අද කොස් සහ එදා කුරුඳු

වර්තමානයේ කොස් ගස් කැපීම සම්පූර්ණයෙන්ම නීති විරෝධී කටයුත්තකි. එසේ කැපිය යුතුම නම් ඊට නිසි අවසර ලැබිය යුතුය. එසේ නොමැතිව කපන කොස් ගස් රාජසන්තක කිරීමට නීතියෙන් දඬුවම් පැමිණවීමක් සිදුවේ. මේ හා සමානම ඊටත් වඩා බරපතළ දඬුවම් සහිත නීතියක් සුදු පාලන යුගයේ කුරුඳු සඳහා පනවා තිබිණි. එවකට කුරුඳු කාගේ ඉඩමක තිබුණද ඒවා රජයට අයිති බවත්, අනවසරයෙන් කුරුඳු කැපීම මරණ දණ්ඩනයට යටත් වරදක් බවටත් පත්කර තිබිණි.
අද සහල් සහ එදා සහල්

අද ආණ්ඩු බලය තීරණය කරන තරමට බරපතළ මාතෘකාවක් බවට පත්ව ඇති මෙරට සහල් මිල මේ වෙද්දී ආන්දෝලනාත්මක කතාබහකට පෙරළී තිබේ. මේ හා සමානවම එදා සුදු පාලන යුගයේදීද සහල් ප්‍රධාන මාතෘකාවක් බවට පත්වූ අවස්ථා තිබිණි. එවකට කොළඹ සිට රට පුරා තිබූ ප්‍රවාහන අපහසුතා හේතුවෙන් සහ ස්වාභාවික ආපදා හේතුවෙන් සහල් මිල පාලනය කළ නොහැකි තත්ත්වයකට ඉහළ ගියේය. එයින් සාමාන්‍ය ජනතාව විශාල අර්බුදයටත් කලබලයටත් පත්ව පාලකයෝද අපහසුතාවට පත්වූහ.
කෝපි පාඩුව හංගපු සිංකෝනා

සුදු පාලන අවදියේ එක්තරා කාලයකදී ලෝකයේ කෝපි මිල තරගකාරී තත්ත්වයකට පැමිණ ලංකාවේ කෝපිවලට තිබූ මිල ශීඝ්‍රයෙන් පහළ වැටිණි. එයින් කෝපි වගාකරුවන් කම්කරුවන් අසීරු තත්ත්වයට පත්වූ අතර දැඩි ආර්ථික අපහසුතාවන්ටද මුහුණ දෙන්නට සිදුවිය. මේ නිසා ඊට විකල්පයක් ලෙස එවකට පාලකයන් සිංකෝනා නමැති අතුරු බෝගය හඳුන්වා දුන් අතර කෝපි වගාවේ අලාභය එයින් පියවා ගත් බවත් පැවැසේ.











