු අපි දෙන්නට
නගේ මන්ද නුඹ
එහෙම සිතූවේ
දඟේ කියා මම
නුඹ ගෙන්නූවේ
මගේ මදනගාය
නුඹ පහ කෙරුවේ
මගේ රුවට රුව
නුඹම ගෙනාවේ
දහසක් වටින
සළු ඉවතට දාලා
දහසක් වටින
මාලේ කරලා ලා
පහස විඳපු
කාමෙට සිත් දාලා
වෙහෙස වෙච්චි
ගරි ළඳට එකලා
මෙවැනි කවි විශාල සංඛ්‍යාවක් ගිරිදේවි අස්නේ ඇත්තේය.
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී, දේශබන්දු ටී.හෙන්රි බෙම්මුල්ල











